සතියට මීල් ප්ලෑන් එකක් හදාගන්නේ මෙහෙමයි

මීල් ප්ලෑනින් කියන්නේ ඔයාගේ බිසී ලයිෆ් එක මාර විදියට ලේසි කරන දෙයක් බව ආය අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

ඉස්සර නම් අපෙ අම්මලට ගෙදරම ඉන්න නිසා සහ නංගිල මල්ලිල නැන්දල මාමල මහ ගොඩක් ඉන්න ලොකු පවුල්වලට එදා වේල එවෙලෙ උයාගන්න එක ලේසියක් වුණාට, දෙන්නෙක් තුන්දෙනෙක් විතරක් ඉන්න, ගෙදර හැමෝම බිසී පවුල්වලට නම් මීල් ප්ලෑනින් කියන්නෙ ලොකුම ලොකු උදව්වක්.

ඉතින් අපි හිතුවා අද ඔයාලත් එක්ක බෙදාගන්න සතියකට ගැලපෙන්න මීල් ප්ලෑන් එකක් වගේ හදාගන්නෙ කොහොමද කියලා.

සාමාන්‍යයෙන් ගෙදර මිනිස්සු බිසී උනාම ටක්ගාලා ලේසියට හදාගන්න කෑම බීම වලට යන නිසා ආස දෙයක් රසට කන්න ලැබෙන චාන්සස් මාර අමාරුයිනේ. ඉතින් ඒ ප්‍රශ්නත් විසඳගෙන රසට වගේම පහසුවට පවුලෙ ඉන්න කීප දෙනාට ගැලපෙන විදියට සතියකට හදාගන්න පුලුවන් විදියක් තමයි මේ.

ඒ වගේම තමයි මේ ක්‍රමය ඔස්සේ බොහොම සමබල, පෝශ්‍යදායී ආහර වේලක් ගන්න ලැබෙන ඉඩකඩත් වැඩියි. මතක ඇතිනෙ ඉස්සර ඉස්කෝලේ සෞඛය පාඩමට කියල දුන්න සමබල බත් පිඟානක තියෙන්න ඕන ජාති මොනවද කියල.

දැන්නම් තුන් වේලටම බත් කන අවස්තා අඩු නිසා වෙන වෙන ඔප්ෂන්ස් වලටත් යන්න තියෙන ඉඩ එක්ක මේ ක්‍රමය ඔයාලට හරිම පහසුවක් වෙයි.

ගොඩක්ම බිසී වෙන්නෙ උදේටනේ. ඉතින් උදේ යුද්ධෙ අඩු කරගන්න, උදේ කෑම වේල පහසුවෙන් හදාගන්න මෙන්න මෙහෙම කරන්න.

ගාපු පොල් තියාගමු

උදේට කන්න බතල ටිකක් වගේ තම්බගත්තොත් කන්න පොලුයි ලුණු මිරිසුයි ඕනනේ. ඔයාට පුලුවන් පොල් ටිකක් ගාගෙන ෆ්‍රිජ් එකේ තියාගන්න. හොඳට කට වැහෙන බාජනයක හරි සිප්ලොකර් බෑග් එකක හරි වුණත් අසුරාගන්න පුලුවන්. ඒ වගේම තමයි හදිසියේ හරි මොකකට හරි පොල් කිරි ටිකක් හදාගන්න ඕන උනත් එතකොට පුලුවන් නේ.

ටිකක් දවසක් ගියාම සීතලට පොල් ටික හයිය වෙනවා වගේ වෙන නිසා විවේක ලැබෙන විදියට ඔයාගේ ගාපු පොල් ස්ටොක් එක අලුත් කරගන්නත් ඔයාට පුලුවන්.

ඕනම කෑමක අඩු පාඩු මකා ගන්න අච්චාරුවක්/බැදුමක්

ඔන්න ඔයාට විවේකී සති අන්තයක වගේ පවුලෙ කට්ටිය ආස විදියෙ අච්චාරුවක්, කල් තබාගන්න පුලුවන් හාල්මැස්සො කරවල බැදුමක් එහෙමත් නැත්තම් මාලු ඇඹුල් තියලත් හරි හොඳ රසට පොලොස් ඇඹුලක් වගේ හදාගන්න ඇහැකි නම් ඉන්පස්සෙ එන දවස් ටික රසටයි පිරිසිඳුවටයි කන්න බොන්න පුලුවන්.

