මම වෙනම මලක් – 18

“මං ඔයාට චාරු ලොකු අම්මා ගැන කියලා තියනව නේද පුතේ?”

නිර්මලා ඇසුවේ කුස්සියේ උයමනට උදව් දෙමින් සිටි නිලුපුලීගෙනි. නිලුපුලී හිස වැනුවා ය. ඇය එහෙම කෙනෙක් ගැන අසා තිබේ.

“අර ජෝතිරත්න මහත්තයා නිමිත්තක් බලල කිව්වේ ලොකු අම්මා මං ගාවට වෙලා ඉන්නවා. බෝතලේකට දාන්න ඕන කියලා.”

නිලුපුලී අඩුවැඩිය එකතු කළා ය. ජෝතිරත්නගේ ජොතිෂ්‍ය කටයුතු වැඩිහිටියන් කොහොම විශ්වාස කළත් වත්තේ කොලු කෙල්ලන්ට ඒවා මහත් විහිළුවක් වූ අවස්ථා වැඩි ය. හොඳටෝම වැඩිය. ලොකු අම්මා තමන් අසල ඉන්නා බව කියද්දී නිලුපුලී බිය නොවුණේ ඒ හන්දා ය.

“කන එක ලොකු අම්මටත් හරියන්න කාපං. උඹ ගාවට වෙලා ඉන්න මනුස්සයා බඩගින්නෙ තියන්න එපා පව්.”

කොලු කෙලි රොත්ත එක් වී මුදල් එකතු කර මොනවා හෝ කඩ කෑමක් බඩට දාගන්නා මොහොතක මිතුරියන් ඇයට විහිළු කරන්නේ එහෙම ය. එය එතරමට සරදම් කතාවක් වී තිබිණ..ලොකු අම්මා වත්තෙන් යන්නට ගිය බවත් විවාහයේ ගැටළුවක් හන්දා සිය දිවි නසා ගත් බවත් නිලුපුලී දනියි. කොහොමටත් අම්මා කතා නොකරන මාතෘකා ගැන ඇය දන්නේ ඕපාදූප මාර්ගයෙනි.

“ජෝතිරත්න මහත්තයා කියන්න ඇත්තෙ ඇත්ත පුතේ. ඔයාගේ හැඩ හුරුවත් අක්කා වගේ. ඉගෙන ගන්න දක්සකමත් ඒ වගේ. ඔක්කොමත් හරි ඊයේ පෙරේදා වෙච්ච දේවලින් මට හිතෙනවා එයා ඔයා ගාව ඇති තමා.”

නිලුපුලී අම්මා දෙස බැලුවේ පුදුමයෙනි. ඊයේ පෙරේදා සිදු වූ පුදුම සහගත දෙයකට ඇත්තේ අම්මා ඇයට නැවත ලැබීම ය.අම්මාගේ ආදරය නොලැබුණු කාලයටත් සරිලන ලෙස ලැබෙන්නට පටන් ගැනීම ය. ඒ හැරෙන්නට ඊයේ පෙරේදා සිදුවූ අමුතු දෙයක් ගැන නිලුපුලීට වැටහීමක් නොවේ.

මේ කාරණා කතා කළ යුත්තේ අතිශය ප්‍රවේසම් සහගතව බව නිර්මලා දැන සිටියා ය. කතාවේ කියන්නට සුදුසු කොටසක් තිබේ. නමුත් අනිත් කොටස සදාකාලික රහසක් විය යුතු වේ. නිලුපුලී සහ ඇය සමීප වන්නට පටන් ගත්තා පමණි. චාරුලතා මිය යන්නට හේතුව තමන් සහ පාලිත අතර වූ අනියම් සම්බන්ධතාවය යැයි දැන ගැනීමම නිලුපුලී උන්නාටත් වඩා දුරස් වන්නට හේතුවක් බව නිර්මලා කල්පනා කළා ය. අනිත් කාරණාව චාරුලතා මිය යෑමේ එක් හේතුවක් වන්නේ නිලුපුලීගේ උපත ය. අවුරුදු විසි දෙකක දැරියකට මේ කාරණා උහුලා ගන්නට අපහසු විය හැකි ය.

ඒ නිසා කියන්නට හැකි කාරණාව පමණක් කියන්නට නිර්මලා තීරණය කළා ය.

“ඔයාගේ කොම්පැනිය අයිති ලොකු අම්මගෙ එකම පුතාට. ඒ මහත්තයා ඔයාගෙ අයියා පුතේ.”

සත්‍ය සම්පූර්ණයෙන්ම වාක්‍ය දෙක තුළ අඩංගු ය. නමුත් රදීෂ් ඇගේ අයියා වන්නේ ලොකු අම්මාගේ පුතා වීම නිසා බව නිලුපුලී දැන සිටීම සෑහේ.

උඩගොස් බිම වැටීම යන අත්දැකීම කොහොම එකක්දැයි නිලුපුලීට වැටහුනේ ඒ කතාව ඇසීමෙන් පසුව ය. නමුත් ඇයට වැඩි දේවල් සිතන්නට ඉඩ නොදී නිර්මලා දිගටම කතා  කරමින් සිටියා ය. 

“සමහර විට ලොකු අම්මා ඔයා ළඟ ඇත්තටම ඇති. මං දැන් වයසයි. වයසට වඩා දුර්වලයි. ඔයාව ඔයාගේ නෑදෑයෝ අරගෙන යන්න ලොකු අම්මා තීරණය කරන්න ඇති.”

අම්මා තවම ගෙවන්නේ මැදි වයස ය. එහෙත් ඈ හොඳටෝම දුර්වල බව නම් නිලුපුලී පිළි ගන්නී ය. ඒ ඕනෑවට වඩා දුක් උහුලන නිසා ද නැතිනම් නොනවත්වා වැඩ කිරීම නිසා ද යන්න ගැන ඇයට පැහැදිලි අදහසක් නැත.

“මට කවදාවත් සර්ට කියන්න බෑනෙ අම්මේ මං එයාගෙ නංගි කෙනෙක් කියලා.”

නිලුපුලී අනතුරුව එසේ පැවසුවා ය. 

කාර්යාලයේ සිටින සෑම කෙල්ලක ම පාහේ රදීෂ්ව “ක්‍රෂ් එකක්” කරගෙන සිටින නමුත් තමන්ට ඔහු එසේ නොවූයේ ඇයිදැයි දැන් නිලුපුලීට පැහැදිලි ය. ඇයට ඔහුව දැනුණේ යෝධ මිනිසෙකු ලෙස ය. ඔහු කතා කරන අන්දම  සහ හැසිරෙන අන්දම දෙස බොහෝ වෙලා බලා සිටින්නට ඇත. ඔහු අහස්‍යාට ආදරයෙන් කතා කරද්දි ඒ ආදරණීය ස්වරය තමන්ටත් ලැබෙන්නේ නම් යැයි සිතූ අන්දම නිලුපුලී සිහි කළා ය. ඊර්ෂ්‍යාවට හේතු තිබේ. මොනතරම් ඉදිරිගාමීව සිතන්නට උත්සාහ කළත් ඕනෑම කෙල්ලක තමන්ගේ අයියා තමන්ට වඩා බිරිඳට ආදරය කරද්දී ඉරිසියා සහගත වේ.

රදීෂ් ලියනාරච්චි!

ඔහු විශාල මිනිසෙකු ලෙස දැනෙන්නට හේතුව දැන් නිලුපුලීට වැටහේ. ඔහු මැදුරක උපන්න ද ඇය වේල්ල වත්තේ මුඩුක්කු නිවසක උපන්න ද ඔවුන් ඥාති දරුවන් ය. කාත් කවුරුත් නැති බව සිතා සිටියාට ඇයට අයියා කෙනෙකු වේ. එය සුළුපටු හැඟීමක් නොවේ.

“අර නදීෂ් කියන රස්තියාදුකාරයා රදීෂ් සර්ගේ මල්ලිද අම්මේ? කුඩම්මගෙ පුතාද?”

නිර්මලා හිස වැනුවා ය. නිර්මලා ප්‍රතික්ෂේප කර දැමූ පාලිත කැන්දාගෙන ආ ගැහැනියගේ පුතු ඔහු ය. 

“ඌගෙන් ඉතින් මට වැඩක් නෑ. මගෙ කවුරුත් නෙවේනෙ”

නිලුපුලී එසේ කියද්දී නිර්මලා ගල් ගැසුණා ය. ඇයට කියා ගන්නට නොහැකි වූවාට නිලුපුලී ද රදීෂ් ද නදීෂ් ද එකම පියෙකුට දාව මව්වරුන් තිදෙනෙකුගෙන් මේ ලෝකයට ආ දරුවන් ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles