අවුරුදු දාසයක් වයස, මලක් වගේ ලස්සන සියුමැලි එලිසබෙත්ට හැමෝම කතා කරේ සිසී කියලා.
ඉතාම ලස්සන ඒත් ශෝබාසම්පන්න සිසී ඉපදුනේ 1837 දි ජර්මනියෙදි.
1854 අප්‍රේල් මාසෙදි, රුසියාවට පමණක් දෙවනි වුන මහ අධිරාජ්‍යයක ඔටුනු පළන් අධිරාජ්‍යයා වුන ෆ්‍රාන්ස් ජෝසෆ් එක්ක විවාහ වුණ ලස්සන සිසී ජර්මනියේ මියුනිච් කියන තමන්ගේ උපන් ගමේ ඉඳල තමන්ගේ සැමියාගේ නවාතැන වන වියානා වෙත කැන්දගෙන ආවේුදු අශ්වයො අටක් ගැට ගහපු වීදුරු කරත්තෙක.
ෆ්‍රාන්ස් ජෝසෆ් අධිරාජ්‍යයා සිසීව දකින්නෙ කලු පැහැති ඇඳුම් වලින් සැරසිලා අධිරාජ්‍යයාව දකින්නට සිටි හමුවකදි. තරුණ අධිරාජ්‍යයාගේ ඇහැ නවතිනවා මේ තරුණ වියට ඇවිල්ලවත් නැති සුන්දර සුකුමාර සිසී ළඟ.
ඒ පළමු හමුවෙන් දවස් දෙකකට පස්සෙ අධිරාජ්‍යයා සිසීට මංගල යෝජනාවක් අරගෙන එනවා. මාස අටකට පස්සේ දෙන්නා විවාහ වෙනවා.
සිසී කියන්නේ හරිම උද්‍යෝගිමත් පුංචි කෙල්ලෙක්. විවාහ වෙලා තමන්ගේ සැමියගෙ නවාතැනට යන ඕනම අලුත් බිරිඳකට අලුත් ජීවිතේ ගැන මොනතරම් බලාපොරොත්තු තියෙනවද? මට, ඔයාට වගේම අලුත බැඳපු අධිරාජිණියකටත් ඒ කතාව පොදුයි.
ඒත් දෛවය හැමදාම අපිට මල් වැසිම වස්සවන්නේ නැහැ.
මදුසමය කාලය ඇතුලත අධිරජ කාලෙ ගෙව්වෙ තමන්ගේ කාර්‍යාල කාමරයේ රාජකාරි වල නිරත වෙමින්. අලුත් මනමාලි හැංගිලා කඳුලු හෙලුවේ මේ තමන් බලාපොරොත්තු වෙච්ච ජීවිතේ නොවන නිසා.
ඊළඟ අවුරුදු කීපය තුල එක එක මාළිගාවලට මාරුවෙමින් ඉඳපු සිසීට තමන් බලාපොරොත්තු වෙච්ච වර්ණවත් විවාහ ජීවිතේ ලැබුණද කියන එක සැකයක්.
1854 දි වුණ මේ විවාහයෙන් දරුවන් තුන් දෙනෙක්ම හදපු සිසී තමන්ගේ ජීවිතේම ගෙව්වෙ මාළිගාවක, රාජ්‍යය සහ අධිකරණ නීතී රීති දාහක් මැද්දෙ.
අපි ඕනතරම් රජ කුමරියන්ගෙ කතා බලල තියෙනව. පුංචි කාලේ ඩිස්නි චිත්‍රපටවල රජ මාළිගාවල කතා දැකල රජ කුමාරිකාවක් වෙන්න හීන දැක්කට ඒ හීන හීනම විතරයි කියල මම හිතන්නේ අපි වගේම සිසීටත් කාලයක් යද්දි තේරෙන්න ඇති.
