කටට රසට සැරට කන්න සෝයාමීට් නූඩ්ලස්

නූඩ්ලස් කියන්නෙ අද වෙද්දී ඉතාම පහසුවෙන් හදාගන්න පුළුවන් බොහොම ජනප්‍රිය කෑමක්නෙ.

නමුත් අද වෙළඳපොළේ දකින්න ලැබෙන බොහොමයක් ක්ෂණික නූඩ්ලස් වර්ග රසකාරක සහ වෙනත් කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු කරල පිළියෙල කරන නිසා ඒවා පසුකාලීනව විශාල සෞඛ්‍ය ගැටළු ඇතිකරන බෝ නොවන රෝග ගණනාවක්ට හේතු වෙන්න පුළුවන් කියල වෛද්‍යවරු අනතුරු අඟවනවා. 

අන්න ඒ නිසා නිතරම නිවසේදී පිළියෙල කරගන්න පුළුවන් රසවත් වගේම ගුණවත් ආහාර ගැන අවධානය දක්වන අපේ smart ladies ලට හැමදාම පුරුදු නූඩ්ලස් හදන ක්‍රමය වෙනුවට ටිකක් වෙනස් නූඩ්ලස් රෙසිපියක් අරන් එන්න අපි තීරණය කරා. 

සෝයා කියන්නෙ අපිට නුපුරුදු දෙයක් නෙමෙයිනෙ. 

ඉතිං ඔන්න අපි අද කියල දෙන්නෙ කටට සැරට රසට කන්න සෝයාමීට් නූඩ්ලස් හදාගන්නෙ කොහොමද කියලයි.

මුලින්ම අපි බලමු අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල 

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඔබ කැමති නූඩ්ලස් 100 g ක්
  • සෝයා මීට් 50 g 
  • දික් අතට කපාගත් 
  • ලූණු,
  • කැරට්, 
  • බෙල්පෙපර් පාට කීපයකින්(අත්‍යාවශ්‍ය නැත) 
  • ලීක්ස් හෝ ලූණු කොළ,
  • කොළ හෝ දම් ගෝවා.
  • තලාගත් සුදුලූණු බික් දෙකක් හෝ තුනක්
  • සෝස් මිශ්‍රණය සඳහා
  • තක්කාලි සෝස් මේස හැඳි 02 ක්,
  • සෝයා සෝස් මේස හැඳි 01 ක්,
  • ගම්මිරිස් කුඩු තේ හැඳි ½ ක්,
  • කෑලි මිරිස් කුඩු මේස හැඳි 01 – 02 ක්,
  • සීනි තේ හැඳි ½ ක්. 
  • වතුර අඬු කෝප්ප ½ ක් පමණ
  • රස අනුව ලුණු
  • මිරිස් කුඩු
  • කහ කුඩු 

සාදාගන්නා ආකාරය 

මුලින්ම වතුර භාජනයක් ලිපතබා එයට ලුණු කුඩු ස්වල්පයක් එකතු කරන්න. වතුර නටන තුරු රත්වූ පසු එයට සෝයාමීට් එක්කර හොඳින් තම්බා ගන්න.

හොඳින් තැම්බුණු සෝයාමීට් වතුරෙන් ඉවතට ගෙන හොඳින් වතුර ඉවත්වන සේ මිරිකා රස අනුව මිරිස් කුඩු, ලුණු කුඩු සහ කහ කුඩු මිශ්‍රකර ටික වේලාවක් තබන්න. 

නැවත වතුර භාජනයක් ලිපතබා එයට ලුණු කුඩු සහ තෙල් මේස හැන්ඳක් පමණ එක්කර වතුර නටන තුරු රත්වූ පසු නූඩ්ලස් එක්කර තම්බා ගන්න.

හොඳින් තැම්බුණු නූඩ්ලස් වල වතුර ඉවත්වන සේ පෙරා පසෙකින් තබන්න. 

දැන් තෙල් තාච්චියක් ලිප තබා කලින් තම්බා ගත් සෝයා මීට් ගැඹුරු තෙලේ බැඳගන්න. 

මීළඟට අපි සූදානම් වෙන්නෙ නූඩ්ලස් සඳහා අවශ්‍ය සෝස් මිශ්‍රණය පිළියෙල කරගන්නයි. 

කුඩා බඳුනක් ගෙන එයට වතුර, තක්කාලි සෝස්, සෝයා සෝස්, කෑලි මිරිස්, ගම්මිරිස්, සීනි සහ ප්‍රමාණවත් තරම් ලුණු එක්කර හොඳින් මිශ්‍රකර ගන්න. 

දැන් උයන භාජනයක් ලිපතබා එයට තෙල් හෝ බටර් මේස හැඳි 01 – 1 ½ ක් පමණ දමා තෙල් රත්වන විට තලාගත් සුදුළූණු එක්කර ගන්න. 

සුදුළූනු රන්වන් පැහැවන තුරු බැදෙන්නට තබා එයට ලීක්ස් හෝ ලූණු කොළ හැර ඉතිරි එළවළු එක්කර මඳ වේලාවක් තබා නූඩ්ලස් එක්කර හොඳින් කලවම් කරගන්න. 

දැන් එයට සෝස් මිශ්‍රණය එක්කර නැවත හොඳින් කලවම් කර අවසානයට බැඳගත් සෝයා කැබලි ටික එක්කර ගන්න. 

ලිප නිවා ලීක්ස් හෝ ලූණු කොළ එක්කර හොඳින් කලවම් කර පිළිගන්වන්න. 

ඔබ කැමති නම් තම්බාගත් මාළු හෝ මස් වර්ගයක් එකතු කරන්නත් පුළුවන්.

ඊට අමතරව, පිළිගන්වන වෙලාවෙදී තල ඇට ස්වල්පයක් උඩින් ඉස පිළිගන්වන්නත් පුළුවන්. 

වෙනසක් කරල බලන්න එහෙනම් මේ විදිහට නූඩ්ලස් කාල බලමුද ? 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles