කිසිවෙකුට මුහුණ දෙන්නට බියෙන් සිත ගුලි ගැසී උන් මොහොතක රාත්‍රියේ පෑයූ ඉරක් මෙන් තමාගේ නවාතැනේ දොරටුව අසල සිටගෙන සිටියේ ළහිරුය.
ඉරක තිබෙන්නේ රශ්මියකි.
එහෙත් මේ මොහොතේ ඒ ඉරෙන් නිකුත් වෙමින් තිබුනේ සිසිලසයි.
මෙතෙක් වේලේ හිත ඇතුලේ හිර කරගෙන හුන් කඳුලු ගංගාව ලහිරුගේ පපුව මත්තේ ගලා යන්නට ඉඩ හැර චරිත්‍රා ඉකි බිඳිමින් හැඬුවාය.
ළහිරුගේ සිත තුල වූයේ වෙනස්ම ආකාරයේ කැළඹිල්ලකි.
තමා චරිත්‍රාට මුලු හදවතින්ම ප්‍රේම කරමින් හිඳි මොහොතක දකින්නට ලැබුන ඒ අතීතයේ දර්ශන ඔහුට දරාගන්නට හැකි වූ ඒවා නොවේ.
තමා කිසි දිනක ඇයගෙන් අතීතය ගැන ඇසුවේ නැත.
අනෙක් අතට වර්තමානයේ ඇරඹුණු අනාගතයට දිව යන ප්‍රේමයකට අතීතයකින් පලක් තිබේද?
චරිත්‍රාව තම පපුවට තුරුලු කරගනිමින්, ඇයගේ සිරුර වටා දෑත යවමින් වඩාත් තදින් ඇයව තමාගේ සිරුරට බර කරගෙන ළහිරු ඇයට නිදහසේ හඬන්නට ඉඩ දෙමින් උන්නේය.
ආදරය යනු දරා ගැනීමකි. එය තමා දැනගත්තේ කවදාද කාගෙන්ද යන්න ළහිරුට මතක නැත. එහෙත් මේ ඒ හැඟුම වඩාත් තදින්ම දැනුන මොහොතයි. අප සියල්ලන්ටම ජීවිතයේ රහස් තිබේ. ඇතැම් විට අතීතයේ වූ දෙයක් වර්තමානයට නොගෙන එන්නට අප කටයුතු කරන්නේ අපගේම සහ අපට හිතවත් අයගේ යහපතම වෙනුවෙනි.
චරිත්‍රා අතීතයේ ප්‍රේම කර තිබෙන්නේ මෙවන් වු පුද්ගලයෙකුට යන්න ළහිරුට සිතාගන්නටවත් නොහැක.
ඇය වන් මලක් බඳු සුන්දර තරුණියක් මෙවැනි දුර්ජන, අධම මිනිසෙකු සමග බැඳුනේ කෙසේද යන්න ළහිරුට සිතාගන්නට නොහැක.
ආදරය අන්ධ යැයි පවසන්නේ මේ නිසා විය හැකි යැයි ළහිරුට සිතේ.
නිවස ඇතුලත ඇත්තේ අන්ධකාරයකි.
ඒ අන්ධකාරය මැදින් ළහිරු තමාව වඩාගෙන ගොසින් සෙටිය මත තැබුවේය.
චරිත්‍රා ඒ වනවිටත් උන්නේ ළහිරුගේ පපුව අස්සේ හිස සඟවා ගෙන මහ හඬින් හඬමිනි. එකදු වචනයක්වත් නොකියමින් ලහිරු තමාගේ හිස අතගාමින් හඬන්නට රුකුල් දෙමින් උන්නේය.
