” ගුඩ්මෝනින් ආන්ටි ”
අවුරුදු හතරක් වයස මිනෝලි , රශ්මිගේ ඇඟේ එතුනේ හිනාවකින් මුණ පුරෝගෙනයි. ඒ හිනාවට රශ්මිගේ හිතත් පිරුනා.
” ගුඩ්මෝනින් පැටියෝ ”
රශ්මි මිනෝලිගේ අතින් අල්ලගෙන පෙර පාසලේ ඇයට අදාළ පන්ති කාමරයට ගියේ මිනෝලිගේ තොරතෝන්චියක් නැති කතා අහන ගමන්. කලින් දවසෙ හවස ඉඳලා උදේ වෙනකම් කරපු දේවල් ගැන රශ්මිට කියන්න ගොඩක් දේවල් මිනෝලිට තිබුනා.
උදේ 8 වෙනකොට පොඩිත්තො එක්කෙනා දෙන්නගෙන් පෙර පාසල පිරෙන්න ගත්තා. මේ ගෙවීගෙන යන්නේ තමන්ගේ දවසේ ආසම පැය කිහිපය නිසා එක විනාඩියක්වත් නිකරුණේ ගත කරන්න රශ්මිට ඕන උනේ නෑ.
” ඔයාගේ ඇස් ඉදිමිලා ඇයි ? ”
එහෙම අහගෙන රශ්මි ළඟට ආවේ දිලිනි. දිලිනි කියන්නේ පෙර පාසලේ ගුරුවරියන් අතරේ රශ්මිට හිතවත්ම කෙනා.
” ඔයා ඊයේ රෑ අඬලා ”
දිලිනි එහෙම කිව්වේ එක එල්ලේම රශ්මි දිහා බලාගෙන. හැමෝටම පේන්න හිනා වෙලා හිටියත් තමන්ගේ හොඳම මිතුරිය ගේ දෑස් වල වෙනස අඳුර ගන්න දිලිනිට පුළුවන් වෙලා තිබුණා.
” හ්ම් ”
රශ්මි ඇහෙන නෑහෙන ගානට සුසුමක් හෙලුවේ එක එක පාට පැන්සල් වලින් හරි හරියට පින්තූර පාට කරන පොඩ්ඩො දිහා බලාගෙන. ඒ වගේ ලස්සනට තමන්ගේ ජීවිතය පාට කර ගන්න තමන් මොන තරම් බලාපොරොත්තු තියාගෙන හිටියද කියලා මතක් වෙනකොට රශ්මි කඳුළු නවත්ත ගත්තෙ ගොඩක් අමාරුවෙන්.
” ඇයි ? හශාන් වත් කතා කරාද ? නැත්තං කවුරු හරි මොනව හරි කිවුවද ? ”
දිලිනිගේ ප්‍රශ්න වල ඉවරයක් නැති වුණා.
” මොනව හරි කියන්නත් කවුද මට ඉන්නේ ? ”
බොඳ වෙච්ච හඬින් රශ්මි එහෙම අහනකොට දිලිනි නිහඬ වුණා.
හරියටම අවුරුද්දකට කලින් රශ්මි සේවය කරමින් හිටියේ බැංකුවක. ඉස්කෝලේ යන කාලෙදි හදිසි අනතුරකින් දෙමව්පියන් මියගියාට පස්සේ රශ්මිව උස් මහත් කලේ ඇගේ ආච්චි. යන්තම් අවුරුදු 22 පිරෙන කොට ඇයත් අවසන් හුස්ම හෙළන කොට රශ්මිට සිද්ධ වුණේ ජීවිත සටනට තනියම මුහුණ දෙන්න. අවුරුදු ගණනාවක් ඉගෙන ගත්ත දේවලුත් , පුහුණු වෙච්ච දේවලුත් එක්ක බැංකු ක්ෂේත්‍රයේ හොඳ වැටුපක් එක්ක රැකියාවක් ලබාගන්න රශ්මිට පුළුවන් වුණා. අවුරුදු කිහිපයක් රැකියාව කරපු රශ්මිට , හශාන් හමුවෙන්නේ ඔය අතරෙදි. හෂාන් රැකියාව කළේ රක්ෂණ සමාගමක. බැංකු සේවකයන් සඳහා රක්ෂණ වැඩපිළිවෙළක් දියත් කරන වැඩසටහනකදී තමයි රශ්මිට හෂාන්ව මුනගැහුනේ. එතනදි ඇතිවුන දැන හැඳුනුම්කම යාලුකමට එහා ගියේ අවුරුද්දක් වගේ කෙටි කාලයක් ඇතුළතයි.
” ඔයාලා මාර මැචින් කපල් එකක් ”
රශ්මි වත් හෂාන් වත් දකින හැමෝම කිව්වේ එහෙම. පිටින් පේන්න කිසිම අඩු පාඩුවක් නොතිබුනු , ඒ දෙන්නා ඇත්තටම සතුටින් ඉන්න හැටි කාටත් දකින්න පුළුවන් වුනා.
හෂාන්ට රැකියාවේ උසස් වීමක් ලැබුණෙත් , ඔහු වාහනයක් මිලදී ගත්තේත් තවත් මාස කීපයක් ගෙවුණට පස්සෙයි.
” මට මේ හැමදේම ලැබෙන්නේ ඔයාගේ වාසනාවට රශ්මි ”
හෂාන් ආදරය තැවරුණු හඬින් කිව්වේ රශ්මිගේ ඇස් වලට එබිලා.
” මගේ වාසනාවක් නෙමෙයි අනේ, ඔයාගෙ මහන්සිය හින්දා ”
රශ්මි උත්තර දුන්නේ හිනා වෙවී. තමන් ආදරය කරන කෙනා දවසින් දවස ඉහලට යනකොට රශ්මි හදවතින්ම සතුටු වුණේ ඒ විදිහට.
” මගේ ඊළඟ ටාගට් එක ගෙයක් හදන එක. ඒකට ඉතින් කොච්චර කල් යයිද දන්නේ නෑ ”
හෂාන් කිව්වේ බලාපොරොත්තු දල්වාගෙන
” මෙච්චර හරියක් කරපු ඔයාට ඒකත් කරන්න බැරි නෑ. අනික ඔයාට උදව්වට මමත් ඉන්නවා නේ. අපි දෙන්නම සල්ලි ඉතුරු කරල ලස්සන ගෙයක් හදමු ”
හෂාන්ට ආදරය කරන්න ගත්ත දවසේ ඉඳලා රශ්මි ඇගේ ජීවිතය ගැන හැම හීනයක්ම දැක්කෙ හෂාන් එක්කයි. පුංචි පුංචි රණ්ඩු සරුවල් ඇති වුණත් වරද කාගේ වුණත් හැමදාම මුලින්ම සමාව අරගෙන මේ බැඳීම රැකගන්න වැඩිපුරම උනන්දු වුණේ රශ්මි.
රැකියාවේ වගකීම් වැඩි වෙන්න වැඩි වෙන්න හෂාන්ට රශ්මි වෙනුවෙන් කලින් තිබුන කාලය එන්න එන්නම අඩු උනත් ඒ ගැන වචනයක්වත් අහන්නේ නැතිව පුළුවන් තරම් ඉවසන්න රශ්මි කටයුතු කළා.
” අද මට එන්න වෙන්නේ නැහැ. මට මීටින් එකක් ”
” මම පස්සෙ කෝල් කරන්නම්. ක්ලයන්ට් කෙනෙක් මීට් වෙන්න යනවා ”
” මට අද මහන්සියි. හෙට කෝල් කරන්නම් ”
හෂාන්ට රශ්මිව මග ඇරෙන වෙලාවල් ඕන තරම් තිබුණා. හෂාන්ට තමන්ව මග ඇරෙනවද , මග අරිනවද කියලා හිතාගන්න රශ්මිට බැරි වුණා.
” හෂාන්ට ස්වේතා කියන මොඩ්ල් එක්ක affair එකක් තියෙනවා ”
නොහිතපු වෙලාවක රශ්මිගෙ මිතුරියක් ගෙනාපු ආරංචියකින් රශ්මිගේ මුළු ලෝකයම දෙපා මුලට කඩාගෙන වැටුනා. කාත් කවුරුත් නැතිව හිටපු රශ්මි තමන්ගේ මුළු ලෝකයම හෂාන් කියලා හිතනකොට ඔහු වෙනත් තරුණියක්ව ඔහුගේ ලෝකය කරගෙන කියලා මතක් වෙන වාරයක් ගානේ රශ්මිව දැවිලා අලුවෙලා ගියා.
