සුනාමි තත්වයන් වුණත් කලින් දැනුම් නොදී පැමිණිය හැකි ය. ආරාධනා පත් ව සිටියේත් එබඳු අහඹු මොහොතකටයි. පෙර සූදානමක් නැතිව පැමිණෙන එවන් ව්‍යසනයක දී කුමක් කළ යුතු දැයි ක්ෂණික ව අවබෝධ කොට ගත නො හැකි ව සිතිවිලි ගල් ගැසීම ස්වභාවයයි. කවීශ්වර ගේ යෝජනාව ඉදිරියේ ආරාධනා ද එසේ ගල් ගැසුණා ය.
සිය අදහස සුමට නො කොට අමු අමුවේ ම කියා දැමීමෙන් පසු කවීශ්වර ට සැහැල්ලුවක් දැනිණ. ඊළඟට ලොකු බෝම්බයක් පිපිරිය හැකි බවට විශ්වාසයක් ඔහු ට විය. ආරාධනා වූ කලී මේ වාගේ යෝජනාවක් සරල ලෙස භාර ගන්නා විදිහේ කෙනෙකු නොවන බව, පසු ගිය කාලයේ අත්විඳි දේවල් අනුව කවීශ්වර සක්සුදක් සේ දනී. ඇය දුම්මල වරම අතට ගෙන යකා නැටුවේ නැති නම් පුදුම විය යුතු ය. නමුත් වෙන දෙයක් වුණාවේ යයි කවීශ්වර හිත හදා ගත්තේ ය. සිය සිතැඟි ඇගෙන් වසන් කොට ගෙන සිටින තාක් ආරාධනා ද සිය සීමාව ඇතුළේ ව්‍යාජ පෙණ බුබුලක් තුළ සුරක්ෂිත හැඟීමක පසු වනු ඇත. කිසි දාක ඒ පෙණ බුබුළ ඇය විසින් ස්වේච්ඡාවෙන් බිඳින්නේ නැති බව සහතික ය. සිය අවංක සිතිවිලි නමැති ඉඳිකටු තුඩෙන් දැන් ඔහු ඒ පෙණ බුබුළ සිදුරු කොට එය බිඳ දමා තිබේ. ඉනිතින් ආරාධනා සත්‍යයට නිරාවරණය විය යුතුම ය.
ඒ සත්‍යය කටුක විය හැකි ය. එය ඇයට දරා ගත නො හැකි තරම් වනු ඇත. නමුත් එයට මුහුණ දිය යුතු ම ය!
නමුත් කවීශ්වර බලාපොරොත්තු වූවා සේ රිය තුළ දී ආරාධනා පරල වූයේ නැත. ඒ බෝම්බය පුපුරා කම්පන තරංග ඈතට ඈතට පහව යාමෙන් පසු වුවද ඇය ග්ලැසියරයක් තුළ ගිලී යමින් ම සිටියා ය. යමක් සිදු වූවා නම් ඊට එරෙහිව සිය විරෝධය පාන්නට තරම් තමන් ශක්තිමත් නැති බවක් ඇයට දැනෙමින් තිබිණ.
කුමක් කොතනකින් පටන් ගෙන කොතැනින් අවසාන කළ යුතු දැයි ආරාධනා නො දැන සිටියා ය. සඳයුරු ට එන්නත විද ගෙන සැනසුම් පායට පැමිණීමෙන් පසුව ද ඇය සිටියේ පියවි සිහියෙන් බෝ දුර ඈතක වාගේ ය. පුරුද්දට මෙන් හැන්දෑවේ වැඩ ටික කළා වී ද ඇය තමන්ගේ පාලනයකින් තොර දුර ඈත ලෝකයක හැඟීමකින් තොර සංචාරයක නියැළී සිටියා ය.
කවීශ්වර ඇගේ ඉරියව් ගැන අවධානයෙන් සිටියේ ය. පිපිරී නො ගියත් ඇය තුළ නියත වශයෙන් ම යමක් වන්නේ ය. පුපුරා යාමකට වඩා සිර වී පැවතීම භයානක විය හැක.
වෙනසක් නො හඟවා ආරාධනා රෑ කෑම මේසය සූදානම් කළා ය. අනිත් අයට රාත්‍රී භෝජනය ට පහසුකම් සැලසුවාට ඇයට කෑම රුචියක් වූයේ ම නැත. බත් පත අත පත ගාමින් සිටි ඕ මේසයෙන් නැගිට ගත්තේ හිස් ව පැවති කුසයෙන් ම ය. කවීශ්වර එදෙස බලා සිටියේ ය. නමුත් ඔහු දිගට ම සන්සුන් ව සිටියේ ය. යමක් සිදු වෙමින් පවතිනා බව හදවත ඔහු ට කොඳුරා කියමින් තිබිණ. ආරාධනා එක කෝප දීප්ත බැල්මක් හෙළුවා නම් ඔහු ට එය සාමාන්‍ය ය. නමුත් ඇය එසේ නො කළා ය. ඒ නිසා ම අසාමාන්‍ය බවක් ඔහු ට දැනිණ.
උදේ ඇය වෙනදාට කලින් අවදි වී තේ පිළියෙළ කළා ය. සාමාන්‍යයෙන් රාජිකා මැණිකේ ද ගජධීර ද උදේ තේ එක බොන්නේ කුස්සියේ කුඩා හතරැස් මේසය ළඟ වාඩි වී ය.
“මං අද ගෙදර යනව අම්මෙ”
නැදි මයිලනුවන් මේසය ළඟ යකඩ පුටු දෙකෙහි හිඳ ගෙන තේ පැන් තොල ගාත්දී, ආරාධනා පැන්ට්‍රි කබඩ් එකට හේත්තු වී ගෙන දැනී නො දැනී කියා දැමුවා ය. ජල තලයක් මතට ගල් කැටයක් විසි කළා වන් යමක් සිදු විය. එය වූ කලී කැළතීමකි. කැළඹීමකි. වෘත්තාකාර තරංග ජාලයක් ඈතට ඈතට පාව ගොස් යළි ජල තලය නිසල වේ. එවැනි පැහැදිලි වීමක් වන තුරු රාජිකා මැණිකේ නළල රැලි නංවා ගෙන බලා සිටියා ය.
“ටික දවසක් ගෙදර ඉඳල මං ආයෙ එන්නං. මොනා වුණත් අපේ අම්මල වුණත් මොනා හිතයිද දන්නෑනෙ මං ගෙදර එන්නැතුව මෙහෙ නතර වුණාම. මාව බලෙං ඇදං යන්න බැරි කම මිසක්…එයාලට වුණත් ඒක මදිපුංචි කමක් වගේ දැනෙනව ඇති. මට එයාලගෙ ආදරේ ආරක්ෂාව ඕන නෑ කියල හිතනව වගේ දෙයක් වුණත් හිතෙන්න පුළුවන්නෙ”
“ඉතිං දුව මේ හදිස්සියෙ…”
“හදිස්සියක්මත් නෙවේ අම්මෙ. එදා අම්ම මාව එක්කං යන්න ආවත් එයාව හිස් අතින් යැව්වට පස්සෙ මං හුඟක් හිතුව. ටික දවසක් එහෙ ඉඳල එන්නං ඉතිං…මාත් එක්ක තරහ නෑ නේද තාත්තෙ…”
“අපි කොහොම ඔය දරුව එක්ක තරහ වෙන්නද පුතේ…”
ගජධීර එසේ කීවේ උගුර යටිනි. නමුත් ඔහු ට දැනෙමින් තිබුණේ සිය හදවත හත් කඩකට පුපුරා යමින් ඇති බවකි.
“මේ තරං දවසක් හරි පුතා දරුවොත් එක්ක මේ ගෙදර හිටිය එක ගැන අපි ඉස්තූති කරන්න ඕනෙ”
“අනේ එහෙම නෑ තාත්තෙ. එහෙනං කාශ්‍යප නැතුවත් මාව තමංගෙ දරුවෙක් වගේ බලා ගත්තට මං ඕගොල්ලන්ට කොහොම ස්තූති කරන්න ඕනෙද.. ආදරේ තියන තැනක ස්තූතියි කියන වචනෙට කිසි වටිනාකමක් නැතුව ඒක අහෝසි වෙලා යනව තාත්තෙ. මං මේ තීරණේ ගත්තෙ හුඟක් පැති ගැන හිතල. ඒක ඕගොල්ලොන්ගෙන් වෙච්ච අඩුපාඩුවක් වරදක් එහෙම නිසානං නෙවෙයි. ටික දවසක් අම්මල ළඟට වෙලා ඉන්න ඕන කියල මට හිතෙනව. තවත් අල්ලං ඉන්න හයියක් නෑ වගේ දැනෙන වෙලාවට…අතෑරල දාල තමන් ගැන කිසිම වගකීමක් නැතුව ඔහේ ඉන්න පුළුවන් හොඳම තැන තමන්ගෙ අම්ම ළඟ. මට ටික දවසක් ඒ විදිහට මාව අතෑරල ඉන්න ඕනෙ. කොහෙට හරි පා වෙලා ගිහිං අන්තිමට මට වෙන දෙයක් තියෙයිනෙ”
ගජධීර තේ කෝප්පය මේසය මතින් තබා නැගිට ආරාධනා වෙතට ආවේ ය. ඇගේ හිස් මුදුන මත සිය සුරත බරට තබා ගත්තේ ය. ආරාධනා ගේ ඇස් පියවුණ තරමි. අසීමිත වූ පීතෘ සෙනෙහසකින් ඕ ගජධීර ගේ පපුවට බර වූවා ය.
“මගෙ තාත්තටත් වඩා මං තාත්තට ලං වුණා. තාත්තගෙ ආදරේ..මං අන්තිමට අසරණ වුණ වෙලාවෙ මට තිබුණ ලොකුම හයිය. තාත්තටයි අම්මටයි දෙන්නටම මං හැමදාටම ආදරෙයි. මං ටිකක් තනියම ඉඳල එන්නං තාත්තෙ…මන්දා..මට හිතෙනව එහෙම ඉඳල මං මාව තේරුං ගන්න ඕන කියල. මට ලොකු විවේකයක් ඕන කියල දැනෙනව”
“දුව ඒ විවේකෙ අරං එන්න. ඔයා කවද කොයි විදිහට ආවත් මේ ගෙදරත් ඔයාට අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ඉන්නව. මොන තත්වෙකින් ආවත් ඔයාව බාර ගන්න බලාගෙන අපි ඉන්නව. දුවගෙ කැමැත්තක් කරන්න”
රාජිකා මැණිකේ නාසය උඩට ඇද්දා ය. ගෘහ කබායෙන් පොටක් ඔසවා කඳුළු වල තෙත මාත්තු කළා ය.
“ගහෙං ගෙඩි එන්නහේ මෙහෙම දේවල් වෙනකොට අපේ වයසක පපු වාවගන්නෙ කොහොමද…”
ඉකිළුමක් අස්සෙන් ඇය නියා ගත්තා ය.
“අම්ම ඉතිං ඔය වගේ දේවල් කියල මගෙ හිත වෙනස් කරන්න හදන්න එපා. මට ටික දවසක් තනි වෙලා ඉන්න ඕනෙ අම්මෙ. ඊට පස්සෙ අපි ආයෙ හම්බ වෙනව. අම්මලගෙ මුණුපුරයි මිණිපිරියි අම්මලගෙං ඈත් කරන්න හීනෙකිංවත් හිතන්නෑ මං”
තේ එක ගන්නට මුළුතැන්ගෙට එමින් සිටි කවීශ්වර උළුවස්ස උඩ සිට ගත්තේ, මේ දර්ශනය විනිවිද බලා සිටියේ ය. ගජධීර යුවළ දන්නේ නැතිවාට ආරාධනා මේ වගේ හදිසි තීරණයක් ගන්නට හේතුව කවීශ්වර දනී. තමන් තුළ ම ගිලී යාමක් බඳු සංවේදනයක් ඔහු ට දැනිණ. නමුත් එවන් ගිලීමකදීත් තුත්තිරි ගසක හෝ නො එල්ලී අත පය හකුළා ගෙන ඉන්නට සිදු වෙන අවස්ථා උදා විය හැකි බව මේ මොහොත වන තුරු ඔහු දැන සිටියේ නැත.
“ආරාධනා ටික දවසකට ගෙදර යනවයි කියන්නෙ”
ගජධීර කවීශ්වර දැක කීවේ ය. වචනයක් කියා ගන්නට මුව විවර කර ගත හැකි තත්වයක් ඔහු ට වූයේ නැත. මේ ඔහු බලාපොරොත්තුවෙන් සිටි දෙයකි. පෙර දා සැඳවේ සිය කැමැත්ත ඇය වෙත හෙලිදරව් කිරීමෙන් පසු, ආරාධනා කෑ කෝ ගසා ප්‍රතිචාර දැක්වූයේ නැති නිසාවෙන් ඇය දමා ගසා ගෙදර යන්නට නියමිත බව ඔහු අනුමාන කළේ ය. ඒත් සිය යෝජනාව ගැන සියල්ලන් ඉදිරියේ හෙළි කොට එය හෑල්ලු කිරීමෙන් පස්සේ ය. නමුත් එවැන්නක් සිදු වන්නේ නැති හැඩකි. ඇය නිහඬ ව නිසල ව නික්ම යන්නට හදයි. ඔහු එවන් යෝජනාවක් කළ බවක් හෝ සැනසුම් පායට රහසක් කොට ගෙන නික්ම යන්නට හදයි.
වචනයක් හෝ නො කියා කවීශ්වර තේ එකත් ගෙන මුළුතැන්ගෙයින් නික්ම ගියේ ය. ආරාධනා හිතා මතා ම ඔහු දෙස නො බලා සිටියා ය.
පපුව පැලී යන්නට එනවා බඳු රිදුමක් කවීශ්වර ට දැනේ. සිදු වෙන දෙයින් පෙනී යන්නේ ඇය නිහඬව ම ඔහු ප්‍රතික්ශේප කළ බවකි. ප්‍රතික්ෂේප වීම කියන්නේ කවීශ්වර ට නුහුරු නුපුරුදු වූවක් නොවේ. ඉතිහාසයේ යම් යම් තැන් වල වාචිකව නැතත් ඔහු ඇය ගෙන් ප්‍රතික්ෂේප වී තිබේ. ඒවා නිහඬ පිටුපෑම් ය. ඒ සෑම අවස්තථාවක සේ ම මේ වෙලාවේ ද ඔහු ට ඇය වෙතින් කිසිත් ඉල්ලා සිටිය නො හැකි ය. අයැද සිටිය නො හැකි ය. ඔහු ට කළ හැකි ව තිබූ එක ම දෙය සිය හැඟීම ඈ ඉදිරියේ හෙළි දරව් කිරීම ය. වසර විස්සක් පමණ තිස්සේ හද නිධානයෙහි හංගා ගෙන සිටි ඒ හැඟීම අන්තිමට ඔහු එළියට දැම්මේ ය. ඇය එය ප්‍රතික්ෂේප කොට සැනසුම් පාය අතැර යන්නට හදයි. කවීශ්වර ගේ ඇස් වලින් කඳුළු දෙපෙළක් ගිලිහිණි. ඒවා කම්මුල් වල සිට මනාව කප්පාදු කළ රැවුල තුළ හැංගී නො පෙනී ගියේ ය.
ආරාධනා ඇඳුම් බෑග් සූදානම් කළේ පෙර දා රාත්‍රියේ ම ය. මැදියමක් වන තුරු කුමක් කරන්නෙම් දැයි නිහඬව සිතූ ඕ ඒ තීරණය ගත්තේ හදිසියේ ය. එකෙනෙහි යහනෙන් නැගිට ඕ අඩුම කුඩුම බෑග් වල ඇසිරුවා ය.
මේ තීරණයේ දී හැඟීම් වලට ඉඩක් නොදී ඉන්නට ඇය ට ඕනෑ විය. කඳුළු ඉස්සර නො කර ගන්නට ඕනෑ විය. ඇය බිඟුනි ට කීවේ දවසක් දෙකක් අම්මම්මලා ගේ ගෙදර නැවතී හිඳ එන බවකි. මාමා ගේ පුතා එක්ක සෙල්ලම් කරන්නට ඇති ආශාව නිසා බිඟුනි ඊට කැමති වූවා ය.
“මං ඒ යෝජනාව ඉල්ලා අස් කර ගන්නං. ප්ලීස්…යන්නෙපා”
ආරාධනා ව තනිව අල්වා ගත හැකි වූ එක කෙටි නිමේශයක කවීශ්වර ඉල්ලීමක් කළේ ය. ආරාධනා ඇස් පියන් පත් බිමට හරවා ගෙන තත්පර කිහිපයක් ගෙවෙන්නට හැරියා ය. ඒ තත්පර වීම තුළ කවීශ්වර ඇය දෑසින් විඳ දරා ගත්තේ ය.
“ඒ ගැන වොරි වෙන්නෙපා. මං ඔයා ගැන අහිතකින් යනව නෙවේ. ඒත් මට යන්නෝනෙ කවීශ්වර”
එක වතාවකට නෙතු ඔසවා ඔහු දෙස බලා ඇය කීවා ය. තව දුරටත් මොන තරම් පෙරැත්ත කළ ද ඇය නවතා ගත නො හැකි බව ඔහු ඉඳුරා දැන සිටියේ ය.
