ආදරේ නම් ආදරේ කියන්න

“ඔයාට ඇයි බැරි එයා වගේ මට ආදරේ කරන්න?”

මධූ එහෙම ඇහුවෙ දවල් කෑමෙන් පස්සෙ ඇඳේ හාන්සිවෙලා ෆෝන් එක බලන ගමන්. අරුණ උන්නෙ මධූට එහා පැත්තෙ හාන්සිවෙලා පොඩි නින්දක් දාන්න ලෑස්ති වෙන ගමන්.

සෙනසුරාදා ඉරිද කියන්නෙ ඉතින් මධූටයි අරුණටයි නිස්කාන්සුවෙ ඉන්න ලැබෙන දවසනෙ. සතියෙ දවස් පහම ඔෆිස් එකේ වැඩ එක්ක බිසී වෙන දෙන සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ නිස්කාන්සුවෙ ගෙදරට වෙලා උයාගෙන පිහාගෙන කාල සැප නින්දක් දාලා, ෆිල්ම් එකක් එහෙම බලල සන්තෝසෙන් ඉන්නවා.

“ඇයි ඔයා එහෙම ඇහුවෙ?”

කොහොමත් ඉඳල හිටල මධූ ඔය වගේ අමුතු ප්‍රශ්න අහන බව දන්න නිසා අරුණ ඒ ගැන ඇහුවෙ ඇස් දෙල පියාගෙන ඉන්න ගමන් මයි.

“මේ බලන්න කේතකී දාපු කවියකට මලිත් කවියකින්ම උත්තර දීලා තියෙනවා”

කේතකී මලිත් දෙන්න වැඩ කරන්නෙ මධූගෙ ඔෆිස් එකේ. ඒ දෙන්නගෙ වෙඩින් එකට එහෙම ගියපු නිසා අරුණත් ඔය දෙන්නවම අඳුරනවා.

නිතරම ෆේස් බුක් එකේ පින්තුර දදා, එකිනෙකාව ටැග් කර කර පෝස්ට් දාන, කවි දාන කපල් එක හරි ආදරෙන් ඉන්නව කියල දකින මධූට හරි දුකයි ඉතින් අරුණ එහෙම ආදරෙන් කවි ලියල ෆේස් බුක් එකේ තමන්ව ටැග් කරල දාන්නෙ එහෙම නැති එක ගැන.

“ඒ දෙන්න එක ගෙදර නේද ඉන්නේ?”

අරුණ ඒක ඇහුවෙත් මධූ පෙන්නන්න හදපු ෆේස් බුක් පෝස්ට් එක දිහා බලන්න පොඩ්ඩක්වත් ඇහැ අරින්නෙ නැතුව. මධූ නම් ඉතින් ඒකට පොඩ්ඩක් මූණ නරක් කරගත්තට මොකො ඒක දකින්නවත් අරුණ ඇහැ ඇරපු එකක් නෙවෙයිනේ.

“ඔව් ඇයි ඔයා එහෙම ඇහුවෙ?”

“නෑ ඉතින් ඉන්නෙ එක ගෙදර නම් මොකටද උන් දෙන්න මේ ෆේස් බුක් එකේ කවි දදා ඉන්නෙ? කවිය කියන්න පුලුවන්නේ”

“ඒකට තමයි අනේ ආදරේ කියන්නෙ. ඔයාට තේරෙනවද ඒව” කියල ඔන්න මධූ අමනාපෙන් කියද්දි කටහඬේ තැවරිල තිබිච්ච අමනාපෙ තේරුම්ගත්ත අරුණ පැත්තට හැරිල මධූගේ ඇඟට උඩින් අත දැම්මෙ මධූව තුරුල් කරගන්න ගමන්මයි.

“ඉතින් මමත් ඔයාට ආදරෙයිනේ”

“ඒ වුණාට එහෙම කවි හෙම දැම්මම ඉතින් හැමෝම දන්නවනෙ ඒ දෙන්න ඒ දෙන්නට කොච්චර ආදරේද කියල. මිනිස්සු හිතනව ඇති ඔයා මට පොඩ්ඩක්වත් ආදරේ නෑ කියල”

“බබා, ආදරේ තියෙන්නෙ ඒ ආදරේ කරන මනුස්සයට පෙන්නන්න කරන්න කියන්න මිසක් මේ රටේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ට පේන්න කරන්න නෙවෙයි.

අනික ඔයාම දන්නව නේද ඔය ෆේස්බුක් එකේ දාන දේවල්වලින් සීයට කීයක්ද ඇත්ත කියල? දැන් අර නදුන්ගෙ මැරේජ් ලයිෆ් එක කොච්චර හොඳද? අපිම දන්නවනෙ ඒ දෙන්න කොච්චර ආදරෙන් ඉන්නවද කොච්චර හොඳ කපල් එකක්ද කියල.

ඒ උනාට ඔයා දැකල තියෙනවද උන් දෙන්න මේ ෆේස් බුක් එකේ පෝස්ට් එහෙම දානවා? නෑ. ඇත්තටම ආදරේ කරන මිනිස්සු ඉතින් මේ එහෙම පෙන්න පෙන්න ඉන්නෙ නෑ”

“ඔයාගෙ බණ නෙ ඉතින් කොහොමත් තියෙන්නෙ” කියල අමනාපෙන් කිව්ව මධූ අනිත් පැත්ත හැරිල ඇස් දෙක පියාගත්තෙ අනේ මලිත් වගේ අරුණටත් පුලුවන්නම් මං වෙනුවෙන් ආදරේ පිරිච්ච කවි ෆේස් බුක් එකේ දාන්න කියල හිතෙන් හිතන ගමන්මයි.

මධුගෙ හැටි දන්න අරුණ මහ ලොකුවට ඒක ගනන් නොගත්තට මධුට නම් ඒ සිතුවිල හිතෙන් අහක් කරගන්න පුලුවන් උනේ නෑ.

ෆේස් බුක් එකට ගියාම දකින කේතකී මලිත්ටයි, මලිත් කේතකීටයි දාපු කවි, කතා, පුංචි පුංචි ආදරේ පිරිච්ච වැකි වලින් මධූ දැක්කෙ අරුණගෙන් තමන්ට නොලැබෙන අන්දමේ ආදර ලෝකයක් මලිත්ගෙන් කේතකීට ලැබෙනව කියල.

“මලිත් ආස නෑ අරක කරන්න, මලිත් තමයි වීක් එන්ඩ් එකේ ඉව්වෙ, මලිතුයි මමයි අරහෙ ගියා, මෙහෙ ගියා” කියල ඔෆිස් එකට ඇවිල්ල කේතකී කියන ඒව, විවේක වෙලාවට කේතකීලගෙ ඩිවිශන් එකට ඇවිල්ල කේතකීගේ කම්මුලට තට්ටුවක් දාලා යන මලිත්ගෙන් මධූ දැක්කෙ අරුණගෙන එයාට නොලැබිච්ච අන්දමේ ආදරයක්.

ඒ වේදනාවයි ඉරිසියාවයි නොහිතපු වෙලාවල් වලදි කේන්තිය තැවරිච්ච වචන විදියට මධූගෙ කටින් එළියට විසිවුණේ අරුණව පුදුමයට පත් කරගෙන.

“මොකද්ද මධූ ඔයාට වෙලා තියෙන්නෙ” කියල ඇහුව මිසක අරුණ කවදාවත් ඒකට තරහ හෙම ගත්තෙ නෑ.

ඒත් මධූ හැමතිස්සෙ වචන වලින් වගේම හිතෙනුත් මිමිනුනෙ “ඔයාට ඇයි බැරි මට ඒ වගේ ආදරේ කරන්න” කියන එකමයි.

ඔහොම ඉද්දි තමයි දවසක් කේතකි නිවාඩු දාන්නෙ නැතුව ඔෆිස් එකෙන් නිවාඩු අරගෙන තිබුනෙ. කේතකි ආවෙ නැත්තෙ ඇයි කියල ඇහුවට මොකෝ මලිත් උනත් මූණ හංගගෙන ගියා මිසක කිසිම උත්තරයක් දුන්නෙ නෑ.

කේතකීගෙ ෆෝන් එකත් වැඩ කරන්නෙ නැතුව, ෆේස් බුක් අකවුන්ට් එකත් ඩිඇක්ටිවේට් කරල තියෙන්නෙ මොකක් හරි ලොකු හේතුවකට වෙන්න ඇති කියල තේරුම්ගත්ත මධූ කේතකීගේ අම්මලගෙ ගෙදර නම්බර් එක හොයාගෙන කතා කරේ.

කේතකීට හොඳටම අසනීප බවත් පුලුවන් නම් ඇවිත් බලල යන්න කියපු ඒ අම්මගේ ආයාචනේට කේතකීව බලන්න මධු ගියේ අරුණ එක්කමයි.

“අනේ මධූ මලිත් සතෙක් වගේ මට සලකන්නෙ මධූ. ඒ මනුස්සයට වෙන අෆෙයාර් එකක් තියෙනවා. අද ඊයෙ පටන් ගත්ත එකක් නෙවෙයි දැන් කාලයක් තිස්සෙ තියෙන එකක්ලු. අනේ මම දැනගෙන හිටියෙ නෑ මධූ ඒ ගෑණු මනුස්සය ගෙදරට ඇවිල්ල කියනකම්ම මම දැනගෙන හිටියේ නෑ. ඒ ගැන අහල රණ්ඩු උනා කියල මලිත් මට හොඳටම ගැහුව මධූ. මම ඒකයි ඔෆිස් ආවෙත් නැත්තෙ”

හිත සනසන්නෙ කොහොමද කියල හිතාගන්නවත් බැරුව හිටියට මධූ කේතකීලගෙ ගෙදරින් ආවෙ මේ ප්‍රශ්නෙ කේතකීට සාදාරණයක් වෙනවිදියට ඉවර වෙන දවසක් එනකම් එයා එක්කම ඉන්න බව පොරොන්දු වෙලා.

වාහනේ නැගල එද්දි අරුණ මුකුත් නොකිව්වට මධූට අමතක කරන්න බැරි උනා අරුණ මීට කාලයකට කලින් කිව්ව දේවල්.

“බබා, ආදරේ තියෙන්නෙ ඒ ආදරේ කරන මනුස්සයට පෙන්නන්න කරන්න කියන්න මිසක් මේ රටේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ට පේන්න කරන්න නෙවෙයි.

ආදරේ තියෙන්නෙ හිත ඇතුලේ”

More Stories

Don't Miss


Latest Articles