” ඔව්. මට ස්වේතා එක්ක affair එකක් තියෙනවා තමයි. තමුසෙ වගේ අනාථ කෙල්ලෙක්ට අපේ ගෙදරින් කැමති වෙයි කියලද හිතාගෙන ඉන්නේ ? ”
ස්වේතා ගැන හශාන්ගෙන් ඇහුවට පස්සෙ හෂාන් ඒ විදිහට උත්තර දෙනකොට , තමන්ගේ හයියෙන් විතරක් ජීවිතේ අඩියෙන් අඩිය ගොඩ නගා ගත්ත රශ්මිට ,ජීවිතේ පලවෙනි වතාවට තමන්ට කාත් කවුරුත් නැති වීම ගැන තමන් ගැනම අනුකම්පාවක් දැනෙන්න ගත්තා.
” ඇත්තටම මම හෙව්වේ ස්වේතා වගේ කෙල්ලෙක් කියලා මට තේරුනේ පස්සේ. මම මේ හිත හිත හිටියෙ තමුසෙට මේක කියන්නේ කොහොමද කියලා. ඊට කලින් තමුසෙම ඒක මගෙන් අහපු එක හොඳයි ”
තමන් කරපු වැරැද්ද හරි අපූරුවට සාධාරණීකරණය කරන්නත් හෂාන්ට පුළුවන් උනේ එහෙම.
හීනෙකින් වත් නොහිතපු විදිහේ අහිමි වීමක් දරාගන්න ස්වේතාට තනියම සිද්ධ උනා. දෙමවුපියන්ගේ අහිමි වීමත් , ආච්චිගෙ අහිමිවීමත් දරා ගත්ත තමන්ට හෂාන්ගේ අහිමිවීම දරාගන්න පුළුවන් කියල රශ්මිට හිතුනත් ඒක හිතපු තරම් ලේසි වුණේ නැහැ.
අවුරුදු ගාණක් පුරා මහන්සි වෙලා කරපු රැකියාවත් , හිත මිතුරන් හැමෝමත් අත ඇරලා හුදෙකලා වෙලා ජීවත් වෙන්න රශ්මි තීරණය කලේ ඒ නිසා.
තමන්ගේ හිතේ සැනසීම හොයාගන්න පුංචිම පුංචි දෙයක් වත් තියෙනවද කියලා හිතට වද දිදී කල්පනා කරපු රශ්මිට අන්තිමට එහෙම දෙයක් හොයාගන්න පුළුවන් වුණා.
” දරුවෝ ”
පුංචි ළමයින්ට කවදත් ආදරය කරපු රශ්මිට පෙර පාසල් ගුරුවරියක් වෙන්න මග පෑදුනේ එහෙම. පුංචි දරුවොත් එක්ක කාලය ගත කරන රශ්මිට හිත කඩාගෙන වැටෙන ගොඩක් දේවල් අමතක කරන්න පුළුවන් වුණා. ඒත් හෂාන් එක්ක දැක්ක හීන සම්පූර්ණයෙන් අමතක කරන්න රශ්මිට බැරි වුණා. සැරෙන් සැරේ හිත රිදෙන, අමතක කරන්න බැරි මතක අතරේ හෂාන්ව මතක් නොකර ඉන්න රශ්මි පුළුවන් තරම් උත්සාහ කරා.
” රශ්මි ”
රශ්මි පියවි ලෝකයට ආයෙමත් ආවේ දිලිනිගේ හඬින්.
” මට සතුටුම දවසක් වෙන්න තිබ්බ දවසක් අද. ඒත් ඒක වෙන කෙනෙක්ගෙ වෙලා ”
රශ්මි කිව්වේ බිමට වැටෙන්න හදන කඳුළු නවත්තගන්න වේගයෙන් ඇහිපිය ගහන ගමන්
” ඒ කිව්වේ ? ”
” අද හෂාන්ගේ wedding එක ”
රශ්මි එහෙම කියලා දිලිනිගේ අත තද කරලා අල්ල ගත්තා.