අලුත් කලාවක් හොයාගත්ත නුවර මැණිකේ!

“මම තාමත් හොයනවා මම කියන්නේ කවුද කියලා”

මෙහෙම කියන්නේ කලාවට ඉතාම ආදරේ කරන, ඒ තරම්ම දක්ෂ මහේෂා.

කවුද මේ මහේෂා කියන්නේ?

අපි අද ලිපියෙන් කතාකරන්න යන්නේ “අලුත් කලාවක් හොයාගත්ත” මේ මහේෂා ගැන.

කලාව කියන්නේ අපි හැමෝම කැමති මාතෘකාවක්. අපි හැමෝම සංගීතය, නර්තනය, චිත්‍ර වගේ කලාවන්ට ආස කරනවා. ඒ වගේම අපි හැමෝටම ජීවත් වෙන කලාවකුත් තියෙනවා.

මීට අවුරුදු ගාණකට කලින් නම් පැරණි ගැමි සමාජයේ “කලා කලොත් මලා” තමයි කියල කියමනක් තිබුණට මොකද අද වෙනකොට කලාවට ලැබිල තියෙන තැන වගේම ඉහළ ගිහින් තියෙන වටිනාකමත් වචන වලින් කියලා මනින්න බැරි තරම්.

පාරිසරික වශයෙන් තිරසාර භූ දර්ශන නිර්මාණය සහ කළමනාකරණය තුළින්, අපේ රටේ පුරෝගාමී භූ දර්ශන නිර්මාණ ශිල්පිනියක් වෙන්න ඉන්න කෙනෙක් තමයි මේ මහේෂා.

මහේෂා කාරියප්පෙරුම.

මොරටුව විශ්ව විද්‍යාලයේ භූ දර්ශන ගෘහ නිර්මාන ශිල්පය ගැන ඉගෙන ගන්න පුංචි කෙල්ලෙක්.

“කලාව කියන දේට මම පොඩි කාලේ ඉඳලම ආදරේ කරා. හැබැයි කලාව කියන දේ මම මගේ ජීවිතේ කොටසක් කරගත්තේ මම කැම්පස් ආවට පස්සෙ. ඒ කිව්වෙ දැන් අවුරුදු හතරකට විතර කළින්”

මහේෂා අපිත් එක්ක කතාවට එකතු වුණේ ඒ විදියට.

කලාව කියන්නේ යමක් අපිට තේරුම් කර දෙන එක්තරා මාධ්‍යයක්. සින්දුවක් වුනත්, පොතක් වුනත්, චිත්‍රයක් වුනත් ඒ කලා මාධ්‍යයෙන් අපිට කියන්න හදන යම් කතාවක් තියනවා.

සිංදුවල තේරුම්, චිත්‍රයකින් කියන්න හදන්නේ මොකද්ද කියන එක ගැන කතා කරාට අපි කවදාවත් හිතල තියෙනවද කාඩ් පැක් එකකට පුලුවන් කියල අදහස් හුවමාරු කරගන්න කලා මාධ්‍යයක් වෙන්නේ?

නෑ නේද?

මහේෂාව අපිට විශේෂ වෙන්නෙ අන්න ඒ හේතුව නිසා.

“අපි හැම තැනම වගේ දකින්නේ යුරෝපීය රටවල පුද්ගලයන්ව භාවිතා කරලා හදපු කාඩ් පැක්ස්. ඒ කාඩ් පැක්ස් වල රජ කෙනෙක්, රැජිණක්, කවටයෙක් ඉන්නවා.

කාඩ් පැක් එක යූස් කරල තව කීපදෙනෙක් එක්ක කාඩ් අතක් අදිද්දි අපි එක එක දේවල් ගැන අනන්තවත් කතා කරලා ඇති.ඒත් අපි කවදාවත් ඒ කාඩ් පැක් එක ගැන කතාකරලා තියෙනවද? නෑ නේ. මට ඕන වුණේ අන්න ඒ කතා බහ පටන් ගන්න.

අපි ගොඩක් වෙලාවට කලා කෘතියක් කිව්වම මතක් වෙන්නේ ආට් ගැලරි එකකට ගිහිල්ලා බලන චිත්‍රයක් වගේ දෙයක් ගැන. එහෙමත් නැත්තක් කවියක්, ගීතයක්, චිත්‍රපටයක් වගේ දෙයක් ගැන. අපි බලලා හරි අහලා හරි ඒ කලා කෘතිය සර විඳිනවා.

ඒත් අපි ඒක කතාබහක් ඇති කරගන්න කලා කෘතියක් යොදාගන්නෙ හරිම අඩුවෙන්.මට ඕන වුනේ ඒ හිස්තැන මකලා දාන්න. කලාව ජීවිතේට තවත් සමීප කරන්න. ඒ නිසා තමයි මම මේ කාඩ් පැක් එක ඩිසයින් කරේ”

මරණ ගෙදරකදි, යාලුවො එකතු වුනාම එළියට මතුවන මේ කාඩ් පැක් එකට ඔය කියන තරම්ම කතා බහක් ඇති කරන්න පුලුවන්ද?

මම හිතන්නේ මට වගේම ලිපිය කියවන ඔයාලටත් ඒ ප්‍රශ්නෙ ඇතිවෙන්න ඇති.

“මම කලිනුත් කිව්ව වගේ කාඩ් පැක් එකේ ඉන්නව යුරෝපීය රජ කෙනෙක්, රැජිනක්, කවටයෙක් වගේ රාජ සභාවෙ ඉන්න කීප දෙනෙක්ම.

ඒ චරිතම අපේ රටේ තිබුණ රාජ සභාවෙත් හිටියා. යුරෝපීය චරිත හිටපු තැන්වලට මම ආදේශ කරා අපේ රාජ සභාවේ හිටපු රජතුමා, රැජිණ, කවටයා වගේ චරිත.

ඒ කරපු වෙනස ඔස්සේ මට ඕන වුනේ මේ කාඩ් පැක් එකෙන් සෙල්ලම් කරන මිනිස්සුන්ගේ ජීවිත වලට කලාව තව තවත් කිට්ටු කරන එක සහ මේ වෙනස ගැන, කලාවට කරන්න පුලුවන් වෙනස් කම් ගැන කතා බහක් ඇති කරන්න.

මගේ කාඩ් පැක් එකේ ඉන්න රැජිණගේ අතේ තියෙනව වයින් වීදුරුවක්. මේ රැජිණ උඩරට සම්ප්‍රදාය අනුව ඇඳපු පැළඳපු රැජිණක්. එහෙම රැජිණක් අතේ වයින් වීදුරුවක් තියෙනව කියන්නේ ඒක කතා කරන්නම පොළඹවන මාතෘකාවක්”

අපේ රටේ සම්ප්‍රදායන්ට, උරුමයන්ට ලොකු තැනක් ලැබෙනවා.

ඒ සම්ප්‍රදායන්, උරුමයන් මූලික කරගෙන මොන තරම් නම් කලා නිර්මාණයන් බිහි වෙලා තියෙනවද?

ඒත් ඒ අතරින් වෙනස්ම දෙයක්, අලුත්ම දෙයක් බිහිවෙලා තියෙන අවස්තාවන් අතේ ඇඟිලි ගණනටත් වඩා ඉතාම අඩුයි.

“සංස්කෘතිය කියන්නේ ගතික දෙයක්. ඒ නිසාම සංස්කෘතිය කියන දේ දිහා සමාජය බලන්නෙ හරිම සංකීර්ණ විදියට.

සමාජයේ තියෙන පිළිගැනීම තමයි සංස්කෘතිය කියන දේ වෙනස් වෙන්නෙ නෑ කියන එක. හැබැයි හැම දවසකම. හැම මොහොතකම, ඉතාම සියුම් විදියට සංස්කෘතිය කියන දේ ටික ටික වෙනස් වෙනවා.

ඒකට හේතුව විදියට මම දකින්නේ සංස්කෘතිය කියන දේ මූලික කරගත්ත අපේ සමාජය බයයි අපේ උරුමයන්, කලාවන් වෙනස් කරන්න.

අපි හිතනව එහෙම වෙනස් කරන එක අපේ සංස්කෘතියට පටහැනි දෙයක් කියලා. ඒ සිතුවිල්ල නිසා අලුත් දෙයක් බිහිවෙන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. අපිව රාමු කරලනෙ තියෙන්නේ.

ඒ රාමුව බිඳගෙන අපි ඉස්සරහට ආවොත් තමයි වෙනස් දෙයක් කරන්න අපිට ඉඩකඩ වගේම මානසික නිදහස ලැබෙන්නේ

වාස්තු විද්‍යාවට අපි ඉගෙන ගන්නවානේ නගර ගැන. ඒ නගරයක් ලෝක උරුමයක් වුනාම ඒ නගරයේ තියෙන දේවල් වෙනස් කරන්න තියෙන ඉඩ ඉතාම සීමිතයි. ඒකට නීති රාමුවක් තියෙනව. උදාහරණයක් විදියට කිව්වොත් අපිට නුවර නගරයේ තියෙන උරුමයන්, ගාලු කොටු පවුර වගේ දේවල් හිතුමතේට වෙනස් කරන්න බැහැනේ.

