නිම් නැති නිම්නය 47

රාජිකා මැණිකේ රිය ළඟට ම විගසින් විත් බිඟුනි ව සිප වැළඳ ගත්තා ය. ඒ අතරේ ම ඉසිහින් ඉකි බිඳුමකට ද රහසින් වාගේ ඉඩ දුන්නා ය. ආරාධනා රියෙන් බට ඉක්බිති සඳයුරු ගේ කොපුලක් සිප, ඊළඟට ආරාධනා ගේ ගෙල බදා ගෙන හඬන්නට වූවා ය. කවීශ්වර ආරාධනා අතින් සඳයුරු ව ගත්තේ ය. ගජධීර නො සන්සුන් සන්සුන් අතරේ තැනෙක සක්මන් කරමින් සිටියේ ය. බිඟුනි ගේ හිස සෙනෙහෙන් පිරිමැද්දේ ය.

රාජිකා මැණිකේ හොඳට ම හඬා ගත්තේ ආරාධනා ව බදා ගෙන ය. ලේලිය නැන්දම්මා ගේ හිසත් පිටත් පිරිමැද්දා ය. ‘අඬන්නෙපා අම්මෙ’ යයි හැඬුම්බර ස්වරයකින් මුමුණමින් ඇය සනසන්නට උත්සාහ කළා ය. රාජිකා මැණිකේ කාශ්‍යප ගැන වදනක් හෝ දෙඩුවේ නැත. ආරාධනා ට කියන්නට යමක් තිබුණේ ද නැත.

කවීශ්වර ගෙන් කාශ්‍යප විදෙස් ගත වන බව දැන ගත් ගමන් රාජිකා මැණිකේ ගෘහස්ථ දුරකතනයෙන් කාශ්‍යප ගේ දුරකතනය අංකනය කළා ය. නමුත් ඒ වෙලාවේ ඔහු සිටියේ කවීශ්වර සමග සංවාදයේ ය. දෙතුන් වරක උත්සාහය අතැර දැමූ රාජිකා මැණිකේ යළිත් කාශ්‍යප ට ගන්නා විට ඔහු සිටියේ ගුවන් තොටුපළේ ඇතුලු වීමේ පර්යන්තයේ ය.

“ඇයි ලොකු පුතා මෙහෙම කළේ…ඇයි අම්මටවත් නොකියා මෙහෙම ගමනක් යන්න තීරණේ කළේ…”

ඇය වාවා ගත නො හැකි මව් සෙනෙහසක් කඳුළක් ලෙස දොවා හැරියා ය. කාශ්‍යප ට බරපතල සිත් තැවුලක් දැනිණ. සෞභාග්‍යා ටත් වඩා ඔහු ආදරය කළ ස්ත්‍රියක වී නම් ඒ අම්මා ය. සැනසුම් පායේ විවාහක පුරුෂයෙකු ලෙස ගත කළ වසර නවයක් වූ ජීවිත කාලයේදී පවා ඔහු බිරිඳ ලෙස ආරාධනා ට නොදුන් තැනක් දුන්නේ රාජිකා මැණිකේ ට ය. බිරිඳ ගේ තැන හිටියේ ආරාධනා නිසාවෙන් ඒ ගැන ඒ වහල යට කිසිදු ආරවුලක් නො සිදු විය. ආරාධනා ද රාජිකා මැණිකේ සිය මව් ලෙස සැලකූ නිසා ගැටුමකට ඉඩක් වූයේ ම නැත. නො එසේ විණි නම් ඒ පවුල කැඩී බිඳී යන්නට තිබුණේ කාශ්‍යප ගේ ඒ කුරිරු පිළිවෙත් නිසා ය. කෙසේ වෙතත් එහෙව් වැදගත් කමක් සිය ජීවිතයෙහි හිමි අම්මාට වුව ඔහු මේ විදෙස් ගත වීම ගැන දැනගන්නට නො තැබුවේ ඇයට මෙය දරා ගත නො හැකි වන බව ඉඳුරා දැන උන් නිසා ය.

“අනේ අම්මෙ ඒ තරං ලොකු දෙයක් නෙවේනෙ. නොඑන්න යන ගමනකුත් නෙවේනෙ. මං ගිහිං අම්මට කෝල් එකක් දෙන්න හිටියෙ. දැං මට මේ ඩොකියුමන්ට්ස් වල වැඩ ටිකක් තියෙනව. මං පස්සෙ අම්මට ගන්නං”

කියමින්, කාශ්‍යප බලෙන් වාගේ දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ය. නමුත් අම්මාව එහෙම මගහැරීම ගැන ඔහු ගේ හිත රිදෙමින් තිබිණ. කාශ්‍යප ඒ රිදුම් ගැන නො තැවෙන ගලක තත්වයට සිය හදවත රළු පරොළු ගන්වමින් ද සිටියේ ය. කාලයක් තිස්සේ සිය ජීවිතයට ලං ව සිටියා වූ ද අප්‍රමාණ ආදරයක් ලබා දුන්නා වූ ද හදවත් ගණනාවක් තලා පෙළා අතැර දමා ඔහු ගිය ගමන, ඔහු ට සදා කාලයට ම ඒ හදවත් අහිමි කළ යුතු වරදකැයි සිතන්නට ඔහු පෙළඹෙමින් සිටී. එය එක්තරා ආකාරයකට තමන්ගෙන් ම පළි දැරීමකි. සෞභාග්‍යා වන් බොළඳ සිතිවිල්ලක් වෙනුවෙන් බිරිඳ හා දරුවන් ද දෙමාපිය සහෝදරාදීන් ද ගෙදර ද අතැරගන්නට තරම් තමන් අඳ බාල වූයේ කෙසේ දැයි හිතෙත්දී දැන් ඔහු ට ආත්මීය ලැජ්ජාවක් දැනේ. මේ වරදකාර හැඟීමෙන් අත්මිදෙන්නට නම් තනිකම නමැති අඳුරු කළු කුහරයේ කාත් කවුරුත් නැතිව ගිලී යා යුතු ය. ඔහු මේ සූදානම් වන්නේ තමන්ට ම දඬුවම් දී ගන්නට ය. කෙසේ වෙතත් කාශ්‍යප ගේ ඒ දැඩි බව නිසා රාජිකා මැණිකේ තව තවත් ඔහු කෙරේ කලකිරුණා ය.

“මරු බඩ්ඩක් තමයි මේ සැරේ කරේ එල්ලං තියෙන්නෙ. අම්මත් අමතක වෙන්න තරං….අම්ම මොකද…තමුංගෙ ලෙයිං ජාතක වෙච්ච දරු දෙන්නටත් පිටුපෑව එකානෙ”

සමහර විට අප හිත් තද කර ගන්නේ එසේ දොස් දැකීමෙනි. නමුත් ආරාධනා ව දුටු කල ඒ දැඩි බව තව දුරටත් එලෙස ම පවත්වා ගන්නට රාජිකා මැණිකේ සමත් වූයේ නැත.

“මොනා වුණත් බිඟුට දැන් තේරෙනව. එයා කාශ්‍යප ගියා විතරයි ශොක් වුනා වගේ. ගෙදර එන්න ඕන කියල අඬන්න ගත්ත. ඒකයි මං කවීශ්වර ට කෝල් කළේ”

රාජිකා මැණිකේ තේ හදන්නට වතුර තබා පිටි සීනි ලං කර ගන්නා අතරේ දී ආරාධනා මිමිණුවා ය. ගජධීර මුළුතැන්ගෙහි සක්මන් කළේ ය. කවීශ්වර වැරැන්ඩා පුටුවක සඳයුරු උකුලේ හිඳුවා ගෙන බිඟුනි ද තුරුලට ගෙන සිටියේ ය. බිඟුනි බාප්පා ව ඉතා තදින් වැළඳ ගෙන සිටියේ ඔහුත් අහිමි වෙතැයි බියකින් මෙනි.

“මේ දේවල් වලට අපිට වෙන් වෙන්ව මූණ දෙන්න අමාරුයි දුව. දරුවොත් එක්ක ඔයත් අපි එක්කම හිටියනං….”

නැවත ද රාජිකා මැණිකේ ගේ හඬ බිඳී ගියේ ය. මීට පෙර මෙවැන්නක් කියවිණි නම් ඇගෙන් ලැබෙන්නට තිබුණු දේශනය ගොළු ගැසී තිබිණ. ආරාධනා බිම බලා ගෙන සිටියා ය.

“මං දන්නව අපිට එහෙම කියන්න අයිතියක් නෑ කියල”

“අම්…මෙ…”

“දුව අපේ පවුලෙ විතරක් නෙවෙයි…අපේ පපු වලත් කොටහක් වෙලයි ඉඳල තියෙන්නෙ…අපිට හරි අමාරුයි…ඇත්තටම මේ වයසක පපු වලට ඒ තනිකමයි දුකයි විඳ ගෙන ඉන්න හරි අමාරුයි. දුව ඉන්නකොට වඩා ඒක අපිට දැනෙන්න ගත්තෙ ගියාට පස්සෙ…අපි ට අන්තිම මොහොතෙදි කටට වතුර උගුරක් දාන්න හරි හිටිය කෙල්ල නැති වුණා කියල හිතෙද්දි…”

“අම්…මෙ…මං නැති වෙන්නෑනෙ ඕගොල්ලොන්ට…”

රාජිකා මැණිකේ දෙතොල් දසන් අතරේ තද කොට ගත්තා ය. හිස පසෙකට හරවා ගවුම් උරහිසෙන් කඳුළු වල තෙත මාත්තු කොට ගත්තා ය. ඒ මොහොතේ කවීශ්වර සිටියේ සඳයුරු වඩා ගෙන කුස්සියට පිවිසෙන උළුවස්ස උඩ හිටගෙන ය. බිඟුනි ඔහු ගේ කලිසම් කකුල අල්වා ගෙන සිටියා ය.

“මට ගෙදර ඉන්න ඕනෙ තාත්තම්ම. අම්මම්මලගෙ ගෙදර ඉන්න බෑ. අම්මිට කියන්කො අපිට මෙහෙ ඉන්න ඕන කියල”

ඒ හුරතල් හඬ බිඟුනි ගේ ය.

“අයියල දෙන්න මට කරදර කරනවත් එක්ක. කොණ්ඩෙං අදිනවයි…ජෝක් කරනවයි…බාප්පි වගේ මාමා ආදරේත් නෑ. මං ආස නෑ එහෙ ඉන්න”

ඇය මූණ නො හොඳ කර ගෙන, දෙතොල් උල් කරමින් කියවූවා ය. ගජධීර සිනහ වෙමින් ඇගේ හිස පිරිමැද්දේ ය.

“මේ චූටි කෙල්ල මෙහෙ හිටපුදෙං”

“අපි ඔක්කොටම මෙහෙ ඉන්න බැරිද සීය…”

කවීශ්වර ගේ ඇස් වහා ආරාධනා වෙතට යොමු විය. ඒ වෙලාවේ ම ඇයත් බලාවීයි ඔහු ට සිතුණේ නැත. ප්‍රථම අකුණ ආරාධනා ගේ පපුව මැද පීඩන අවපාතයෙහි පුපුරා ගියේ ය. ඇය ඇස් පියන් පත් පහළට හරවා ගත්තා ය. කවීශ්වරගේ සූර්ය කාන්ත දෑස් බැල්ම තව දුරටත් ඇය මත කිරණ විහිදුවමින් එලෙස ම තිබිණ.

හැම හදවතක ම අමුත්තක් සරැලි නගමින් තිබුණේ ය. නමුත් ඇස් වලින් කඳුළු වැටුණු විඩාව ද වූයේ ය. 

ආරාධනා සැනසුම් පායට ගිය බව දැන ගත් චින්තන පරල වූයේ ය. ඇයට යන්න හැරි එක ගැන ඔහු තාරා ට ද දොස් නැගුවේ ය. නමුත් ඇය ඔහු සමගින් එකටෙක කීවා ය.

“ඕන මනුස්සයෙක් ඉන්න කැමති ඉන්න හිතෙන තැනක චින්තන. ආදරේ දැනෙන තැනක. ආදරේ කරන මිනිස්සු ඉන්න තැනක. ඒ පොඩි දරුවො වුණත් එහෙමයි. ඔයා කියයි පොඩි ළමයින්ට ඕන විදිහට වැඩ කරන්න බෑ කියල. හැබැයි අපි හැම දේම කරන්නෙ අපේ ළමයි සතුටෙන් නිරෝගීව හදන්න චින්තන. ආරාධනා ගෙ ළමයින්ටත් ඒක එහෙමයි”

නමුත් මධුරි සේනාසිංහ චින්තන ට හොර රහසේ ආරාධනා ට දුරකතන ඇමතුමක් ගත්තා ය.

“අයියට හොඳටම කේන්ති ගිහින්. රෑ වේගෙන එද්දි ඇයි දරුවො ගියේ…වැඩිය රෑ නොවී ගෙදර එන්න”

තමන් ගේත් දරුවන් ගේත් නිදහස හා පාලනය ගෙදර අයගේ යටතට පත් වෙමින් ඇති බවක් ආරාධනා ට දැනී නො දැනී ගියේ ය. ආපසු යන්න බෑ කියමින් බිඟුනි හැපෙමින් ඇඬුවා ය. ආරාධනා අසරණ වී සිටියා ය.

“ස්කූල් යුනිෆෝම් පොත් බෑග් ඔක්කොම එහෙනෙ පුතේ…හෙට ඉස්කෝලෙ යන්න බැරි වෙනවනෙ මෙහෙ හිටියොත්. ඒව ඔක්කොම අරං අපි ආයෙ මෙහෙ එමුකො හොඳේ”

වෙලාවේ හැටියට රාජිකා මැණිකේ දැරිය අස්වැසුවා ය. කවීශ්වර ආයේමත් නො සන්සුන් වී ඇති බවක් ආරාධනා ට දැනිණ. බිඟුනි ගේ කඳුළු ඔහු ට ඉවසා ගත නො හැකි ය. යන්නට සූදානම් වී ඔහු රිය දොර වසා දැමුවේ “ළමයි දුක් විඳිනවනෙ අප්ප” යි නො රිස්සුමෙන් කියා දමමිනි. දොර ද වෙනදාට වැඩිය හඬ නැගෙන සේ වේගයෙන් වසා දැමුවේ ය. ආරාධනා නෙතු මහත් කොට ගෙන බලා සිටියා ය. ඇගේ සිත් හි ඉසිහින් බියක් මීදුම් දුමාරයක් සේ පා වෙන්නට ගති. කවීශ්වර කේන්ති ගන්නවාට තමන් බිය වග මුල් ම වතාවට ඇයට පසක් වන්නට වූයේ මේ මොහොතේ ය. රිය ධාවනය වන වේගය වැඩි වෙත්දී, තවත් නිහඬ ව සිටිත නො හැකි තැන ඇය හෙමිහිට හඬ අවදි කළා ය.

“මෙච්චර හයියෙන් යනකොට ළමයි තවත් බය වෙනවනෙ…”

ඇගේ ඇස් වල ආයාචනාත්මක බවක් විය. කවීශ්වර ඇදෙස බැලුවේ නැත. නමුත් එකෙනෙහි රියෙහි වේගය අඩු කළේ ය. ඉන්පසු සේනාසිංහ මැදුර ළඟ රිය නතර වෙන තුරු ම ඔවුන් අතරේ කතා බහක් සිදු වූයේ නැත.

“හයියෙන් යන්නෙපා යනකොට…”

බහින ගමන් ආරාධනා ඉතා මෘදු වූ හඬකින් කීවා ය. එක නිමේශයකට ඔවුන් ගේ ඇස් එකට හමු විය. 

“උදේට බිඟුව ලෑස්ති කරල තියන්නං. ගෙදර ගිහිං මෙසේජ් එකක් තියනවද…”

උත්තරයක් ලැබුණේ නැත. කවීශ්වර නික්ම ගියේ ය. ආරාධනා ගේ ගවුම් සායේ එල්ලී ගෙන බිඟුනි ගෙට ගොඩ වූයේ හැඬුම් බර මූණක් හදා ගෙන ය. චින්තන ගේ දැඩි බැල්ම දුටුවන ඇය පිපිරී ගියා ය.

“අපි අපේ ගෙදර යංකො අනේ…”

“හරි හරි දැං වොශ් දාල දොයියල ඉමුකො”

කියමින් ආරාධනා දරුවන් ගෙන කාමරයට ගියා ය. උපන් දා පටන් ඇගේ ගෙදර වී තිබි මේ ගෙය පිටස්තර තැනක් වාගේ මුල් ම වතාවට ඇයට දැනිණ. මධුරි ට ‘කෑවා’ යි කීවාට ආරාධනා සැනසුම් පායෙන් වුව බත් කටක් කෑවේ නැත. කන්නට බැරි තරමට හිතිවිලි විඩාපත් ව තිබිණ. කවීශ්වර ද ‘පස්සෙ කනව’ යි කියමින් නොකා සිටි බව ඇයට මතක ය.

 දරුවන් සෝදා නිදන්නට දැමීමෙන් පසු ආරාධනා දුරකතනය ගෙන බැලුවේ කවීශ්වර ගෙදර ගිය බවට වට්සැප් පණිවිඩයක් තියා ඇත්ද කියා ය. නමුත් එවැන්නක් නො තිබිණ. ඔහු ට ගෙදර යන්නට දැන් වෙලාව හොඳට ම ප්‍රමාණවත් බව හිතින් ගණනය කළ ඕ හද ගැස්මෙන් යුතුව ඇමතුමක් ගත්තා ය.

කවීශ්වර ගෙදර පැමිණි බවට පණිවිඩයක් නො තියා හිටියේ උවමනාවෙන් ම ය. දැන ගන්නට ඕන කමක් තිබෙනවා නම් ඇය කතා කරනු ඇතැයි හිතුවක්කාර ලෙස සිතූ ඔහු ගේ දෙතොල් අතරට සිනහවක් ආවේ ආරාධනා නමින් දුරකතන නාද වෙත්දී ය. යහනේ උඩුකුරුව වැතිර සිටි හෙතෙම, දුරකතනය සවනට ගනිමින් ඇස් පියවෙන්නට හැරියේ ය.

“ගෙදර ගියා නේද කවීශ්වර…”

ඇගේ හඬ වඩාත් හිතට දැනෙන්නේ එහෙම ඇස් පියා ගෙන අසනා විට යයි ඔහු ට සිතිණ.

“හ්ම්”

“අනේ ඉතිං මෙසේජ් එකක් තිබ්බෙ නැත්තෙ ඇයි…මං මේ බය වෙලා කෝල් එක ගත්තෙ”

“මොකට බය වෙනවද…”

ඒ වචන තනිකර ම නෝක්කාඩුවකි. පිහි තුඩු සේ ඒවා පපුවේ වදින හැටි බලා ගෙන ආරාධනා මොහොතක් නිහඬ ව සිටියා ය. ඒ තත්පර වීම තුළ කවීශ්වර කුරිරු සතුටක් වින්දේ ය.

“කෑවද ඔයා…”

සුළි කුණාටුව අතරින්, ඇය අසීරුවෙන් විමසා ගත්තා ය.

“ම්හු”

“කාල නිදියන්න එහෙනං…”

ඔහුගෙන් ප්‍රතිචාරයක් නැත. තුනී අපහසුවකින් ආරාධනා ගේ ගැහැනු හිත කැළඹෙමින් තිබිණ. මෙහෙම මුණිවතින් කල් මැරීම ඇයට පුරුදු දෙයක් නොවේ. නමුත් ඉස්සර වාගේ කවීශ්වර අස දොඩමළු වීමේ හයියක් නැතිවා වන් දුර්වල බවක් ඇගේ හිත ළදල්ලක් සේ සොලවමින් තිබිණ.

“මං එහෙනං…තියන්නද කවීශ්වර..”

අන්තිමට ඇය උගුර යටින් අසා ගත්තා ය.

“මං එපා කිව්වත්…ඔයා එහෙම කරන්නෑනෙ”

ආරාධනා තද කොට ඇස් දෙක පියවා ගත්තා ය. එක පිට පිට ඔහු මේ විදිහට පපුවට කිනිසි පහර එල්ල නො කර ඉන්නවා නම් හොඳ ය. තවත් වචනයක් කියා ගත නො හැකි තරමට කවීශ්වර වචන වලින් ඇය වට කොට අවුරා ගෙන සිටියේ ය.

“දෙයක් කියන්නද…”

කවීශ්වර ගේ ආදරයෙන් සාන්ද්‍ර වූ ඒ ළතෙත් හඬ ආරාධනා ගේ සවනෙන් රිංගත්දී ඇගේ හදවත ‘දඩස්’ ගා ගැහුණේ ය. පපුවෙන් පදාසයක් කඩා ගෙන වැටේවිද කියා පවා ඇයට නො සිතුණා නොවේ. ඇය ම නො දැන ආරාධනා සිය ළැම මත අතක් තද කර ගෙන සිටියා ය.

“මේක කිව්වට පස්සෙ…කවදාවත් එහෙම දෙයක් කිව්වෙ නෑ කියල විසි කරල දැම්මත් මට කමක් නෑ. ඒත් මං කියල තියන්නං. දවසක මං එහෙම කිව්ව කියල අහම්බෙං මතක් වෙන්න හරි…”

‘රිද්දන්නැතුව කියන දෙයක් කියන්න කවීශ්වර’ කියා කියන්නට ඇයට ඕනා විය. නමුත් ඒ තරම් දිරියක් හිතේ වූයේ නැත.

“මං ඔයාට ආදරෙයි. මං ඔයාට ආදරේ කළා. දැනුත් ආදරෙයි…මහ හුඟක්”

ආරාධනා අතින් මුව වසා ගත්තා ය. කඳුළු අහුරු දෙකක් ඇස් වලින් පිට පැන්නේ ය. ඇගේ හද ගැබ වේගයෙන් ස්ඵන්දනය වන්නට විය. දෙපා හකුළා දෙදණහිස් පපුව ළඟට ම ගත් ඕ එහි මුහුණ හොවා ගත්තා ය. කෑ ගසා හඬන්නට ඕනෑකම දරුණුවට දැනෙනා වෙලාවක ඉකියක් හෝ පිට නොකොට නිසල ව ඉන්නවා කියන්නේ පහසු වායාමයක් නොවේ. විනාඩි කීයක් එසේ ගෙවී ගියාද කියන්නට කිසිවෙකු දන්නේ නැත.

“එහෙනං…දැං ඔයා නිදියන්න”

කවීශ්වර ගේ ඒ හඬ මතුව ආවේ දුරකතනය ඔස්සේ නොව දුර ඈත චක්‍රාවාටයකට අයත් පුංචි තරු කැටයකින් සේ ය. 

‘අනේ කවීශ්වර’ කියා ඇගේ හද ඉකිලෑවේ ය. ආරාධනා ඇස් තටු තද කොට කඳුළු මිරිකා හැරියා විතර ය.

“ඇහැරං ඉන්නැතුව නිදියන්න ඕන හරිද…නිදාගෙන නැත්තං උදේට මට ඇස් වලින් තේරෙනව”

ඉකිය අතරින් ම ඇයට සිනහවක් නැඟිණ. ඒ ඉසිහින් වූ සිනා සර ඇහුණා ද නැත්නම් දැනුණා ද කියන්නට කවීශ්වර දන්නේ නැත.

💜️මා ලියූ අලුත් ම නවකතා වන නිබ්බුත ගීත, ප්‍රේම ගාථා හා අහස තරු සහ කළුවර ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් 0788376053 අංකයට වට්සැප් පණිවිඩයක් තබන්න.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles