“කන්න එන්නෙ නැද්ද?”
කියා අසද්දී නාන කාමරයේ දොර හැරගෙන ආ ෂෝබිතා නිදන ඇඳුමෙන් සැරසී යහනේ සැතපී සැප පහසු කොට්ටය අස්සේ හිස සඟවා ගැනීම අනුපට අලුත් අත්දැකීමක් නොවේ.
විවාහයේ මුල් දිනවල සිටම යමකට අමනාප වූ කල ෂෝබිතා අමනාපය පෙන්වන්නේ මෙලෙසින් බව අනුප හොඳින් දනී.
විවාහය මුල් කාලයේ නම් එවන් මොහොතක ඇයට කිති කවා සුරතල් කර අමනාපය මගහරවාගන්නට දරන උත්සාහයන් අවසාන වන්නේ නිදන කාමරය අනුරාගයේ උණුසුම්ම කෙඳිරිල්ලෙන් පුරවමිනි.
එහෙත් කාලය වෙනස් වී ඇත.
ආදරයේ සෘතුව ගිම්හානයේ සිට වස්සානය දක්වා වෙනස් වී ඇත.
මෙවන් මොහොතක ඇයට ආදරය පාන්නට යාම ගැටලුව උත්සන්න කරවීමක් මිස සමනය කර නොදමන්නක් බව අනුප තේරුම් ගත්තාය.
අනෙක් අතට ෂෝබිතා තමන්ට ආදරේද යන ප්‍රශ්නය දින කිහිපයක සිට අනුපගේ සිත අස්සෙන් වෙඩි උණ්ඩයක් මෙන් නිකුත් වී හදවත පසාරු කරගෙන යයි.
අනුප පහල මාලයට යන්නට ඇති ටයිටේනියම් පඩිපෙල බැස්සේ කල්පනා ලොවක දැහැන්ගතවය.
ආරියලතා මහත්මිය උන්නේ තම සැමියාගේ පිඟානට නූඩ්ල්ස් හැන්දක් බෙදමිනි. එහෙත් දෙන්න දෙමහල්ලන්ගේම ඇස් තිබුනේ ටයිටේනියම් පඩිපෙල දිගේ කල්පනාව ගිලී පහත මාලයට බහින පුතුගේ දුක්බර, කල්පනාබරිත වත මතය.
ෂෝබිතා සහ පුතු අතර වූ සංවාදයේ ඇතැම් තැන් තම දෙසවන වුවද නොරැඳුනා නොවේ. එහෙත් කටක් ඇර පුතුගේ මුහුණ බලා එබව අසන්නට හැකිද?
“දූ කන්න එන්නෙ නැද්ද පුතා” යැයි අසන්නට පෙර “ෂෝබිතාගෙ ඔලුව රිදෙනවලු අම්මේ” කියා අනුප දුන්නේ තම සිත අස්වසන්නටද ඔහුගේ සිත අස්වසාගන්නටද යැයි ආරියලතාට සිතාගන්නට නොහැක.
එහෙත් කෑම මේසය යනු ප්‍රශ්න කතා කරන්නට සුදුසු තැනක් නොවේ. කෑම කැ යුත්තේ සිත නිදහසේය. ඒ නීතිය කුලරත්න නිවසට අමුත්තක් නොවේ.
“අපි කමු එහෙනම්”
කුලරත්න මහතාගේ ගැඹුරු, ප්‍රතාපවත් හඬ කෑම මේසය පුරා පැතිරෙද්දී අනුප තාත්තාට දකුණු පසිනුත්, ආරියලතා මහත්මිය වම් පසිනුත් අසුන් ගත්‍හ.
කැරට්, බොංචි යහමින් යොදා සැදූ නූඩ්ල්ස්, මස් හොදි සහ පොල් සම්බල් වලින් බිඳක් පමණ පිඟානට බෙදාගත් අනුප කෑවාට වඩා කරේ අතගෑම බව කුලරත්න යුවලම දුටුවද පුතු යමක් පවසන්නට පෙර ඔවුන්ගේ විවාහ දිවියේ ප්‍රශ්න වලට තමා අතපෙවීම නොමනා බව ඔවුන් නිහඬ කරවන්නට හේතු විය.
රෑ කෑමෙන් පසුව කෑම මේසයේ මදක් රැඳී සිට කෝපි කෝප්පයක් බොමින් එදිනෙදා තොරතුරුද අනාගත විස්තරද කතා කරන්නට යොදාගත් පිළිවෙත ඇරඹුනේ කවදාද යන්න මතක නැතත් ඒ සිරිත වෙන කවදාටත් වඩා අද දවසට අත්‍යාවශ්‍ය බව කියවෙන මහ මූසල පණිවිඩයක් පමණක් සිත අස්සෙන් නිකුත් වෙන බව ආරියලතා මහත්මියට දැනුනි.
ඒ සිතුවිල්ලේ පවා වූයේ දරාගන්නට අපහසු මහ මූසල බවකි.
කෙතරම් උස් මහත් වුවද දෙමව්පියන්ට දරුවන් සැමදාමත් දරුවන් ය. බිඳෙන් බිඳ උස් මහත් වෙද්දී ඔවුන් තම අත්වලින් ගිලිහුනද ඔවුන්ගේ ප්‍රශ්න ඔවුනොවුන් විසඳාගන්නට උත්සහ කලද ඒ ප්‍රශ්න අබිමුඛ එන බොහෝ වේදනාවන් වල දී දරුවන්ටත් වඩා වේදනා විඳින්නේ දෙමව්පියන්ය.
මුලුතැන්ගෙයි කෝපි හදද්දී වුව ආරියලතා මහත්මියගේ දෙසවන් තිබුණේ කෑම කාමරයේය. තමා එහි නොරැඳි මොහොතක පුතු මේ ප්‍රශ්න ගැන යමක් කියනු ඇතැයි යන සැකය සිතට වද දෙමින් හිඳී.
එහෙත් ව්‍යාපාර ගැන, රාජකාරි ගැන මිස අන් කිසිවක් පුතුගේහෝ සැමියාගේ මුවින් නික්මෙන බවක් ඇයට නොඇසේ.
කෝපි කෝප්ප තුන තැබූ බන්දේසිය ගෙන යන්නට පෙර ආරියලතා මහත්මිය ඉතිරි වී තිබූ නූඩ්ල්ස් පිඟානකටත් අනෙකුත් ව්‍යංජන වෙන වෙනම බඳුන් වලටත් බෙදා වසා තැබුවේ ෂෝබිතා රැයේ අවදි වී බඩගින්නට යමක් කන්නට සෙවුවහොත් ඇයට කනු පිණිසය.
එලෙසින්ම එය ශීතකරණයේ දැමු විට ඇයට ඕනම වෙලාවක එය මයික්‍රොවේව් කර අනුභව කරන්නට හැකි නිසා ගැටලුවක්ද නොමැත.
කෝපි බන්දේසිය රැගෙන කෑම කාමරයට යද්දීත් තාත්තාත් පුතාත් ගිලී උන්නේ දුලන්‍යාගේ පෙර පාසල සම්බන්ධ මාතෘකාවකය.
“බැරිවෙයිද තාත්තෙ ස්කූල් වෑන් එකක් වගේ කතාකරගන්න පොඩ්ඩිව මොන්ටිසෝරි එකට ගෙනියන්න”
ඒ පැනය නිකුත් වුනේ තම සැමියා වෙත වුවද උත්තර බඳින්නට මුල් වූයේ ආරියලතාය.
“අනෙ පුතේ මේ පොඩි කෙල්ලව කොහොමද ස්කූල් වෑන් එකක එවන්නෙ කරන්නෙ ඇරත් තනියම”
පුතුගේත් සැමියාගේ දෙදෙනාගෙම මුහුණ බලමින් එසේ කීවද දෙපසින්ම පිළිතුරක් නොලැබුණ තැන ආරියලතා ද නිහඬව කෝපි පිරවූ එකිනෙකාගේ කෝප්ප ඔවුන් ඉදිරියෙන් තබමින් තමාද මේසයේ අසුන් ගත්තාය.
අම්මාගේ වදන් වල වූ වේදනාව පුෂ්ප මුලින්ම පිපුණේ තම සිතේ බව කියන්නට අනුප සිතුවේ නැත.
ෂෝබිතා හිඳින්නේ තමාගෙනුත් පවුල් ජීවිතයෙනුත් බොහෝ ඈත බව අනුප නොදන්නවා නොවේ. එහෙත් තමා තවමත් උත්සහ කරන්නේ මේ අතෙන් ගිලිහෙන්නට යන බැඳීම කෙසේ හෝ අතේ රඳවා ගනු පිණිසය. ඉතින් අම්මාත් තාත්තාත් ඉදිරියේ මේ ප්‍රශ්න කතාකරන්නට අපහසුය.
ඒත් දුලන්‍යාව පෙර පාසලට රැගෙන යාම සහ රැගෙන ඒමේ රාජකාරිය තමාට දිගින් දිගටම කල හැක්කක් නොවේ. අම්මාටත් තාත්තටත් ජීවිතයේ ඉදිරිය ගෙවනට ඔවුන්ගේ විශ්‍රාම වැටුප් තිබුණද තමාගේත් ෂෝබිතාගේත් දුලන්‍යාගේත් වර්තමානයේත් අනාගතයේත් සියලු විය හියදම් රැඳී ඇත්තේ තමා මතය. තම රැකියාව මතය. පෞද්ගලික අංශයක රැකියාව කරන තමාට විශ්‍රාම වැටුප් ලැබෙන්නේ නැත.ඉතින් කරන ඉතුරුවක් කල යුත්තේ අදය.
“ඒත් එහෙම කියලා පුතාට හැමදාම ඔය රාජකාරිය කරන්න බෑනේ නෝනේ”
ඒ නිහැඬියාව බිඳුණේ කුලරත්න මහතාගේ ගැඹුරු හඬිනි.
අම්මා ඉන්නේ “ෂෝබිතාට යන්න බැරි ඇයි පුතේ”කියන ප්‍රශ්නය අහන්නට බැරුව බව අනුප දනී. අම්මා ඒ ප්‍රශ්නය නොඅසන තාක් කල් එය සිතට සහනයක් වුවද එය එසේමයි කියාද කිව නොහැක.
“අර සිරිතුංගගෙ වෑන් එක නම් ඒ පැත්තෙන් යනව මං හිතන්නේ, අපේ මිස්ට ගුණසේකරගෙ පුතාගේ දූත් යන්නෙ ඒකේ. ඒ වුනාට පුතේ කෙල්ල යනවනම් මම උදේට ගිහින් දාන ආය එක්කන් එක වැඩේට යන්නම්.නැත්තම් අනෙ මේ නොදරුවෙක් තනියම යවන්න බැනෙ.
ඒ වෑන් එක ආයම මේ පැත්තෙන් යන හන්ද මට ආය ඇවිත් බහින්න බැරිය”
අම්මා තමන් උස් මහත් කරන්නට දැරූ වෙහෙස අනුපට අමතක නැත. කුඩා කල දඟකාර කොල්ලෙකු නලවමින් සනසමින් පරිස්සම් කරගනිමින් ගෙදරත් රැකියාවත් සමබරව ගෙන ගිය අම්මා ඇත්තටම රත්තරන් වටින අම්මා කෙනෙක් බව අනුප දනී.
දුක නම් තම දරුවාට එවන් අම්මෙකු නොලැබීමය.
“අනේ අම්මේ ප්ලීස් අම්මා මේ වයසෙ ඔය උඩ පහල යන එක කරන්න බෑනෙ”
“ඒත් පුතා අපිට කෙල්ලව තනියෙන් යවන්න බෑ,අම්මා කියන කතාව ඇත්ත. අපි වෙන විදියක් බලන්න ඕන මේකට කරන්න පුලුවන්”
තාත්තාගේ වදන් වල වූ එකී විශ්වාසය මත ඒ ප්‍රශ්නයට එදා දවසට නිමාවක් තබන්නට හැකි වුවද එය සිතට සැනසීමක් ගෙන නොඒ.
එහෙත් හෙට උදෑසන වැඩට යන්නට තමා නිදාගත යුතුය.
උදෑසන අවදි වී පෙර පාසල් යන්නට දුලන්‍යාව සූදානම් කල යුත්තේ දැන් තමාය. ෂෝබිතා උදෑසන නැගිටින්නේ පමා වීය. කලින් ඇහැරුණද ඇය දෑස පියාගෙන හෝ දුරකතනය බලමින් ඇඳට වී හිඳිනවාට හැරෙන්න ඇය වෙන කිසිවක් නොකරයි.
උදේ පාන්දර රණ්ඩු වන්නට අකමැති නිසාවෙන් කට වසා ගෙන උන්නද අනුපට ෂෝබිතාට පවසන්නට බොහෝ දේ ඇති නමුත් දුලන්‍යාව සූදානම් කරගෙන රාජකාරිය සඳහා පිටත්ව යන්නේ අපමණ දුක් කරදර සිත අස්සේ තැන්පත් කරගෙනය.
ඇතැම් අවස්තාවල නිහඬ බව හොඳම පිළිතුර බව අනුප දැනගත්තේද ෂෝබිතා හා විවාහ වීමෙනි. එතනදී නිහඬ වන්නට ඒ ප්‍රශ්නයේදී තම වැරදිකරුද නිවැරදිකරුද යන්න වැදගත් නොවන බව පවා අනුප දැනගත්තේ ෂෝබිතාගෙනිය.
කෝපි කෝප්පය බී අහවර වී මේසය මත තබා අනුප අම්මාටත් තාත්තාටත් වැඳ ටයිටේනියම් පඩි පෙල දිගේ කාමරයට යන්නට පියවර තබන්නට විය.
“පුතේ මම නූඩ්ල්ස් බෙදල තිබ්බා, දූ නැගිට්ටොත් කන්න කලින් මයික්‍රොවේව් එකට දාලා රත් කරගන්න”
අම්මා තවමත් ෂෝබිතාට දක්වන ආදරයේ අඩුවක් නොමැත.
ප්‍රශ්න දහසක් තිබුනද ඒ ප්‍රශ්න තිබෙන්නේ තමාත් ඇයත් අතර බැවින් අම්මා ඒ ප්‍රශ්න මුල් කරගෙන ඒ ආදර වැස්ස බිඳුවකින් හෝ අඩුවක් නොකරයි.
මද සිනාවකින් අම්මාට ස්තුතිය පුද කරමින් ඉහලට යන්නට වූ ගමන මදකට නැවතුනේ තාත්තාගේ හඬිනි.
“මේ සතියෙ ඉතිරි දවස් ටික මම කෙල්ලව හවසට එක්කන් එන්නං පුතා, ඩෝන්ට් වොරි අබවුට් දැට්”
ඉතින් ගිම්හාන කාලයක වුවද මල් තුහින ඇද හැලේ.