“ගොඩක් වෙලාවට වර්තමානය තුල අපි දකින ආදර කතා ඇතුලෙ රාගය සෑහෙන වපසරියක පැතිරිලා තියනව.ආදරය කියන සාධකයට වඩා ඒ සම්බන්ධය ඇතුලෙ තියෙන්නෙ සුදු අම්මි සුදු තාත්ති එක්ක කොයිතරම් රූම් යන්න එනවද කියන සංකල්පය.ඔය අතරම අතලොස්සක් ඉන්නව මහාර්ඝ ආදරයකට හිමිකම් කියන.බොහොම සංහිදියාවක් තියන ,වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොයල බලන ආදර කතාත් ඔය අතරම හැංගිලා තියනව.ඒවගේ ආදර කතා පරිස්සම් කරගන්න ඕන හරියට මැණිකක් රකින නාගයෙක් වගේ”
තමා එසේ ලියා තැබුවේ පෙම්වතුන්ට කුලියට දෙන කාමරයක් තුල දී තරුණ යුවතියක් මිය ගිය පුවතක් රටම කැළඹූ දිනයකය.
තමා රාගයේ රැහැන් පට රැසක් අත දරාගෙන හුන් අයෙකු වුවත් මුහුණු පොතේ ලියා තැබුවේ එවැනි බොහෝ බරසාර අදහස් ය.
සැබෑ ආදරයේ පවිත්රත්වය ගැන මුහුණු පොත තුල සිතුවිලි දස දහස් ගණනක් අකුරු කල තමාට සැබෑ ආදරය ලැබුණු අවස්තාවන් දෙකකි. ඒ මිහිකගෙන් සග ළහිරුගෙන් ය.
එහෙත් ඒ ආදරවන්තයින් දෙදෙනාටම තමා කිසි දිනක සැබෑවට ආදරය කරාද යන පැනය චරිත්‍රාට ඒ හැඬීම අතරින්ම සිතේ.
ළහිරුත් මිහිකත් තමාට දැක්වූයේ ඉමහත් ආදරයකි. එකිනෙකා එකිනෙකා ගැන නොදැන සිටි අතර දෙදෙනා ගැනම දැන සිටියේ තමා පමණකි.
මිහිකගේත් ළහිරුගේත් ආදරය පෙන්වීමේ ක්රමයන් වෙනස් වුවද දෙදෙනාගේම සිත් තුල තිබුණේත් ඔවුන් දෙදෙනාම තමන්ට දුන්නේත් මෙලොව ගැහැණියකට පිරිමියෙකුගෙන් ලැබිය හැකි ඉහලම ආදරයත් ගෞරවයත් ය. එහෙත් ජීවිතය සහ සම්මතය අනුව අපට විවාහ කරගත හැක්කේ එක්වරකට එක් අයෙකු පමනකි. තමාට ලැබුන හොඳම දේවල් දෙකක් අතරින් එකක් තෝරා ගැනීමේදී තමා සිතට වහල් වී ඒ දෙදෙනාවත් තමාවත් ලෝකයත් රැවටූ බව චරිත්‍රාට දැන් තේරේ.
සෙටිය මත තමාව නිදි ගැන්වූ ළහිරු උන්නේ තමාගේ හිස ඔහුගේ උකුල මත තබාගෙන සෙමෙන් පිරිමදිමිනි. විටින් විට හිස පහතට කර තමාගේ දහදියෙන් සහ දියෙන් පෙඟුන හිස සිඹගත් ළහිරු හෙමින් සැරේ තමාව සෙටිය මත තබා ඇතුලු කාමරයකට යනු චරිත්‍රා දුටුවාය.
මදකින් ඔහු ආපසු පැමිණියේ තුවායක් රැගෙනය.
සෙමෙන් තමාව සෙටිය මත හිඳුවා මුලින්ම තෙත හිස තුවායෙන් පිස දමන්නට වූවේය.
ඒ මොහොතේ ළහිරුගෙන් ලද ආදරයත්, සෙනෙහසත් දරාගන්නට නොහැකි තැන චරිත්‍රා කට අයාගෙන නවත වරක් හඬන්නට විය. ඒ වූ කලී ආදරය දරාගන්නට නොහැකු වූ මොහොතකි.
තමා මෙවන් ආදරයක් ළහිරුගෙන් බලාපොරොත්තු වූ බව ඇත්තකි. එහෙත් එ මෙබඳු තමා දුර්වලව හුන් මොහොතක නොවේ.
ළහිරුගේ සුපසන් ආදරය ලබන්නට තමාට උවමනා වූයේ සිත සතුටින්ම පිරී ගිය මොහොතකය. ඒ ආදරය මැද සූරියකාන්ත මලක් වී පිපෙන්නට තමාට උවමනා වූයේ හිත නිදහස්ම මොහොතකය.
එහෙත් මේ අන්දකාරය සහ දින ගණනකින් දොර ජනෙල් නොඇරීම නිසා පුස් ගඳ හමන කාමරය තුළ ළහිරුගේ ආදරයේ මල් සුවඳ සෙමෙන් හමන්නට වීම චරිත්‍රාට දරාගන්නට අපහසුය.
තමා ඔහුව මේ මොහොතේ බලාපොරොත්තු නොවුවා නේද?
කිසිත් වචනයක් නොකියමින් තෙත කෙසින් සහ ගතින් සෙටියේ වාඩි වී පිස්සියක මෙන් හඬමින් සිටි තමාව දරාගෙන ළහිරු හෙමින් සැරේ කාමරයට පියමනින්නට විය.
තමාව ඇඳ අසල සිටුවා තෙත බරිතව තිබුණ ඇඳුම් සෙමින් ගැලවූ ළහිරු තුවාය ගෙන මුලු සිරුරම තෙත මාත්තු කරන්නට විය.
පෙර දිනයක සීත කල හෝටල් කාමරයක ළහිරුගේ ගිනියම් දෙතොල සහ ඇඟිලි වල පහසින් ලද ප්රහර්ශයට වඩා වින්දනයක් සැනසුමක් මේ මොහොතේ ඔහුගේ පහසින් චරිත්‍රාට දැනුණි.
ඒ වූ කලී පෙර මෙන් දැවීමක් නොවේ. නිවීමකි. නිවීම වින්දානයක් විය හැකිද යන්න පවා චරිත්‍රාට සිතුණේ පලමු වරටය.
ආදරය යනු මෙයයැයි චරිත්‍රාට සිතුනේ පලමු වරටය.
“ආදරය කියන කාරණාව ඇතුලෙ තියෙන්න ඕන නිවීමක්. ඒ නිවීමට පුලුවන් වෙන්න ඕන අපේ දැවෙන හැම හැඟීමක්ම නිවාලන්න.
ආදරේ කියන දේ ඔයාට දැනෙන්නෙ මුලු ඇඟම පුච්චන දෙයක් විදියට නම්, එහෙමත් නැත්තම් හිත කරදර කලබල කරන දෙයක් විදියට නම් ඒ තියෙන්නේ ආදරේ නෙවෙයි.
ඒ වගේ කලබල කාරී කරදරකාරී දේවල්වලට ආදරය කියන වචනෙ ගාවල අපහාස කරන්න එපා.
ආදරේ කියන්නෙ ආදරේ කරපු හදවත් මිය ගිය දවසක ඒ සොහොන් කොත් උඩින් දිව්‍යලෝක සුවඳ හමන සුදු පාට මල් පුබුදුවන්න පුලුවන් තරමෙ සුන්දර දේකට”
තමා විසින්ම කවදාක හෝ මුහුණු පොතේ ලියා තැබූ දිව්‍යලෝක සුවඳ හමන මල් බඳු ආදරය චරිත්‍රාට දැනුනේ දැන් ය.
තමා ආදරය යැයි කියා ළහිරුව සහ මිහිකව පමණක් නොව තමාවද රවටා ඇති බව චරිත්‍රා දැන උන්නාය. ඒ බව සිහිවෙද්දි අලුත් වෙවී කම්මුල් දිගේ ගැලූ උණුසුම් කඳුලු සෙමෙන් පිසදාලමින් ලහිරු චරිත්‍රාව ඇඳ මතින් වාඩි කලේ තෙත බරිත ඇඳුම් සියල්ල ගලවා දමා උණුසුම් සැහැල්ලු ඇඳුමක් ඇන්දවීමෙන් පසුවය.
“මට තේකක් හදල දෙනවද?”
චරිත්‍රා ඇසුවේ සෙමෙනි.
හැඬීම සහ ඉකි බිඳීම නිසා බැරැණ්ඩි වූ උගුර සනසාලන්නට තේකක් බොන්නට සිතුනේ ඇයිදැයි චරිත්‍රා නොදනී. එහෙත් එසේ අසන්නට ඇයට සිතුනි.
තමා ඉන්නේ අඳුරු ආගාධයක පතුලේ වුවත් ඒ ආගාධය ඉහලින් මතු වූ ළහිරුගේ ආදරයේ රිවි කිරණ ඔස්සේත් අත්වැල ඔස්සේත් ආගාධයෙන් ඉහලට එන්නට තමාට හැකියාවක් ලැබේය යන බලාපොරොත්තුව චරිත්‍රාගේ හිත තුල පරවී බිම වැටී තිබූ සූරියකාන්ත මලක් අවදිකරන්නට විය.
තමා මේ ජීවිතය තුල කිසිවෙකුට සැබෑවටම ආදරය කරාද යන්න තමාටම සැක සහිතය.
බොහෝ පිරිමි හිතවතුන් අතර මිහිකට සහ ළහිරුට විශේෂත්වයක් හිමි වුවද ඒ සැබෑ ආදරය නොවන වග චරිත්‍රාට තේරුම් යමින් තිබුණි.
සැබෑ ආදරය යනු එකිනෙකා රැවටීම නොව, තමන් විසින් තමාවම රවටා ගත් මොහොතක, ඒ රැවටීමේ වේදනාවේ ගිලී හිඳින මොහොතක අනෙකා පැමින සිත සැනසීම බව චරිත්‍රා ඉගෙන ගනිමින් උන්නාය.
මුලුතැන්ගෙය දෙසින් හඳි ගැටෙන හඬක් ඒ. ඒ තමා වෙනුවෙන් තේකක් පිලියෙල කරන ළහිරු බව චරිත්‍රා දනී.
එතෙක් වේලා කාමරයේ ඇඳ මත වාඩි වී ඔහේ එක එක කල්පනා කරමින් හිඳ චරිත්‍රා කාමරයෙන් එලියට ආවාය. තමා අද හුස්ම ගන්නේත් ඇවිදින්නේත් ඔත්පල මිනිසෙකු ගාණට බව ඇයට දැනේ. සිරුර අඩපණ වී ඇත්තේ ආහාර මද කම නිසාද නොඑසේනම් හිතටත් ඇඟටත් දැනෙන තෙහෙට්ටුව නිසාදැයි පැහැදිලි නැත.
සෙමෙන් සෙමෙන් ඉබි ගමනින් කාමාරයෙන් පිටතට ආ චරිත්‍රා සෙටියේ වාඩි වන්නට සිතුවේ ඇඟට දැනෙනන් තෙහෙට්ටුව නිසාය.
ඇය සෙටියේ වාඩිවෙන්නට නැමුණේත්, දොර සීනුව නාද වූයේත් ලහිරු හැරී බැලුවේත් එකටමය.
“ඒ ප්‍රභාත් ද?” යන බියෙන් තැතිගත් චරිත්‍රා ළහිරු දෙස බැලුවේ කම්පිතවය.
ළහිරු ඒ බැල්ම හඳුන ගත්තේය.
සතෙකු වුවත් තම ගැහැණු සතා කරදරයකට පත් වූ විට බේරා ගන්නට ඉදිරිපත් ඒ. ආදරය සහ රැක බලා ගැනීම, පරිස්සම් කිරීම ගමන් කරන්නේ සමාන්තරවය.
“ඔයා ඉන්න මම බලන්නම්” යැයි ළහිරු පැවසූ වදන් වල වූයේ ඒ සමාන්තර බවයි.
ළහිරු දොර හැරියේත්, මිහික දොරෙන් ඇතුලට ආවේත්, චරිත්‍රා හුන් තැනම සිටගෙන බලාගෙන හිටියේත් එකම මොහොතකය.
එහෙත් එය දැනුනේ සමාන්තර ලෝක තුනක කතාවක් මෙනි.