පතිදම්වැල් 12

“සිරිතුංගට අමතක වෙලා අපිට දැනුම් දෙන්න. පස්සෙ දවල් වෙද්දි තමයි මතක් වෙලා තියෙන්නෙ”

“පුතා එතකොට මට කෝල් කරලත් ඉවරනෙ”

“මම ඒකනෙ මුලින්ම කිව්වෙ මම යන්නම් දරුව එක්ක කියල.කොහෙද තාත්තයි පුතයි දෙන්නටනෙ ඒක හොඳ මදි වුනේ”

අම්මා උන්නේ අමනාපයෙනි.තාත්තා උන්නේ කැළඹීමෙනි.ඒ සියල්ලන්ටම වඩා තම සිත වේදනාවක ගිලී හිඳින බව අනුප දැන උන්නේය.

සිරිතුංගට වෑන් රිය දහවල රාජකාරිය නොකරන බව දන්වන්නට අමතක වීමටත් වඩා අනුපට වේදනාවන් දැනුනේ මේ සියල්ල වෙද්දීත් ෂෝබිතා කොහේ දෝ ගොසින් සිටීම ගැනය.

දුලන්‍යාගේ පෙර පාසල් ගුරුතුමිය තමාව අමතද්දී අනුප උන්නේ ඉන් මිනිත්තු කිහිපයකට පසුව එළඹෙන ඉතාම වැදගත් මීටිමකට සහභගි වන්නට සූදානම් වෙමිනි.

ඇය පෙර දින කතා කල මොහොතේදී ඇයගේ දුරකතන අංකය දුරකතනයේ ගබඩා කර ගන්නට තරම් හේතුවක් හෝ උවමනාවක් එදවස නොතිබූ නිසාවෙන් මේ එන ඇමතුම යන්තමට හුරුපුරුදු බවක් දැනුණද ඒ කාගේ කවුදැයි නිශ්චිතව කිව හැකි බව අනුපගේ සිහියේ නොතිබුනි. 

අනෙක් අතට ඒ මොහොතේ ඔහු උන්නේ ඉතාම කාර්‍යබහුලවය.

“හෙලෝ, හූ ඊස් ස්පීකින්”

“හෙලෝ ඊස් දිස් මිස්ට කුලරත්න?”

“ඉයස් ස්පීකින්”

“අයෑම් කෝලින් ෆ්‍රොම් යුවර් ඩෝටර්ස් ප්‍රී ස්කූල්”

දුලන්‍යා සම්බන්ධ දේවලදී අනුව වඩාත් කලබලයට පත්වන්නේ අනෙක් පියවරුන් තම දූවරුන් විෂයෙහි කලබල වන අයුරින්ම නොවේ. එයටත් වඩා වැඩි වශයෙනි. එයට හේතුව නම් අනුපට අනුව දුලන්‍යාට හිඳින්නේ තාත්තා කෙනෙකු පමණකි. ෂෝබිතාට දුලන්‍යා ගැන තබා තමා මවක් වන බව පවා මතක නැති අන්දමෙන් හැසිරෙන බව අනුප හොඳාකාරවම දනී.

“අද බබාගේ ස්කූල් වෑන් එක හවසට එන්නෙ නැති බව කියල. ඒත් මම හිතන්නෙ පේරන්ට්ස්ලට ඉන්ෆෝම් කරන්න අමතක වෙලා සර්. දුලන්‍යා මෙතන ඉන්නවා, සර්ට පුලුවන් නම් කාටහරි ඉන්ෆෝර්ම් කරන්න හොඳයි”

තමාගේ ලෙයින් ජනිත කළ දරුවාව මෙසේ තනි කරන්නට සිදුවීම ගැන අනුප උන්නේ සිත යටින් හඬමිනි.

වේදනාව සහ කෝපය එකවර ගිනි දැල් මෙන් නැගී හිඳින හදවතකින් ෂෝබිතාගේ බෙල්ල මිරිකන්නට හැකිනම් මොන තරම් අපූරුද යන්න අනුපට සිතුණි.

එහෙත් සියල්ලටම පෙර දුලන්‍යා ගැන සිතිය යුතුද. හදිසියේ ගන්නා තීරණයකින් මවගේ ආදරය අහිමි වී ගිය දරුවෙකුට තාත්තාවත් අහිමි කරවන්නට හැකිද?

දුලන්‍යාව රැගෙන ඒමට තාත්තා ඇමතු අනුප වේගයෙන් මීටිම පැවැත්වෙන කාමරය වෙත් ඇවිද ගියේ සිත තුලින් නැගෙන කෝපයේ ගිනිදැල් සෙමෙන් නිවාගන්නට වෙර දරමිනි.

මේ සියල්ල මෙතනින් නිම විය යුතු බවට සිතුවිල්ලක් සිත අස්සෙන් නැගී එද්දී වුව අනුප උන්නේ සිත සනසාගන්නට උත්සහ දරමිනි. දුලන්‍යා ගේ යහපතට යැයි සිතා ෂෝබිතාව අතහැර දමන්නට නොහැක.

සමාව දී හෝ ෂෝබිතාව තමා ළඟම රඳවාගන්නට අනුප උත්සාහ දරන්නේ එබැවිනි.

මීටිම අවසාන වී ගෙදර යන්නට පළමුව අනුප ජග්‍රෝ වෙතින් ස්ට්‍රේබෙරි සහ ක්‍රීම් එක්කම වොෆල් එකක් මිල දී ගත්තේ මාස කිහිපයක් තුළ සිදු වූ ඇතැම් දේවල් නිසා දුලන්‍යාගේ සිත රිදී ඇත්නම් එය සනසනු පිණිසය.

සීනි ආහාරයකින් සිත තුල තැවරුණ ජීවිතයේ තිත්ත ඇත්ත වසාලන්නට නොහැකි වුවත් ඇත්ත කුමක්දැයි තේරුම්ගන්නට දුලන්‍යා තවමත් කුඩා වැඩිය.

අනුපගේ වාහනය ගරාජය තුලට යද්දීම දුලන්‍යා කොහෙදෝ හිඳ “තාත්තී” කියා දුව එන හඬ අනුපට ඇසුණි.

කාර්‍යාල බෑගයත්, ජාග්‍රෝ බෑගයත් අතට ගෙන ජාග්‍රෝ බෑගය දුලන්‍යාට නොපෙනෙන ලෙස පිටුපසින් සඟවා ගෙන අනුප ඇය ඉදිරියට ආවේ සිනාසෙමිනි.

“හෙලෝඔ මයි ලිට්ල් ගර්ල් මොකද කරන්නේ”

“ආත්ති එක්ක සෙල්ලම් කලා” කියමින් තාත්තා පිටුපස සඟවා ගෙන සිටින්නේ කුමක්දැයි සොයන්නට දුලන්‍යා සුරතලින් එබේ.

“මම බඩුව ගෙනාවේ, මොනවද කියල ගෙස් කරන්නකො”

“මොනාද” ඇය අසන්නේ සතුටෙන් ඉපිලෙමිනි. තාත්තා සමග සෙල්ලම් කරන්නට ඉතින් දුලන්‍යා හරි ආසය. තාත්තා එනතුරු ආච්චි සමග සෙල්ලම් කරන්නට හැකි උනත් ආච්චි දන්නා සෙල්ලම් මේ දඟකාරියට කම්මැලිය, දඟ මදිය.

තාත්තා නම් කරේ එල්ලී සෙල්ලම් කරන්නට ඉඩ ලැබීමට හැක. තාත්තා දන්නා අලුත් සෙල්ලම් බොහෝය. තාත්තා වීරයෙකි.

තාත්තා තමාට ගෙනවිත් ඇත්තේ රසකෑමක් බව දුලන්‍යාට රහසක් නොවේ. එහෙත් තමා ආස කරන රස කෑම නම් බොහෝය. ඒ අතරින් තාත්තා අද ගෙනවිත් තිබෙන්නේ කුමන රස කෑමද කියා දුලන්‍යාට සිතාගන්නට වත් බැරිය.

“අයිත්කීම්”

සිනාසෙමින් කෙල්ල පවසන්නේ තමා දන්නා හොඳම රස ආහාරවලින් එකක් බව අනුප නොදන්නවා නොවේ.

“වැරදියි”

මහන්සිය පසෙක ලා මිණිබිරිය සමගින් සෙල්ලම් කරන්නට යන පුතාගේ අතින් කාර්‍යාල බෑගය ගන්නට ආ ආරියලතා මහත්මියගේ මුවේ රැඳී තිබුණේද සිනාවකි.

“දැන් මේ මාත් එක්ක නටල නටල ඒ පාර තාත්තාවත් අල්ලගන්නද කොහෙද දෝණියැන්දගේ ලෑස්තිය”

සිනාවෙවී කියන අත්තම්මාගේ හඬේ තිබෙන්නෙ අමනාපයක් නොවන බව තේරුම් ගන්නට කුඩා වූවත් දුලන්‍යා ටත් පුලුවන.

සිනාවෙමින් තම ඉදිරියේ දණ නමා හිඳගෙන හිඳින තාත්තාගේ අතෙ රැඳී ජාග්‍රෝ කඩදාසි බෑගය අකුරු එතරම්ම කියවගන්නට බැරිඋනත් දුලන්‍යාට අඳුරගන්නට හැක.

ස්ට්‍රෝබෙරි සහ විප් ක්‍රීම්වල රස මතක් වීම නිසා දුලන්‍යා ගේ කුඩා තොල් මත්තට රසබර සිනාවක් ආ බව අනුපට තේරේ.

ජාග්‍රෝ බෑගය අම්මා අතට දී “ආච්චිටත් දීල කන්න ඕන” කියමින් අනුප එතනින් නැගී හිඳියේ දුලන්‍යාගේ කෙටි කැරලි කෙස් අතගාමිනි.

උඩ තම කාමරයට යන්නට පඩිපෙල නගිද්දී අනුපට මතක් වූයේ විවාහ වූ මුල් කාලයේත් අනතුරුව දුලන්‍යා හමුවන්නට ඉද්දීත්  තමා එනතුරු නිවසේ විවෘත ආලින්දයට වී බලා හිඳින ෂෝබිතාවය.

එදවස රැකියාවක් කරන්නට අකමැති යැයි කීම නිසා නිවසට වී හුන් ෂෝබිතා බලන්නට රැකියාව අවසන්ව තමා වාහනයෙන් පියඹා මෙන් එන බව අනුපට මතකය.

වාහනයේ එන අතරතුර පවා දුරකතන ඔස්සේ ඇය හා කතාබහක එල්ලි එන අතරතුර ඇය කැමතිම තැනකින් කැමක් රැගෙන ඒමත්, නිවසට අවුදින් එකිනෙකා හා තුරුලු වී අනුරාගී හෝරාවන් ගෙවා දැමූ බවටත් මතකය විසින් ගෙන එන මතක් කිරීම් අද සිතට වෙහෙසකි.

එදා සිතට සැනසීම ගෙන ආ ආදරයම, ඇයම අද සිතට වේදනාවේ දියවර එවමින් හිඳී.

“අද හවසට කොහේ හරි යන්”

“එහෙනම් එලියෙන් කමුද?” කියා ෂෝබිතා ඇසු වීට අම්මාට දුරකතන ඇමතුමක් දී අද රෑට කෑම එපා යයි පවසා ෂෝබිතා සමග එළියට ගිය අතීතයක් දහසක් පමණ සිත අස්සේ තැන්පත් වී ඇති නමුත් කාලයක් ආදරයෙන් වැළඳගත් ඒ සිරුරට ළංවන්නට පවා අවසරයක් නැතුව අනුප උන්නේ දැවි දැවී ය.

නිදි යහන දෙකට බෙදා ඇති පරිද්දෙන් එක් පසෙක හිඳ තමා සුසුම් හෙලද්දී, ඒ සයනයේම එක් පසෙක ෂෝබිතා නිස්කාන්සුවේ නිදා හිඳින්නේ කෙසේද?

කාලයක් තම තුරුලම ඕන බව පවසමින් ඉතා උණුසුම් දිනයක වුවද තුරුලේ හිඳ නිදා හුන් ෂෝබිතා ද කොහේ කොතනක හෝ අතුරුදහන් වී ඇති සෙයකි.

අද ඇය පෙනෙන්නටවත් නොමැත. කතා කරන්නේවත් තමාගේ කෙටි පණිවිඩයකට පිළිතුරක් දෙන්නේවත් නැත. එකම නිවසක, එකම කාමරයක්, එකම සයනයක තමන් දෙදෙනා හිඳින්නේ කෙතරම් නම් දුරස් වීද? තමා ඇය වෙත ළඟාවන්නට, ඇයව කෙතරම් තමාට ළං කරගන්නට උත්සාහ කරද ෂෝබිතා දිනෙන් දින තමන්ගෙන් ඈත්වන්නට කටයුතු කරමින් හිඳීම පිරිමි හදකින් වුවත් දරාගන්නට අනුපට අපහසුය.

පහත මාලයෙන් එන කිරි සිනා හඬ ආච්චි සමග එක්වී වොෆල් කන පුංචි දුලන්‍යාගේ ය.

තමාගේ සතුට ගැන සිතා ෂෝබිතාව ජීවිතයෙන් පිටමං කිරිම කළ හැකි වුවත් ඉන්පසුව දුලන්‍යා අසන ප්‍රශ්නවලට තමා දෙන්නේ කුමනාකාරයේ පිළිතුරක්ද?

ෂෝබිතා දුලන්‍යාට එතරම් සමීප නොවුවද ඇය දුලන්‍යාට උපත දුන් අම්මාය. කිරි පොවා උස් මහත් කල අම්මාය. අම්මා කෙනෙකුගෙන් හිස්වන තැන තාත්තා කෙනෙකුට කිසිම දිනක පුරවන්නට නොහැකි බව අනුප දනී.

බිරිඳකගේ අඩුපාඩු දහසක් වුව පුරවන්නට තමාට ගැහැණුන් සොයා ගත හැකි බව ඇත්තක් වුවත් අම්මා කෙනෙකු වන්නට හැකි අයෙක් සොයාගන්නට හැකිද?

ෂෝබිතා වෙන්ව ගියහොත් දුලන්‍යාට එය කෙතරම් බලපානු ඇතිද? අනෙක් අතට එබවක් දුලන්‍යාට පවසන්නේ කෙසේද?

ඇත්ත කියා සිත රිදවන්නද?

බොරු කියා සිත සනසවන්නද?

ඒ දෙකින්ම තමාගේ සිතට සහනයක් ලැබේවිද?

තෝරාගත යුත්තේ තම සතුට ද දුලන්‍යාගේ සතුට ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles