ආරාධනා සේනාසිංහ උසාවියේ සාක්ෂි කූඩුවට නැග ගත්තේ සංසාරයක් තරම් සිතිවිලි හදවත තුළ සරැළි නගත්දී ය. වසර අට නවයක් අතීතයට හිත දිව ගොස් නතර වූයේ ඇය පෝරුවට නැග ගත් මොහොත මත ය. එදා තැබූ පියවරත්, අද තැබූ පියවරත් අතර අහසට පොළොව තරම් වෙනසක් තිබේ. සාක්ෂි කූඩුවේ වැට අල්වා ගත් ගමන් ඇය ලොකු සුසුමකින් පෙනහලු පිරෙන්නට හැරියා ය.
විත්තිකරු වශයෙන් කාශ්‍යප ගජධීර සිය ප්‍රියම්බිකාව වන සෞභාග්‍යා සමගින් අසුන් ගත වී ඇදෙස බලා සිටියේ ය. සේපාලිකා මලක් තරම් මෘදු මොළොක් හා සියුමැළි ස්ත්‍රියක වූ ආරාධනා ට මේ සා විසල් පියවරක් තබනට තරම් චිත්ත ධෛර්යයක් වූවායි තවමත් කාශ්‍යප ට සිතා ගත නො හැකි ය. ඔහු ගේ පාදපරිචාරිකාව ලෙස එක යහනක් බෙදා ගත් නව වසරක් වූ කාලය පුරාවට ඔහු ඇගෙන් එහෙම යකඩ හිතක් ඇති ගැහැනියක දැක නැත.
සෞභාග්‍යා ගේ මුවග ජයග්‍රාහී මඳහසක් විය. කාශ්‍යප මැදින් තබා ගෙන ආරාධනා සමග කළ සටනකින් ඇයට ජයග්‍රහණය ලැබුණා වාගේ බොළඳ සතුටකින් ඇය වාං දැමුවා ය.
“ද්වේශ සහගත ලෙස විත්තිකාර සැමියා විසින් අත් හැර දැමීම නිසා අගතියට පත් වී ඔබ මේ පැමිණිල්ල ගොනු කරනවා”
නීතීඥවරිය ගේ හඬින් ආරාධනා තිගැස්සී ගියා ය.
“එසේ ය ස්වාමීනී”
ඇය යන්තම් තොල් මතුලා ය. එහඬ විනිශ්චයකාරතුමාට වුව ඇසුණේ දැයි සැක සහිත ය. උගුර කට වියළී ගොස් ඇති බවක් ආරාධනා ට දැනිණ.
“ස්වාමීනී ගරු අධිකරණයේ පිහිට පතන පැමිණිලිකාරිය වයස අවුරුදු හතක සහ මාස හතක දියණියකගේ සහ පුතෙකුගේ මවක්. අකාරුණික විදිහට ඔවුන් අත් හරිමින් සැමියා වෙනත් ස්ත්‍රියක් සමග සම්බන්ධයක් ඇති කර ගෙන ඇය සමග ජීවත් වෙනවා…”
ආරාධනා ට දැනුණේ මහ සෙනගක් ඉදිරියේ නග්න වූවා වන් අපහසුවකි. කන් දෙකෙන් හෝ ගා දුමක් පිට වෙනවා වාගේ දැනෙන්නට විය. ඇය සාක්ෂි කූඩුවේ වැට තද කොට අල්වා ගත්තා ය. නීතීඥවරිය ඇය වෙනුවෙන් තව තව බොහෝ දේ කියනු ඇසුණේ ය. උසාවිය නිහඬව ඒ සියල්ලට කන් දී ගෙන සිටියේ ය. නමුත් ආරාධනා ට නම් කිසිවක් ම ඇහුණේ නැත. කන් දෙක ඇතුළේ හෝ හෝ ඝෝෂාව පිරී තිබිණ. කුඩා සන්දියේ දී හක් ගෙඩියක් කන ළඟ තියා ගත් විට ඇසෙනා හෝ හඬ ඇයට සිහි විය. ඒ මුහුදේ හඬ යයි කවුදෝ කීවා මතක තිබේ. මේ වෙලාවේ සවන් පිරී තිබුණේ අන්න ඒ හෝ හඬිනි.
“පැමිණිල්ල හා විත්තිය යන දෙපාර්ශවයම එකඟ නම් පවුල් උපදේශනයට යොමු වෙලා ගැටළු නිරාකරණය කර ගෙන නැවත විවාහ ජීවිතය ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ සඳහා එකඟයිද…”
ආරාධනා අතීතයෙන් වර්තමානයට කඩා ගෙන වැටුණා ය.
“නැහැ ස්වාමීනී…එහෙම අවශ්‍ය නැහැ”
කාශ්‍යප ගේ නීතීඥවරයා ද විරෝධයක් පෙන්වූයේ නැත. වන්දි හා දරුවන්ගේ නඩත්තු ගැන උසාවියේ අවධානය යොමු වූයේ ඉන් පසුව ය. ආරාධනා වෙනුවෙන් වන්දි ඉල්ලන්නට යනවා නම් නඩුව දිග්ගැසෙනා බව කල් ඇතිව ම නීතීඥවරිය ඇය දැනුවත් කොට තිබිණ. ආරාධනා මුව කොනකට නගා ගත් සිනහවකින් ඍජු පිළිතුරක් දුන්නා ය.
“මගෙ ජීවිතේට වෙච්ච හානියට මේ ආත්මෙම ගෙව්වත් එයාට මං වෙනුවෙන් වන්දි ගෙවන්න බැරි වෙයි ස්වාමීනි. මං එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. දරුවන් වෙනුවෙන් එයා කැමති දෙයක් කරපුදෙන්”
මේ ගැහැනිය මේ තරම් අහංකාර වූයේ කොහොම දැයි කාශ්‍යප ට සිතිණි. ඔහු සිටියේ කේන්තියෙන් මූණ කළු කොට ගෙන ය. මුලින් ම ඇය ප්‍රතික්ෂේප කළේ ඔහු ය. ඇගේ මූණට ම ඇය හැර යා යුතු බව කීවේ ඔහු ය. නමුත් ඇය දැන් ඔහු ව ප්‍රතික්ෂේප කරන්නේ ඊට වඩා දරුනු රිදුම් ඇති කරවන සියුම් ආකාරයකට ය. දරුවන් වෙනුවෙන් අයිතිය ඉල්ලනා බවට එදා සැනසුම් පායට විත් කාශ්‍යප පාරම් බා ගියාට ඔහු ට එහෙම කළ හැකි කිසිදු වාතාවරණයක් වූයේ නැත.
“අපිට බැරිද බිඟුව හදන්න…”
කියා එදා බීමතින් ගෙදර ගොස් කාශ්‍යප සෞභාග්‍යා විමසුවේ ය. ඇය ඔහු ගේ ඇඟට කඩා ගෙන පැන්නා ය.
“පිස්සුද…මං මොකටද එයාගෙ ළමයි හදන්නෙ…ඩොක්ටර් කිව්වෙ බබෙක් හැදෙන්න පුළුවන් පර්සන්ටේජ් එක අඩුයි කියල මිසක් මට බබාල හදන්න බෑ කියල නෙවෙයිනෙ”
කාශ්‍යප සමච්චල් සිනහවක් නගා ගත්තේ ය.
“කලින් කසාදෙත් ඔයාට ළමයි නෑනෙ” කියා කියන්නට ඔහු ගේ මුව නළියෑවත් ඔහු එහෙම නො කියා හිටියේ ය.
“ඔයාට ළමයෙක් ඕනම නං අපි පහු වෙලා අරං හදාගමු. හැබැයි ඔය ආරාධනාගෙ ළමයිනං මට එපා”
දරුවන්ට ආදරය කරන්නේත් දරුවන් ගේ අගය දන්නේත් අම්මා කෙනෙකු වීමට පින් ඇති ගැහැනියක් ම ය. සෞභාග්‍යා සමග කෙතරම් වාද විවාද කළ ද ඇය සිය මතය වෙනස් නොකරනා මුරණ්ඩු එකියක බව දැන් කාශ්‍යප හැඳින ගෙන සිටී. ඒ නිසා බිඟුනි ගේ භාරකාරත්වය තමන් වෙත පවරා ගැනීමේ අදහස හකුළා ගන්නට ඔහු ට සිදු විය.