“එහෙනං පොඩි පුතා ආරාධනාලව ගෙදරට දාල එන්න”
ආරාධනා දරුවන් සූදානම් කරත්දී රාජිකා මැණිකේ කීවා ය. ඇය දැඩි පීඩනයක පසු වූවා ය. දරුවන් සේ ම ආරාධනා ද සැනසුම් පාය හැර යාම ඇයට උහුලා ගත නො හැකි ය. නමුත් හිතේ එක කොනක කිසියම් අස්වැසිල්ලක් ද වේ. නරක යමක් සිදු වෙන්නට පෙර මෙහෙම තීරණයක් ක්‍රියාත්මක වීම හොඳ යයි අම්මා කෙනෙකු වශයෙන් නො සිතා බැරි බව දන්නේ ඇය පමණකි.
“නෑ මං කැබ් එකක් දාගන්නං” කියා ආරාධනා නො කියා සිටියා ය. හැම හදවතක ම මහත් වූ බරක් පැටවී තිබිණ. උනුන් තනි තනිව දරා සිටියා මිසෙක ඒ බර වෙනකෙකු හා බෙදා හදා ගන්නට කවුරුන් හෝ උනන්දු වූයේ නැත. එක ම වේදනා සයුරක හුදෙකලා ව ගිලී සිටීමේ හිත පාරවන අත්දැකීම!
ඒ සමු ගැනීම යටි හිත් වල හංගා ගත් රහසිගත කලාපයන් සහිතව සිදු වූවකි. එදා මධුරි ඇවිත් කතා කළ දවසේ ආරාධනා මහ ගෙදර ගියේ වී නම් ඒ සමු ගැනීම මීට වඩා වෙනස් වන්නට තිබිණි. ඔවුන් කඳුළු පෙරමින් හඬන්නට තිබිණි. නමුත් මේ සමු ගැනීමේ දී ආරාධනා නො හැඬුවා ය. කඳුළු සැළුවේ රාජිකා මැණිකේ පමණි.
“අපි දවස් දෙක තුනකින් එනවනෙ තාත්තම්ම. බොරුවට අඬනව පොඩි බබෙක් වගේ”
බිඟුනි හුරතල් විහිළුවක් කළා ය. හඬන්නට බැරි කමට ගජධීර හඬ නගා සිනහ වූයේ ය. ආරාධනා වැඩිපුර කතා නො කර ම ගජධීර යුවළ ගේ දෙපා වැඳ සමු ගත්තේ ශෝක කරන්නට ඕනෑ නැති නිසා ම ය. කතා කළේ වී නම් ඇයට හැඬෙනු ඇත.
කවීශ්වර බර වූ හදකින් ද මුණිවතින් ද රිය පැදවී ය. බිඟුනි සැනසුම් පායෙන් රියට ගොඩ වූ වෙලේ පටන් ‘යූ ආ මයි සන් ෂයින්’ ගීයේ කොටස් තැන් තැන් වලින් ගැයුවා ය. ඒ නිසා ආරාධනා හා කවීශ්වර අතරේ පිනුම් ගසමින් තිබූ දැරිය නො හැකි නිහැඬියාව සමහන් වූයේ ය. ඒ සින්දුව බිඟුන් අහුලා ගන්නට ඇත්තේ ඉංග්‍රීසි දින නර්තනාංගයකින් බව ආරාධනා අනුමාන කළා ය.
සේනාසිංහ මැදුර ඉදිරියේ රිය නතර වී ඇඳුම් ඇසුරුම් ඉන් පිටතට ගැනෙත්දී මධුරි සේ ම තමාරා ද බලා සිටියේ මඳ ගැස්මකිනි. ආරාධනා ගෙදර එන බවක් දැනුම් දුන්නේවත් නැත. මේ වගේ හදිසි තීරණයක් ගන්නට ඉවහල් වූ හේතුවක් මධුරිට නම් අනුමාන කළ හැකි වූයේවත් නැත. නමුත් ඕ තොමෝ දියණියගෙන් කිසිත් නෑසුවා ය. ඇය ගෙදර පැමිණි එක ගැන කිසිත් ම නොකීවා ය. දරුවන් වෙනුවෙන් අම්මලා ට එහෙම කරන්නට පුළුවන.
“ගම කාගත්තද තවුසෙ…”
තාරා කවීශ්වර වෙත ලං වූයේ ආරාධනා ගෙතුළට වන් විට ය. කවීශ්වර ගේ ඇස් වල ඒ මොහොතේත් කඳුළු පටලයක් බැඳී යමින් තිබිණි. ඔහු අත් දෙක පපුව මත්තේ බැඳ ගෙන මෝටර් රථයට හේත්තු වූයේ ය. නිම් නැති නිම්නය 40