මෙතෙකැයි කියා කිව නොහැකි හැඟුම් දහරාවක් සහ කඳුලු ගංගාවක් වගුරුවා අවසානයේ අන්සතු වී තිබුණ තම මුහුණු පොතත්, ඊමේල් ලිපිනයත් තමා වෙත ගන්නට චරිත්‍රාට හැකි විය.
ඒ නයනතාරා ගේ නොමද උපකාරයත් ළහිරු සහ මිහිකගේ කැපවීමත් නිසාය.
මෙතෙක් ප්‍රභාත් විසින් තම හිතු මනාපයේ භාවිතා කරමින් උන් ඒ ගිණුම නැවත තමා වෙත ලබාගත්තද සිතෙන් අහිමි වී ගිය මානසික සැනසිල්ල නැවත ලබාගත නොහැකි බව චරිත්‍රා දැන උන්නාය.
මිනිසුන් විසින් විවිධාකාරයේ සිත රිදෙන කතා පවසා තිබූ මුහුණු පොත් ගිණුම විසන්ධි කර දමා සමාජ ජාල මාධ්‍යවලින් මද කාලයකට නික්මෙන්නට චරිත්‍රා තීරණය කර තිබිණ.
මේ බිඳ වැටුනේ තමන්ගේ ආත්ම ගරුත්වය පමනක්ම නොවේ.තමන් විසින් සියලු බොරු සහ මිත්‍යාවන් ගොඩ නගා තිබුනේ තමාගේ ආත්ම ගරුත්වය යන අත්තිවාරම මත බව චරිත්‍රා දැනගත්තේ ඒ සියලු බොරු බිමට කඩා වැටුණු දිනයේය.
මිහික, ළහිරු සහ නයනතාරාගේ උදව්වෙන් තම ගිණුම නැවත ලබාගත්තද ඇය හුන් මානසික වියවුලෙන් ගැලවෙන්නට මනෝ උපදේශනයෙන්ද සහය පතන්නට සිදු විය.
ජීවිතය මේතරම් දුරකින් හෝ බේරී නැවතීම කෙතරම් නම් භාග්‍යයක්ද යන්න ඇයට වැටහුනේ ජීවිතයට මුහුණ දෙද්දීය.
තමා විසින් රවටනු ලැබුවා වුවද මිහිකත් ළහිරුත් මේ සියලු ව්‍යසන වලින් ගොඩ එන්නට ලබා දුන්නෙ පුදුමාකාර අත්වැලකි.
ඒ අත්වැලේ එල්ලී බලාපොරොත්තු පිරුණු ලොවක් කරා නැවුම් හදකින් පියමනින්නට අවශ්‍ය සැබෑ තමාව ලොවට හඳුන්වා දීම පමණක් බව චරිත්‍රා තේරුම් ගනිමින් උන්නාය.
රැකියාව කරන ස්තානය සඳහා යෑමට සිතක් නොවුවද නිවසේ හිඳම කල්පනා කරමින් සිටීම ඇයගේ මානසික තත්ත්වය කඩා බිඳ දමන්නට හේතුවක් වනු ඇති බව පැහැදිලි කර දුන්නේ මිහිකය.
“මමා ගෙදර ගිහින් ඉන්න හිතුවා”
ඒ කතාව ඇරඹුනේ මුහුණු පොත නැවත තමා භාරයට ගෙන එක ක්‍රියා විරහිත කල දවසේය.
එතෙක් දිනක් අවුල් වී තිබූ නිවහන පවිත්‍ර කර එකලාසයක් කරන්නට මිහික ඇවිත් සිටියේය.
සියලු දේ දැනගෙන වුවත් අම්මාත් තාත්තාත් චරිත්‍රාට වචනයකින්වත් යමක් නොකීවේ මිහිකගේත් මනෝ උපදේශිකාවකගේත් උපදෙස් මතය.
“ජීවිතේ මිනිස්සුන්ට වැරදෙන තැන් ඕන තරම් එනවා. ඒ වරද හදාගන්නවද නැද්ද කියල තීරණය කරන්න ඕන තමන්මයි. ඒත් අපි එයාට ඒ වෙනුවෙන් අවස්තාවක් ලබා දෙන්නම ඕන. ඒක තමයි මනුස්සකම,තමන්ගෙ කම කියන්නේ”
තමාගේ දියණිය විසින් රවටනු ලැබුවද මේ තරුණයා කලාතුරකින් දැකිය හැකි අන්දමේ සුන්දර හැඟීම් පිරුණෙක් බව චරිත්‍රාගේ මවත් පියාත් වඩාත් හොඳින් තේරුම් ගත්තේ ඒ ව්‍යසන මැද්දේය.
ඔහු ඉබාගාතේ පාවෙමින් තිබූ තම දියණියගේ ජීවිතයට පිවිසිය හැකි හොඳම නැවතුම්පල බව ඔවුන් තව වරක් තම හිතට කියාදෙමින් උන්නහ.
ඉඟුරු තේ හැදුවේ අම්මාය.
සාලයේ සෙටියේ වාඩි වී කත බහක් නැතිවම ඒ ඉඟුරු තේ රස බලන්නට සිව් දෙනාම එක් වී උන්නහ.
කතාව ඇරඹුවේ චරිත්‍රාය. ඒ කතාවට යමක් කියන්නට පෙර තිදෙනා අතරම බැල්මක් හුවමාරු විය.
“ඇයි පුතේ එහෙම කිව්වේ?” අම්මා ඇසුවේ කඳුලු පුරවාගෙනය. එහෙත් ආදරයේ උණුසුමින් හිත තවාගනිමිනි.
මේ තමා දෑසේ තබා හැදූ දරුවාය. ඈත ගමක හිඳ හොඳින් පාසල් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා උසස් රැකියාවක නිරත වූ දියණිය තමාට ගෙන ආ සතුටත් ආඩම්බරයත් අද දියවී ගොසිනි.
එහෙත් මේ තම දරුවාය.ඒ දරුවා කුමනාකාරයේ විපත්තියක් කරගත්තද කිසිම මවකට පියෙකුට දරුවෙකු අත හැරිය හැකිද?
“මට බයයි අම්මේ”
කඳුලු නොවැගුරුවත් චරිත්‍රාගේ හඬේ තිබූ වේදනාව හැඳිනගත් අම්මා තමා හුන් තැනින් නැගිට ගොස් චරිත්‍රා අසල අසුන්ගෙන ඇයව සනසන්නට විය.
“ඇයි මයි පුතේ එහෙම කියන්නේ?”
“මම කොහොමද අම්මේ ආයෙ ගිහිල්ලා ඒ මිනිස්සුන්ට මූණ දෙන්නෙ? මම ගියා කියල ඉස්සර වගේ වැඩ කරන්න මට පුලුවන් වෙයිද?”
ඒ වූ කලී බලාපොරොත්තු අතහැරුණු හඬක් වුව තමා ජීවිතයට මුහුණ දිය යුතු බව චරිත්‍රා දැන උන්නාය.
“ඔයාට හිතෙනවනම් ඔෆිස් එකට ආයෙ යන්න බෑ කියල නොගියට කමක් නෑ. ඒත් ගෙදර ගිහින් ඉන්න හිතන්න එපා”
ඒ හඬ මිහිකගේය.
ගත වූ දින කිහිපයට මිහිකගෙන් චරිත්‍රා දුටුවේ පෙම්වතුන් වී හිඳියදීත් සැමියා වී හිඳියදීත් නොදුටුව අන්දමේ පිරිමි කමකි. ඒ පිරිමි කම මිහිකට ලැබුනේ කවදාද? තමන් එය මින් පෙර නොදැක්කෙ ඇයිද යන්න පවා චරිත්‍රාට තේරුණේ නැත.
මිහික කියූ දෙයට තමා මිහික දෙස බැලූ බැල්මේ තිබූ “ඇයි එහෙම කියන්නෙ” යන ප්‍රශ්න තේරුම් ගෙන මෙනි මිහික දිගින් දිගටම උත්තර දෙන්නට වූයේ.
“වෙච්ච දේවල් දැන් වෙලා ඉවරයි. ඒව හිතෙන් අයින් කරන්න කිව්වට ඔයාට ඒව හිතෙන් අයින් කරන්න බෑ වගේම මිනිස්සුත් ඒව හිතෙන් අයින් කරන්නෙ නෑකියන ඇත්ත අපි දැනගෙන ඉන්න ඕන. තේරුම් ගන්න ඕන.
ඔයාගෙ ඔෆිස් එකේ මිනිස්සුත් මේ වෙච්ච දේවල් දැකල තියන නිසා එයාල ඔයා එක්ක මොනතරම් හොඳින් කතාකරත් ඔයා හිතේ බයකින් ඉන්න ඕන ඒ මිනිස්සු ඔයා නැති තැන මේව කියල ඔයාට අරව මේව කියනව ඇති කියල.
ඒ වගේ ඉමෝශන්ස් එක්ක ඔයාට එතන ජොබ් එක අමාරුයි කරන්න කියල මම දන්නව. මට ඒක තේරෙනව.
ඒත් ඔයාට එහෙම කියල ගෙදර ගිහින් හැංගිල ඉන්න බෑ. ඔයා එහෙම හිටියම ලෝකෙ මිනිස්සු අහන ප්‍රශ්නවලින් ගැලවෙන්න පුලුවන් උනත් මුකුත් නොකර ගෙදර ඉද්දි ඔයාගෙ හිත ඔයාගෙන් අහන ප්‍රශ්න ඔයාව කොතනට අරගෙන යයිද කියන්න අපි දන්නෙ නෑනෙ.
ඒ නිසා ඔයා ට්‍රයි කරන්න අඩුම තරමෙ වෙන ඔෆිස් එකකට හරි යන්න.
ඔයාගෙ එක්ස්පීරියන්ස් කොලිෆිකේශන්ස් එක්ක අලුත් ජොබ් එකක හොයාගන්න බැරි නෑනෙ.
අනික ඔයාගෙ පර්සනල් ලයිෆ් එකේ වෙච්ච දේවල් ජොබ් එකකට අදාල නැ. අලුත් ජොබ් එකකදි ඔයාට ඒව අමතකම වෙලා යාවි”
මිහික කියාදෙන ජීවිත පාඩම් තමාට ඉගෙන ගන්නට තිබුනේ මෙයට පෙර බව චරිත්‍රා තම සිතට කියමින් උන්නාය. කතා බහ අතරේ නිවී ගිය තේ කෝප්පයේ ඇල් වූ කහට වතුරෙන් ආ අපුල බවටත් වඩා අපුල බවක් තමා ගැන තමාට දැනේ.
එහෙත් ජීවිතය පෙරට වඩා සැහැල්ලු නොවේද?
පෙර මෙන් හිස මත ඔසවා ගෙන උන් තමා විසින් ගොඩ නැගූ බොරුවෙහි මාලිගාව බිඳී ගොස් අවසානයේ නටඹුන් ඉතිරි වී තිබේ. ඒ නටඹුන් අතරම කුඩවට, එනමුත් ඇත්තත්, සැනසිල්ලත් පිරුණු සුන්දර නිවහනක් ගොඩ නගන්නට ජීවිතය තමාට දැන් තවත් ඉඩක් ලබා දී තිබේ.
“ජීවිතේ කියන්නෙ මහ පුදුම එකක් පුතේ. අපි සමහර වෙලාවට එපා කියල විසික්කරල දාන දේවල් තියෙනව නේද ඒවාම තමයි කවදහරි අපිට උදව්වට වෙන්නෙ.
මේ පුතා කියන විදියට රස්සාවෙන් අස්වෙලා ගෙදර ඉන්න එක ගැන අපිට ප්‍රශ්නයක් නෑ. ඒත් පුතේ ඔයා කවද වෙනකම් ලෝකෙන් මූන හංගන් ඉන්නද?
අනික මිනිස්සු මොන වගේ ප්‍රශ්න වලට මේ ජීවිතේ ඇතුලෙ මූන දෙනවද? ඒ හැම ප්‍රශ්නයක් ඉස්සරහදිම හැමදේම අතෑරගන්න හිතනවනම් අපිට එක ජීවිතයක් මදි වෙනවා මූන දෙන්න වෙන ප්‍රශ්න විසඳගන්න.
පුතාට බැරිනම් පරණ ඔෆිස් එකට යන්න අලුත් තැනක් හොයාගන්න. ඒ හොයාගන්නකම් ඕන්නම් ගෙදර ඇවිත් ඉන්න බැරිය”
අප ඉපදෙන්නටත් පෙර කෙනෙකු අපට ආදරේ කරා නම් ඒ අම්මාය. දරුවකු තම කුසට පැමිණි බව දැනගත්ත දා අම්මා කෙනෙකු මොනතරම් නම් සන්තෝසයට පත්වෙනවාද?
දරුවන් මෙ ලොව එළිය දකින තුරු දරාගත යුතු සියලු මානසික ශාරීරික අපහසුතා දරාගනිමින් අම්මා කෙනෙකු කරන කැපකිරීම් දරුවන් මෙලොව එළිය දුටු දිනක පවා නොවියැකේ.
දරුවා කුස හොවාගෙන ඉන්නා කාලයේ මෙන්ම දරුවන් වැඩිවියට පත් වූ පසුද අම්මා කෙනෙකුට දරුවන් නිසා කෙතරම් නම් මානසික වේදනාවන් දරාගන්නට සිදුවෙනවාද?
අම්මා කෙනෙකු මතු බුදු විය යුතු යැයි පවසන්නේ ඒ නිසාවෙන් විය හැක.
තමා නිසා කොපමණ වේදනා හිතෙන් වින්දද මේ මොහොතේ අම්මා ඒ සියල්ල දරාගෙන හිඳින්නේ තමාට සවියක් වන්නටය. දරාගන්නට අපහසුම කාරණාව තමා විසින් නිර්ලජ්ජීව රැවටූ මිනිසුන්ම අවසානයේ කැබලි වලට බිඳී ගිය තම හිත පිළිසකර කරන්නට එක් වී හිඳීමයි.
“අම්මලා යද්දි ඔයා අම්මලා එක්ක යන්න. ඒ අතර වාරෙ රෙසිග්නේශන් දීලා බොස්ගෙන් අහන්න වර්ක් ෆ්‍රොම් හෝම් කරන්න පුලුවන්ද කියල”
මිහික නික්ම ගියේ රාත්‍රී ආහරයද රැගෙනය. මෙතෙක් දවස් මිහික කෑවේ බිව්වේ කෙසේද, රැකියාවෙන් නිවාඩු ගත්තේ කෙසේද යන්න වග පවා තමාට අමතක වූ බව චරිත්‍රාට මතක් වූයේ “කාලා යන්න ඉන්න පුතේ” යැයි අම්මා කිවූ විටය.
චරිත්‍රා ආසා නිසාවෙන්ම අම්මා තෝසෙ හදා තිබුනද කෑමේ රුචියක් චරිත්‍රාට නොතිබුනි.
වෙනදාක මෙසේ එකතු වූවානම් කෑම මේසය කොතෙක් රසවත් විය හැකිද යන්න සිතුණත් අද එහි වූයේ පුදුමාකාර හිස්බවකි. නිහඬතාවයකි. සියල්ලන්ම නිහඬව නිසොල්මනේය.
ළහිරු චරිත්‍රාව ඇමතුවේ රාත්‍රී නින්දට යන්නට හදද්දීය. ඒ ඇමතුම අහිමිවීමක් ගැන කියවෙන දෛවෝපගත ඇමතුමක් බව දැන හුන්නද චරිත්‍රා සිත රිදවාගත්තේ නැත. අමුතුවෙන් රිදෙන්නට හිතක් ඉතින් තමාට දැන් නැත.
“හායි ඔයාට කොහොමද?”
ඉතාම නිස්කලංකව වචන ගොඩනැගුවේ තමා පෙර දැන හුන් දඟකාර කෙලිලොල් ළහිරු නොවේ.එහෙත් වෙනස්වීම දරාගන්නට සිදුවේ. එය සොබා දහමයි.
“වරදක් නෑ”
“කතාකරන්න පුලුවන්ද මේ වෙලාවෙ?”
“පුලුවන් කියන්න”
පිට වූ ඒ බරැති සුසුම සමගින් සියලු වේදනාවන් සිතෙන් පිටමං කල චරිත්‍රා එසේ පැවසුවේ ළහිරු කුමක් කීවද එය දරාගන්නට සිත තුල ඉඩකඩ සකසා ගනිමිනි.
“මේ දේ කියන්න හොඳම වෙලාව මේකද කියන්න මම දන්නෙ නෑ. ඒත් මට හිතුනා අපි මේ කතාව කරොත් හොඳයි කියල.
චරිත්‍රා, ජීවිතේ අපිට එක එක විදියෙ මිනිස්සු හම්බෙනවා. ඒත් ඒ කිසිම මිනිහෙක්ව තව කෙනෙක්ගෙ රිප්ලේස්මන්ට් එකක් කරගන්න අපිට පුලුවන් කියල මම හිතන්නෙ නෑ.
ඔයාට මම ඇත්තටම ආදරේ කරා. මම දන්නවා ඔයත් මට ආදරේ කරා කියල.
ඒත් මොන විදියෙ සම්බන්ධයක් වුනත් පටන් අරගෙන තියෙන්නේ බොරුවකින් නම් ඒ සම්බන්ධෙකට පැවැත්මක් තියෙන්න බෑ. මොකද කවදාවත් බොරුවකට පැවැත්මක් නැති හන්දා.
ඔයා අහගෙනද ඉන්නේ?”
“ඔව් කියන්න මම අහගෙන ඉන්නේ”
“ඔයාට ඔයාගෙම හේතු තියෙන්න ඇති මිහික ඉද්දි මාත් එක්ක යාලුවෙන්න. ඒත් ඔයාට ඒක කරන්න තිබුනෙ එහෙම නෙවෙයි. ඔයා අහල තියෙනවද කතාවක් තියෙනව if you love two people, go for the second one because if you really loved the first, you wouldn’t have fallen for the second කියලා.
ඒ කතාව ඇත්ත. ඒත් තව සම්බන්ධයක් පටන් ගන්න අපි ඒ සම්බන්ධෙ තියෙන ඉඩකඩේ තියෙන වෙන සම්බන්ධයක් නතර කරන්න ඕන. ඒක හරියට ෆෝන් කෝල් එකකුත් වගේ. එක කෝල් එකක් ගන්න අපිට තව කෝල් එකක් කට් කරන්න වෙනවා. ෆෝන් කෝල් එකක නම් අපිට හෝල්ඩ් ඔප්ශන් එකක් තිබුනට ජීවිතෙ ඇතුල එක සම්බන්ධයක් ඉවර වෙනකම් තව සම්බන්ධයක් අපිට හෝල්ඩ් කරල තියාගන්න බෑ.
මිහික හරිම හොඳ කොල්ලෙක්. ඌ මාරෙට මහන්සි උනා ඔයාව මේ ප්‍රශ්නෙන් ගලවගන්න. සමහර විට ඌට දැනෙන්න ආදරේ කරන්න බැරි වෙන්න ඇති. ඒකටත් හේතු තියෙන්න ඇති. මම ආවෙ ඒ හිඩසට වෙන්න ඇති.
ඔයා මට මිහික ගැන නොකියපු එක වරදක්. මට ඔයාගෙ වෙච්ච හැමදේම නොවුන ගාණට ඉඳල මේ අෆෙයාර් එක කන්ටිනිව් කරගෙන යන්න පුලුවන්.
ඒත් මිහික වගේ හොඳ මනුස්සයෙක්ව නොදැන හරි රවට්ටපු එක, එහෙම මිනිහෙක්ට දුකක් දීපු එක ගැන මගෙ හිතේ තියෙන ගිල්ට් එකක් මට කවදාවත් නැති කරගන්න බෑ.
ඒ වගේ ගිල්ටි හිතක් එක්ක ලයිෆ් එකේ ඉස්සරහට මූව් ඔන් වෙන්නත් මට බෑ.
හැමදෙයක්ම පටන් ගන්නෙ ඉවර වෙනව කියල දැනගෙනනෙ.
අපේ මේ අෆෙයාර් එකත් මේ විදියට ඉවර වෙන්න තියෙන්න ඇති. මම සෑහෙන සන්තෝස උනා ඔයා එක්ක ගෙවිච්ච පොඩි කාලෙට. ඒ වගේ ලස්සන කාලයක් මගෙ ජීවිතේට අරන් ආවට බොහොම ස්තුතියි.
මම ආයෙ කතා කරන්නෙ නෑ. ඒත් හොඳින් පරිස්සමෙන් ඉන්න. එක පාරක් වැරදුනාට ආයෙ නැගිටින්න පුලුවන්, ඒත් එකම වරදට දෙපාරක් වෙන්න ඉඩ දෙන්න එපා”
සමු ගැනීම් ගෞරවණීය යුතු බව මිනිසුන් ලියති, කියති.
ආදරයක් ඇරඹුමත් අවසානයත් මෙතරම්ම ගෞරවණීය කළ ළහිරුය සමුදෙන්නට චරිත්‍රා සිත සදාගත්තේ නිස්කාංසුවේය.
ජීවිතය සෑම මොහොතකම වෙනස් වේ.
ජීවිතය සැම මොහොතකම විඳිය යුත්තේ එබැවිනි.
මක් නිසාද යන් මේ මොහොත ආයේ නොඑන බැවිනි.