සති අන්තයක් අල්ලල මේ වගේ කෑමක් හදාගත්තම උණු බත් ටිකක්, පරිප්පු ටිකක් එක්ක වගේ උනත් ගෙදරදිම, පහසුවටයි, පිරිසිඳුවටයි මිල අඩුවෙනුයි කන්නත් ඉඩ ලැබෙනවා.

අච්චාරුත් හැමෝම දන්න මැලේ අච්චාරු, සිංහල අච්චාරු වෙන්නම ඕන නෑ. කලාතුරකින් හදන බිලිං අච්චාරුවක්, පොලොස් අච්චාරුවක්, ලුණු දෙහි එකක් උනත් මොන තරම් අපූරුද?

ගාලා ෆ්‍රිජ් එකේ තියාගත්ත පොල් ටිකකින් පොල් සම්බල් හදාගෙන, උණුවට සුදු බත් ටිකක් එක්ක පරිප්පු ටිකකුත් හදාගත්ත නම් ආය රජ කෑමක් නේ.

හැමදාම බත් එකට මැල්ලුමක්

අපි නම් මැල්ලුම් කිව්වම දන්නෙ පොල් මැල්ලුම්, කොල මැල්ලුම්නේ. ඒව ඉතින් ගොඩක් වෙලාවට පි ඔය එදාවේල කන්න හදාගන්න ඒව නේ.

ඒත් හැමදාම එකම විදියට කද්දි කොච්චර රස වුනත් කට්ටියට එපා වෙන නිසා ගස්ලබු මැල්ලුම්, පොල් චට්නි, තිබ්බටු මැල්ලුම් වගේ දේවල් හදාගන්න ටර්‍යි එකක් දෙන්න. මේවා සතියෙ දවසක වැඩ කන්දරාවක් අස්සෙ හදන්න උවමනා නෑ. ඔයාට විවේක තියන විදියට හදාගෙන රස විඳින්න පුලුවන් වගේම හැමෝම ආසාවෙන් රස විඳින වෙනසකුත් කෑම වේලට එක්කරාවි.

පොල් ගාන දවසට මොනවද හදන්නේ?

ඔයත් දවස් කීපයක් තියාගන්න පුලුවන් විදියට එක දවසක පොල් ගානවා නම් එදාට ඔන්න ඔය පොල් දාලා හදන කෑම බීම ටිකක් හදාගන්න පුලුවන්.

නැවුම් පොල් දාලා ඉතින් ගොටුකොල සම්බල්, පොල් මැල්ලුම්, පොල් සම්බල් වහේ හදාගන්නත් පුලුවන්.

ඒ විතරක් නෙවෙයි පොල් දාලා රොටි මෝලිය අනල තිබ්බොත් එදා රෑට වගේම පස්සෙන්ද උදේට උනත් රොටි හදාගන්නත් පුලුවන්.

ඊට අමතරව පිට්ටු හදන්න උවමනාවක් තියෙනවනම් රෑට පිට්ටු කැට ටික හදල හොඳට වැහෙන භාජනයක අසුරල ෆ්‍රිජ් එකට දාන්න. හදන්න ගන්න වෙලාවට ස්ටීම් කරගන්න.

ඊටත් අමතරව දරුවො ඉන්නවනම් ඔන්න සමපෝෂ, හැලප වගේ ජාතියක් උනත් ටර්‍යි කරන්න හොඳම දවස තමයි මේ පොල් ගාන දවස.

ඒ වගේම තමයි තුන්වේලම බත් කන්න ඕනත් නෑනේ. විශේෂයෙන් රෑට සුප් එකක්, ස්ටු එකක්, නූඩ්ල්ස් වගේ දේවල් ට්‍රයි කරන එකෙන් කෑම වේලට වෙනසක් වගේම රසයකුත් එක්කරගන්න ඔයාලට ඉඩ ලැබෙනවා.

උදේට උනත් කඩල, මුං ඇට, පාන් ටෝස්ට් වගේ දේවල්, කලින් දවසෙ අනල තිබුන මෝලියෙන් හදාගත්ත රොටි වගේ දෙයක් උනත් ඇඩ් කරගන්න.