මේ තත්වයන් මත නීත්‍යාකුල වෙන්වීම සඳහා අනුමැතිය ලැබිණ. නමුත් එය බල ගැන්වෙනුයේ තවත් මාස තුනකට පස්සේ ය. ඒ මාස තුන ඇතුළත, අවශ්‍ය නම් දෙදෙනාට යළි එක් වීමේ අවසරය හිමි වේ. මසකට වතාවක් පියාට දරුවන් පෙන්වීමේ අවසරය ලබා දෙන්නට උසාවිය තීන්දු කළේ ය. ආරාධනා හිස් වූ සිතක් දරා ගෙන සාක්ෂි කූඩුවෙන් බිමට බැස්සා ය.
ඒ හිස් වීමට ඇය රිසි වූවා ය. හිස් බව කියන්නේ ම පිරුණු බවකි. හිස් කාමරයක් වායු අංශු වලින් පිරී පවතී. හිස් හිතක් ද එහෙම ය. එය සැනසීමෙන් පිරී තිබේ. එසේ ම හිස් අවකාශයක් ඕනෑ ම මොහොතක ඕනෑ ම දෙයකින් පිරවිය හැක. ආයේ නම් සිය හිත නිස්කාරණා වලින් පිරෙන්නට හරින්නේ නැතැයි ආරාධනා ඒ මොහොතක කාලයේ දී තීරණය කළා ය. උසාවි භූමියෙන් පිටතට එත්දී ඇගේ මුවග මඳ සිනහවක් විය. නමුත් ඇස් වල හිස් බවක් විය. හැම තැන ම හිස් බව! හිස්! හිස්! හිස්!
උසාවියෙන් පිටතට ආ ගමන් රාජිකා මැණිකේ කඳුළු පිරි නෙතින් කාශ්‍යප වෙත ගියා ය. ඇගේ හිතේ දහසකුත් එකක් කල්පනා පිරී පැවතිණ. නමුත් ඒ එකක් හෝ නිරවුල් ව පිටතට ගෙන කතා කර ගන්නට ඕ අසමත් වූවා ය.
“අනේ ඇයි ලොකු පුතා අපිට මෙහෙම වුණේ…මොන අපලයක් හින්දද අපිට මෙහෙම කරන්න ඔයාට හිත දුන්නෙ…”
කඳුළක් පිසිමින් ඇය එපමණක් අසා ගත්තා ය. හඬන්නට ඕනකම කාශ්‍යප ට ද ලොකුවට තිබිණි. නමුත් එහෙම කිරීමේ අවසරයක් නැතිව ඔහු කඳුළු ද හදවත ද හිර කර ගෙන සිටියේ ය. සිය හදවතට අවංකව ජීවත් විය යුතු යයි ඔහු ඉගෙන ගෙන තිබේ. සෞභාග්‍යා ව තෝරා ගනිත්දී ඔහු ප්‍රධාන කොට සිතුවේ ඒ ගැන ය. ජීවිතයේ ඉතිරි ටික හිතට එකඟ ආදරයත් සමග ජීවත් වෙනවා කියා ය. අනිත් අතට එතුවක් කිසි දාක සැබෑ ලෙස ආදරය නොකළ ගැහැනියට නිදහස දිය යුතුය කියා ය. තව දුරටත් ඇය නො රැවටිය යුතුය කියා ය. නමුත් ඉතා කෙටි කාලයක් තුළ සියල්ල අසාර්ථක වූ බව දැන් පිළිගත යුතු ව තිබේ. ඒ වරද හදා ගන්නට ඔහු ට කිසිවෙකු ඉඩ දුන්නේ නැත. ආරාධනා ද දෙමාපියන් ද සෞභාග්‍යා ද ඔහු ගේ අරමුණ වටහා ගත්තේ නැතැයි කාශ්‍යප ට සිතේ. නමුත් හඬන්නට අවසර ඇත්තේ නැත. පිරිමියෙකු වී උපන් නිසා, ළමා වියේ සිට ම ආදර්ශ චරිතයක් ලෙස අහංකාර ජීවිතයකට පණ පෙවූ නිසා, ඉරණම කවරක් පැහැර ගත්ත ද ලෝකයට පේන්නට හැඬිය හැකි නොවේ. “අම්මලට මේ ප්‍රශ්නෙ මීට වැඩිය හොඳ විදිහකට විසඳන්න ඕන වුණේ නෑනෙ” යනුවෙන් නෝක්කාඩුවක් කියන්නට ඕනෑ වී ද, සෞභාග්‍යා ළඟ සිටින නිසා ඔහු ට එසේ හෝ හිත නිදහස් කර ගන්නට අවස්ථාවක් ලැබුණේ නැත.
සෞභාග්‍යා සමච්චල් අඩ සිනහවකින් ඉවත බලා සිටියා ය. රාජිකා විසින් අසනා ලද “අපිට මෙහෙම වුණේ ඇයි” කියනා ප්රශ්නය ඇගේ සිත තුළ අවඥාවට ලක් විය.
“ඔයා ඩිවෝස් වුණා කියල ඒගොල්ලන්ට මොනා වෙනවද අනේ…ඔයා කාව මැරි කරල හිටියත් ඒගොල්ලංගෙ පුතානෙ. මාර කතාවක්නෙ ඒක. එයා කතා කළේ හරියට ආරාධනා දුව ඔයා පුතා නෙවෙයි වගේනෙ”
රියට ගොඩ වූ ගමන් ඇය ආඩපාලි කියවන්නට ගත්තා ය. කාශ්‍යප ගේ මව ඇය වෙනුවෙන් එක ළෙංගතු බැල්මක් හෝ සිනහ පොදක් තිළිණ නො කිරීම මත සෞභාග්‍යා සිය නැන්දම්මා ගැන ප්‍රථම දෙවන හමු වීම් වල සිට ම නො රිස්සුම් වෙමින් සිටියා ය.
“ඒගොල්ලන්ට වැඩක් නෑනෙ ඔයා කාව තෝර ගත්තත්. ඒ තෝර ගන්න කෙනාව ලේලි හැටියට බාර ගන්න වෙනව. කැමති වුණත් නැතත්. බලමුකො…කවද හරි එයිනෙ මං ළඟට…”
ඇය අංශුව අංශුව වෛරය ද ද්වේශය ද එකතු කළා ය. කාශ්‍යප වචනයක් හෝ කතා නො කොට සිටියේ ඇගේ කන්දොස්කිරියාව තරම් හිතට වදයක් වන යමක් දැන් ඔහු ට වෙන නැති බැවිනි.
ආරාධනා යළි සැනසුම් පායට ගොඩ වූයේ මෑත අතීතයෙන් හිස් කරනු ලැබූ අලුත් ආරාධනා කෙනෙකු ලෙස ය. කාශ්‍යප කියන්නේ කිසි දාක සිය ජීවිතය තුළ නො සිටි කෙනෙකු සේ ඔහු ගැන මතක අමතක කොට දමන්නට ඇයට උවමනා ය. දරු දෙදෙනා නිසාවෙන් එහෙම කළ නො හැකි ය. නමුත් ඔහු ගැන මතක සිතට නැගෙනා එක වළකා ලිය හැකි ය. මේ හිස් බව ඒ මතක වලින් යළි නො පිරෙන්නට වග බලා ගත යුතු ය.
“ඒකත් එහෙම වුණා…දැන් ඉතින් කොහොමත් මාස තුනකදි දික්කසාදෙ ලැබෙනවනෙ. දැං මෙතනින් පස්සෙ මොකද්ද සිද්ද වෙන්නෙ…”
යළි සැනසුම් පායට ඇවිත් තේ එකක් තොල ගාන අතරේ ගජධීර කල්පනා බර හඬකින් විමසී ය. කාලය ගෙවී යයි. කාශ්‍යප ගෙදරින් නික්ම ගොස් මාස ගණනක් ගත වී තිබේ. සුළි කුණාටුව හමා ගොස් අවසන් ය. දික්කසාද තීන්දුව සම්පූර්ණ වශයෙන් ලැබුණාට පස්සේ එය මුළුමනින් අතීතයට එක් වූ සිදුවීමක් බවට පත් වේ. එතැන් සිට නැවතත් අනාගතය කරා ගමන් ආරම්භ කළ යුතු ය.
“මෙතනිං පස්සෙ තමයි තාත්තෙ හොඳම හරිය සිද්ද වෙන්න තියෙන්නෙ”
කාවින්දි සිය තේ එක ද ගෙන ආරාධනා හා තාරා හිඳ උන් දිගු පඩියෙහි ඔවුන් අතරින් හිඳ ගත්තා ය. ඇය පවසන්නට යන්නේ කුමක් ගැන ද යන සැකය තාරා තුළ වහා ඇති විය. ඇය කවීශ්වර දෙස බැලුවේත් ඔහු ඇදෙස බැලුවේත් එකටම ය.
“තව මාස තුනකට පස්සෙ තාත්තගෙ ලොකු පුතා ආයෙ වෙඩින් එකක් අරං එයාගෙ සෞභාග්‍යය නිල වශයෙන් තහවුරු කර ගනී. හැබැයි එයාට දිනුම දීල අපිට නිකං බලං ඉන්න බෑ. අපිත් ගන්නෝන ග්‍රෑන්ඩ් වෙඩින් එකක්”
“අපි කාගෙ වෙඩින් එකක් ගන්නද චූටි දුව…”
“ඇයි…රාධා මෙහෙම හැමදාම තනියම ඉන්නද…”
කවීශ්වර ගේ හිතේ මැද ම අකුණක් පුපුරා ගියේ ය.
“මෙහ්…”
ආරාධනා සිය විරෝධය ප්‍රකාශ කරන්නට හදත්දී ම කාවින්දි ඇගේ මුව අතින් වසමින් දිගට ම සිය අදහස ඉදිරිපත් කළා ය.
“එක හීනෙං එළි වෙන්නෑනෙ. කොකාට චාන්ස් එකයිනං තිත්තයට දෙකයි කියනවනෙ. හැම දේම වෙන්නෙ හොඳට කියලත් කියනවනෙ. ලොකු අයිය මේ විදිහට රාධාගෙ ජීවිතෙන් ඈත් වුණේ ඊට වඩා හොඳ දෙයක් වෙන්න තියන නිසා වෙන්නැති කියලයි මන්නං හිතන්නෙ”
මේ අව්අස්සේ කාවින්දි ද ඇයට ඉව වැටුණු කවීශ්වර ගැන යමක් පවසන්නට යනවා ද යන සැකය තාරා තුළ ඇති විය. එවැන්නක් සිදු වුවහොත් නම් ආරාධනා තව මොහොතක් හෝ මේ වහළ යට නො රැඳෙනු ඇත. ඇය තවමත් සිටින්නේ අලුත් ජීවිතයක් ගැන අලුත් බලාපොරොත්තුවක් හිතට ඇතුළු කර ගත හැකි මානසිකත්වයක නොවේ. ශක්තිමත් යයි පෙන්වන තරමට ම ඇය සියුමැළි ය.
“අ…කාවි…කාශ්‍යප බැන්දයි කියල අපිත් ඒකම කරන්න කලබල වෙන්න ඕන නෑ බං”
තාරා එවැන්නක් කීවේ කවීශ්වර ගැන සඳහනක් මේ වෙලාවේ සිදු වෙන එක කෙසේ හෝ වළකා ගන්නට ය.
“කලබල වෙන්න ඕන නෑ. නිවීසැනසිල්ලෙ තමයි කොයි දේත් කරන්න ඕනෙ. හැබැයි මං කැමතියි රාධා සැනසුම් පායෙ හැමදාම ඉන්න විදිහට දෙයක් සිද්ද වෙනවනං”
තාරා හිසෙහි අත ගසා ගත්තා ය. ආරාධනා දෑස් විසල් කර ගෙන කාවින්දි දෙස බැලුවා ය. කවීශ්වර අතැඟිලි වලින් නිකට පිරිමදිමින් බිම බලා ගත්තේ ය. එක මොහොතකට සැනසුම් පාය නිසල විය.