හැබැයි එහෙම අපේ වටපිටාවට වෙනස් වෙන්න තියෙන ඉඩ අවම කරාම ඒ වටපිටාවෙ ජීවත්වෙන මිනිස්සුන්ට තමන්ගෙ සිතුවිලි වෙනස් කරගන්න, තමන් දෙයක් දිහා බලන විදිය වෙනස් කරගන්න ලැබෙන ඉඩකඩත් හරිම අවමයි.

නුවර ඉපදුණ කෙනෙක් විදියට මම ඒක ගොඩක් අත්විඳිනවා.ඉතින් මම හැමතිස්සෙම උත්සාහ කරනවා අපේ සිතුවිලි වලට ගලාගෙන යන්න ඉඩක් හදන්න. ඒ ගලාගෙන යෑම ඔස්සේ අලුත් දේවල් මනසට එකතුකරගන්න.”

මහේෂාගේ ඒ සිතුවිලි මොනතරම් ඇත්තද නේද?

හිතන්න ගලාගෙන යන්නේ නැති වතුර ටිකක් එක තැන රැඳුණම පල් වෙනවා. හැබැයි ගලාගෙන යන වතුර පාරවල්වලට එහෙම ගැටලු නෑ. ඒ වතුර පල්වෙන්නෙ නෑ. පිරිසිදුයි සහ නැවුම්. හරියට එකතැන පල් නොවී ගලාගෙන යන සිතුවිලි දහරාවන් වගේ.

එහෙම සීමා මායිම් බිඳ දාලා හිතන මහේෂා අතින් තමයි උඩරට සම්ප්‍රදායේ අංග ඇතුළත් කාඩ් පැක් එක සහ Good Menike කියල කලා කෘතියත් බිහිවෙන්නේ.

“රැජිණක් විසින් පාලනය කරපු යුරෝපීය රාජ්‍යයන් මොන තරම් තිබුණත් අපේ රටේ රජ මාළිගයක් ඇතුලෙ රැජිණකට ලැබෙන්නෙ හරි අඩු තැනක්. වටින ඇඳුම් පැළඳුම්, ආභරණ, සැලකිලි වගේ දේවල් ලැබුණට රැජිණ කියන්නේ ලස්සනට තියල තියෙන දෙයක් වගේ. රජ කෙනෙක්ට වුනත් රැජිණියො කී දෙනෙක්ම ඉන්නවද?

ඒ නිසා තමයි මම හිතුවේ හැබෑ ජීවිතේ රජ මාළිගාව ඇතුලෙ රැජිණට නොලැබුණ ඉඩ මේ කාඩ් පැක් එකෙන් ලබාදෙන්න. ඒ නිසාමයි මම රැජිණ අතට වයින් වීදුරුවක් දුන්නේ.

ඒ ඔස්සේ රැජිණ කියන්න හදන කතාව තේරුම් ගන්න, කාඩ් පැක් එකෙන් සෙල්ලම් කරන ගමන්ම අපිට අනිත් කෙනා එක්ක සංවාදයක් තියාගන්නම වෙනවා. අදහස් හුවමාරුවක් කරන්නම වෙනවා. සිතුවිලි වලට නිදහසේ ගලායන්න ඉඩ දෙන්නම වෙනවා”

වයින් වීදුරුවක් අතේ තියාගෙන ඉන්න රැජිණක් පෙන්නුම් කරන කාඩ් පැක් එක වගේම මහේෂා නිර්මාණය කරපු Good Menike කියන කලා කෘතියත් හරිම සුවිශේෂීයි.

ඉතින් ඒ ගැනත් මහේෂාගේ වචනයෙන්ම දැනගන්නයි අපිට උවමනා වුනේ.

“Good Menike කියන්නේ ඔලුව වෙනුවට නෙලුම් මලක් තියන, මැණිකෙ කෙනෙක්ගෙ ශරීරයක්. නෙලුම් මලට අපේ ජන සමාජය ඇතුලෙ ලැබෙන්නෙ ඉතාම වටින තැනක් නෙ. නෙලුම් මලෙන් සංකේතවත් කරන්නෙ පිවිතුරු බව, යහපත් බව. අපේ සමාජයේ පිවිතුරු බව කියන එක පෙන්නුම් කරන්න හදන්නේ කාන්තාවකගේ ශරීරයෙන් නේ.ඒත් පිවිතුරු බව කියන දේට ඊට එහා ගිය මානුෂීය සහ අධ්‍යාත්මික තේරුමක් තියෙනව කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා තමයි මම මේ නිර්මාණය කරේ.”