පොඩි වෙනසකටත් එක්ක මම හිතුවා ඔයාලත් එක්ක බෙදාගන්නවා කියල අපිට වේල් තුනට ට්‍රයි කරන්න පුලුවන් මීල් ප්ලෑන්ස් තුනක්.

සඳුදා

උදේට ට්‍රයි කරන්න ගාපු පොල්, තම්බපු බතල, ලුණු මිරිසක්

දවල්ට කෑම හදද්දි උදේට බතල තම්බගද්දි වැඩිපුර ටිකක් තම්බගන්න. අල තෙල් දානව වගේ තෙල් දාලා පොල් චුට්ටකුත් දාලා ගත්තම මාරම රස බතල බැදුමක් හදාගන්න පුලුවන්. (මේක මාර රසයි ඇත්තටම)

පරිප්පු , ගොටුකොල සම්බල්, අපි කලින් හදාගත්ත මාලු හෝ චිකන් ඇඹුල් තියලක් එක්ක බත් එකතු කරගත්ත නම් රසත් හරි, ගුණත් හරි, පහසුවත් එහෙමයි.

රෑට බත්ම කන්න ඕන නෑනෙ.

අපි අද රෑට එලවලු සහ බිත්තර දාගත්ත නූඩ්ල්ස් එකක් ට්‍රයි කරමු. (කලින් දවසෙ හරි උදේ වරුවෙ හරි නිස්කලංක වෙලාවක් තිබුණනම් කලින්ම එලවලු ටික කපාගෙන හිටියත් කමක් නෑ)

මේකටත් ඔයාට ඕන නම් කලින් ගෙදරම හදාගෙන තියපු චිලි පේස්ට් ටිකක් වුනත් එකතු කරගන්න පුලුවන්.

අඟහරුවාදා

අද උදේට ඔයාට පුලුවන් ප්‍රෙශර් කුකර් එකේ දාලා ගෙදර අය ආස කරන මොනව හරි ධාන්‍ය වර්ගයක් තම්බගන්න. ඒකට උනත් පොල් ටිකකුයි ලුණු මිරිස් ටිකකුයි ඇතිනේ නේද?

ඉරිදා හවස පොල් ගාගෙන තියාගත්ත නම් වැඩේ තව ටිකක් ලේසි.

දවල්ට කන්න අපි හදාගමු බත් ටිකක් එක්ක පරිප්පු හොද්දක්. කල් තියාගන්න හදාගත්ත හාල් මැස්සො බැදුමක් එක්ක, සති අන්තෙ හදාගත්ත, මේ වෙද්දි හොඳට බොරේට තියෙන පොලොස් ඇඹුලකුයි, පිපිඤ්ඤ්දා කපල හදාගත්ත සලාදෙකුයි තිබ්බ නම් හරි.

රෑට කද්දි ඔන්න අද හොඳ දවසක් සති අන්තේ හදාගත්ත පොලොස් ඇඹුල ඉවර කරල දාන්න. ඉතින් රෑ වේලට පොල් රොටි ටිකක් හදාගමු. ඉරිද හවස් වරුවේ එලවලු කපාගෙන තියාගත්ත නම් එලවලු දාලාම හදාගන්න පුලුවන්.

පොල් රොටි එක්ක පොලොස් බොර. රහයිනේ?

බදාදා

කලින් දවසෙ ඉතුරු වෙච්ච රොටි ටිකක් ඉතුරු උනානම් අද උදේට ඒ ටික කන්න පුලුවන් මාමයිට් හරි ජෑම් ටිකක් වගේ ගාලා සැන්ඩ්විච් කරගෙන. ජෑම් හරි මාමයිට් හරි ගාගන්න කලියෙන් රොටිය තැටියක දාල පොඩ්ඩක් රත් කරගත්ත නම් හරි.

දවල් වරුවට බත් එක්ක, ගෙදර අය ආස එලවලුවක් කිරට හදාගන්න, පරිප්පු ඕන නම් පරිප්පුත් හදාගන්න (අපේ ගෙදර නම් පරිප්පු හැමදාම හදන්න ඕන මනුස්සයට ඕන හන්දා), තෙම්පරාදු කරපු පොල් සම්බලයක් එක්ක, සැමන් කරියක් මිරිසට.

රෑට අපිට පුලුවන් පැස්ටා වගේ දෙයක් ට්‍රයි කරන්න. වැඩිය නටන්න ඕන නෑ. පැස්ටා ටික තැම්බෙන්න තියාල එලවලු, මස් ජාති දාලා තෙම්පරාදුව හදාගෙන පැස්ට එකට එක්කහු කරන්න. දරුවො ඉන්නවනම් චීස් ටිකක් උනත් දාගන්න පුලුවන්.

බ්‍රහස්පතින්දා

ඊයේ රෑට ඉතිරිවෙච්ච පැස්ටා රත් කරලා උදේ කෑමට එකතු කරගන්න පුලුවන්.

දවල් වරුව ඉතින් ගොඩක් වෙලාවට අපි බත්නෙ කන්නේ. ඒ වෙනුවෙන් ඔයාට පුලුවන් සෝයා මීට් කරියක්, කිරට හදපු එලවලුවක්, චීස් එක්ක ඔම්ලට් දාපු බිත්තරයක් සහ පොඩි බැදුමක් එක්කහු කරගන්න.

රෑට අපි අද සැහැල්ලු දෙයක් ගමු උදේ දවල් වේල් දෙකම පිටි කෑම ගත්ත නිසා. එලවලු සහ චිකන් දාපු සුප් එකක් එක්ක පාන් පෙත්තක් වගේ.

සිකුරාදා

රෑ නිදියන්න කළියෙන් ධාන්‍ය ටිකක් පෙඟෙන්න දාලා උදේට තම්බගෙන පොල් ලුණු මිරිස් එක්ක කන්න.

උදේට මුං ඇට වගේ තම්බගත්තොත් දවල් බත් එකට මුං ඇට මැල්ලුමක්, පරිප්පු, කරවල බැදුමක් එක්ක එලවලුවක් හදාගත්තම හරි.

හෙට සෙනසුරාදා නිසා අද රෑට පොඩ්ඩක් පරක්කු වෙලා නිදාගන්න හිතාගෙන මූවි නයිට් එකක් කරමුද?

පාන් ටිකක් ගෙනත් බිත්තර පේස්ට් දාල සැන්ඩ්විච් හදල කට්ලට් ටිකක් බැදගෙන?

සෙනසුරාදා

හැමෝම එකට කෑම මේසෙට වාඩිවන දවස නිසා ඕනම කෙනෙක් කන්න ආස කිරිබතක් හදමු. ලුණු මිරිසක්, ලූණු බැදුමක් එක්ක වගේම දරුවන්ට නම් කෙසෙල් එක්ක උනත් කන්න පුලුවන්.

අද තමයි අපි කහ බත් හදන දවස. කහ බත් එක්ක, පරිප්පු තෙම්පරාදුව, මාලු මිරිස් පුරවපු කරිය, පිපිඤ්ඤා සලාද සහ චිකන් කලුවට ආව නම් හරි.

රෑටත් අපි අද වෙනස් දෙයක් ට්‍රයි කරමු. ගෙදරම හදපු නාන්, චපාති හරි කොත්තු වගේ දෙයක් එක්ක කෑම මේසෙ ලෑස්‍තියි.

ඉරිදා දවසත් මේ සෙනසුරාදා වගේම ස්පෙශල් කෑම වලින් පුරවගන්න ගමන්ම ඊලඟ සතියට ඕන කරන කල් තියාගන්න පුලුවන් කෑම ජාති ටිකක් හදාගන්න, එලවලු ටිකක් වැඩිපුර කපලා තියාගන්න, පොල් ටිකක් වැඩිපුර ගාලා තියාගන්න අමතක කරන්න එපා.

ඒවත් එක්ක ඉස්සරහ සතියත් බොහොම ලේසියෙන් ගෙවන්න ඔයාලට පුලුවන්.

ඉතින් මොකද කියන්නේ ඔයාලගෙ මීල් ප්ලෑන්ස් එහෙමත් මාත් එක්ක කමෙන්ට් එකකින් බෙදාගන්නවද?

Related Articles

Don't Miss


Latest Articles