විවාහ සංවත්සරයදා හෙලිවූ බොහෝ දෙනෙක් නොදත් දීපිකා – රන්වීර් ආදර අන්දරයේ ඇරඹුම

බොලිවුඩ් තරු වලට පෙම් බඳින, ඒ අය ගැන හොයන ඔයා වෙනුවෙන් තමයි මෙන්න මේ කතාවත් අපි අරන් එන්නේ. රන්වීර් සහ දීපිකා කියන්නේ මේ දවස්වල ටිකක් වැඩිපුර අහන්න කරන්න ලැබෙන නම් දෙකක්නේ. කොහොමත් බොලිවුඩයේ කතා පුවත් මවන ජෝඩුවක් වෙච්ච මේ දෙන්න ගැන ආයෙ මේ අලුතෙන් කතාබහක් යන්න හේතුව වුනේ Koffee With Karan වැඩසටහන ඔස්සේ මේ ජෝඩුවගෙ සුන්දර ආදර කතාව ආයෙම වරක් එලියට ඒමත් එක්ක.

දීපිකා සහ රන්වීර්ගේ ආදර කතාව ආරම්භ වුනේ සංජේ ලීලා බන්සාලිගේ ‘ගොලියොන් කී රාස්ලීලා… රාම් ලීලා’ චිත්‍රපටයේ රූගත කිරීම්වලදී. ස්ක්‍රීන් එකේදිත් පුදුමාකාර ලස්සන Chemistry එකක් එකිනෙකා අතරෙ පවත්වගෙන යන්න සමත් වෙච්ච මේ ජෝඩුව කැමරාවෙන් එලියෙදිත් ඇස් වලින් එක එක කතා හුවමාරු කරගත්ත බව තමයි ආරංචි නම් වෙන්නේ. “2012 දි රන්වීර් සහ මම මුණ ගැහෙද්දිත් මට එයා ගැන ලොකු හැඟීමක් ඇතිවුනා, ඒක හරියට Love at first sight” වගේ දෙයක් කියල ලස්සනම ලස්සන දීපිකා ෆිල්ම් ෆෙයාර් සඟරාවට කියලත් තියෙනවලු.

ඒත් ඒ වෙද්දිත් දීපිකා හිටියෙ තමන්ගෙ පරණ පෙම්වතා වන රන්බීර් කපූර් සමග වූ පෙම් සබඳතාවය බිඳ වැටීම නිසා ඇති වූ විශාද තත්ත්වයෙන් කියන එක අපිට අමතක කරල දාන්න බෑ.

බොලිවුඩය විතරක් නෙවෙයි ඉන් එපිටත් දීපිකා සහ රන්බීර් කපූර් ආදර සබඳතාවය ගැන තිබුනෙ හරිම සුන්දර, සුරංගනාත්මක අදහස්. මේ සබඳතාවය දෙවියන් විසින් මැවූවක් බව මම හිතන්නෙ ඒ දිහා තුන්වෙනි ඇහැකින් බලපු අපි වගේම දීපිකාත් හිතුවට ඇත්තටම වුනේ දීපිකාට හිත් බිඳීමක් සහ විශාද රෝගියෙක් වෙමින් ඒ පෙම් සබඳතාවයට තිත තියන්න වීම.

ඒත් ජීවිතේ හැමදාම ගිම්හානයම තියෙන්නෙ නෑනෙ. ගිම්හානයට පස්සෙ වස්සානයක් එනවමයි. රන්බීර් ඇති කල ගිම්හානයේ ඉරි තැලුනු හිත මත්තට ප්‍රේමයේ මල් වැසි වසින වස්සානයක් අරගෙන තමයි රන්වීර් රාම් ලීලා චිත්‍රපටයට ආවෙ කිව්වොත් මම හිතන්නෙ හරියටම හරි.

මේ රාම් ලීලා චිත්‍රපටය රූගත කරන්න මුලින්ම තෝරගෙන ඉඳියෙ තවත් සුන්දර නිලියක් වන කරීනා කපූර්ව. ඒත් කුමක් හෝ හේතුවක් නිසා කරීනට හදිසියෙම චිත්‍රපටයෙන් ඉවත් වෙන්න වුනා. ඒ වෙනුවට අරගන්නෙ මොන නිලියද කියන ප්‍රශ්නෙ චිත්‍රපටයට සම්බන්ධ හැමෝටම තිබුනා.

“මම මුල ඉඳලම හිටියෙ Team Deepika එකේ” කියල රන්වීර් ඒ අතීතය මතක් කරන්නෙ හරිම සන්තෝසෙන්. කොහොමහරි ඒ උත්සහය සාර්තක වෙලා අන්තිමේ රාම් ලීලා චිත්‍රපටයේ රඟපාන්න ආවෙ ලස්සන දීපිකා.

www.hdnicewallpapers.com

ආන් එතනින් තමයි මේ කතාව හරියටම පටන් ගත්තෙ.

“දීපිකා එන්න කලින් මට බන්සාලිව හමුවෙන්න තිබුනා. ඉතින් මම එයා එනකම් මේසයේ වාඩිවෙලා හිටියා. මුහුද අද්දර තැනක තමයි මේ හමුවීම තිබුනෙ, ඉතින් ඒ ගෙදර දොරවල් හරි බරට හදල තිබුනෙ මූදු හුලඟට ඇරෙන්නෙ නැතිවෙන්න. මම දීපිකාව පුදුම තරම් ලස්සනට දැක්කෙ එදා. සුදු සරල ඇඳුමක් ඇඳගෙන ඉඳපු දීපිකාගේ ඒ සරලකම තමයි මගෙ හිතට මුලින්ම වැදුනෙ. මට ඇත්තටම “දෙයියනේ” කියල කියවුනා එයාගෙ ලස්සන දැකල”.

මෙහෙම කියන්නෙ ආදරණීය සැමියා රන්වීර්.

ඉතින් මේ හමුවීමෙන් පස්සෙ බන්සාලි ආරාධනා කරල තියෙනව මේ දෙන්නට දවල් කෑමට ඉන්න කියල. එතනදි වුනේ වෙන්න තිබුන දෙයක්ද මන්දා කියල හිතෙයි ඉතුරු ටික කියෙව්වම.

බන්සාලි ලෑස්ති කරල තිබිච්ච කෑම අතරෙ කකුලුවො ඉඳල තියෙනව. ඉතින් කෑම කද්දි දීපිකාගෙ දත් අස්සෙ කකුලුවෙක්ගෙ කෑල්ලක් හිරවෙල තියෙනව දැක්කම රන්වීර්ට හිතුනලු “මම ඒක හැමෝටම ඇහෙන්න කිව්වොත් ඒක මෙයාට ලැජ්ජාවක් වෙයි” කියල.

ඒත් ඉතින් මෙච්චර ලස්සන කෙල්ලෙක්ට දත් අස්සෙ කකුලු කෑල්ලක් හිර කරගෙන ඉන්න දෙන්න බැරි නිසා හිමින් සැරේ ලංවෙලා රන්වීර් අපේ දීපිකාට කියල තියෙනවා “ඔයාගෙ දත් අස්සෙ කකුලුවො කෑල්ලක් හිරවෙලා තියෙනව” කියල.

දීපිකාට තරහ යාවි එහෙම නැත්තම් වෙයි කියල හිතුවට මොකෝ දීපිකා කියල තියෙන්නෙ රන්වීර්ට නිකන් හිතාගන්න බැරි දෙයක්.

“ඇත්තද? අනේ එහෙනම් ඒක අයින් කරන්නකො”

කියල තමයි දීපිකා කියල තියෙන්නෙ.

“මට මේක හරියට මගේ අත සොකට් එකට දැම්ම වගේ. එදා මට වෝල්ට් 440 ක කම්පනයක් දැනුණා. ඒ වගේම අද වෙනකම් ඒ ගැස්සිල්ලේ වෙව්ලීම මට දැනෙනවා.”

රන්වීර් ඒ දවස මතක් කරන්නෙ අන්න එහෙම.

රන්වීර් සහ දීපිකා දෙදෙනා එකිනෙකාව දකින්න, මුන ගැහෙන්න පටන් ගත්තෙ 2012 දි. ඒ විදියට ගෙවිලා ආව ජීවිතේ දෙන්න එක වහලක් යට උනේ 2018 දී.ඒ පවුලේ ළඟම හිතවතුන් පමනක් සහභාගි වුන සුන්දර මංගල උත්සවයදි. මේ මංගල උත්සවයේ ජායාරූප අපිට හරියාකාරව දකින්න ලැබුනෙ Koffee with Karan” වැඩසටහනේදි.

රන්වීර් සහ දීපිකාගෙ ඒ සුන්දර විවාහ උත්සවය, හැඟීම්බර කරේ දෑස්වල කඳුලු පුරවගෙන මේ ජෝඩුවට ආශිර්වාද කරපු කරන්ව විතරක් නෙවෙයි බලන් ඉඳපු අපි හැමෝගෙම හිත් හැඟීම්බර වුනා.

2013 අවුරුද්දෙ සාර්තකම චිත්‍රපටය විදියට රාම් ලීල පත්වෙද්දිත් දීපිකා කියන්නෙ ඉහලම තලයෙ නිලියක්. ඒත් රන්වීර් තමන්ගෙ ගමන පටන් ගත්ත විතරයි. ක්ශේත්‍රය ඇතුලෙ ගත්තොතින් රන්විර් කියන්නෙ දීපිකාට වඩා Stages කීපයකින්ම Junior කොල්ලෙක්.

ඒත් ඒ රන්වීර් ලඟ තිබුන අපි නොදැක්ක ආදරය, තේරුම් ගැනීම, සංවේදීකම හිත බිඳිල තිබුන, ආදරය ගැන විශ්වාසය හිතෙන් ගිලිහිල ගිය දීපිකාගේ හිත ඇතුලේ ආදරේට ආයෙ පිපෙන්න ඉඩක් දෙන්න පුලුවන් වුණා.

2014 ජුලි මාසෙ සංජය ලීලා බන්සාලි කිව්වා “මගෙ අලුත්ම චිත්‍රපටය වන බජිරාඕ මස්තානි සඳහාත් මම තෝරගෙන ඉන්නෙ දීපිකා සහ රන්වීර්” කියල.

ඒත් ඒ වෙද්දිත් ලෝකය මේ ආදර කතාව දැනන් උන්නෙ නෑ. දෙන්න ඒ ගැන කිව්වෙත් නෑ.

කොටින්ම Koffee with Karan වැඩසටහනකදි “ඔයා රන්වීර් එක්ක යාලුයි නේද?” කියල දීපිකාගෙන් කරන් ඇහුවත් “මේ මම?” කියල ඒකට ප්‍රශ්නෙකින්ම උත්තර දෙනව ඇරෙන්න දීපිකා කිසිම දෙයක් කිව්වෙ නැති බව වැඩසටහන බලපු අයට නම් මතක ඇති.

2015 Release වුන බජිරාඕ මස්තානි කියන්නෙ රාම් ලීලාටත් වඩා Hit වෙච්ච චිත්‍රපටයක්.ඒත් ඒ වෙද්දිත් මේ දෙන්නගෙ ආදරේ මුලු ලෝකෙටම රහසක් උනා. මේ කාලෙ දීපිකාට පුදුමාකාර වාසනාවන්ත කාලයක්. බොලිවුඩ් කෙල්ලෙක් හොලිවුඩ් නිලියක් උනේ ඒ විදියට. වින් ඩීසල් එක්ක චිත්‍රපටයක රඟපාන්න ගිය දීපිකා හමුවෙන්න රන්වීර් ආව එක ගැන වින් ඩීසල්කියල තිබුනෙ “දීපිකාව බලන්න එයාගෙ පෙම්වතා” ආවා කියලයි.

තමන්ගෙ මේ සබඳතාවය මාධ්‍යට කියන්න ඕන බව දෙන්නම තීරණය කරල තිබුනෙ මේ කාලෙදි.

‘ඔහු මාව සතුටින් තියනවා‘‘ ඒ වගේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී දීපිකා වරක් කිව්වා. ‘‘මාව ප්‍රීතිමත් තැනැත්තියක් නෙවෙයි, ඊට වඩා කෙනෙක් බවට පත් කරනවා.. ඒක මට කියාගන්න බෑ..“ ඇය කිව්වා. ඒ හැම මොහොතකම රන්වීර් දීපිකා දිහා බලාගෙන ඉඳියෙ පුදුමාකාර ආදරේකින්, කෙයා කිරීමක් එක්ක.

ඉතින් ඉන් පස්සෙ දෙන්න එකට රඟපෑව පද්මාවත් චිත්‍රපටයත් මොන තරම් ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනාගත්තද කියන කතාව අමුතුවෙන් මතක් කරන්න ඕන නෑනෙ.

රන්වීර් වගේ ආදරණීය මනුස්සයෙක්ගෙ ආදරය කරුනාව ලැබෙන දීපිකාගේ වාසනාව ඉරිසියා කරන්න හිතෙන තරම් ලස්සනයි. ඒත් දීපිකාට ඉරිසියා කරන්න හිත හදාගන්න අපි කාටවත් බැරි බව මම දන්නව.

ඒ තරම් ලස්සන සුන්දර ජෝඩුවක් බොලිවුඩයේ වෙන ඉන්නවද කියලත් මට හිතාගන්න බැරිතරම්.

ඉතින් මේ සුන්දර ආදර කතාව හිමි දෙන්නා පහුගිය දවසක තමන්ගෙ විවාහයේ පස් වෙනි අවුරුද්ද ගෙව්වා.

මොන තරම් සතුටක්ද නේද?

එක කාලයක් හිත බිඳිල විශාදයට බෙහෙත් ගත්ත ගෑණියෙක්ව, බොලිවුඩයේ ඉන්න දක්ශතම, ධනවත්ම නිලියක් විදියට එන ගමනට අත දුන්න, ආදරේ දුන්න, දරාගත්ත ආදරණීය සැමියෙක් වුන රන්වීර් කියන්නෙ අදහන්න වටින මිනිහෙක්.

ඉතින් ඒ සුන්දර ආදර කතාවට ජයෙන් ජයම පතන ගමන් ඒ විවාහ ජිවිතේ පස්වෙනි සංවත්සරයටත් අපි සුබ පතන්න හිතුවෙ ඒ ආදරය අපි හැමෝගෙම හිත්වල උඩම තැනක රැඳිල තියෙන නිසා.

ඉතින් දීපිකා, රන්වීර්, සුබම සුබ විවාහ සංවත්සරයක් වේවා!

Related Articles

Don't Miss


Latest Articles