කාන්තාවකගේ හිස වෙනුවට නෙලුම් මලක් ආදේශ කිරීම ඇත්තටම වෙනස් දෙයක්. ඔබට, මට කවදාවත් හිතුනෙ නැති දෙයක්. මහේෂාගේ ඒ නිර්මාණයත් ඉතාම ලස්සනයි.

කලා නිර්මාණයකට මොන තරම් නම් වෙනසක් කරන්න පුලුවන්ද නේද?

කලා නිර්මාණයක් කියන්නේ කෙනෙක්ගේ හිත ඇතුලෙ හංගල තියෙන, එහෙමත් නැත්තම් සභාවක් ඉදිරියේ සන්නිවේදනය කරන්න අපහසු අදහස් වුනත් හිතත් එක්කම කතා බහකට අරගෙන එන්න පුලුවන් විදියෙ දෙයක්.

ගොඩක් වෙලාවට අපි අහන දකින කියවන කලා නිර්මාණයන්වල තියෙන්නෙ අපි එදිනෙදා ජීවිතයේ අත්විඳින අදහස්. එහෙමත් නැත්තම් අපි දන්න දෙයක්. අවුරුදු ගණනාවක් තිස්සේ අපිට ඇහෙන, පෙනෙන දෙයක්.

මහේෂාගේ කලා නිර්මාණයන් මෙතනදි විශේෂ වෙන්නේ අන්න ඒ හේතු නිසා.

කලා නිර්මාණයකටත් වඩා ඒවා අලුත් අදහස් වලට දොරගුළු අරින යතුරක්.

අපි මෙතෙක් දවස් නොහිතපු, එහෙමත් නැත්තම් හිතුණත් සමාජය ඉදිරියේ අදහස් දක්වන්න පැකිලුන විදියේ සිතුවිලිවලට හිත ඇතුලෙ හැංගිලා තියන තැන්වලින් එළියට ඇවිත් කතාබහක් ඇතිකරන්න දෙන ඉඩක්.

“අපේ අලුත් අවුරුදු උත්සවය ගැන බලන්නකො. අතීතයේ නම් අපි ගොයම් කපලා, ගොයම් පාගලා, වී අරගෙන අලුත් අවුරුද්දට සූදානම් වුණා. ඒ අලුත් අවුරුද්ද හරිම වර්ණවත්. හැබැයි අද වෙනකොට මේ අලුත් අවුරුද්ද කියන්න අලුත් ඇඳුම් ගන්න හේතුවක් විතරයි. අපි අලුත් අවුරුද්ද එනව කියල දැනගත්තම මුලින්ම කරන්නේ අලුත් ඇඳුම් ගන්න පවුලේ හැමෝම එක්ක එළියට යන එක.

ඒත් අලුත් අවුරුද්ද කියන්න ඊට එහා ගිය වර්ණවත්, සංස්කෘතික අංගයක්.

ඒ නිසා තමයි මම මගේ “Harvest” කියන නිර්මාණය හැදුවේ.

අවුරුදු කාලේට අපි මුලින්ම කරන්නේ  Shopping  යන එක. මොනතරම් සල්ලි අමාරුකම් තිබුණත් අපි අවුරුදු කාලේට Shopping යන්න අමතක කරන්නෙ නෑනෙ. මගේ මේ චිත්‍රයෙන් පෙන්නන්නේ, අතීතයේදී අපි අස්වැන්න කියල මහන්සිවෙලා නෙලාගත්ත වී, මෙනේරි වගේ ධාන්‍ය වෙනුවට රස කැවිලි වර්ග ආදේශ වෙලා තියෙනවා. ඒකෙන් පෙන්නුම් කරන්න මම උත්සාහ කරන්නේ ආර්ථිකය සහ සංස්කෘතිය අතර තියෙන විෂ සහිත සම්බන්ධය ගැන සහ ඒකෙන් අපි ඉක්මනින් මිදෙන්න ඕන කියන කතාව

ආර්ථික අවපාතයක් ලංකාවේ ඇති වුණාට පස්සෙත් අපි දැක්කා අවුරුදු කාලේ ඇඳුම් කඩවල පෝළිම් තියෙනවා.අපි මේ ආර්ථික ගැටලු ගැන රජයෙන් ප්‍රශ්න කරාට අපි අපෙන් ප්‍රශ්න කරන්නේ නෑ ඒ වගේ මොහොතකදි අපි ඇත්තටම කොහොමද අවුරුද්ද සමරන්න ඕන කියලා”

කලාවෙන් මිනිස්සුන්ට අලුත් විදියකට හිතන්න අවකාශය ලබා දෙන මහේෂා මේ දවස්වල තවත් ලස්සන කලා කටයුත්තකට මහන්සි වෙන ගමන් තමයි ඉන්නේ.

