පෙම්වතියගේ දක්ෂතා ඉවසාගත නොහැකිව ඇයව පෙලූ පෙම්වතෙක්

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

“කවදහරි කසාද බඳින්න ඕන පාරෙ එක්කන් යන්න ඕන කෙල්ලෙක්ව”

නාරද එහෙම කිව්වෙ කාවින්දි දිහා මහ ඔලොක්කුවට වගේ බලාගෙන. තමන්ගෙ ඔලුවෙ ඉඳල දෙපතුල වෙනකම්ම ඔච්චමට ඇස් යවමු නාරදගෙ බැල්මෙ තිබුනෙ “තමුසෙගෙ හැටි බලනවකො” කියන කතාව බව කාවින්දිට තේරුම් ගන්න බැරි වුනේ නෑ.

ඒත් මේ ඉන්නෙ නිකන්ම මිනිහෙක් නෙවෙයි. තමන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ්. ඉතින් ඒ වචන, ඒ බැල්ම නිකන්ම අහක දාන්න පුලුවන්ද?

“ඇයි එහෙම කිව්වෙ?”

“තමුසෙගෙ හැටි බලනවකො, ලැජ්ජයි ඕයි පාරෙ බැහැල යන්න, මහ ගොඩයෙක් වගේනේ අඳින්නේ”

“ඔයා ඉස්සර කැමතියි කිව්ව නිසා තමයි මම මේ දිග ගවුම් අඳින්න ගත්තේ”

“අපෝයි ඔව් තමුසෙ මේ මං කියන දේම කරන ගෑණිනෙ.අනේ යනව ඕයි යන්න”

“ඇයි ඔයා එහෙම කතාකරන්නේ? හරියට මම ඔයාට වරදක් කරනව වගේනේ”

“තමුසෙට ඕන මාව පරද්දල ඉස්සරහට යන්න ලොක්කි වගේ. ඒකනෙ මම මාස්ටර්ස් කරල ඉවර වෙනකම් ඉවසන්නෙ නැතුව තමුසෙ මහ ලොකුවට උඩ පැනගෙන ගිහින් සී.අයි.එම් එකට රෙජිස්ටර් උනේ”

නාරද වචන එලියට ඇදල දැම්මෙ මහ හිතක් පපුවක් නැති තාලෙට කියල හිතුනත් කාවින්දිට මුකුත් කියාගන්න බැරි විදියට කට ගොලු වෙලා තිබුනා. ඒත් ඇස්වලින් කඳුලු බිංදු කම්මුල් තෙත් කරගෙන ගිහින් බිමට වැටිල හැංගුණා. හරියට මීට අවුරුදු කීපෙකට කලින් තිබිච්ච ලස්සන ආදර කතාව නොහිතපු විදියට හැංගිල ගියා වගේ.

කාවින්දිගේ නිහඬතාවය ඉස්සරහ නාරදගෙ වචන පිටවුණේ ගංගාවක් වගේ. හරියට අවුරුදු ගාණක් තිස්සෙ කියන්න උන්නු දේවල් ටිකක් කියාගන්න අවස්තාව ලැබුනා වගේ.

“මට නම් බෑ ඔයත් එක්ක තව ඉස්සරහට යන්න. අනික ඕනම මිනිහෙක් කැමතියි තමන් කියන දේ අහන ගෑණියෙක්ට. තමුසෙ වගේ මෙලෝ දෙයක් හරියට කරගන්න බැරි, මෙලෝ රහක් නැති ගොං ගහක් බැඳගන්න එකාට ඉතින් බුදු සරණයි

තමුසෙ පට්ට කැතයි ඕයි

කණ්ණාඩියෙන් මූන බලල නෙවිද පාරට බහින්නේ?”

කඳුලු ගංගාවක් වක්කර වක්කර ඒත් කටින් වචනයක්වත් කියන්නෙ නැතුව කාවින්දි බලාගෙන උන්නා. අත් දෙකෙන් තමන්ගෙ කන් දෙක වහගෙන ඔලුව පහත් කරගෙන කාවින්දිට ඕන උනේ ඒ වචන තමන්ට ඇහෙන්නෙ නැති වෙන්න ඉන්න.

“අනේ නාරද එහෙම කියන්න එපා”

කෑගහගෙන නැගිට්ට කාවින්දිගෙ මුලු ඇඟම දාඩියෙන් තෙත් වෙලා තිබුනේ.

“ඒක හීනයක්…ඒක හීනයක්”

තමන්ටම කියාගන්න ගමන් ඇඳ ලඟ තිබුණ කබඩ් එක උඩ තිබ්බ වතුර කෝප්පෙ බීගෙන බීගෙන ගිය කාවින්දි අතීතෙන් වර්තමානෙට ඇහැරුණත් එදා හිතේ ඇණිච්ච වේදනාවෙ පිහි පාර අදත් ඒ වගේම රිදුම් දුන්නා.

කාවින්දි මං ළඟට ආවෙ ඒ වේදනාවත් අරගෙන.

කාවින්දි මගෙ ලඟට එද්දිත් එයා ගොඩක් හොඳට ඉගෙන ගත්ත, හොඳම හොඳ පඩියක් ගන්න, ඉතාම හොඳ රැකියාවක් කරන ලස්සන කෙල්ලෙක්.

ඒත් ඒ ලස්සන කෙල්ල උන්නෙ හිත අස්සෙන් අතීතයේ ඇණිච්ච පිහි පාරක්  නිසා දවසෙන් දවස මැරි මැරී බව කවුරුවත් දැනගෙන හිටියේ නෑ.

“මුල් කාලෙ අපි දෙන්නා අතරෙ කිසිම ප්‍රශ්නයක් තිබුනෙ නෑ. ඇත්තටම හොඳින් තිබුනා. නොගැලපීම් ඕනම සම්බන්ධෙක තියෙනවනෙ. ඒත් අපි කවදාවත් රණ්ඩු උනේවත් නෑ. ඔක්කොම ප්‍රශ්න පටන් ගත්තෙ මම මාස්ටර්ස් එක කරල ඉවර වෙලා සී අයි එම් කරන්න රෙජිස්ටර් උනාට පස්සෙ”

කාවින්දිට කතාව කියන්න ඉඩ දීල මම අහගෙන උන්නෙ මේ ප්‍රශ්නෙ මුල ඉඳලම දැනගන්න එක ප්‍රශ්නෙ විසඳන්න උදව්වක් වෙන බව දන්න නිසා.

“ෆයිනල් සෙමෙස්ටර් එකේ සබ්ජෙක්ට් එකක් රිපීට් උන නිසා නාරදට මාත් එක්ක මාස්ටර්ස් කරන්න රෙජිස්ටර් වෙන්න උනේ නෑ. එයා ඒක දැක්කෙ මම එයාව ඕවර් කම් කරන්න හදනව වගේ. ඒත් මම හිතුවෙ අපි එක්කෙනෙක් හරි ජොබ් එකේ ඉක්මනට ඉස්සරහට යන එක, එඩියුකේශන් කොලිෆිකේශන්ස් හදාගන්න එක කවදහරි දෙන්නටම වාසියක් කියල. එයා ඒක තේරුම් ගත්තෙ නෑ.

මට ඒක දරාගන්න අමාරු නෑ. ඒත් එයා හැමතිස්සෙම මට කිව්වෙ මම මහ කැත, වැරදි විදියට කොලිෆිකේශන්ස් හදාගත්ත, ප්‍රමෝශන්ස් ගත්ත කෙනෙක්, මං වගේ ගෑණුන්ව මිනිස්සු හොයන්නෙ නෑ කියල

මට හරි බයයි ඒ කතාව ඇත්ත කියලා. කවුරුහරි මම දිහා බලන හැම වෙලාවෙම මට හිතෙනව මේ බලන්නෙ මම කැත නිසා කියලා. ප්‍රමෝට් වෙන හැම වෙලාවකම මට හිතෙනව ඔෆිස් එකේ අය හිතනව ඇති කියල මම වැරදි විදියටයි ඒ ප්‍රමෝශන් ගන්නෙ කියලා.

මම ඉන්නෙ හරිම ස්ටෙස් එකක”

“ඔය හැමදේම ඇත්ත කියල ඔයා හිතනවද?”

“ඒ කිව්වෙ?”

“ඔයා හිතනවද ඔයා වැරදි විදියට ප්‍රමෝශන් ගත්ත කෙනෙක් කියල”

“අපෝ නෑ. මට එඩියුකේශන් කොලිෆිකේශන්ස් වගේම මම ගොඩක් මහන්සිවෙලා වැඩ කරනවා. මගෙ අතින් ලේසියෙන් කිසිම දෙයක් මිස් වෙන් නෑ. මට මාව මාර කන්ෆිඩන්ට් ජොබ් එක ඇතුලෙ”

“ඉතින් ඇයි ඒ කන්ෆිඩන්ස් එක අපිට බැරි ඔයාගේ ජීවිතේට අරගෙන එන්න?”

මගේ ඒ ප්‍රශ්නෙ ඇතුලෙ තමන් හොයන උත්තරේ හැංගිල තියෙන බව කාවින්දිට තේරුම් ගන්න මාස කීපයක්ම ගියා. ඒත් ඒ ගෙවිච්ච කාලේ ගැන සතුටක් මිසක් දුකක් කාවින්දිගෙ හිතේ තිබුනේ නෑ. මොකද ඒ මාස කීපය සහ තෙරපි සෙශන්ස් කීපය අවසානයේ එයාට එයාව, එයාගේ කන්ෆිඩන්ස් එක, එයාගේ ස්කිල්ස් අඳුරගන්න පුලුවන් වුන නිසා.

සබඳතා හැම එකක්ම විවාහයෙන් අවසන් වෙන්නෙ නෑ.

දරුණු හිත් රිදීම් වලින් අවසන් වන ප්‍රේම කතා අපිට උගන්නන පාඩම් මුලු ජීවිත කාලයටම ඉතාම වටිනවා.

අපි හරි ආදරෙයි ආදරයට. ඒක මිනිස්සුන්ගෙ හැටි. අපි බලාපොරොත්තු වෙනවා ඒ ආදරය ඇතුලෙ අනිත් පාර්ශ්වය අපිව ආදරයෙන්ම පිලිගනීවි, අපිව අගය කරාවි කියලා.

නොගැලපීම් කියන්නෙ ඕනම සබඳතාව‍යක් ඇතුලෙ තියෙන දෙයක්නේ. සමහර නොගැලපීම් අපිට කතාබස් කරල විසඳගන්න පුලුවන්. සමහර නොගැලපීම් එහෙම බෑ. ඒ නොගැලපීම් එක්ක අපිට ඉදිරියට යන්න බෑ.

හැබැයි අමතක නොකලම යුතු දෙයක් තමයි ඒ විදියෙ නොගැලපීම් හේතු කරගෙන බිඳ වැටෙන සබඳතාවයකදි වුනත් අපි මනුස්සකම මුල් කරගෙන කටයුතු කරන්න ඕන බව.

අනිත් පාර්ශ්වය එක්ක ආදරෙන් බැඳෙන්න තීරණය කලේ අපි. ඒ තෝරාගැනීම අපේ. ඉතින් නොගැලපීම් ඉස්සරහ සබඳතාවය බිඳ වැටෙද්දි අපි අනෙක් පාර්ශ්වයට නොමනා විදියට රිද්දලා ඉවත් වෙන එක මනුස්සකම අනුව එකඟවෙන්න බැරිම කාරණයක්.

ඒ වගේම හැම සබඳතාවයක් ඇතුලෙම අපි දැනගන්න ඕන අපේ තැන. අපේ අගය. අපේ වටිනකම. ඒ වටිනකම රැකෙන විදියට සබඳතාවය පවත්වාගෙන යන වගකීම තියෙන්නෙ අපෙ අතේ.

අපිට තේරෙනවනම් යම් කිසි සම්බන්ධයක් ඇතුලෙ අපිට ලැබෙන අගය අඩුයි, එහෙම නැත්තම් අපිව නිතරම පහත් කරල සලකනවා නම් ඒ තමයි ඒ සම්බන්ධයට තිත තියන්න හොඳම වේලාව.

මතක තියාගන්න ඔයාට ලැබිය යුතු නිසි තැන, ඇගයීම නොදෙන කෙනෙක් ඔයාලගෙ සම්බන්දෙට නිසි ඇගයීමක් දෙන්නෙ නෑ. හැම සම්බන්දයක් ඇතුලෙම මනුස්සකමේ මල් පිපෙන්නම ඕන. ඒ මල් සුවඳ තමයි සම්බන්ධෙ ලස්සන සහ සුවඳවත් කරන්නෙ.

හැම සමුගැනීමක්ම ගෞරවණීය වෙන්න ඕන.

ආදරෙන් පටන් ගන්න සබඳතා ඉවර වෙන්නත් ඕන ආදරෙන්මයි.

මොකද ඒ සබඳතාව පටන් ගත්තෙ ඔයා.

අනිත් පුද්ගලයව තෝරගත්තෙ ඔයා.

ඔයා වටිනකමක් දෙන්නෙ තවත් කෙනෙක්ට විතරක් නෙවෙයි – ඔයාගේම තෝරාගැනීමකට.

Related Articles

Don't Miss


Latest Articles