දෙඅත් අහිමි දුනු විදින්නිය , ශීතල් දේවී

සර්ව සම්පූර්ණ නොමැති පුද්ගලයන්ට පවා ලෝකය ජය ගත හැකි බව ඔබ විශ්වාස කරනවාද ? එයට හොඳම උදාහරණයක් ඉන්දියාවෙන් දැකගන්නට ලැබෙනවා.

පසුගියදා පැවැත්වුණ ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී දුනු විදීමේ ඉසව්වෙන් සිංගප්පූරුවේ Alim Nur Syahidah පරාජය කරමින් රන් පදක්කම් දෙකක් ම දිනා ගැනීමට සමත් වූ අපූරු තරුණියක් ගැනයි මේ කතාව. ඇගේ දුනු විදීමේ හැකියාව ගැන කියනකොට ඔබට සිතෙයි ඇය අපූරුවට දෑත් හසුරුවන්න උපන් හපනියක් කියලා. ඇත්ත වශයෙන්ම නැහැ. දාසය හැවිරිදි ශීතල් දේවි මේ අපූරු දස්කම් දක්වන්නේ දෑත් අහිමිවයි. ඇය තමන්ගේ ඉරණමට , තමන් වෙනුවෙන් වෙනුවෙන් ලියැවුණු දෛවයට අභියෝග කරමින් ස්ව උත්සාහයෙන් මුළු ලෝකයක් ඉස්සරහ ඇගේ දස්කම් දක්වලා තියෙනවා. 

උපතේදීම ඇයට ෆොකොමේලියා සින්ඩ්‍රොම් වැළඳී ඇති බව හඳුනාගෙන ඇති අතර එය අත්පා විකෘති වී පවතින දුර්වල සංජානනීය ආබාධයකි. මුල දී ඇයට තමන්ගේ කාර්යයන් කරගැනීම ඉතාම අපහසු වී ඇති නමුත් පවුලේ අයගේ සහයෝගය ඇතිව ඇය සාමාන්‍ය පරිදි තමන්ගේ ජීවිතය ගත කර ගැනීමට පුරුදු වී තිබෙනවා. 

දුනු ශිල්පයට පිවිසීමට සිතූ ඇයට මුලදී එය අපහසු වී ඇති නමුත් අභිලාෂා චෞද්රි සහ කුල්දීප් වෙඩ්වා යන පුහුණුකරුවන් යටතේ පුහුණුව ලැබු ඇය අති සාර්ථක ලෙස ඇගේ ගමන පැමිණෙන්නට සමත් වී තියෙනවා. 

මේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දියාවේ සුප්‍රකට ව්‍යාපාරික ආනන්ද් මහින්ද්‍රා විසින් ඇයට ඇය කැමැති ඕනෑම වර්ගයක මෝටර් රථයක් තෝරා ගන්නටත් එය ඇයට ලබා දෙන්නටත් කටයුතු කරලා තියෙනවා. තමන්ට අහිමි දේවල් පිළිබඳව මැසිවිලි නගන්නේ නැතිව අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් කටයුතු කරන ඇය හැමදෙනාටම ” ගුරුවරියක් ” බව ඔහු තම ට්විටර් ගිණුමේ අනුගාමිකයන් සමඟ බෙදාගෙන තිබුණා.

මේ ජයග්‍රහණය ඇගේ දක්ෂතාවය සහ අධිෂ්ඨානය පිළිබඳව සාක්ෂියක් බව අගමැති මෝදි විසින් නිකුත් කළ ප්‍රකාශයක සඳහන්ව තියෙනවා.

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් දෙකක් දිනා ගත් පළමු ඉන්දීය ක්‍රීඩිකාව ලෙසත් ශීතල් ඉතිහාසයට එක් වෙනවා.

” මුලදි මට හරියට දුන්න උස්ස ගන්නවත් බැරි වුණා.නමුත් මාස කිහිපයක් පුහුණු වුණාට පස්සේ එය මට පහසු වුණා.මගේ දෙමව්පියන් මාව නිතරම විශ්වාස කලා.ගමේ යාළුවොත් මට සහයෝගය දුන්නා.මම අකමැතිම දේ තමයි මට අත් නෑ කියලා මිනිස්සු මගේ දිහා විශේෂයෙන් බලන එක. මම විශේෂයි කියලා මේ රන් පදක්කම් වලින් ඔප්පු වෙනවා . ඒ වගේම මේවා අපේ මුළු රටටම අයිති පදක්කම් ”  ශීතල් සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුණේ ඒ ආකාරයටයි.

කෙසේ වෙතත් තම දෛවයට අභියෝග කරමින් ලෝකයේම අවධානය දිනා ගෙන ඉතිහාසගත වන ජයග්‍රහණයක් ලබා ගත්  ශීතල් තමන්ට අහිමි දේවල් පිළිබඳව දුක් වෙමින් පසු බසින කාහටත් ඉතා හොඳ උදාහරණයක්.

Related Articles

Don't Miss


Latest Articles