ඔයාලා අපි හැමෝම දැකල තියෙනව සුන්දර සීගීරි බිතු සිතුවම් ගැන.

“සරග මල පලන ගල ළඟ මලබර වරල

මහනෙල සපු කුසුමෙක අතිනිගත හෙළිලම්බුයුක” කියල මේ මහනෙල් සහ සපු කුසුම් අතින් ගත්, වරල මලින් සරසාගත් කාන්තාවන් ගැන සුනිල් ශාන්ත ගායකයා ලස්සනට ගායනා කරලත් තියනවා.

“මහනෙල් මල් අතින් ගත් උඩුකය නිරුවත් කාන්තාවන්” කියල අවුරුදු ගාණක් පුරාවට කතාබහට ලක්වුණ මේ සීගිරි ලලනාවන් මහේෂා දකින්නෙ වෙනස්ම විදියකට.

පුරුෂාධිපත්‍යයේ විෂම ලිංගික බැල්ම (The hetro-sexual gaze of patriarchy) ගැන කියවෙන මෙය කොටස් හයක නිර්මාණයක්.

මේ නිර්මාණ එකතුවේ තියෙන්නේ අපි නොදන්න ගැහැණියව කලාවෙන් නිරුවත් කළ අවස්තා ගැන. මගේ මේ චිත්‍රයේ ඇස තියෙන තැන බලලා, ඒ චිත්‍රයේ මුල් නිර්මාණය දිහා බැලුවම පේනවා ඒ චිත්‍රය ඇඳලා තියෙන්නේ පිරිමි ඇසකින් බලලා කියන එක.

අපිට තවත් කෙනෙක්ගෙ නිර්මාණයක් හරි හෝ වැරදි කියන්න බැහැනෙ. ඒත් කෙනෙකුට කෙලින්ම නොපෙනෙන දෙයක් පෙන්නල දීලා ඒ තුළින් අලුත් දෙයක් හිතන්න ඉඩ සලසන එක තමයි මේ නිර්මාණ පෙළින් මම කරන්න උත්සාහ කරන්නේ

පළවන නිර්මාණය දැනටමත් අවසන්.

ඉතින් මේ වගේ වෙනස්ම අදහස්, සිතුවිලි ගොන්නකට ඉඩ හදන, කතාබහක් ඇති කරන්න හේතු වන මාතෘකා බිහි කරන කලා නිර්මාණයක් බිහි කරන මහේෂාගේ අනාගත බලාපොරොත්තු ගැනත් අපි අවසානයට මහේෂාගෙන් ඇහුවා.

“මම බලාපොරොත්තු වෙනවා ලංකාවේ සංස්කෘතිය, මිත්‍යා විශ්වාස, ජනප්‍රවාද වල කියවෙන අදහස්, අලුත්ම විදියකින්, වෙනස්ම විදියකින් කලා නිර්මාණයක් ඇතුලෙ ගොනුකරලා මිනිස්සු අතරට අරගෙන එන්න. ඒ ඔස්සේ අලුත් චින්තනයක් ගොඩනගන්න. වෙනස්ම විදියට හැමදෙයක් ගැනම දකින්න මිනිස්සුන්ව පොළඹවන්න.

ඒ අතරෙම අලුත් දේවල් ගැන පරීක්ෂණ කරගෙන, එක තැන් පල්වෙන සමාජයට ගලායන්න ඉඩක් කලාව තුළින් හදලා දීලා, කලාව කියන දේ මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට තවත් ළං කරවන්න තමයි මම උත්සාහ කරන්නේ”

ඉතින් “අලුත් කලාවක් බිහි කළ මේ පුංචි නුවර මැණිකේ” නිර්මාණය කරපු අලුත්ම කලාවන් ඔබත් අනිවාර්‍යෙන්ම දකින්න ඕනමයි.

ඉතින් මහේෂාගේ White Shadow Art (https://www.instagram.com/whiteshadow.artt/) කියන ඉන්ස්ටග්‍රෑම් පිටුව ඔස්සේ මේ සුන්දර කලා නිර්මාණ දැක බලා ගන්න ඔබට පුළුවන්.

ඒ වගේම ඒ නිර්මාණ බලලා විතරක් නතර වෙන්න එපා, මහේෂා ගොඩනගන්න උත්සාහ කරන කතා බහේ එක පුරුකක් වෙන්න කියලත් අපි අපේ Smart Ladiesලගෙන් ඉල්ලනවා.

Related Articles

Don't Miss


Latest Articles