හිජාබය සහ මහ්සා අමීනිගේ මරණයේ කතාව

2022 සැප්තැම්බර් මස දහසය වෙනිදා එක් අහිංසක තරුණ යුවතියක් පොලිස් අත්අඩංගුවේදී සිටියදීම ඉරානයේ රෝහලක් මත අවසන් සුසුම් හෙළා තිබුණා. 

ඊට ටික දිනකට පසු ටයිම්ස් චතුරස්‍රයේ දැන්වීම් පුවරු මත ඇගේ රුව ආලෝකමත් වුණා. පැරීසියේ සහ බර්ලීනයේ තාප්ප මත ඇගේ රුව සිතුවම් වුණා. බාසිලෝනා පාපන්දු කණ්ඩායමේ පුද්ගලික ජෙට් යානයේත් ටී ෂර්ට් වල ඉරාන ධජයේ කොළ, සුදු සහ රතු පැහැයන් අතර මේ සුන්දර යුවතියගේ සිනා මුසු මූණ සනිටුහන්ව තිබුණා. 

වියානාවේ සහ ලොස් ඇන්ජලීස් නුවර ඇගේ නමින් වීදී පවා වෙන්වුණා. 

ඉරානයෙන් පටන් ගෙන ලොව පුරා විහිදී ගිය විරෝධතා රැළි වල ඇගේ රුව සටහන් පුවරු ඔසවාගත් දහස් ගණනක් වූ ගැහැණුන්, පිරිමින් සහ කුඩා දරුවන්ගේ මුවින් පිටවූ පොදු වදන් පෙළක් තිබුණා. 

ඒ ඇගේ නම කියන්න, “මහ්සා අමීනී” “මහ්සා අමීනි” ලෙසයි ( say her name, “Mahsa Amini ! Mahsa Amini ! )

මහ්සා අමීනි කවුද?

මහ්සා අමීනි උපත ලැබුවේ ඉතාම හොඳින් තම ආගමට සහ සංස්කෘතියට ගරු කරන කුර්දි ජාතික පවුලකයි. සුළුතරයක් වූ තම ප්‍රජාව නිසා ඉදිරියේදී ඇතිවිය හැකි ගැටළු ගැන සිතා ඇගේ පියා ඇයට ලිපි ලේඛන වල සඳහන් කිරීමට “මහ්සා අමීන්” ලෙස එක් නමකුත් පවුලේ සාමාන්‍ය භාවිතය සඳහා “ජිනා අමීන්” ලෙස තවත් නමකුත් ලෙස නම් දෙකක් යෙදුවා.

පවුලේ අයට අනුව මහ්සා දේශපාලනය සහ අරගල කිරීම් පිළිබඳව ඉතාම උදාසීන හැඟීමක් තිබූ ඉතා සාමාන්‍ය යුවතියක් වුණා. කිසිවිටක ඒ පිළිබඳව ඇය අදහස් ප්‍රකාශ කරේ නෑ. 

ඇය ඉතා කරුණාවන්ත මෘදු හදවතක් තිබූ ආදරණීය යුවතියක්ව සිටියා.

ඇගේ පියා පැවසූයේ ඇගේ මෘදු කටහඩ එක්වරක් ඇසූ අයෙක්ට කිසිදාක එය අමතක කළ නොහැකි තරම් ආකර්ෂණීය බවයි. 

ඇය සහ ඇගේ පවුලේ සාමාජිකයන් අතර තිබුණේ ඉතාම දැඩි බැඳීමක්. 

“ඇයට ගොඩක් යහළුවෝ හිටියෙ නෑ. ඇය සමාජය එක්ක ගැටුනු ගැහැණු ළමයෙක් නෙමෙයි.” මහ්සාගෙ පියා තවදුරටත් ප්‍රකාශ කරා. 

ඇගේ හොඳම මිතුරිය ඇගේ මව වූ අතර ඔවුන් දෙදෙනා එක්ව විවිධ 

කෑම වර්ග අත්හදා බැලුවා. කඳු සහ විවිධ අලංකාර ප්‍රදේශ සොයමින් ඇවිද්දා, ගීත වලට සවන් දෙමින් සහ ගීත ගායනා කරමින් සතුටු වුණා. 

“මහ්සා හොඳ කුතුහලයක් තිබූ යුවතියක්. ඇය හරි කැමතියි ප්‍රශ්න අසමින් ඉගෙන ගන්න.  ඇගේ උසස් අධ්‍යාපනය සම්බන්ධව මහ්සා නිරන්තරව ප්‍රශ්න කරා කරුණු සොයා බලමින් තීරණ ගත්ත.” 

ෆින්ලන්ඩ් වල වාසය කළ මහ්සාගේ මාම කෙනෙක් ඇය ගැන එලෙස පැවසුවා.

ඇය කුඩා කාලයේදී ලොකු බෝනික්කන්ට ගොඩාක් ආස වුණා. වෙළඳපොලට යන සෑම අවස්ථාවකම ඇයට ලොකු බෝනික්කෙක් ඕන කළා. බෝනික්කො එකතුවක් ඇය ළඟ මේ වෙනකන්ම තිබුණා. 

ඇය දීප්තිමත් වර්ණ වලට සහ දීප්තිමත් වර්ණ වලින් මැසූ ඇඳුම් වලට දැඩි කැමැත්තක් දැක්වූ යුවතියක්ව සිටියා. 

ඇගේ විනෝදාංශය වුණේ පවුලේ කුඩා දරුවන්ව බලාගැනීමත් ඔවුන් සමඟ කාලය ගත කිරීමත් බවත් පවුලේ ඥාතීන් ප්‍රකාශ කරා. 

ඖෂධවේදය පිළිබඳ ඉගෙනීම සම්පූර්ණ කළ සිටි ඇය වෛද්‍යවරියක් වීමට සහ රේඩියෝ නිවේදිකාවක් වීමට සිහින දැක්ක.

අත්අඩංගුවට ගත් දිනයට සතියකට පසුව උසස් අධ්‍යාපන හැදෑරීම ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ඇය ඒ වනතෙක් තම පියාගේ ඇඳුම් සාප්පුවේ පියාට උදව් කරමින් සිටියා. 

අත්අඩංගුවට ගැනීම 

ඉරානයේ හිජාබ් නීතියට අනුව එරට කුඩා ළමයින් සහ කාන්තාවන් තමන්ගේ හිසකෙස් සහ ශරීරය ආවරණය වන පරිදි හිජාබය පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. 

මෙම නීතිය උල්ලංඝනය කරමින් අවීනීත ලෙස ඇඳුම් ඇඳ සිටියායි චෝදනා කරමින් වයඹ දිග ඉරානයේ කුර්දීස් පළාතේ කුඩා නගරයක් වන සගේස් වලදී මහ්සා අමීනි නම් විසි දෙහැවිරිදි යුවතිය ඉරානයේ සංස්කෘතික පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. 

ඒ 2022 සැප්තැම්බර් 13 වෙනිදායි.

“මගේ දුව බොහෝ වෙලාවට දිග කබායක් ඇඳගෙනයි ඉන්නෙ. ඔවුන් ඇයව අත් අඩංගුවට ගන්න වෙලාවෙදීත් ඇය ඒ ඇඳුම ඇඳගෙනයි හිටියෙ.” මහ්සාගෙ පියා ප්‍රකාශ කරා.

“මගේ පුතා, මහ්සාගෙ මල්ලි ඒ වෙලාවෙදි ඇය එක්කයි හිටියෙ. අක්කව අරන් යන්න එපා කියල ඔහු ඔවුන්ට බැගෑපත් වෙලා තිබුණා. නමුත් ඔවුන් ඔහු කීව දේ ඇහුවෙ නෑ. ඔහුටත් පහර දී ඔහුගේ ඇඳුම් ඉරා දමා තිබුණා.”

සිරගත කර සිටියදී ඇයට පහර දුන් බව ඇගේ සොයුරාට එහි සිටි අය සාක්ෂි දී ඇති බවත් අමීන් මහතා මාධ්‍යට පවසා සිටියා. 

කෙසේ වෙතත් ඇයට හදිසි හෘදයාබාධයක් ඇතිවූ බව පවසා සංස්කෘතික පොලීසිය විසින් ඇයව රෝහලට ඇතුළු කර තිබුණා. 

ඇයගේ සෞඛ්‍ය තත්වයේ තිබූ දුර්වලතා නිසා එසේ සිදුවූ බව ඉරාන රජය ප්‍රකාශ කලත් එය ඉතා සාවද්‍ය ප්‍රකාශයක් බව ඇගේ පවුලේ අය ප්‍රකාශ කර සිටි අතර මාධ්‍ය කළඹවමින් කනකින් සහ මුඛයට දමා තිබූ බටයකින් ගලා එන රුධිරය සහිතව කෝමා තත්වයට පත්ව රෝහල් සයනයක් මත වැතිර සිටින මහ්සාගේ ජායාරූපයක් මාධ්‍ය වෙත මුදා හරින්නත් පවුලේ අය කටයුතු කළා. 

මරණය 

පවුලේ සියල්ලන්ගේ ප්‍රාර්ථනා සුණු විසුණු කරමින් අත් අඩංගුවට ගැනීමෙන් දින තුනකට පසු කෝමා තත්වයේ සිටියදීම මහ්සා අමීන් එහෙමත් නැත්නම් ජිනා අමීන් මරණයට පත්වුණා. 

රෝහලෙන් බාධා

තම දියණියගේ මළසිරුරේ හිස සහ යටිපතුල් පමණක් නිවාරණය කර තිබූ බවත් යටිපතුල් වල තැලීම් සලකුණු තිබූ බවත් අමීන් මහතා පවසා සිටියේ ඉතා හැඟීම්බරවයි.

“මා කොතරම් අයඳ සිටියත් ඇගේ සිරුර ඔවුන් මට පෙන්වූයේ නෑ.”

තැලීම් සළකුණු පිළිබඳ තමා වෛද්‍යවරයාට ප්‍රකාශ කළ බවත් ඒ පිළිබඳව සොයා බලන්න ඔවුන් පොරොන්දු වූ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරා. 

නමුත් පසුව රෝහලෙන් ප්‍රකාශ කළේ එවැනි සැකසහිත සාක්ෂි කිසිවක් ඔවුන්ට හමූනොවූ බවයි. 

ලොව කැළඹෙයි 

මහ්සාගේ මේ සැකසහිත සහ දුක්බර මරණය පිළිබඳ කනවැකුණු සිය දහසක් වූ ඉරාන කාන්තාවන් ප්‍රසිද්ධිය සිය හිජාබ් ගලවා විසිකර ඉරා දමමින්, සිය කොණ්ඩා කපා දමමින් සිය විරෝධය ප්‍රකාශ කිරීම ආරම්භ කළා. 

පසුව එයට මුළු මහත් ඉරානයේම බොහෝ වැසියන් එක්වූ අතර ඇතිවූ විරෝධතා වලින් සියයකට වැඩි පිරිසක් මියගියා. දහසකට අධික පිරිසක් තුවාල ලැබූවා. දේපළ හානි රාශියක් වාර්තා වුණා. 

අසාධාරණය එරෙහි ඉරානයේ වැසියන්ගේ මේ සටනට සමස්ථ ලෝකයම එක් වුණා. 

“කාන්තාව, ජීවිතය, නිදහස” යන සටන් පාඨය සමඟ කොළ, සුදු සහ රතු යන වර්ණ වලට ඉහළින් සිතුවම් කළ දුඹුරු ඇස් ඇති කළු කොණ්ඩයක් තිබූ සුන්දර මහ්සාගෙ රුව සහිත පුවරු මුළු ලෝකයේම විවිධ නගරවල, වීදීවල දකින්න ලැබුණා. 

කෙසේ නමුත් මහ්සා මියගිය පසු ඉරාන සංස්කෘතික පොලීසිය වොදී වලින් අතුරුදහන් වුවත් විරෝධතා ආරම්භ වූ පසු නීති කඩකරන පුද්ගලයන් සහ කාන්තාවන් හැඳින ගැනීමට කැමරා සවිකල අතර විරෝධතා මර්දනයටත් ඔවුන් නැවත එක්වුණා. 

දින 80 ක් පුරා පැවති මෙම විරෝධතා වලින් පසුව සංස්කෘතික පොලීසිය අවලංගු කිරීමටත් කාන්තාවන් සම්බන්ධ මේ දැඩි නීති වෙනස් කිරීමටත් සලකා බැලීමට ඉරාන පාර්ලිමේන්තුව තීරණය කළා. 

බලවත්ම කාන්තාවන් සියදෙනා අතරට

මහ්සාගේ මරණය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රසිද්ධ ඉතිහාසඥ සහ සමාජ ක්‍රියාකාරිනියක වන නිනා අන්සාරි පැවසූයේ මහ්සා අමීනි දැන් ඉරානයේ පමණක් නොව මුළු ලෝකයේම නිදහස පිළිබඳ සංකේතය බවට පත්ව ඇති බවයි. 

කෙසේ නමුත් ඇගේ මරණයත් සමඟ නිහඬව සිටි හඬවල් අවදි කිරීම වෙනුවෙන් ෆෝබ්ස් සඟරාවේ ලෝකයේ බලවත්ම කාන්තාවන් සියදෙනා අතරට මහ්සා අමීන් නමත් එක්වුණා. 

මහ්සා විවිධ මත ගැටුම් වලට සහභාගී නොවී තමන්ගෙ පාඩුවේ සිටි ඉතා සාමාන්‍ය යුවතියක් වුණා. 

නමුත් අසාධාරණ නීති සහ අත්අඩංගුවට ගැනීමට විරුද්ධ වෙන්න, තමන්ගේ නිරවද්‍යතාව වෙනුවෙන් හඬ නගන්න ඇයට ඉඩක් ලැබුනේ නෑ. 

ඔබ ගැටීම් ඇති කර නොගත්තත් ඔබ අදහස් ප්‍රකාශ නොකළත් අසාධාරණ නීති සහ පාලකයන්ගේ ග්‍රහණයට ඔබ ඕනෑම මොහොතක ගොදුරක් විය හැකි බව මහ්සා අමීන් ලෝකයට පෙන්වා දුන්නා. 

ඉතිං ආදරණීය මහ්සා, මේ ඔබ පැතූ ජීවිතය නොවූවත්, පැතූ මරණය නොවූවත් සැනසීමම ලැබේවා ! 

Related Articles

Don't Miss


Latest Articles