සිසීගේ සහ ෆ්‍රාන්ස් අධිරාජ්‍යයාගෙ පළමු දරුවා වුණ සොෆී ෆ්‍රෙඩ්‍රික් අවූරුදු දෙකේදි මිය යනවා. ඊට පස්සෙ පිළිවෙලින් ජීවිත වලට ආව ජිසෙලා සහ රුඩොල්ෆ් එක්ක සිසී අවුරුදු 21ක් වගේ පුංචි වයසකදි දරුවො තුන්දෙනෙක්ගෙම අම්මා කෙනෙක් වුණා.
ඒත් සිසී හිටියෙ සම්පූර්ණ සතුටකින් නෙවෙයි. මාළිගාවක ජීවත් වුණත් අත්තටු කපපු කිරිල්ලියකගෙ චරිතෙට පණ පෙව්ව සිසීගේ නිදහස් මනස තමන් වෙනුවෙන් සටන් කරන්න පටන් ගන්නෙ ඊට පස්සෙ. තමන්ව හිරකරල හදන්න කටයුතු කරන රාජ්‍යයට සහ අධිකරණ නීති රීති වලට එරෙහිව සටන් කරපු සිසී හැම තැනකම හෙව්වෙ තමන් පුංචි කාලේ ඉඳල හීන දැකපු අර පාට පාට ලස්සන ලෝකෙ.
අපි හැම කෙනෙක්ම ජීවිතේ අපිට විඳින්න වුන වේදනාවන් සිත අස්සේ හිරකරගෙන ඉන්නවා. ඒත් ඒ විදියට අපිට හැමදාමත් ජීවත් වෙන්න බෑ. සුළි කුණාටු ගණනාවකට ඔරොත්තු දීගෙන ඉඳපු මහ රූස්ස ගහක් වුණත් එක පොරෝ පාරකින් අපිට බිමට දාන්න පුලුවන්.
හිර වෙලා තිබුණ වේදනාවන් එක්ක ජිවිතේ ගෙවපු සිසීව කඩා වට්ටන්න හේතු වුණ පොරෝ පාර වුනේ තමන්ගේ පුතාගෙ මරණය.
1889 දි ඔටුන්න හිමි කුමාරයාව මරල දාලා තිබුනේ ඔහු තමන්ගේ පෙම්වතිය එක්ක ඉද්දිමයි.
අම්මා කෙනෙක්ට දරුවෙක් නැති වීම කියන්නේ දරාගන්න පුලුවන් වේදනාවක් නෙවෙයි. අධිරාජිණියකට වුණත් ඒ කතාව එහෙමම වලංගුයි. තමන්ගෙ පුතාගේ ඝාතනය සිසීට දරාගන්න අමාරුම එකක් වුණා.
අකාලයේ තමන්ගේ දරුවො දෙන්නෙක්ම අහිමි වෙච්ච අවාසනාවන්ත අම්මා කෙනෙකු වුන සිසී තමන්ගෙ දුක නිවාගන්න බලාපොරොත්තුවෙන් මාළිගාව අත ඇරලා දාලා යුරෝපයේ රටතොට ඇවිදින්න පටන් ගන්නවා.
උතුරු අප්‍රිකාවේ බිහිසුණු සංචාරයක නිරත වුණ සිසී ඒ ගමන ගියේ අධිරාජිණියක් විදියට තමන්ට ලැබෙන ආරක්ෂාවත් එපා කියලා.
අධිරාජිණියක කියන බර ඔටුන්න බිමින් තියපු සිසී අතරමග හමුවන යාලුවො එක්ක මේ සංචාර වල නිරත වෙමින් හෙව්වෙ අකාලයේ දරුවො අහිමි වීමෙන් හිතේ ඇතිවුණ වේදනාවද එහෙමත් නැත්තම් අධිරාජිණියක් වෙන්න කලින් තමන් පුංචි කාලේ දැකපු නිදහස් හීනෙද කියලා දැනගෙන හිටියෙ සිසීම විතරක් වෙන්නත් ඇති.
ඒ හේතු දෙකෙන් කුමක් හෝ වේවා මුල්කරගෙන හැම තැනම සැරිසරපු සිසී තමන්ගේ අවසාන ගමනට එක්වුණේ 18989 සැප්තැම්බර් මාසෙ දහ වැනිදා. ඒ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදි.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට මේ සුන්දර සිසී එනකල් රාජ්‍ය විරෝධී ජාත්‍යන්තර කල්ලියක පුරුකක් වුණ ලුයිගි ලුචේනි බලාගෙන හිටි බව ඇය කීයටවත් හිතල තිබුනේ නෑ. රුසියානු සාර් වරයෙකු, ඉතාලි රජෙකු, ස්පාඤ්ඤ කුමරුවන් දෙදෙනෙකු, ප්‍රංශ හා ඇමෙරිකානු ජනාධිවරුන් දෙදෙනෙකු මරා දමා තිබූ රාජ්‍ය විරෝධී කල්ලිය තමන්ගේ ඊළඟ ගොදුර වෙනුවෙන් මග බලා ගෙන හිටියා.
මේ කිසිවක් නොදත් සුන්දර සිසී මොන්ටෲක්ස් බලා යන දුම් බෝට්ටුවට නගින්න බලා ගෙන හිටියෙ තවත් අත්දැකීමක් ලබාගන්න බලාපොරොත්තුවෙන්. ඇය ඒ මොහොතෙවත් දැනගෙන ඉඳියෙ නෑ තමන්ගේ ජිවිතය තව මොහොතකින් උදුර ගන්න බලාපොරොත්තුවෙන් මරණීය ආයුධයක් එක්ක මාරයා ඉස්සරහ බලාගෙන ඉන්න බව.
ජිනීවා පාලම අද්දරදී මේ සුන්දර අධිරාජිණියගේ පපුවට මරණීය ඉඳිකටුව සහිත අතෙක් එකම එක මාරාන්තික පාරක් දුන්න විසි පස් හැවිරිදි රාජ්‍ය විරෝධී මාරයා එක තප්පරයක්වත් පමා නොවේ පාලමෙන් පැනලා අතුරුදහන් වෙනවා.
ඒත් අහිංසක සිසී දැනගෙන උන්නෙ නෑ ඒ පාර තමන්ගේ මරණය එක්ක අත්වැල් පටලන් ඉන්න බව. නන්නාදුනන මනුස්සයෙක් තමන්ගෙ පපුවට හයියෙන් පාරක් ගැහුවා කියන සිතුවිල්ල එක්ක, දැනිච්ච වේදනාවට පොඩ්ඩක් බිම වාඩි වුණ සිසී තමන්ගෙ මිතුරියගෙ උදව්වෙන් හෙමින් වුණත් ගිහින් දුම් බෝට්ටුවට නැග්ගා.
මරණයේ සහෝදරයා සිසී වෙතට දෑත යොමාගෙන ඉද්දි බෝට්ටුව පිටත් වුණා. සිසී වේදනාවෙන් ඉන්න බව දැනගත්ත යාලුවෙක් “රිදෙනවද?” කියල ඇහුවම හිනා වුණ සිසී නැව් ගරාදියට හේත්තු වෙලා තමන් ඉස්සරහින් පේන කෙලවරක් නැති මහා ජල කඳ දිහා බලාගෙන හිටියා.
ඒත් ඒ එක මොහොතකට පමණයි. ඇය සිහිසුන්ව වැටුණා.
“මේ සැර අව්වෙ මොකටද එතනට වෙලා හිටියේ?”
“කලන්තයක්ද?”
“වතුට ටිකකින් මූණ තෙමන්න” කියන මිනිසුන්ගෙ වචන දහස් ගාණක් මැද්දෙ සිසී බිම වැතිරිලා උන්නා. අපිවත් එදා එතන උන්න අනිත් අයත් නොදැක්කට මරණයේ සොහොයුරා තමන් දිහාට අත් දිගු කරගෙන ඉන්න බව සිසී දකින්න ඇති.
සිහිසුන්ව වැටී ඉන්නේ අධිරාජිණිය කියල දැනගත්ත වහාම බෝට්ටූව හරවගෙන ඇවිත් හෝටල් කාමරය වෙතට සිසීව අරගෙන ගියේ මිනිසුන්ගේ කර මතින්.
ඒ වෙද්දිත් අවසන් හුස්ම වාතලයට මුසු කරලා උන්නු සුන්දර සිසී කාටවත් නොකියව තමන් හීනෙන් දුටුව සුන්දර, නිදහස් ලෝකය කරා යන්න ගමන ආරම්භ කරලා තිබුණා.
ප්‍රාණය නිරුද්ධ අධිරාජිණියගෙ ඇඳුම් පැළඳුම් කපා ඉවත් කරාම මිනිසුන් දැක්කේ ළය වැසුණු සලුව මත තිබ්බ එකම එක පුංචි රතු තිතක් විතරයි.
ඒ පුංචි රතු තිත මත තමන්ගෙ සියලුම වේදනාවන් සිසී අවසන් කර තිබෙන බව වෛද්‍යවරුන් දෙදෙනෙකුම කිව්වට පස්සෙ අධිරාජ්‍යයාගේ උපදෙස් මත මරණ පරීක්ෂණය පැවැත් වුවා.
වම් පියයුරට ඉහළින් ඇමිණී තිබුණු ඉඳිකටුව හදවත පසාරු කරගෙන ගිහින් තිබුණ බවත් ඉන් සිදුරු වූ හදවත හා පරිකන්තුව අතර රුධිරය පිරීම නිසා ඇතිවුණ පීඩනය ඇයට මරණය ගෙන ඇවිත් තිබුණ බව ඒ ඔස්සේ දැනගන්නට ලැබුණා.
අවසානයේ මරණය අරගෙන ආවත් ඒ සිදුර ඒ තරම්ම පුංචි නිසා රුධිරය බිංදුව බිංදුව වැගිරෙන්න ගත්ත කාලය ඇතුළත තමයි රැජිණ ඒ මාරාන්තික ප්‍රහාරයෙන් පසුව සෙමෙන් වුනත් ඇවිදගෙන ඇවිත් දුම් බෝට්ටුවට නැග්ගේ කියලා ඒ ඔස්සේ තේරුම් යනවා.
මංගල දිනයේ ඇයව කැන්දාගෙන ආ වීදුරු කරත්තය තරම්ම ලස්සනට සකසපු දුම් රියක මේ සුන්දර එහෙත් නිදහස අහිමි වේදනාවේ සිහින් ඉඳි කටු තුඩෙන් හදවත පසාරු වී මියගිය සිසීව ඔස්ට්‍රියාවට ගෙන්න ගත්ත අධිරජු කලු අසුන් අටක් බැඳි තනි අඳුරු කරත්තයක ඇයව තබා වියානාවෙ වීදියක් පාසා ගෙනයමින් අවසන් ගෞරව දක්වමින් සදාකාලික නිදහසක සැතපෙන්නට සුන්දර කැටයමින් හැඩවුණු බහාලුමක ඇයව සතපනවා.
වර්ෂ 1916 දී අවුරුදු අසූ හයක් ආයු වළඳා මිය දෙන ෆ්‍රාන්ස් ජෝසෆ් අධිරජුව, ඇය සමීපයෙන්ම තැන්පත් කරවනු ලැබුවා.
ඒ පෙම්වතුන්ට ස්වර්ගයක් තිබේ නම් එහි දී ඔවුනට නිදහසේ ආදරයෙන් බැඳෙන්නට ඉඩකඩ ලැබේවායි පතමින්.
ඇයට මරණය ගෙනා මරුවා වුණු ලුයිගි ලුචේනිව අත් අඩංගුවට ගත්තත් මරන දඬුවම අහෝසි කර තිබූ වියානා වේ දි ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබන්නට නියමිතව හිඳ අවසානයේ මිය ගියා.
ඒ වේදනාවේත්, පසු තැවීමේවත් වේදනාව දරාගත නොහැකිව බව මගේ විශ්වාසයයි.
මක් නිසාද යත් තමන් විසින් මරා දැමුවේ ඔස්ට්‍රියාවේ අධිරාජිණිය නොව, තමන්ට කිසිදිනක නොලැබුණ නිදහස සොයා පියඹමින් උන් සිසී නම් කෙල්ලකගේ සිහින සොරාගත් බැවිනි.