ඔබේ සෞඛ්‍ය සම්බන්ධ මේ මිත්‍යා මත ඔබත් විශ්වාස කරාද ?

ඔබ මෙහෙම කතාවක් අහල තියනවද ?

එකම බොරුව නැවත නැවත කියද්දි එහෙමත් නැත්නම් අහන්න සලස්වද්දි ඒ බොරුව ඇත්තක් වෙනව කියල.

මිත්‍යා මතත් අන්න ඒ වගේ තමයි කාලෙන් කාලෙට පරම්පරාවෙන් පරම්පරාවට යම් මතයක් පැවත එද්දි එහෙමත් නැත්නම් පිළිපදිද්දී ඒ මතය පිළිගන්න හේතුවවත් ඒ මතය ඇති වුනේ ඇයි කියලවත් අපි සමහරවිට නොදැනම ඉන්න පුළුවන්.

අන්න ඒ වගේ සෞඛ්‍ය සම්බන්ධ ඔබ අපි බොහෝදෙනෙක් විශ්වාස කරන මිත්‍යා මත කීපයක් ඔබත් එක්ක බෙදාගන්නයි අපි මේ සූදානම් වෙන්නෙ.

බලන්නකෝ මේ ඔබත් අහන දකින පිළිපඳින මතද කියල. 

ඇඟිලි වල ඇට කැඩීම ආතරයිටීස් රෝගය ඇති කරයි

බොහෝ අයට ඇඟිලි වල ඇට කැඩීමේ පුරුද්දක් තියෙනවනෙ. එතකොට ඇතිවෙන ශබ්දය හිතට යම් තිගැස්මක් ඇති කරනවනව වගේම ඉන් ඇඟිලි වලට වෙන බලපෑම ගැනත් බියක් ඇති කරනව.

මේ පුරුද්ද නවත්වන්න බොහෝදෙනෙක් කියන කතාවක් තමයි ඇඟිලි වල ඇට කැඩීම ආතරයිටීස් රෝගය ඇතිවෙන්න හේතුවක්ය කියන කාරණාව.

නමුත් පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට නම් මේ පුරුද්ද සහ ආතරයිටීස් අතර කිසිම සම්බන්ධයක් නෑ වගේම එය ආතරයිටීස් රෝගය ඇතිවෙන්න හඳුනාගත් රෝග ලක්ෂණ වලින් එකකුත් නෙමෙයි.

ඔබ කෙට්ටුයි නම් ඔබ නිරෝගීයි

මේ අපේ තරුණ යුවතියන් විශේෂයෙන්ම තරුණ විය ආරම්භයේ ඉන්න යුවතියන් අතර බොහෝ දුරට පැතිර ගිය මිත්‍යා විශ්වාසයක්.

මේ නිසා ශරීරයට අහිතකර ආහාර පාලන ක්‍රම, විවිධ බෙහෙත් වට්ටෝරු සහ අත්බෙහෙත් අහාරයට වගේම පානය කරන්නත් බොහෝදෙනෙක් පෙළඹෙනවා. 

නමුත් පර්යේෂකයන් පවසන්නෙ පොතට කලින් පිටකවරෙ බලල තීරණ ගන්න බැහැ කියලයි. ඔබේ නීරෝගී බව ඔබ සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම, සීනි මට්ටම, අස්ථි වල සහ ස්නායු වල ක්‍රියාකාරීත්වය වගේම හදවත සහ රුධිර සංසරණය වගේ කරුණු බොහොමයක් මත රඳාපවතිනව.

ඒ නිසා ඔබ අධික කෙට්ටු නම් සමහරවිට ඒත් සමඟම ඔබ නොදැනුවත්ව මානසික සහ කායික දුර්වලතා රාශියකුත් ඔබට ඇතිවෙලා තියෙන්න පුළුවන්. 

ඒ නිසා ඔබ ඔබට ආදරය කළ යුතුයි. ඔබව සහ ඔබේ සිරුර කා සමඟවත් සසඳන්න යන්න එපා. උසට අනුව අවශ්‍ය බර පවත්වා ගනිමින් නීරෝගීව ජීවත් වීම ඔබට ප්‍රමාණවත්. 

ඔබේ දහඩිය ශරීරයේ විෂ ඉවත් කරයි

දහඩිය සමඟ ශරීර අභ්‍යන්තරේ ඇතිත් විෂත් පිටවෙනව නම් ඔබේ සම මැජික් පෙරණයක් විය යුතු බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නෙ. 

දහඩිය දැමීම කියන්නෙ ශරීරයේ ඌෂ්ණත්වය පාලනය කරන ක්‍රියාවලියක්. 

ශරීරයේ විෂ ඉවත් කිරීමේ ක්‍රියාවලිය භාරව ඉන්නෙ අක්මාව සහ වකුගඩු නිසා ඒ ඉන්ද්‍රයන් වල නීරෝගී බව පවත්ව ගන්න කටයුතු කිරීමයි වඩා යහපත් වෙන්නෙ. 

ඇස් පේන්නෙ කැරට් කන්න

කැරට් කියන්නෙ කොණ්ඩය, නියපොතු, සම සහ ශරීරයේ විවිධ ඉන්ද්‍රයන් වල නීරෝගී පැවැත්මට උපකාර වන විටමින් A සහ තවත් පෝෂ්‍ය පදාර්ථයන් අඩංගු වෙන ආහාරයක් බව අපි දන්නව. 

නමුත් ඔබ වැඩිපුර එහෙම නැත්නම් මුළු ලෝකෙම තියෙන කැරට් කෑවොත් විතරක් ඔබේ සම්පූර්ණ ඇස් පෙනීම ලබාගන්න නම් නොහැකි බව තමයි පර්යේෂකයන් පවසන්නෙ. 

තෙල් කෑවොත් මහත් වෙනව

තෙල් ඇහුවත් බය වෙන පිරිසක් ඉන්නවනෙ අපි අතර. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නෙ තෙල් කියන්නෙ අපේ සෞඛ්‍යට ඉන්න ලොකුම හතුර කියලයි.

නමුත් ඒක එහෙම නෙමෙයි කියලයි පෝෂණවේදීන් පවසන්නෙ. නීරෝගී බව පතන අපි හොඳ මේදය සහ නරක මේදය හඳුනාගන්නම ඕන. මොකද නරක මේදය අපේ සිරුරට අහිතකරයි වගේම හොඳ මේදය අපේ සිරුරේ නීරෝගී පැවැත්මට අත්‍යාවශ්‍යයි කියල අපි හොඳින් මතක තියා ගන්න ඕන.

ක්ෂණික ආහාර, බේකන්, ක්‍රීම් සහ චීස් වගේ ආහාර වලින් හැකි තරම් ඉවත් වෙලා අලිගැටපේර, ඔලිව් ඔයිල්, ඇට වර්ග වගේ හොඳ මේදය අඩංගු ආහාර රසවත්ව පිළියෙල කරගන්න ඔබට පුළුවන්. 

ඔබේ හදවත නීරෝගී කරගන්න සහ ශරීරයේ බර නිවැරදිව අඩු කරගන්න වගේ බොහෝම හොඳ ප්‍රතිඵල රාශියක් ඔබට ලබාගන්න එය උපකාරී වෙනවා. 

මේ විදිහෙ මිත්‍යා විශ්වාස වලට ඔබව බිය කරන්න වගේම නොමඟ යවන්න නොදීමට අපි වගබලා ගන්න ඕන. මොකද කවුරු මොනව කීවත් මෙවැනි මත වලින් හානි වෙන්නෙ ඔබේ සෞඛ්‍යයට පමණක් නිසයි.

ඒ නිසා යම් ගැටළුවක් ඇතිවෙන අවස්ථා වලදී ඔබේ පවුලේ වෛද්‍යවරයා හෝ විශ්වාස කළ හැකි අන්තර්ජාල තොරතුරු ඔස්සේ විමසා බැලීම් කරන්න අමතක කරන්න එපා.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles