එයත් ඔයාව Gas lighting කරනවද?

ප්‍රභාවී යාලුවෙලා ඉඳියේ පූජිත එක්ක.

සම්බන්ධෙට අවුරුදුම තුනක්. ප්‍රභාවිට පූජිතව හම්බුනේ කැම්පස් එකේදි. තමන්ට සීනියර් ඉයර් එකක ඉඳපු පූජිත තමයි ප්‍රභාවිව රැග් එකෙන් බේරගත්ත “අයියා”

හැබැයි ඒ බේරගැනිල්ල තවත් රැග් එකක ආරම්භය බව ප්‍රභාවී එතකොට නම් දැනගෙන හිටියේ නෑ.

හිත රිදිච්ච අවස්තා මොන තරම් තිබ්බත් ප්‍රභාවීගේ හිත හොඳටම රිදුණේ පූජිත අලුතෙන් ආව බැච් එකේ නංගි කෙනෙක් එක්ක මැසේජ් කරලා අහුවෙච්ච වෙලේ.

“ඔයාගේ හිතේ තියෙන්නේ සැකේ. මම ඒ ළමයා එක්ක කතා කරේ නිකන්”

“නිකන් නම් ඇයි ඔයා එයාට මැණික කියල කතා කරල තියෙන්නෙ”

“ඔයා මේ එක වචනයක් දැකල ඔහොම පිස්සු නටනවනම් කරුණාකරල ගිහින් බෙහෙත් ටිකක් ගන්න. මොලේ හොඳ නැද්ද කොහෙද

පිස්සු ගෑණියෙක් වගේ හැසිරෙන්න එපා. කොල්ලො එහෙම තමයි.කතා කරා කියල මම තමුසෙට වැරැද්දක් කරේ නෑනෙ. තමුසෙ මේ වගේ ගොඩේ ගෑණියෙක් කියල මගෙ යාලුවො දැනගත්තොත් උන් පස්ස පැත්තෙනුත් හිනාවෙයි”

මේ විදියට පූජිත ප්‍රභාවීට කෑගැහුව වගේම ඔයාගේ ජීවිතේ ඉඳපු කෙනෙක් හෝ ඉන්න කෙනෙක් ඔයාට කෑගහනවද?

එහෙම නැත්තම් ඔයා දන්න කෙනෙක්ට එහෙම වෙනවද? එහෙනම් මේ ලිපිය මම ලියන්නෙ ඔයා වෙනුවෙන් මයි.

මේ වගේ රෙඩ් ෆ්ලෑග්ස් වලට කියන හරිම වචනෙ තමයි Gas Lighting.

මානසිකව හෝ ශාරීරිකව අපයෝජනයට ලක්වන සම්බන්ධයක් ඇතුලෙ මේ Gas Lighting අපිට බොහොම සුලබව දකින්න ලැබෙනවා.

මෙතනදි ගොඩක් වෙලාවට වෙන්නෙ හිරිහැර කරන කෙනා අපයෝජනයට ලක්වන කෙනාව නොමග යවන්න උත්සාහ කරන එක. හරියට අර අතටම අහුවෙලත් පූජිත ප්‍රභාවිගෙ කතාව පිළිගන්නේ නැති අවස්තාව වගේ.

මේ ප්‍රශ්නෙ තියන බරපතල කම තමයි මේ විදියට දිගින් දිගටම අපයෝජනයට ලක් වන කෙනාගේ මනස අර අපයෝජකයා කියන දේ පිළිගන්න තැනක එන එක. තමන් අහන දකින දේවල් වල ඇත්ත පැත්ත ගැන අවිනිශ්චිතබවක් දැකීම.

“මට පිස්සු හැදීගෙන එනවද?” කියල ප්‍රභාවිට වගේම Gas Lighting වලට ලක්වන ඕනම කෙනෙක්ට හිතෙන්න පුලුවන්.

මේ තත්ත්වය ගොඩක් වෙලාවට අපිට හමුවෙන්නේ ආදර සම්බන්ධතාවලදි වුනාට යාලු මිතුරුකම් වගේම පවුල් ඇතුලෙත් මේ දේ දකින්න ලැබෙන අවස්තා අඩුවක් නැහැ.

කෙනෙක් ඔයාව Gas Lighting වලට ලක් කරනවා කියල දැනගන්නේ කොහොමද?

ඔයාට එයා පුදුම බොරු තමයි කියන්නේ

මේ Gas Lighting කරන මිනිස්සු පුදුමාකාර විදියට බොරු කියනව. ඒ බොරු වලින් තමන්ගේ සහකරුව පාලනය කරන්න උත්සාහ කරනවා.

“ඔයාට වැරදිලා. මම කවදාවත් ඒ ළමයට මැණික කිව්වෙ නෑ. ඔයා මේ එලොව සිහියෙන් මෙලොව අතගානවද කොහෙද?

“හරි එහෙනම් ආය ඒ මැසේජ් එක මට පෙන්නන්න?”

“මම ඒ ඔක්කොම ඩිලීට් කලා. නැත්තම් තමුසෙගෙ මල ඇඬියාව අහගෙන ඉන්න ඕනනෙ”

පූජිත ප්‍රභාවිව රවට්ටන්න හැදුවෙ අන්න ඒ වගේ.

ඔයාට ලැජ්ජ කරන්නමයි බලන්නේ

මේ වගේ Gas Lighting කරන මිනිස්සු ඔයාව පුදුමාකාර විදියට ලැජ්ජ කරන්න තමයි හදන්නේ.

පිස්සු ගෑණියෙක් වගේ හැසිරෙන්න එපා. කොල්ලො එහෙම තමයි.කතා කරා කියල මම තමුසෙට වැරැද්දක් කරේ නෑනෙ. තමුසෙ මේ වගේ ගොඩේ ගෑණියෙක් කියල මගෙ යාලුවො දැනගත්තොත් උන් පස්ස පැත්තෙනුත් හිනාවෙයි” මෙහෙම කියල ප්‍රභාත් උත්සාහ කරෙත් ප්‍රභාවිට ලැජ්ජ කරන්න. ඒ ලැජ්ජාව ඔස්සේ ප්‍රභාවිගෙ කට වහල තියන්න.

ඔය “තමුසෙට පිස්සු” කියන වචනෙ ගොඩක් වෙලාවට අපිට මේ Gas Lighting වල දකින්න ලැබෙනවා.

එයා ඔයාට එහෙම ලැජ්ජ කරන්නෙ ඔය දෙන්න තනියෙන් ඉද්දි විතරක්ම නෙවෙයි. නෑයො, යාලුවො,ඔෆිස් එකේ අය ඉස්සරහ වුණත් ඔයාට ලැජ්ජ කරන්න මෙයා දෙපාරක් හිතන්නෙ නෑ.

ඔයා අහන එකට නෙවෙයි උත්තර දෙන්නේ

Gas Lighting කරන්න හේතුවන ලොකුම දෙයක් තමයි තමන්ගෙ වරදක් වහගන්න, තමන් තමයි හරිම කියල ඔප්පු කරන්න දරන උත්සාහය.

ඉතින් සමහර වෙලාවට අනිත් පාර්ශ්වයේ වරදක් ඔයාට අහුවුන වෙලාවක ඔයා ඒ ගැන ඇහුවොත්, මෙලෝ දෙයක් දන්නේ නෑ, අනේ මට මතක නෑ වගේ න්‍යායකින් උත්තර දෙන්න වගේම, ඔයා අහන ප්‍රශ්නෙට තව ප්‍රශ්නෙකින්ම උත්තර දෙන්නත් මේ කට්ටිය උත්සාහ කරනවා.

පොඩ්ඩක් කල්පනා කරල බලන්නකො ප්‍රේම සම්බන්ධයක් ඇතුලෙදි හරි, යාලු මිත්‍ර සම්බන්ධයක් ඇතුලෙදි හරි මේ වගේ අවස්තාවලට ඔයා මූණ දිල තියෙනවද කියල?

ඔයාව කන්ට්‍රෝල් කරන්නමයි හදන්නේ

මේ වගේ Gas Lighting සම්බන්ධයක් ඇතුලේ එයා ඔයාව පුදුමාකාර විදියට කන්ට්‍රෝල් කරන්න හදනවා.

ඔයා හිතන පතන දේවල්, ඔයාගෙ සිතුවිලි පුදුම විදියට කන්ට්‍රෝල් කර කර එයා සම්පූර්ණයෙන්ම උත්සාහ දරන්නේ ඔයාව එයා යටතෙම තියාගන්න.

ඔයාගේ අදහස්, සිතුවිලි වල තැනක් දෙන්නෙ නැති කෙනෙක් එක්ක කාලාන්තරයක් එකට ඉඳීම ඔයාට ඔයාවම අවිශ්වාස කරන්න හේතුවක් වෙනවා.

ඔයාගෙ සිතුවිලි ඔයාව සැක කරන්න පටන් ගන්නවා. මේකෙ තියන බරපතල කම වෙන්නෙත් ඔයාට ඔයා ගැනම තියෙන විශ්වාසය බිඳෙන්න ඇති ඉඩකඩ වැඩි වීම.

හරියට දොස් කියනවා

“මම මොන දේ කිව්වත් ඔයා ඇයි හැම තිස්සෙම මගෙ වරදක්ම දකින්නේ”

ප්‍රහාවී එහෙම කිව්වෙ දරාගන්න බැරිම තැන.

“තමුසෙ ඕයි මම දාපු එක මැසේජ් එකක් අල්ලගෙන නහින්න හදනව. එහෙම ගෑණියෙක් ඉන්න ඉන්න පුලුවන් මොකාටද? අර තමුසෙ පව් නිසා ඉන්නව මිසක් වෙන එකෙක් නම් මෙලහට දාලා ගිහින් ඔලුව කන විදියට”

තමන් වැරදියි කියල හොඳටම දැනගෙනත් පූජිත ප්‍රභාවිට එහෙම දොස් කියන්නේත් මෙන්න මේ Gas Lighting හේතුව නිසා.

ඒ වගේ සම්බන්ධයක් ඇතුලෙ හරියට මේ දොස් පැවරීම අපිට දකින්න පුලුවන්. කොටින්ම එයා කරපු වරදක් ගැන ඔයා ඇහුව වුණත් එයා ඔයාට දොස් පවරන්න පටන් ගන්න එක මේ වගේ සම්බන්ධයක් ඇතුලෙ අපිට හරියට දැකගන්න පුලුවන්.

බොරු ආදරේ

වැරදි දාහක් කරපු කෙනෙක්, ඔයා ඒ ගැන ප්‍රශ්න කරාම “පැටියෝ, මැණික, මට සමාවෙන්න, මං වගේ පව්කාරයෙක්ට සමා වෙන්න රත්තරන්” වගේ වචන කියනවනම් ඔන්න හොඳට මතක තියාගන්න ඒකත් මේ Gas Lighting වලදි නිතරම දකින්න ලැබෙන එක ලක්ෂණයක්.

“මම ඔයාට හිතල මතල වරදක් කරන්නේ නෑ, ඔයා දන්නවනෙ මම ඔයාට කොච්චර ආදරේද කියලා”

මේ වගේ වචන ඉතින් ඔයාලට නිතරම අහන්න වෙන්නෙ වෙනවා. මේ වගේ සීනි තවරපු වචන ඇහෙද්දි ලස්සනයි වුනාට, අහුවෙන්න නම් එපා.

වෙච්ච දේ වෙනස් කරලා කියන කතා

මතකනේ පූජිත ප්‍රභාවිට කිව්වා “ඔයාට වැරදිලා. මම කවදාවත් ඒ ළමයට මැණික කිව්වෙ නෑ. ඔයා මේ එලොව සිහියෙන් මෙලොව අතගානවද කොහෙද?” කියල. එන්න ඒක තමයි මේ කියන්න හදන්නේ.

ඔය Gas Lighting කරන මිනිස්සු නිතරම උත්සාහ කරනවා වෙච්ච දේවල් වෙනස් කරලා, කතාව විකෘති කරලා තමන් හොඳ මනුස්සය වෙන්න.

“ඔයා ඒක වැරදියට තේරුම් ගත්තෙ, එදා ඇත්තටම වුනේ මේක” කියල හත් අවුරුද්දක් පරණ කතා ඇදගෙන ඔයාව වරදකාරය කරන්න හදනවනම් ඔන්න පොඩ්ඩක් ඇලර්ට් එකේ හිටියට කමක් නෑ.

ඉතින් මේ වගේ ලක්ෂන තියෙන Gas Lighting මිනිස්සු නිසා අපිට මූණ දෙන්න වෙන ප්‍රශ්න කීපයක්ම තියෙනව.

එතනින් වඩාත්ම බරපතලම දේ වෙන්නේ ඔයා ඔයාව සැක කරන්න පටන් ගන්න එක. ඔයා ඔයාවම Doubt කරන්න පටන් ගන්නවා ඇත්තටම මේ සම්බන්ධෙ ඇතුලෙදි වැරදි ඔයාද කියල ඉස්සර වෙන සිතුවිල්ලත් එක්ක.

තමන්ට තමන්ගෙ සිතුවිලිවල කන්ට්‍රෝල් එක නැතිවෙනව කියන්නෙ ඒක ලොකු ප්‍රශ්නයක්.

ඉතින් ඔයා කුමනාකාරයේ හෝ සම්බන්ධයක් ඇතුලෙ ඔයාවම ඔයා අවිශ්වාස කරනවනම්, ඔයාට ඔයා ගැන ඔයාගේ සිතුවිලි ගැන සැක හිතෙනවනම්, සම්බන්ධෙ ඇතුලෙති අනාරක්ෂිත බවක් දැනෙනවනම්, මනස කලබල නම් ඒ තමයි හොඳම අවස්තාව මේ සම්බන්ධෙ ඇත්තටම ඔයාට ඕනද කියලා ආයෙ වතාවක් හිතන්න.

ආදරේ කියන්නෙ නිදහසත් එක්ක බැඳෙන්න ඕන දෙයක්. ඔයාගේ සම්බන්ධය ඇතුලෙ ඔයාට මානසිකව සහ ශාරීරිකව නිදහස දැනෙන්නෙ නැත්තම්. ඔයා ඔයාවම සැක කරනවනම් හොඳින් මතක තියාගන්න, මේ ඔයා ඔයාටම උදව් කරගන්න ඕන මොහොතක්.

ඉතින් තමන් වෙනුවෙන් සටන් කරන්න.

තමන්ගෙ නිදහස වෙනුවෙන් සටන් කරන්න.

අමතක කරන්න එපා, ඒ සටනෙදි ඔයාගෙ පැත්තෙ හිටගන්න Smart Lady අපිත් ඉන්නවා.

Related Articles

Don't Miss


Latest Articles