නිම් නැති නිම්නය 48

ගුවන් යානයෙහි කවුළුවක් ළඟ අසුනක හරි බරි ගැහුණ කාශ්‍යප හැකි තාක් සිය සිරුර ලිහිල් ව තබා ගන්නට හිතා ගත්තේ ය. අතීතය ගැන කිසිවක් ම නො හිතා අනාගතය වෙත ගුවන් ගත වීම ඔහු ගේ අරමුණ වී ද සිතිවිලි ඔහු ට අවනත වී යයි කිව නො හැක. විවිධ කාල හා අවස්ථා වල සිදු වූ සිදුවීම් පේළි ගැසී, සිනමා පටයක රූප රාමු සේ පිළිවෙලට ද අපිළිවෙලට ද ඔහු ගේ මනස ඉදිරියේ මැවෙන්නට විය. කාශ්‍යප විටෙක ඇස් පියා ගෙන ද විටෙක ඇස් හැර ගෙන ද ඒ සිදුවීම් වල ප්‍රධාන භූමිකාව වන තමන් දෙස, තමන් ගෙන් පිටත සිට මුල් ම වතාවට බලා සිටින්නට විය.

අසාර්ථක වී ගිය සිය යුග ජීවිතයෙහි අසාර්ථකත්වය පිළිබඳ වගකීම මුළුමනින් ඔහු විසින් භාර ගත යුතු බව කාශ්‍යප ට පිළිගන්නට සිදු වේ. ඒ තුළ දිගින් දිගට ම ඔහු ආරාධනා අසරණ කරවත්දීවත් ඇය ගැන කිසිදු අනුකම්පාවක් ඔහු ට නො දැනුණා කිව නො හැකි ය. නමුත් ඒ අනුකම්පාව මත කිසිත් වෙනස් කරන්නට ඔහු සමත් නො වුණේ ය. හැමදාමත් ඔහු ට පෙනුණේ ම ඇගේ වරදකි. අඩුපාඩුවකි. දුර්වල කමකි. නමුත් ඒ කිසිවක් ගැන ඇයත් එක්ක කතා කරන්නට ඔහු උත්සාහ නො කළේ ය. නොහොත් හැමදාමත් ඒ පස්සට කල් තැබුවේ ය. ඒ දිනය උදා කර ගැනීමේ කිසිදු උනන්දුවක් වූයේ ද නැත. දැන් සිතත්දී අඩුපාඩු තිබී ඇත්තේ ඈ තුළ නොව ඔහු ගේ සිතේ ය. නොකෙරෙන දීගේ සෙවනැල්ලත් ඇද ය යන කතාව කෙතරම් නම් සත්‍ය දැයි දැන් කාශ්‍යප ට සිතේ. 

ආරාධනා යනු සවිමත් සිතක් ඇති ගැහැනියක බව, දික්කසාද නඩුවෙන් පසු ඔහු අවබෝධ කොට ගත්තේ ය. සැබවින් කාශ්‍යප ආරාධනා කෙරේ වසඟ වන්නට වූයේ ඉනික්බිති ය. ඇය සිය ගුරු වෘත්තියේ නියැළෙන ගමන් ගෙදර සියලු කටයුතු කන්කෙඳිරියකින් තොර ව කළා ය. බිඟුනි බලා කියා ගත්තා ය. සඳයුරු කුස දරා සිටියදීත් වෙනත් බොහොමයක් ස්ත්‍රීන් සේ එය අසනීපයකැයි නො සිතා සිය දෛනික කටයුතු සාමාන්‍ය ලෙස කරගෙන ගියා ය. ඔහු ගෙන් දරුණු ලෙස ප්‍රතික්ෂේප වත්දීත් ගහක් ගලක් සේ සියල්ල දරා ගෙන ඒ ඔහු ගේ හැටි යයි සිතන්නට පුරුදු වූවා ය. ඔහු නික්ම ගිය පසු හඬා දොඩා හිත හදා ගත් ඕ නීත්‍යානුකූල වෙන්වීමක් අපේක්ෂා කළේ ඍජුව ය. ඔහු කෙතෙක් ඈ පසු පස ගිය ද ආරාධනා සිය තීරණය වෙනස් නොකොට නො සැලී සිටියා ය. ස්ත්‍රීත්වය යනු එය යයි යළි යළිත් ඔහු ට පසක් කරවමින් මහා ස්ත්‍රියක ගේ අසිරිමත් භූමිකාවෙන් ඔහු වශීකෘත කරවූයේ ය. 

ලබා ගත හැකි වූ දේ වල අගයක් නො දැනීමත්, ලබා ගත නො හැකි දේවල් මහානාර්ඝ වස්තු සේ දැනීමත් මිනිස් ස්වභාවයකි. ආරාධනා හා සෞභාග්‍යා සම්බන්ධයෙන් දෙවතාවකදී දෙආකාරයකට කාශ්‍යප විසින් අත්විඳිනා ලද්දේ ඒ මිනිස් ගතිය ය. ආරාධනා ළඟ දී ඔහු සෞභාග්‍යා පතා සිටියේ ය. ඇය ළඟට ගිය ඉක්බිති ආරාධනා ගේ මහා ස්ත්‍රී ලක්ෂණ සමග සෞභාග්‍යා ගේ කුදු ගති මහත් ව සසඳන්නට විය. 

කාශ්‍යප විදෙස් ගත වන බව අන්තිම මොහොත තෙක් සෞභාග්‍යා ගෙන් සඟවා තබා ගත්තේ ඇයට ද ඒ ගමනට එක් වන්නට ඕනෑ වනු ඇතැයි බියෙනි. නමුත් ඇයට ඔහු ගේ ජීවිතයේ ගැහැනිය වන්නට ඕනෑ නොවූ බව ද ඔහු දනී. දික්කසාදයෙන් පස්සේ කාශ්‍යප සමග විවාහ වීමේ අවශ්‍යතාවයක් ඇය පෙන්වූයේ ද නැත. සැබවින් සෞභාග්‍යා ට අවැසි වූයේ යුග දිවියක් තුළ නතර වන්නට නොවේ. ඇතැම් විට ඒ නිදහස ය. ඇතැම් විට අසීමිත ලිංගික ජීවිතයකි. අන්‍යෝන්‍ය වශයෙන් ඒ ද්විත්වය රිසි පරිදි පවත්වා ගන්නට විවාහය බාධාවක් විය හැකි බව කාශ්‍යප නිසා ඇය තේරුම් ගත්තා ය. නිශ්චිත රාමුවකට කොටු වී තුන් වේල කෑම පිසින්නත්, රෙදි හෝදන්නත්, දරුවන් තනන්නත් ඇය ට ඕනෑ නොවිණ. කොටින් ම ඇය පැතූ ජීවිතය වූ කලී ගෘහ සේවිකාවක වීම නොවේ. විවාහය ඇගේ තටු කපා දමනා සිපිරි ගෙයක් වනු ඇති බව කාශ්‍යප ගේ නො රිස්සුම් මුහුණ ඇයට ඒත්තු ගැන්වී ය. කබලෙන් ලිපට වැටෙන්නට ඇයට ඕනෑ නොවී ය. නමුත් ඕ කාශ්‍යප ට කැමති වූවා ය. ඒ නිසා ම ඔහු ඇය අතැර විදෙස් ගත වෙන බව අසත්දී ඇය දෙදරා ගියා ය.

“ඔයා දන්නව මං ඔයා එක්ක ඉන්න කැමතියි කියල. කලින් කිව්වනං අපිට එකටම යන්න තිබුණ”

නමුත් කාශ්‍යප ට අවශ්‍ය වූයේ තව දුරටත් එවන් එකට හිඳීමක් නොවේ. නතර වූ සාමකාමී දිවියකි. එවැන්නක් කෙතරම් සැනසීමක් දැයි වැටහෙත්දී ආරාධනා දික්කසාද නඩු දමා අවසාන ය!

ඔහු නැත ද සෞභාග්‍යා ගේ ජීවිතයේ ඉතිරිය කවුරුන් තුරුලේ හෝ ගත වනු ඇති බවට කාශ්‍යප ට විශ්වාස ය. ඒ නිසා ඈ ගැන තැවෙන්නට හේතුවක් නැත්තේ ය. මේ ජීවිත ගමනේ කොතැනක හෝ සිය ඉරණම ලියැවී ඇති බව සිතන්නට ඔහු කැමති වූයේ ය. මේ ඉගිල යාම ඒ අනාගතය වෙතට ය.

නිදන්නට ඕනෑ ම වූ දින වල නින්ද අසලකට හෝ නො එන්නේ දෛවයේ මොන සරදමකට ද කියා ආරාධනා සිතුවා ය. ගුවන් යානයක හඬ අහස් ගඟ දෙසින් ඇසිණ. කාශ්‍යප ඒ ගුවන් යානය තුළ සිටිනු ඇත්දැයි ඇය කුඩා දැරියක සේ සිතුවා ය. මිදුලට පැන, කුඩා විදුලි එලි දල්වා ගෙන රහසේ ම නික්ම යන ඒ ගුවන් යානයට අත වැනීමේ බොළඳ ළදරු ආශාවක් හදිසියේ ම ඈ තුළ පැන නැඟිණ. ආරාධනා හනි හනිකට යහනෙන් බැස ජනේල පියනක් විවර කළා ය. ගුවන් යානයක හඬ මිස දැල්වෙන නිවෙනා කුඩා විදුලි එළියක් හෝ පෙනෙන්නට තිබුණේ නැත. ආරාධනා සුසුමක් හෙළා ජනේලය වසා දැමුවා ය.

කාශ්‍යප නික්ම යාමේ දුක කියන්නේ දැන් අලුත් දෙයක් නොවේ. ආරාධනා ඒ මුල් දින වල හිත පදම් වන තරමට එය විඳ ගත්තා ය. ඔහු ලංකාවෙන් ම පිට වී යනවායි දැන ගත් හැන්දෑවේ ඇහෙන් අලුත් කඳුළක් වැටුණ බැව් සැබවි. නමුත් විසල් ශෝකයක් ශේෂ නො කොට දැන් ඒ ක්ෂය වී ගොස් තිබේ. දුක වුණත් නිතර විඳිත්දී එය සාමාන්‍ය දෙයක් බවට පත් වීම සාමාන්‍ය ය. 

වඩ දිය ප්‍රවාහයක් සේ අලුතින් ඇය යට කොට ගනිමින් තිබෙනුයේ කවීශ්වර කී වදන් ය. ඒවා ආරාධනා ට මුලුමනින් ම ආගන්තුක වේ. ඇය කිසි දා ක පිරිමියෙකු ගේ මුවින් ‘ආදරෙයි’ කියා අසා තිබුණේ නැත. රුවෙහි ද ගුණයෙහි ද කිසිදු අඩුවකින් තොර ගැහැනුන් ද පිරිමි ඇස් හා හිත් වලින් මගහැරී යන්නට හැකි බවට ඇයට වූ පශ්චත්තාපය බිඳ වැටී තවම හෝරා කිහිපයකි. නමුත් ඒ වෙලාවේ ඇති වූ කම්පනය තවමත් එලෙස ම ය. ඇයට නිදන්නට නො දුන්නේ ඒ කම්පනය ය.

කවීශ්වර ට ද නිදිමතක් කියා දෙයන් වූයේ නැත. අවුරුදු ගණනාවක් තිස්සේ හිත මත පටවා ගෙන උන් බරකින් නිදහස් වීමේ සැහැල්ලුව ඔහු ගේ මුව මත අනවරත මඳහසක් නංවා තිබිණ. වරින් වර ඔහු යහනෙන් පිබිදුණේ ය. මේසය මත වන වීදුරු බෝතලය මුව තියා ගෙන වතුර බීවේ ය. කාමරය තුළ සක්මන් කළේ ය. වතුර නිසා මුත්‍රාශය පිරෙත්දී කිහිප වර වැසිකිලි ගියේ ය. ඒ රාත්‍රිය ම චමත්කාරයකි!

උදේ ආරාධනා ගේ පමණුකුදු නොව කවීශ්වර ගේ දෑස් ද නිදි වැරීම නිසා තඩිස්සි වී තිබිණ. ඔහු කට කොනක නංවා ගත් සිනහවකින් ඇගේ මුහුණ දෙස වරින් වර බැලී ද ආරාධනා හිතා මතා ම ඒ බැල්ම මගහැර සිටියා ය. බිඟුනි එදා නිල ඇඳුම හැඳි ඉක්බිති ද ‘පී පී’ කියමින් නාන කාමරයට දිව්වා ය. සඳයුරු කවීශ්වර අතට පත් කොට ආරාධනා නැවත ද ගෙට දිව්වේ බිඟුනි බලන්නට ය.

“අපි බඩුත් අරං අපේ ගෙදර යනව නේද…”

ආලින්දය දිගේ මිදුල දෙසට ඇවිද එත්දී දැරිය මව විමසුවා ය. ඒ වෙලාවේ කමිස අත් නවමින් ආලින්දයේ උන් චින්තන යටැසින් බැලුවේ ය.

“යංකො යංකො ලේට්”

කියමින් ආරාධනා ඇගේ අතින් අල්ලා ගෙන ඉක්මන් අඩි තැබුවා ය. චින්තන දොරකඩට ද ඇවිත් බලා සිටියේ ය. විවර වුණු ගේට්ටුවෙන් කවීශ්වර ඔහු දුටුවේ ය. බිඟුනි රියට ගොඩ කොට කවීශ්වර අතින් ආරාධනා සඳයුරු ව ගත්තා ය.

“මොකද්ද දැන් චින්තන කියන්නෙ…”

කවීශ්වර එසේ අසත්දී ආරාධනා ගේ පපුව ගිඩි ගිඩි ගා ගැහෙන්නට ගති. ඇය හොරැහින් ගේ දෙස බැලුවා ය. එතකොට චින්තන හැරී ගෙතුළට යමින් සිටියේ ය.

“මොනාත් නෑ කවීශ්වර”

ආරාධනා ගේ ස්වරය පවා වෙව්ලා ගියේ ය. සැනෙකින් දොර හැර ගෙන කවීශ්වර රියෙන් බැස්සේ ය. ආරාධනා සැලී ගිය දෑසින් ඔහු දෙස බලා ගත්තා ය. ඒ ඇස් දැකීමෙන්, කියන්නට ගිය දේ ඔහු ට අමතක ව ගියේ ය. ඒ තරම් අහිංසක හා අවංක ගැහැනියක ඔහු සිය ස්ත්‍රී අත්දැකීම් ඇති ගමන පුරා දැක නොමැති බව සහතික ය. 

“බිඟූ මෙහෙ ඉන්න බෑ කියනවනං…එහෙ එන්න ඕන නේද ඔයා…”

ඔහු එසේ ඇසුවේ පුළුවන් තරම් ආවේගය පාලනය කර ගෙන ය. ඇය වෙනුවෙන් ගැටවර වියෙහි දී හදවත පිළිසිඳී, කඳු ගැහුණු ආදරය අස ඕනෑ ම දැඩි හැඟීමක් මෘදු කරලිය හැකි බව කවීශ්වර අත්දැකීමෙන් දනී. 

ආරාධනා ඔව් යි කීවා ය. ඒ වාචික ව නොවේ. ඇස් වලින් පමණකි. ආරාධනා අතේ සිටියදී ම කවීශ්වර සඳයුරු ගේ උදරය සිම්බේ ය. ආරාධනා ගේ ළමැදෙහි යන්තම් ඔහු ගේ කොපුලක් ගෑවිණි. කවීශ්වර ඒ නොතකා හිටියේ ය. නමුත් යටි පතුල් සීතල වී වෙව්ලා යන හැඟීමක් විදුලියක් සේ ආරාධනා ගේ සිරුර දිග දිව ගියේ ය. මීට පෙර ද ඈ අත සිටියදී කවීශ්වර ඕනෑ තරම් සඳයුරු සිප ගෙන තිබිණි ද කවීශ්වර ගේ පිරිමි සුවඳ මේ මොහොතේ තරම් කිසි දා ක ආරාධනා ගේ පෙනහලු පුරවා නො තිබිණ. 

“යන්නද එහෙනං…”

ඒ තරම් ස්නේහයකින් කාශ්‍යප කිසි දා ඇය ආමන්ත්‍රණය කොට නැති බව ආරාධනා ට ඉර හඳ සේ විශ්වාස ය. පිරිමියෙකු එහෙම අහත්දී යන්න දෙන්න හිතෙන්නේවත් නැති බව ඇය මුල් වරට අත් විඳින්නේ දැන් ය. එය  හදවත ස්වර සප්තකය ම එක වර සුසර කරනා හැඟීමකි. ආරාධනා හෙමිහිට හිස සැළුවා ය. ලං වී ඒ හිස් මුදුන සිප ගන්නට උපන් සිතිවිල්ල මැඩ ගෙන කවීශ්වර රියට නැග ගත්තේ ය. තමන් ට මේ වෙන්නේ කුමක් දැයි ආරාධනා බලා සිටියේ ගල් ගැහී ගෙන මෙනි.

“දැං ඔය වැඩේ හැමදාම කරන්න පුළුවන්ද..”

ඇය ගෙට ගොඩ වත්දී ම චින්තන වචන වලින් දමා ගැසුවේ ය. අයියා යමක් විමසුවේ ඇගෙන් බව ප්‍රත්‍යක්ෂ වී ද ඔහු විමසූ දේ හි අරුත ඇයට එක වර පැහැදිලි වූයේ නැත. ආරාධනා නෙතු විදා බලා සිටියේ එබැවිනි.

“මං කියන්නෙ ඔය කවීශ්වර හැමදාම ළමයි අදින්න මෙහෙ එන වැඩේ”

ආරාධනා ගේ දෙපා මුල ම බෝම්බයක් පුපුරා ගියා සේ ඇය ගැස්සුණා ය. ඒ බව දැන තාරා ඇය ළඟට විත් අත් ගොබය පිරිමදිමින් කතා කළා ය.

“කවීශ්වර ළමයිට හරි ආදරෙයි. ඒකා බෑ කියන එකක් නෑ බිඟූව ඉස්කෝලෙට ගෙනියන්න”

“අනේ මේ තාරා හැම කෙහෙල් මලකම මැද්දට පනින්නැතුව ඉන්නවද…”

ආරාධනා ගැන වන නො රිස්සුම චින්තන පිට කළේ තාරා ගැන කේන්තියක් ලෙසිනි.

“කවීශ්වර ගෙනියන එක නෙවෙයි වැඩේ. ඕව එච්චර හොඳට හිටින වැඩ නෙවෙයි. මං අද ස්කූල් සර්විස් ටිකක් බලල කියන්න කියල ඔෆිස් එකේ කාට හරි කියන්නං”

“ඇයි ඉතිං කවීශ්වර කැමතිනං බිඟුව ගෙනිච්චහම මොකද වෙන්නෙ..ඒ බිඟුගෙ බාප්පනෙ”

තාරා එකට එක කීවා ය. මොහොතක් එක එල්ලේ ඇදෙස රවා බලා උන් චින්තන කෝප අඩි තබා ගෙතුළට වැදිණ.

“උඹ ඕව හිතන්නෙපා”

තාරා හෙමිහිට මිමිණුවා ය. 

“උඹට හරියි කියල හිතෙන තීරණයක් ගන්න හයිය වෙයං. පහු වෙලා පසුතැවෙන්න තියා ගන්න එපා”

එපමණක් කියූ ඇය සැමියා පසු පස කාමරය දෙසට ගියා ය. ආරාධනා දෙපා අද්දමින් කාමරය දෙසට ඇදුණේ ඇවිදගන්නට බැරි අසීරුවක් දැනෙත්දී ය.  සඳයුරු යහනෙහි තබා කොට්ට කිහිපයකින් වට කළ ඕ යහන මත හිඳ ගත්තා ය. හුස්ම ගන්නට බැරි අමාරුවක් වාගේ දෙයක් ඇයට දැනිණ. නමුත් කවීශ්වර සඳයුරු සිප ගත්දී වඩාත් ළඟින් දැනුණා වූ සුසුවඳ, හිස කෙළින් තියා ගන්නට ඇයට දිරිය දුන්නේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles