පෙඟුණු මල් පෙති 39

චරිත්‍රාව ඇඳ මතින් නිදි කරවා ළහිරුත් සමග මිහික කාමරයෙන් එළියට ආවේ බර වූ හිසකිනි. ඒ හිත ඇතුලට වැගිරෙන කඳුලු බිඳු එහිම හිරකරගෙන ඉඳීම නිසා මතු වු වේදනාවක්ද? නැතිනම් චරිත්‍රා විසින්ම සිය ඇත්ත පහදා දීම නිසා ඇති වූ වේදනාවක් ද? 

නැතිනම් ඒ හේතු දෙකම නිසා ඇති වූ වේදනාවක්ද?

නිහඬවම පැමිණ සෙටිය මාතින් වාඩි වූ මිහික චරිත්‍රාගේ ලැප්ටොප් පරිගණකය සහා දුරකතනය ගෙන ඇයගේ මුහුණු පොතට සහා ඊමේල් ගිණුමට පිවිසිය හැකි ක්‍රම වේදයන් සොයමින් උන්නාය.

අන්තර්ජාලය ඔස්සේ විවිධ ක්‍රම සහ විදි සොයමින්ද මුහුණු පොතෙහි උපකාරක අංශයට පණිවිඩ යවමින්ද හුන් මිහික ළහිරු අවුල් වූ හිස කේ අතැඟිලි වලින් ඇද ගනිමින් සාලය පුරා නොඉවසිල්ලේ එහෙ මෙහෙ ඇවිදින ළහිරු දුටුවාය.

එහෙත් කුමක් කියන්නදැයි නොතේරේ.

ඇවිත් මෙතනින් වාඩි වෙයන් කියන්නද?

මේ සිදු වූ දේවල් ගැන කතා බස් කරන්නද?

ඒ සිතිවිලි රැහැන බිඳ දමමින් මිහිකගේ දුරකතනය ඔස්සේ කවුරුන් හෝ ඔහු සමග සම්බන්ධ වන්නට රැහැන් අදිමින් හිඳී.

ඒ නයනතාරා ය.

“හෙලෝ නංගි”

මිහික ඇමතුමට සම්බන්ධ වූයේ ළහිරු දෙස බලමින්‍ ය.

 ළහිරුද තම ගමන නොනවත්වාම මිහික දෙස බලා උන්නේය.

“අයියේ අක්කා හොඳින් නේද?’

“ඔව් නංගි. පොඩ්ඩක් අවුල් ගිහින් ඉන්නෙ. පොඩ්ඩක් නෙවෙයි ගොඩක්. ඒත් බයවෙන්න දෙයක් නෑ අපි දැන් ඉන්නව මෙතන. ඒ නිසා බයක් නෑ”

ඒ අපි යන වචනයේ බරපතලකම මිහිකට තේරුනේ එවදන් කීමෙන් පසුවය. එහෙත් නයනතාරා එය භාරගෙන තිබුනේ සරලවමය. බොහෝ විට අප මම යන වදනද අපි කර කියන අවස්තා අනන්ත අප්‍රමාණව ඇති බැවින් නයනතාරා ඒ අපි යනු කවුදැයි ඇසුවේ නැත.

එය සිතට අස්වැසිල්ලකි.

“මම අයියට නම්බර් එකක් එවන්නම් සර්ට් එකේ මගෙ යාලුවෙක්ගෙ. මම එයාට කතා කරල විස්තරේ ටිකක් කිව්වා. ඒ අතර වාරේ අපි ටර්‍යි කරමු ෆේස් බුක් එක හරහා පෝස්ට් එක රිපෝට් එකක අයින් කරල දාන්න. අක්කගෙ කමියුනිටි එකෙන්ම උනත් අපිට ඒකට සපෝට් එකක් ගන්න පුලුවන් නම් හොඳයි”

“මම දැන් ඒක තමයි ට්‍රයි කරන ගමන් ඉන්නේ. මම එෆ් බී හෙල්ප් සෙන්ටර් එකට චැට් කරන ගමන් ඉන්නෙ. ඔක්කොම ලින්ක්ස් ඒව මේව මම සබ්මිට් කරා. එයාලා රෙස්පොන්ස් එකක් දේවි.

කෝකටත් මම සර්ට් එකටත් හෙට උදේම කතා කරන්නම් නේද? මේ වෙලාවෙ එයාල වැඩ නෑනෙ”

“ඔව් අයිය මගෙ යාලුවට උදේම ගන්න. බයවෙන්න එපා අයියෙ අපිට මේක අයින් කරගන්න එක නම් අවුලක් නෑ”

“ඔව් ඒත් මට බය චරිත්‍රා ගැන”

මෙවන් සිදුවීමක් දරාගන්නට කෙතරම් නම් අපහසුද යන්න ආය අමුතුවෙන් කිව යුතු නොවේ.

ගිනි කන්දක් වුවත් පුපුරන්නට පෙර ඉතාම නිහඬව හිඳී. එහෙත් දරාගන්නට අපහසුම තැන පුපුරා යන්නේ කිසිවෙකුට හිතාගන්නටවත් ඉඩක් නොදීය.

චරිත්‍රා දැන් සුව නින්දේ උන්නත් සිත ඇතුළතින් ඇය ඉන්නේ විශාල කැළඹුමකය. ඒ සිතුවිලි සුනාමියකි. විටෙන් විටා සිත පත්ලේ හිඳ මහා රළ නගමින් පැමිණ මනස කලඹවන ඒ සිතුවිලි සුනාමියට කළ නොහැක්කේ කුමක්ද?

“සර්ට් එකට කතා කරානම් අපිට සපෝට් එකක් ගන්න තිබුනා නේද?”

ළහිරු එසේ ඇසුවේ මිහික නයනතාරා සමග කතාව අවසන් කර දුරකතනය මේසය මත තබනවාත් සමගය.

“ඔව්. ඒ කෝල් කරේ මගෙන් කසින් නංගි කෙනෙක්. ලෝයර් කෙනෙක්. එයා දන්න කෙනෙක් ඉන්නව සර්ට් එකේ”

“අපිට සර්ට් එකට කෝල් කරත් මේ වීඩියෝස් ඇන්ඩ් ෆොටෝස් ටික අයින් කරගන්න පුලුවන්, ඒත්…”

ළහිරුගේ වදන් වල වූ ඒ අවිනිශ්චිත බව සිතට කරදරයකි.

“ඇයි උඹ එහෙම කිව්වෙ?”

“මචං උඹ හිතනවද සර්ට් එකෙන් හරි එෆ් බී හෙල්ප් එකෙන් හරි ඒ වීඩියෝස් අයින් කරාට ඕව දැනටම ඩවුන්ලෝඩ් කරගත්ත මිනිස්සු ඇති නේද?

අනිත් එක කොහොමත්  වීඩියෝ එකෙ ටිකක් දාලා ෆුල් එක මැසෙන්ජර් කරලනෙ තියෙන්නෙ. චරිත්‍රගෙ අකවුන්ට් එකෙන්ම තමා ශෙයා වෙන්නෙත්”

සැබෑය. ඇය රඟපාන වීඩියෝවේ කොටසක් පමණක් මුහුණු පොතේ පලකර ඉතුරු කොටස මුහුණු පොතේ මැසෙන්ජරය ඔස්සේ මිතුරන් සියල්ලන්ටම බෙදා හරිමින් තිබුනේද චරිත්‍රාගේ ගිණුම හරහාය.

ඒ ඔස්සේ ඒ වීඩියෝව බාගත කරගෙන ඩවුන්ලොඩ් කර ගන්න අයෙකුට පසුකාලීනව වුව එය භාවිතා කරන්නට බලපැමක් නොමැත.

එහෙත් දැනට ඇත්තේ මේ ගැටලුව විසඳන්නටය.

තවමත් ඇයගේ මුහුණු පොතට හෝ ඊමේල් ගිණුමට ඇතුලත් වන්නට ගත් උත්සහයන් සාර්තක නැත.

එහෙත් දිගින් දිගටම උත්සාහ කිරීම සිදු කල යුතුය.

අප්පච්චි අමතා සියල්ල යහපත් බවත් පැවසූ මිහික ඉන්පසුව ඇමතුවේ මිතුනටය.

මිතුන කුඩා කල හිඳ මිතුරාය. සහෝදරයාය.

ඒ වෙද්දීත් මිතුන් උන්නේද සියල්ල දැනගෙනය. එහෙත් අප්පච්චිටත් සුරංගි නැන්දාටත් අනෙක් නෑයන්ටත් කිසිවක් නොපවසා ඉන්නට මිතුන දුන් පොරොන්දුව මිහිකට විශ්වාසය. තම හදවතින් දුන් පොරොන්දුවක් තරමටම විශ්වාසය.

ඒ රාත්‍රිය සැබෑවටම උදා වූ රාත්‍රියක්දැයි සිතාගන්නට නොහැකි තරමටම නිශ්චලය. ඉඳිකට්ටක් බිම වැටෙන හඬක්වත් නොඇසෙන රාත්‍රියක තමාත් ළහිරුත් නිදි නොලබා මේ අවදියෙන් හිඳ තමන් දෙදෙනාවම රැවටූ කාන්තාවකගේ ආත්ම ගෞරවය වෙනුවෙන් සටන් කරයි.

ජීවිතය යනු හෙට මෙසේ වේය යනුවෙන් අපට සටහනක් අඳින්නට හැකි දෙයක් නොවේ. කුඩා අවදියේදී “පුතා කැමති ලොකු උනාම කවුරු වෙන්නදැයි” කියන පැනයට තමා හොඳින්ම දන්නා රැකියාව පිලිතුරක් ලෙස පැවසීම ඕනම කුඩා දරුවෙක් කරයි. එහෙත් වැඩිවියට පත්වද්දී ඒ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු කරගන්නට ඉඩ ලැබෙන්නේ එහෙමත් කෙනෙකුටය. එහෙත් ජීවිතය් නොනැවතී ගලා යනවාය. සමහරුන් ඒ ඉටු කරගන්නට නොහැකි වූ බලාපොරොත්තු මැද සිතින් ලතවෙමින් ජීවිතය ගෙවා යයි. 

ඇතමුන් ඒ සියලු බිඳ වැටුණු බලාපොරොත්තු නටඹුන් මැද ෆීනික්ස් කුරුල්ලන් මෙන් නැවත පිබිදී අනාගතයට මුහුණ දෙයි.

චරිත්‍රා අයිතිවන්නේ කුමන කාන්ඩයටද යන්න මිහිකට තේරුමක් නැත.

තමා ඇය ගැන දන්නවා යැයි සිතූ සියල්ලම බොරුවක් බව ඇය විසින්ම මදකට පෙර කියා දුන්නා නොවේද? ඉතින් තමා ඇය ගැන දන්නවා යැයී කීමට නොහැක.

“උඹ බියර් බොනවද?”

චරිත්‍රාගේ මුලුතැන්ගෙයෙහි කුඩා ශිතකරණයෙන් ගත් බියර් කෑන් දෙකක් අතැතිව මිහික දෙස බලාහුන් ළහිරු එසේ ඇසුවේය.

බියර් බොන්නේ මිතුරන් සමග නොවේද?

දැස් මත ඇඳුණ ඒ දර්ශනය මිහිකට ගෙන ආවේ ඒ පැනයයි.

එක් බියර් කෑනයක් මිහිකගේ අතට දෙමින් ළහිරු සෙටියේ අනෙක් පසින් වාඩි වුයේ එක් අතකින් වාඩිවන්නට පහසු ලෙස හඳ සිටි ඩෙනිම් කලිසම දණහිස හරියෙන් මදක් ඔසවා ගනිමිනි.

ක්ලික් හඬින් ඇරෙන බියර් කෑන්වල ශබ්දය නිවස පුරා පැතිරී තිබුන නිශ්ශබ්දය මොහොතකට නැති කරලන්නක් විය. එහෙත් කිසිවෙකුටත් කිසිවක් කියාගන්නට වචන සොයාගන්නට පුලුවන් වූයේ නැත.

අනෙක් අතට කතාව කොතනින් අරඹන්නට කොතනින් අවසන් කරන්නද?

“ඔය චරිත්‍රා කියන මනුස්සය ගැන මොනවහරි විස්තරක් උඹ දන්නවද?”

ළහිරු විමසයි

“ප්‍රභාත් කියන කෙනාද?”

“ඔව් ඌ නේද දැන් ඔය අකවුන්ට් එක හැක් කරල වීඩියෝ දාල තියෙනව කියන්නෙ”

“ඔව්.මම දන්නෙ නෑ මචං ඒ කවුද කියල. ඒත් මට හිතෙන්නෙ ඌ අපි හිතනව වගේ එකෙක් වෙන්න බෑ”

“ඇයි එහෙම කියන්නේ?”

බියර් කෑනය මුව මත තබාගෙන උගුරෙන් උගුර දෙතොල් තෙමාගනිමින් ළහිරු – මිහික කතාව ගලායන්නට විය.

“උඹ හිතනවද සාමාන්‍ය මිනිහෙක් උනානම් බය නැතුව ඕක ලීක් කරාවි කියල. තමන්ව අහුවෙන බව දැනගෙන ඔහොම දෙයක් කරාවි කියල? 

ඌ දන්නව ඒ වීඩියෝ එක ලීක් කරේ කවුද කියල දැනගත්තත් ඒකෙන් බේරෙන්න ඌට පුලුවන් බව. අපි සෙල්ලම් කරන්නෙ අපි හිතනවට වඩා ලොකු එකෙක් එක්ක”

ඒ වූ කලී නිහඬතාවයට උල්පන්දම් දුන් කතාබහකි.

“ඒ කියන්නේ අපි මේ ප්‍රශ්නෙන් චරිත්‍රාව බේරගන්න මොනතරම් ට්‍රයි කරත්….”

“ඒ ප්‍රශ්නෙ හැමදාම ඒ විදියටම තියෙනව කියන එක”

ළහිරු ඇරඹූ කතාව අවසන් කලේ මිහිකය. ඒ වචන අතරතුරත් අවසානයේත් හුවමාරු වූ වදන් වල වූයේ පුදුමාකාර බරකි.

මද පවනකට තෙත බරිත පුලුන් ගසාගෙන යන්නට නොහැක. එහෙත් ඒ පුලුන් කාලයත් සමග වේලා දමන්නට හැකිය.

ඉතින් කාලය විසින්ම මේ දේවල් තමාගේ ඔලුවෙන් ඉවත් කරගන්නට හෝ තමාගේ ඔලුවේ කෙලවරකට විඩි කර දමන තුරු බලා හිඳින්නට චරිත්‍රාට සිදුවනු ඇත.

ඒ දිනය එනතුරු තමන් හෝ ළහිරු ඇයත් සමග රැඳී හිඳීවද යන්න තමන් දෙදෙනාම නොදනී.එහෙත් මේ මොහොතේ ඇය වෙනුවෙන් කල හැකි සියලුම දේ කරන්නට මිහිකත් ළහිරුත් සිතෙන් පිළිණ දෙමින් උන්නේය.

ඒ ආදරයේ නාමයෙනි.

මනුසත්කමේ නාමයෙනි.

ඒ ආදරයත් මනුසත්කමත් අතරට එක් වූ ළහිරුගේත් මිහිකගේත් බියර් සුවඳැති කතා බහ රැය තිස්සේ ඇදී යන්නට විය.

ජීවිතය සමහර අවස්තාවන් වල දෙවනි අවස්තාවක් නොදනී.

ඉතින් මේ මොහොතේ ජීවත් විය යුතුය.

අනාගතය ගැන සටහනක් සිතේ තිබිය යුතුය.

එහෙත් එසේ නොමැති අවස්තාවක පවා මේ මොහොතේ ජීවත් විය යුතුමය.

ජීවිතය යනු එයමය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles