සිංහල සිනමාවට මේ එළඹිලා තියෙන්නෙ හොඳ කාලයක් කියල කියන්න මම කැමතියි. ආර්තික අර්බුද සමයෙ වගේම කොවිඩ් කාලෙත් අපිට සිංහල චිත්‍රපට දකින්න ලැබුනෙ හරිම අඩුවෙන් නේ. ඉතින් එහෙම කාලයක් පහු කරල ආපු අපිට 2023 අවුරුද්දෙදි ඉතාම හොඳ සිංහල චිත්‍රපට ගණනාවක්ම දකින්න අවස්තාව ලැබුණා.
එහෙම චිත්‍රපට ගණනාවක් අතරින් මම අද ඔයාලත් එක්ක බෙදාගන්න යන්නෙ මේ දවස්වල තිරගත වන පවුලේ හැමෝටම බලන්න පුලුවන් ඉතාම විනෝදාත්මක චිත්‍රපටයක් වන කතුරු මිතුරු ගැන.
කතුරු කොහොමද මිතුරු වෙන්නෙ කියන ප්‍රශ්නෙ චිත්‍රපටය බලපු නැති ඔයාලට නම් හිතෙනව ඇති.
මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිත දෙක වෙන්නෙ විල්සන් සහ සැම්සන්.
විල්සන් කියන්නෙ ටේලර් කෙනෙක්. සැම්සන් කියන්නෙ බාබර් කෙනෙක්. දෙන්නම තමන්ගේ බාබර් සාප්පුවයි ටේලර් සාප්පුවයි කරන් යන්නෙ එකම තැනක. කතුරු මිතුරු වෙන්නෙ අන්න එහෙම.
අපේ ගිරා මහත්තය, එහෙම නැත්තම් ගිරිරාජ් කෞශ්‍යල අධ්‍යක්ශනය කරා කියන්නෙම මේක ඉතින් “ආතල් කෝටියක්” තියෙන චිත්‍රපටයක් බව සිකුරු හතේ එහෙම බලල තියෙන උදවිය නොදන්නව නෙවෙයිනේ.
කතුරු මිතුරු චිත්‍රපටය මේ සැම්සන් සහ විල්සන් කියන අතිජාත මිත්‍රයො දෙන්න වටේ තමයි කැරකෙන්නෙ. අවුරුදු ගානක පරණ යාලුකම වගේම සම්ප්‍රදායික සිතුවිලි වලින් හිත පුරවගෙන ඉන්න එකම මේ දෙන්නගෙ මේ අතිජාත යාලු මිත්‍රකමට අත්තිවාරම දාල තියෙනවා.
සැම්සන්ට ඉන්නෙ දුවෙක්, විල්සන්ට ඉන්නෙ පුතෙක්. ක්‍රිශාන්තියි ක්‍රිශාන්තයි. පුංචි කාලෙ ඉඳලල එකිනෙකාව දන්න මේ ජෝඩුව විශ්ව විද්‍යාලෙ ගිහින් හොඳට ඉගෙන ගත්ත උපාධිගත්ත ඒත් රැකියා විරහිත තරුණ යුවලක්.
එතනින් තමයි අර හාස්‍ය රසය ඇතුලෙ වර්තමාන සමාජය ඇතුලෙ උපාදිධාරී තරුණ ප්‍රජාව මුහුණ දෙන රැකියා නොමැතිවීමේ ගැටලු සහගත තත්ත්වයන් වල හරස්කඩක් ප්‍රේක්ශකයන් එක්ක බෙදාගන්න චිත්‍රපට නිර්මාණකරුවන්ට අවස්තාව ලැබෙන්නේ.
ඉතිහාසය පුරාම, පරම්පරාවේ පරතරය දෙමාපියන් සහ ඔවුන්ගේ දරුවන් අතර ආතතියේ සහ අවබෝධයේ සදාකාලික මූලාශ්‍රයක් වෙලා තියනවා. මෙම පරතරය සාරධර්ම, විශ්වාසයන්, ආකල්ප සහ ජීවන රටා වල වෙනස්කම් මගින් පෙන්නුම් කෙරෙනව වගේම වෙනස් වන සමාජ හා තාක්ෂණික තත්ත්වයන් මගින් පෝෂණය වේ.
මේක පොදු සංසිද්ධියක් වුනාට දෙමව්පිය දූ දරු සබඳතාවයට ඒක බලපාන විදිය හොඳින්ම කියල දෙන චිත්‍රපටයක් විදියට මේ චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්.
චිත්‍රපටයේ රඟපාන ප්‍රවීණ රංගන මඩුල්ල ගැන කතා නොකරම බෑ.
ජයලත් මනෝරත්න – මහේන්ද්‍ර පෙරේරාට අමතරව රොඩ්නි වර්ණකුල සහ ප්‍රියන්ත සෙනවිරත්න විසින් චිත්‍රපටයේ උපප්‍රධාන චරිත රඟ දක්වනවා. රොඩ්නි වර්ණකුල නිරූපණය කරන්නේ විල්සන් නැමැති කරණවෑමියාගේ සහායකයාගේ චරිතයයි. සැම්සන්ගේ ඇඳුම් සාප්පුවේ සහායකයාගේ චරිතය රඟපාන්නේ රොඩ්නි වර්ණකුලයි.
එමෙන්ම මොරින් චාරුණී, ජයනි සේනානායක, මිහිර සිරිතිලක, ඩී බී ගංගොඩතැන්න, ගිහාන් ප්‍රනාන්දු, සහන් රන්වල, වසන්ත විට්ටච්චි, ආනන්ද අතුකෝරළ, සම්පත් ජයවීර, ලලිත් ජයකාන්ත, චන්ද්‍රසෝම බිංදුහේවා, දයා වයිමන්, නිමල් යටිවෙල, එස් අයි සමරක්කොඩි, සමන් හේමරත්න, උපතිස්ස බාලසූරිය, ශිරෝමිකා ප්‍රනාන්දු, සුදාර රන්දෙනි, ගාමිණි අම්බලන්ගොඩ, රංග ජයකොඩි, රූපා පතිරණ සහ නිමල් ජයසිංහ ද මෙම චිත්‍රපටය තුළින් දැක බලාගත හැකියි.
විල්සන්ගේ දියණිගේ චරිතයට සඳනි හෙට්ටිආරච්චි රඟපාන අතර සැම්සන්ගේ පුතාගේ චරිතය නිරූපණය කරන්නේ මෙරට සිටි ජනකාන්ත නලුවෙකු වූ විජය නන්දසිරිගේ පුත්‍රයා වන රසාංජන නන්දසිරි යි. මෙය රසාංජන නන්දසිරි සහ සඳනි හෙට්ටිආරච්චි දෙදෙනාගේම පළමු සිනමා රංගනයයි.
ඉතාම සුන්දර ගම්මානයක රූගත කරල තියෙන මේ චිත්‍රපටය පුරාම ලස්සන දර්ශන දකින්න ලැබෙන එකනම් නෙතට රසඳුනක් කියල කියන්න මම කැමතියි.
ඒ වගේම තමයි කාලයක් පුරාවට වේදිකා නාට්‍ය ලෝකය හොල්ලගෙන හිටපු නලුවන් හතර දෙනෙකු වන ජයලත් මනෝරත්නයන්, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල සහ ප්‍රියන්ත සෙනෙවිරත්න ගැන කතා නොකරම බෑ.
හිතල හිනාවෙන්න ඕන චිත්‍රපට දහසක් අතරෙ ඉබේම හිනායන, හරිම අපූරු විහිලු තියෙන දෙබස් අරගෙන එන්න ගිරිරාජ් කෞෂ්‍යලයට පුලුවන් වීම ඉතින් සිකුරු හතේ, සුහද කොකා ප්‍රේක්ෂකයන්ට නම් අරුමයක් නෙවෙයි.
මේ චිත්‍රපටයේ මම ඉතාම ආසාවෙන් බලපු සිංදුවක් තිබුණා.
ඒ තමයි නාට්‍ය සහ නාඩගම් සම්ප්‍රදායට අනුව නිර්මාණය කරල තිබුණා “කෝ හතුරෝ ගීතය”
ඒ ගීතයට හේතුවන කාරණාව සහ අවස්තාව තමයි මේ චිත්‍රපටය ඇතුලෙ පරම්පරා දෙකක ඝට්ටනයන් ගැන කියල දෙන පළමු අවස්තාව වෙන්නේ.
විශ්ව විද්‍යාලෙ ගිහින් උපාධි ගත්තට රස්සාවල් හම්බවෙන්නෙ නෑ කියන ක්‍රිශාන්ත සහ ක්‍රිශාන්ති, තමන්ගෙ මව් දෙමව්පියන්ගෙ ඉල්ලනව “තාත්තල කරන රස්සාවම කරන්න අපිට ඉඩ දෙන්න” කියල.
ඒත් “මෙච්චර මහන්සි වෙලා උඹලව විශ්ව විද්‍යාලෙ යැව්වෙ බාබර් කෙනෙකුයි ටේලර් කෙනෙකුයි කරන්නද?” කියල අහන විල්සන් සහ සැම්සන් කියන්නෙ අපේ කාලයේ තාත්තල දෙන්නෙක්. ඉතින් ඒ තාත්තල දෙන්නවම අපි මොනතරම් අඳුරනවද? අපේ තාත්තල අපිට මේ කතාවම කියල තියෙනව නේද කියන මතකය චිත්‍රපටය අතරතුරේ හිතට එන එක “විසාල කරදරයක් වුනා නේ” කියල මටත් හිතුණා.
පරම්පරා දෙකක් වුණාම, ඒ පරම්පරා දෙකෙන් දෙවනි පරම්පරාව තාක්ෂණය පිරුණු ලෝකයක පුරුකක් වුණාම දෙමව්පියන්ට වඩා වෙනස් දේවල් කරන්න හිතන පතන එක මොනතරම් සාධාරණීකරණය කරන්න පුලුවන්ද කියන කතාව ගිරිරාජ් කෞශ්‍යලය ඉතාම අපූරුවට සිනාම තිරය මත සිත්තම් කරල තියෙනවා.
දරුවො ලෝකෙ දකින්නෙ අම්මල තාත්තල දැක්කට වඩා වෙනස් විදියට. දරුවො ලෝකෙ ජීවත්වෙන්න හිතන්නෙ තමන්ගෙ මව් දෙමව්පියන් ජීවත් උනාට වඩා වෙනස් විදියට. ඒත් ඒ වෙනස් කම් ඇතුලෙදි උනත් මෙතුවක් කාලයක් තමාට ගුරුහරුකම් උදව් පදව් දීපු මව් දෙමව්පියනට එරෙහි නොවී හිත රිද්දන්නෙ නැතුව තමන්ගෙ ගමන යන්නෙ කොහොමද කියන කාරණාව ගැන දැනගන්න ඔයාලා මේ චිත්‍රපටය බලන්නම ඕන.
“පරපුරෙන් එන උරුමයක රුව හැඩ ගැහෙන්නේ කාලයෙන්” බව අපිට අපූරුවට කියල දෙන කතුරු මිතුරු චිත්‍රපටය කියන්න දෙමව්පියන් සහ දූ දරුවන් අනිවාර්‍යෙන්ම බැලිය යුතු චිත්‍රපටයක් කියල කියන්න මම කැමතියි.
ඉතින් ගොඩක් හිනාවෙන්න වගේම, ගොඩක් දේවල් ඉගෙන ගන්න කතුරු මිතුරු චිත්‍රපටය අනිවාර්‍යෙන්ම බලන්න කියල හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.