පෙඟුණු මල් පෙති 14

“ඔයාට නින්ද ගිය වෙලේ දෙයක් කියන්න ඕන වුනා.

ඔයා තමයි මට මගේ ජීවිතේ ලැබුන වටිනාම ධනය. උපරිම සතුට සහ සැනසීම.

ආදරේ කියන්නෙ නිදහස එක්ක බැඳුණු හැඟීමක් කියල මට කියල දුන්නෙ ඔයා. මේ දේවල් කියන්න අපි එකට ගත කරපු කාලය මදි වෙන්න පුලුවන් ඒත් ඒ පොඩි කාලය ඇතුලෙත් අපි නොසෑහෙන්න එකිනෙකාට ලං උනා එකිනෙකාව තේරුම් ගත්ත කියල මන් හිතනව

මගෙ ජීවිතේ ඉඩෝරයක් තියෙද්දි, ඒ ඉරිතැළුණ හදවත සනසන්න වැටුණ අනෝරා වැස්සක් වගේ මට දැනෙන්නෙ ඔයාගෙ ආදරේ.

ගිම්හාන කාලෙක ජීවිතය කියන උයනෙ මල් පුබුදන්න පුලුවන් වුන උයන්පල්ලෙක් වගේ මට ඔයාව දැනෙන්නෙ

ඔයා ගැන මගෙ හිතේ ලොකු ආදරයක් සෙනෙහසක් තියෙනව. ඒක ඉස්සර ඉඳන්ම තිබුනා. දැන් එතනට ගෞරවයකුත් එක්වෙලා.

ඔයා මට ආදරෙන් සැලකීම, කරුණාවන්ත වීම, මාව ඔයාගෙ ජීවිතයට වැදගත් කියල පෙන්වීම තුල මන් ලොකු සතුටක් ලබනවා. මම ආදරේ කරන්නෙ, මට ආදරේ කරන්නෙ උතුම් මිනිහෙක්, පරිපූර්ණ මිනිහෙක්, පිරිසිඳු චරිතයක් කියල හිතල.

ආදරේකට පුලුවන් හිතෙන් හිතකට පාවෙලා ගිහිල්ලා ඒ හිතේ තියෙන අන්ධකාරයක් මකලා හිතම ආලෝකවත් කරන්න.

හිත ඇතුලෙ දූවිලි වැදි වැදි තියෙන දුක් වේදනාවන් ඔක්කොම දේවල් එළියට ඇදලා දාලා සැනසුම් සුසුමන් වලින් හිතම පුරවන්න.

ඒ වගේ ආදරයක් මට ලැබීම ගැන මම මුලු හදවතින්ම සන්තෝස වෙනවා වගේම, ඒ වගේ සුන්දර, කවියක් වගේ ආදරයක් මට දිම ගැන මම ඔයාට නොසෑහෙන්න ස්තුතිවන්ත වෙනවා.

මම ඔයාට නොසෑහෙන්න ආදරෙයි.

ජීවිතේ හැම පවසක්ම නිවන පිරිසිඳු සිසිල් දිය පිරුණු ගඟක් වගේ ඔයාගෙ ආදරය මගෙ ජීවිතේ පුරා ගලායනවා. ඒ ගංගාවට කවදාවත් හිඳෙන්න ඉඩ දෙන්න එපා.

මම ඔයාට ආදරෙයි නොසෑහෙන්න

❤

ආදරේ වචන වලට හැරවීම දිනපතාම මුහුණු පොතේ අකුරු අමුණන්නියකට අමාරු කාරණාවක් නොවේ.

සුමුදු පොරෝණාව යට චරිත්‍රා ගුළිවුණේ මිහිකව රවට්ටගන්නට පුලුවන් වුණා යැයි සන්තෝසයෙනි.

දෑස් පියා ගන්නට මොනතරම් උත්සාහ කරද සිත තවම අවදියෙනි. ළහිරු ගැන මතකයන් සිත අවදියෙන් තැබීම නිදිබර මොහොතක වුවත් චරිත්‍රාට සතුටකි.

“නිදි ද?” යැයි අසා කෙටි පණිවිඩයක් තැබුවද ළහිරුගෙන් පිළිතුරක් නැත්තේ ව්‍යාපාර කටයුතුවලට මහන්සි වී අද පමා වී ගෙදර පැමිණ “මාර මහන්සියි, නිදිමතයි. වොශ් එකක් දාලා නිදාගන්නවා” කියා පවසා නිදාගත් බැවින් විය හැක.

සඳත් තරුත් ලොවටම හොරෙන් පෙම් කෙළින මොහොතක, නුගේගොඩම නිදිගත් මොහොතක සිත අවදි වී හිඳියි.

ආදරයේ සුන්දරම සිතුවිල්ලෙන් සිත පිරී ඇත.

ඉස්සරම දවසක තාත්තගේ උකුලේ වාඩි වී, ඉස්තෝප්පුවේ හිඳ මිදුලට බහින පඩියක හිඳ තරුත් සඳත් ගැන කතා ඇසූ පුංචි කෙල්ලක චරිත්‍රාට මතකය.

“සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණකොල පිට්ටනියක්

වගෙයි අහස අන්න බලනු කොච්චර ලස්සනද රෑට”

පරිප්පුත්, කොල මැල්ලුම් සමග කිරි මාලු අනා කවමින් අම්මා අප්පච්චිට එහා පසින් ඉඳගෙන සීට් අයුරුද චරිත්‍රාට මතකය.

ඒ පුංචි කෙල්ලම ඉන් අනතුරුව වැඩිවිය පැමිණි පසුත්, වත්ත පහල ඇට්ටේරියා ගහෙන් එන මල් සුවඳට ඉව අල්ලමින් ඒ පඩිපෙල උඩ වාඩි වී හුන්නාය.

“ගෙදර යන්නට ඇත්තන්” කියා සිතුවිල්ල මේ සියලු මතකයන් නිසා උඩට නැග ඒ.

තමන්ටත් වඩා ගමට ආදරය කලේ මිහිකය. විවාහයෙන් අනතුරුව දෙණියායේ මහගෙදර ගෙවූ දිනයන් කොතරම් නම් මිහිරිද?

ආදරයේ වැසි වැස්සවූ මිහික සමග දෙණියායේ, කඳු අතර පාරවල්හි ඇවිද යමින්, කැලෑ මල් එකතු කර මල් පොකුරු තැනූ අතීතයකින් අදවන් වත්මනකට ආවේ කෙසේද හෝ කිමද යන කාරණාවට පිළිතුරු චරිත්‍රා ළඟ නොමැත.

“අපිට බැරිද හැමදාම මෙහෙ ඉන්න?”

“පුලුවන් ඔයාට පුලුවන් නම් ජොබ් එක දාලා ඇවිත් ගමේ පදිංචි වෙන්න”

“මම කැමතියි. ඉඩමක් අරගෙන ඔය එලවලු ටිකක් වවාගෙන ඉන්නවා. ඔයාට පුලුවන් එතකොට මට කෑම හදලා අරගෙන එන්න”

“ඔයා දන්නවනේ මම ආස නෑ කියල කෑම හදන්න?”

“එතකොට දැන් අපි අපේම ගෙදරකට ගියාමත් ඔයා කෑම හදන්නෙ නැද්ද?”

“හැමදාම ඉතින් කෑම හදන්න මම ආස නෑ. අනික ඉතින් මිනිහෙක් ගෑණියෙක්ව කසාද බඳින්නෙ කෑම හදාගන්න නෙවිනෙ”

එදවස ප්‍රේමණීය වදන් කියූ මිහිකගේ සිතුවිලි ගතානුගතික බව චරිත්‍රාට සිතෙන්නේ දැන්‍ ය.

“මම ආසයි දරුවන්ට”, “මම ආසයි ගමේ රහට කෑම කන්න”, “ඔයා මට කෑම හදල දෙනවා නේද?” කියා ප්‍රේම කතාවේ මුල් දිනවල ඇසූ මිහිකට “මමත් කැමතියි” හෝ “ඔව්” කියා දුන් පිළිතුරු ගැන චරිත්‍රාට දැන් ඇත්තේ වේදනාවකි.

ආදරෙන් බැඳී සිටින වෙලාවල්වල මිනිසුන් කියන දේවල් එසේම කළ යුතුයැයි කොහේ හෝ ලියා තිබේද?

“ඔයාට මෙහෙ ආවම උයන්න පුලුවන්, කිචන් එකට පේන්නෙ මේපල් ගස් යායක්” යැයි කියන මිහිකගේ වදන් දුරකතනය ඔස්සේ ඇසෙන සෑම මොහොතකම චරිත්‍රාට එසේ සිතේ.

මිහික බඳු ආදරණීය මිනිසෙකු ස්වාමියෙකු වූ පසුවත් එක සිතින් ආදරය කරන්නට ගැහැණියකට බැරි ඇයිදැයි යමෙක් ඇසුවහොත් එයට දෙන්නට පිළිතුරක් චරිත්‍රාට තිබේ.

“ආදරේ කියන්නෙත් කාලයක් යද්දි එපා වෙන දෙයක්. එකම මනුස්සයට එකම විදියට අවුරුදු ගාණක් ආදරේ කරන්න පුලුවන්කමක් තියෙනවද කියල මට හිතාගන්නවත් බෑ.

අපි දැන් ඔය ටයිටැනික් එකේ ජැක් ඇන්ඩ් රෝස් ගේ ආදර කතාව ලෝකෙ ඔච්චර ෆේමස් වුණේ ජැක් මැරිච්ච නිසා. ඒ දෙන්න කසාද බැඳල ළමයි හදාගෙන ජීවත් වුනානම් ඒක තව සාමාන්‍ය ආදර කතාවක් විතරයි. සමහරවිට ජැක් වගේ පැවැත්මක් නැති මිනිහෙක් එක්ක රෝස් ඉන්න එකක්වත් නෑ දිගටම”

මිහික හිමි කරගැනීමේ උවමනාවක් එදවස තිබුනේ ඔහු ලඟ තිබූ තැන්පත් සුන්දර මනුසත් කමට සිත බැඳුණු නිසාවෙනි.

දෙණියායෙන් ආ ගමේ කෙල්ලකට වඩා වෙනස් ජීවිතයක් ගත කරත් අවුරුදු විසි පහක් යනු හිරිමල් සිතිවිලිත්, පරිණත සිතිවිලිත් දෙවර්ගයම එකිනෙක හා වාද කරමින් එකට වාසය කරන කාලයකි.

මිහික බඳු කඩවසම්, සුන්දර, ඉහල පවුලක තරුණයකු හා විවාපත් වන්නට චරිත්‍රාට අවශ්‍ය වූයේ ඒ කාල වකවානුවේදීම වාගේ කාර්‍යාලයේ හුන් මිතුරියක විවාපත් ව ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කරන්නට යෙදුණු සුන්දර ජායාරූපයන් නිසාය.

චරිත්‍රා බලාපොරොත්තු වූයේද එවන් සුන්දර ජීවිතයකි. පිටරටක සුඛෝපභෝගී ජීවිතයකි.

තමාගේ ෆලෝවර්ස්ලාට පෙනෙන්නට හැකි ලෙස එවන් සුන්දර ජායාරූප මුහුණු පොතේ පල කරන බලාපොරොත්තුවකි.

ඒ බලාපොරොත්තුවට පණ දෙන්නට එදවස පුලුවන්කම ලැබුනේ මිහිකට පමණක් වීම මිහික තෝරාගැනීමට චරිත්‍රාට තිබූ එක් හේතුවකි.

අනෙක් අතට මිහික යනු කාන්තා ආකර්ෂනය අඩු පිරිමියෙකු නොවේ.

එවකටත් ඉහළ පෙලේ මෘදුකාංග ආයතනය මෘදුකාංග ඉන්ජිනේරුවකු ලෙස සේවය කල මිහිකට සිතෙන් ප්‍රේම කල තරුණියක් බොහොමයක් විය.

එවන් වෙනත් තරුණියකට මිහිකව හිමිකර ගැනීමට ඉඩ නොදීම චරිත්‍රාට තිබූ තවත් බලාපොරොත්තුවක් විය.

දවස පුරා ප්‍රේමයේ ඉමිහිරිම වදන් ඇමිණූ කවි සංකල්පනා මිහික හා බෙදාගනිමින් ආදරයට මුල පිරූ චරිත්‍රා අවසානයේ මිහිකගේ ආදරය හිමිකරගත් බව හැබෑවකි.

එහෙත් සිත සෑහීමට පත්වන්නට ඉගෙන ගෙන තිබුනේ නැත.

සිත සෙවූ ආදරය හමු වූයේ ළහිරු අබියසදීය.

ඉතින් මේ සුන්දර වදන් වලින් සහ, ආදර තැවරූ ඇමතුම් වලින් මිහික මුලා කරගන්නට චරිත්‍රා උත්සාහ දරන්නේ  ළහිරු ගැන සිතේ ඇති වූ “සැබෑ ආදරය පරිස්සම් කරගැනීමේ බලාපොරොත්තුවෙනි”

මිහිකට යැවූ නමුදු ඒ ප්‍රේමණීය වදන්වල සැබෑ හිමිකරුවා විය යුත්තේ ළහිරු බව චරිත්‍රා නොදන්නවා නොවේ.

“ජීවිතේ හැම පවසක්ම නිවන පිරිසිඳු සිසිල් දිය පිරුණු ගඟක්” යැයි මින් මොහොතකට පෙර මිහිකට ලියා යැවුවද ඒ සිසිල් දිය පිරි ගඟ දැන් චරිත්‍රාගේ සිතෙන් සිඳී ගොසිනි.

ළහිරු සිතේ වෙනස්ම අන්තයක හිඳ ආදරයේ වැසි වස්සවමින් හිඳී.

ඉතින් එක් ගඟක් සිඳී ගියාට කම් නැත.

තවත් දාහක් ආදර ගංගාවන් පුරවන්නට හැකි ලෙස ළහිරුගේ ආදරය ඇද හැලේ.

ඉතින් ඒ පණිවිඩයම ළහිරුට යැවීම වරදක් නොවේ.

චරිත්‍රා නිවි සැනසිල්ලේ දෑස් පියාගත්තේ ළහිරු ආදර දිය පිරි සිහිල් ගංගාවක් බවත්, තම ජීවිතයට වස්සානය රැගෙන ආවේ ළහිරු බවත් කියවෙන පණිවිඩය ළහිරුට යැවීමෙන් අනතුරුවය.

මේ සීතල රැය උණුසුම් කරන්නට ළහිරු පිළිබඳ සිතුවිලි ප්‍රමාණවත්‍ ය.

සැමදා දිය බිව් ගංගාව සිඳී නොගියද, “දැන් වෙන අතකට යායුතු යැයි” කියා සිතන ජීවිතයත්, ආදරයත් ගැන නිරතුරුවම විවිධ අන්දමේ ගවේෂණ කරන්නා වූ චරිත්‍රාට අනුව මිහිකගේ ආදරය දැන් ඇල් මැරී ඇත.

ළහිරු ළඟ තිබෙන්නේ මිහිකට වඩා වෙනස් සිහිල් දිය පිරි, අව් රැල්ලක් නොවැටෙන නිස්කලංක නිම්නයක ගලා යන්නා වූ ගංගාවකි.

දුර සිට සිහිල් පවන් නිරතුරුවම දුරකතනය ඔස්සේ තමා වෙත එවන්නා වූ මිහිකට වඩා අත නුදුරේ පිපී හිඳින ළහිරු චරිත්‍රාට සිතට අවශ්‍ය ආදරයත්, ගතට අවශ්‍ය උණුහුමත් නිරත්තරයෙන්ම ලබා දේ.

ඉතින් මිහික ළඟ සිට ළහිරු වෙත යන්නට සිතීම වරදක් නොවන බව චරිත්‍රාගේ හැඟීමයි.

එහෙත් යමෙක් යමක් සොයා යා යුත්තේ වටිනාම හෝ සුවපහසුම දේ හමුවන තුරු පමණකි.

සෑම ගමනකටම ආරම්භයක් හෝ අවසානයක් තිබිය යුතුමය.

ජීවිතයේ වෙහෙස දැනුණ මොහොතක, ගිමන් නිවාලන්නට ආදරය සිහිල් පවනක් විය යුත්තේ එබැවිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles