අද වනවිට ශ්‍රී ලාංකිකයින් විශාල වශයෙන් රැකියා සඳහා විදේශගත වන්නේ යහපත් ආර්ථික ශක්තියක් ගොඩනගා ගැනීමේ අරමුණ ඇතිවය. රැකියා අවස්ථා සඳහා මෙරට පවතින තරගකාරීත්වය හමුවේ රට රැකියා සඳහා විදේශගත වන තරුණ පිරිස් ප්රමුඛ සියලු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ඒ අරමුණ සැබෑ ලෙසම ඉටුකර ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙයි. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා විදෙස් රටවල විවිධ රැකියා අවස්ථා විහාල ප්‍රමාණයක් තිබේ. ඒ සියලු රැකියා සඳහා ඉහළ වැටුප් සහ වරප්‍රසාද ඇතුළු පහසුකම් රැසක් හිමිවෙයි. සැබැවින්ම යහපත් අනාගතයක් ගැන සිහින මවන ශ්‍රී ලාංකිකයින්ට ඉදිරි ජීවිතය ජයගැනීමට ඉඩහසර ලබාදෙන එවැනි රට රැකියා මඟින් ශ්‍රමිකයින්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් වඩා යහපත් ආර්ථික ශක්තියක් ඇතිකර ගැනීමේ හැකියාව ලැබෙයි. දැඩි ආර්ථික අර්බුද මධ්‍යයේ වුවද ගෘහස්ථ ජීවිත පවත්වාගෙන යෑමේ අභියෝගය ජයගැනීමට එමඟින් ඔවුන්ට හැකි වෙයි. ආහාර, විදුලිය, ඉන්ධන, ඖෂධ, ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය සහ නිවාස ඇතුළු විවිධ අත්‍යවශ්‍ය දෑ සඳහා වියපැහැදම් කිරීමේ හැකියාව සහිත ආර්ථික ශක්තියක් ගොඩනගා ගැනීමේ හැකියාව ලැබීමෙන් ඔවුන්ට සතුට සපිරි යහපත් පවුල් ජීවිත පවත්වාගෙන යෑමටද ඉඩ ලැබෙයි.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් රට රැකියාවල නියැළෙමින් මෙරටට එවන විදෙස් විනිමය යොදවමින් පවුලේ ඇත්තන් විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අරඹන අවස්ථාද ඇත. එමඟින් ඔවුන්ගේ පවුල්වල මෙන්ම ප්‍රාදේශීය මට්ටමෙන් ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීම සඳහාද ඉඩ සැලසෙයි. ගමෙන් ගමට, නගරයෙන් නගරයට ඒ අයුරින් ආර්ථික සංවර්ධනයක් සිදු වනවිට එය සමස්ත වශයෙන් ගමට, රටට පමණක් නොව පුරවැසි ප්‍රජාවටද ඵලදායී වනු ඇත. එමඟින් දුගී දුප්පත්කම, අසරණභාවය සහ සෝ ළතැවුල් වෙනුවට රට පුරා ගම් දනව් සිසාරා සශ්‍රීකත්වය සහ ආර්ථික සංවර්ධනය ව්‍යාප්ත වීමෙන් සහජීවනය සහ ස්වාධීනත්වය සපිරි ජීවන රටාවන් ඇති වනු ඇත.
එසේම, විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් මෙරටට එවනු ලබන විදෙස් විනිමය මෙරට ජාතික ආර්ථිකය ගොඩනැගීමට සුවිසල් දායකත්වයක් සපයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලාශ්‍ර අනුව, 2021 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලපරිච්ඡේදය තුළ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 5,166ක් ලැබී ඇත. එය 2022 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 3,314ක් විය. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ඉදිරියට යෑමේදී මුහුණදීමට සිදු වන බොහෝ අභියෝගයන් ජයගැනීමට මෙම විදෙස් විනිමය මඟින් ලැබෙන අත්වැල කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකිය. රටේ සමස්ත ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමේ සිට සංවර්ධන ක්‍රියාදාමයන් ඇතුළු සමස්ත ආර්ථික යාන්ත්‍රණය පවත්වාගැනීම සඳහා එමඟින් ලැබෙන දායකත්වය සුවිසල්ය. විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බොහෝ කැපකිරීම් කරමින් එතෙර රටවල වෙහෙසී උපයන විදෙස් විනිමය මඟින් ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලනික කරුණු හා සෘජුව සම්බන්ධ ආර්ථික රටාව කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කරන බව නොරහසකි.
මේ සියලු කරුණු මෙසේ වන්නේ රට රැකියා සඳහා විදේශගත වන විට නිසි ක්‍රමවේද අනුගමනය කරන්නේ නම් පමණි. එසේ නොවුවහොත් සිදු වන්නේ රට රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් බැහැර වන ශ්‍රමිකයින් මෙන්ම ශ්‍රී ලංකාවද අනවශ්‍ය අර්බුදකාරී තත්ත්වයන්ට පත්වීමය. එවැනි තත්ත්වයන් මඟහරවාගෙන ඉදිරියට ගමන් කිරීම සඳහා ක්‍රමවත්, විධිමත් සහ පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් නීත්‍යානුකූලව රට රැකියා සඳහා යෑම අත්‍යවශ්‍ය වෙයි.
නීත්‍යානුකූලව රට රැකියාවකට යෑමෙන් ආර්ථිකයට ලැබෙන දායකත්වය පිළිබඳව සහ විදෙස් රැකියාවකට යෑමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළු සියලු වැදගත් කරුණු ගැන දැනගැනීම සඳහා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ සහාය සේවාවක් ක්‍රියාත්මක වන අතර, අවශ්‍ය ඕනෑම විටෙක තොරතුරු දැනගත හැකි විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක්ද 1989 නමින් හඳුන්වා දී ඇත.