අහිමි සිහින -172

තමන්ගේ අතිශය සමීපතමයෙකු රෝගීවී සිටින අවස්ථාවක වෛද්‍ය වරයෙකු ඒ ගැන ලබා දෙන නිවැරදි ආරංචිය තරම් වෙන කිසිවක් ම වටින්නේ නැහැ. ඒ මොහොතේ මට ලැබුණේ එවැනි නිවැරදි සහතිකයක්.

“අපි මේ ගිලන් රථයට අපේ ඉන්න හොඳම වෛද්‍ය කණ්ඩායමක් සම්බන්ධ කරනවා.ඒ වගේම සුධාරකට අවශ්‍ය සියලු වෛද්‍ය පහසුකම් වැඩිපුරත් අපි ගිලන් රථය ඇතුළේ තියන්න තීරණය කළා.ඒ නිසා මම හිතනවා අනුරාධාට කිසිම බයක් ඇති කරගන්න උවමනා වෙන එකක් නැහැ.”

එය මට ඉතා සැනසුමක් ගෙන දුන් ආරංචියක් වුණු අතර ඔහු ගිය පසු කොළඹ යන්නෙ කෙලෙසදැයි මම කල්පනා කරන්නට පටන් ගත්තා.නමුත් අර සර්පයන් සමග තනිව රැඳෙන්නට ඉඩ දෙන්නට තරම් මගේ දෛවය මට අකාරුණික වූයේ නැහැ.ගිලන් රථය සමඟම පිටත් නොවුණු ඔවුන් රාජකාරි ස්ථානයට සම්බන්ධ වාහන ලබා ගනිමින් බඩු පටවමින් නොයෙකුත් විකාර කළ අන්දමත් මගේ මතකයෙන් ගිලිහී යන්නේ නැහැ.රෝගියා පිටත් කර යවා පහුවදා මහ දවල් වන තුරු ද ඔවුන් නැවත කොළඹට නොපැමිණි කතාව මට අදටත් හාස්‍යජනක මතකයක්. 

මට ඔවුන්ගේ විකාර සඳහා හවුල් වීමේ මානසිකත්වයක් වූයේ නැහැ.මට අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් කොළඹට පැමිණීමයි.ඒ නිසා මම සුදාරකගේ  ඉහළ නිලධාරියෙකුට කතා කර කොළඹ පැමිණීම සම්බන්ධයෙන් උදව් ලබා ගන්නට කටයුතු කළා.මම පෞද්ගලික රියදුරෙකු සොයාගන්නා තුරු රාජකාරියට සම්බන්ධ රියැදුරෙක් ලබා දෙන්නැයි මම ඔහුගෙන් ඉල්ලා සිටියා.දරක පාවිච්චි කරන මෝටර් රථය මම මිලට ගත් එකක් වූ නිසා එය මගේ මෝටර් රථය වුණා.ඒ නිසා වාහනයක් සම්බන්ධයෙන් මට ගැටලුවක් තිබුණේ නැහැ.මේ ඇඳිරි නීතිය පවතින කාලය නිසා රාජකාරියට සම්බන්ධ රියැදුරකු මා සමග සිටීම මට රෝහල් කරා යාමට පහසුවක් බව මම දැන සිටියා.

ඒ රියදුරා සහ අවශ්‍ය පහසුකම් රාත්‍රිය වන විට මට ලැබෙන බව මා දැනුවත් කෙරුණු අතර මට ඒ මොහොතේ දැනුණේ විශාල මානසික සහනයක්.අවශ්‍ය පසුකම් ලැබී කොළඹ යන්නට හැකි වෙනතුරු මම අනුරාධපුරය පුරා ඇවිදිමින් සුධාරකට සෙත් පතන පූජා සියල්ල සිදු කළා.මේ ඉතා තීරණාත්මක මොහොතක්.මගේ සුදාරක ට ජීවිතය ලබා ලබාදෙන්නැයි නැවත නැවතත් ඉල්ලමින් මා භාරහාර හැකි සෑම තැනටම නැවතත් භාර වූවා.රට වෙනුවෙන් විශාල සේවාවක් කරමින් රටේ පැවති විශාල ප්‍රශ්නයක් විසඳන්නට කැපවූ මිනිසෙකු දෙස දෙවියන් නොබලන්නට හේතුවක් නැති බව මා තරයේම විශ්වාස කළා.සමහර අවස්ථාවල තදබල විශ්වාසයන් පවා අපට දැඩි මානසික සහනයක් රැගෙන එනවා.මා තරමටම ගැහැණුන් වූ ඔබ දන්නා බවත් මම දන්නවා.

මම එදා රාත්‍රියේම පිටත් වී පාන්දර වෙද්දී අපේ නිවසට පැමිණියා.ඒ සුදාරක අසනීප වී මාසයකටත් වැඩි කාලයකට පසුවයි.ඒ රාත්‍රිය නිවස බලාගන්නා ආරක්ෂක නිලධාරියා නිවසේ රැඳී සිටින අවසාන රාත්‍රිය බවට පත්වී තිබුණා.ඔහු ද පසුවදා රාජකාරි ස්ථානයට වාර්තා කළ යුතුයි.නමුත් මා යද්දී ඔහු නිවසේ රැඳී සිටියේ නැහැ.මුළු නිවසම කළුවරේ ගිලී තිබුණා.

යතුරු කැරැල්ල ඇති තැන මෙතන බව එකිනෙකා පවසමින් සිටියා.සැබෑවටම යතුරු ඇත්තේ කාගේ ලඟදැයි වත් මම දැන සිටියේ නැහැ.නමුත් යතුරු ගැන මට ගැටළුවක් වූයේ නැහැ.ඒ මා ළඟ නිවසේ ප්‍රධාන යතුරු කැරැල්ල තිබීම නිසා.යතුරු කැරැල්ල වෙන කෙනෙකු ළඟ තිබීම ගැන කිසිම පැමිණිල්ලක් නොනඟා මම නිවසට පැමිණියා.

නිවසේ ගේට්ටුවෙ වූ ඉබ්බා විවෘත කරන්නට මම උත්සාහ කලත් එය සාර්ථක වූයේ නැහැ.ඉබ්බා මාරු කර ඇති බව මට වැටහුණා.යම් දෙයක් සිදුවෙමින් පවතින බව මට තේරුම් ගියේ අන්න ඒ මොහොතේ දී.නමුත් මේ වෙන කාගෙවත් නිවසක් නොවේ.මගේ නිවසට ඇතුළු විය නොහැකි නම් තාප්පෙන් පැනීමට වුවත් මට හැකියාව තිබෙනවා.මම තාප්පයෙන් පැන ඇතුළු වී ඇතුළතින් විවෘත කළ හැකි කුඩා ගැටුමක් තිබූ අතර එය විවෘත කළ මම ඉන් ගෙවත්ත තුළට පිවිසුණා.මේ මොහොතේ පවා මිනිසුන්ට ක්‍රියා කළ හැකි ඉතා නීච අන්දම ගැන මට සැකයක් නොවූ අතර මේ ඉබ්බා වෙනස් වී ඇත්තේ මා නැති අතර යතුරක් නැති වීමෙන් බව මම සිතුවා.

මම සැකයකින් තොරව මම මගේ නිවසට පිවිසෙන්නට උත්සාහ කරද්දී ප්‍රධාන දොරටුව විවෘත කරන්නට හැකියාව නැහැ.තමන්ගේ නිවසේ දොර තමන්ට වැසී යන බවට පවතින සාහිත්‍යයම යෙදීම ගැන සැබෑවටම අවබෝධ වූ තත්පර කිහිපය ගෙවී යමින් තිබුණා.ඒ වෙද්දි නිවසින් පිටත විදුලි පහන් හෝ දල්වා තිබුණේ නැහැ.ජංගම දුරකථනයේ විදුලි පන්දම මගින් යතුරු කට පරික්ෂා කිරීමේදී එයද වෙනස් කර ඇති බව මට තේරුම් ගියා.මා ගිනිගෙන දැවෙන්නට ඇති.නමුත් කෝපය හෝ කම්පා වීම මේ ගැටලුව විසඳා ගන්නේ නැහැ.නිවසේ පිටුපසින් ඇතුළු වීමට ඇති දොරවල් පවා වෙනස් කර තිබුණා.දැන් මට නිවසට පිවිසෙන්නට කිසිම හැකියාවක් නෑ

පවතින සෑම දොරකම යතුරු සහිත යතුරු කැරැල්ල තිබුණේ මා අත බව ඔවුන් දන්නේ නැහැ.මම ඔබට දවසක් පැවසූ පරිදි පැරණි වලව්වක යතුරු කැරැල්ලක් මෙන් විශාල යතුරු කැරැල්ලක් මා සතු වුණා.එය ඔවුන් දැන සිටියානම් යතුරු මාරු කිරීම වෙනුවට එය සොරකම් කරන්නට පවා ඉඩ තිබුණා.එකිනෙක පරීක්ෂා කිරීමේ දී ඔවුන් අගුල් මාරු කර නොතිබූ කුඩා දොරකින් නිවසට ඇතුළු විය හැකි බව මම සොයා ගත්තා. 

මම මගේ නිවසට කෙසේ හෝ ඇතුළු වුණා.නමුත් ප්‍රශ්නය විසඳෙන්නේ නැති බව මා හොඳින්ම දැන සිටියා.දැන් සටන ඉතාම ප්‍රබල වෙමින් පවතින බව පැහැදිලි සත්‍යයක්.අවසානය තෙක්ම සටන් කරන්නට මම සිත එකඟ කර ගත්තා.  

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles