ඒ වෙලාවට කොහුවල හන්දිය සෙනගින් පිරී ඉතිරී යන්නේ කුහුඹු ගුලක් ඇවිස්සුණා මෙනි. දස දෙසින් ඇදෙනා පාසල් විශාල ගණනක සිසුන්ට එතැන සන්ධිස්ථානයක් වෙයි. සුපුන් පංකජී ව අල්ලා ගෙන ඇගේ ගෙලට පිහියක් තබත්දී එම සිදුවීම දුටුවේ සදාතන හැරුණු විට ළඟ ම උන් කිහිප දෙනා පමණකි. ඔවුන්ට ‘හීක්’ ගෑටවන්නට ඇත. මේ සෙනග ගොඩ මැද්දේ රඟ දැක්වෙන්නට යන ජවනිකාව කුමක් දැයි ඔවුහු දෑස් දල්වා ගත්හ. ළඟ සිටිනා, සිදුවීම නොදුටු අය සමග එය දුටු අය මුමුණා කියත්දී, බෝ වී ගෙන වාගේ මොහොතකින් එය කොහුවල බස් නැවතුම්පළ පුරා පැතිර යන්නට විය.
“ඉස්කෝලෙ යන කෙල්ලෙක්ටවත් පාඩුවෙ ඉන්න නෑ මේ මදාවි නිසා” යි කෙනෙකු කීහ.
“ශුවර් එකටම නංගි කොල්ලො දෙන්නෙක්ව කරකෝනව ඇති. ඔහොම එවුං පිහි පාරකින් තමයි කවදහරි මැරෙන්නෙ” යි තවත් කෙනෙකු කීහ. තත්වය වඩාත් බරපතල බව කාටත් වැටහුණේ ගෑනු ළමයාගේ බෙල්ලට පිහිය හිර කර ගත් කොල්ලා ගේ හිසට තබා හැඩි දැඩි පුරුෂයෙකු පිස්තෝලයක් එල්ල කර ගෙන සිටි නිසා ය.
“මං ක්‍රයිම් ඕඅයිසී ඉන්දික රාමනායක. ඔය ගෑනු ළමයව අත්ඇරපං. ඒ ළමයට සීරිමක් හරි වෙලා තිබුණොත් උඹේ ඔළු කට්ට කුඩු වෙන්න වෙඩි තියනව”
පොලිස් අපරාධ අංශ ප්‍රධානියා එසේ කීවේ පහළ, එහෙත් දැඩි ස්වරයකිනි. සිවිල් පිට එතැනට පැමිණ තිබූ අපරාධ අංශයේ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු එතැන වූහ. ඔවුන් නිල ඇඳුමෙන් නො පැමිණි නිසා ම සුපුන් ගේ අවධානය මුලින් ඔවුන් වෙත යොමු වූයේ නැත. ඔහු ගේ දෙපා වෙව්ලා ගියේ ය. මරණ බිය කියනා දේ ඇට මස් ලේ නහර විනිවිද දැනිණ. පිහිය අල්ලා ගෙන උන් අත පවා වෙව්ලනු පෙනිණ. පංකජී ව අල්ලා ගෙන උන් අතේ ග්‍රහණය ලිහිල් විය. එකෙනෙහි සදාතන ඇය ව ඔහු වෙතට ඇද ගත්තේ ය. මරණයෙන් නිදහස් වූ පුංචි කෙල්ල සදාතන ට වාරු වී ඉකි බිඳින්නට පටන් ගත්තා ය. ඔහු ඇගේ උරහිස් වටේ දෑත් යවා ලං කොට ගෙන රැකවරණය සැදුවේ ය.
“මං කිව්වනෙ බය වෙන්න එපා කියල. දැං ඉතිං ඔක්කොම හරි. ඔයා කළේ හොඳම දේ. හරිද…පොඩ්ඩක්වත් වොරි වෙන්නෙපා කිසි දෙයක් ගැන”
“අනේ ඔයාට පිං අයියෙ. දෙයියනේ මට හිතා ගන්න බැරි වුණා මොකද්ද මං කරන්න ඕන කියල”
පංකජී ගේ ඇමතුම විසන්ධි කළ ගමන් සදාතන කතා කළේ සිය පාසල් මිතුරා වන ඉන්දික රාමනායකට ය. ඔහු පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ ව අපරාධ අංශ ප්‍රධානියෙකු සේ කටයුතු කළේ ය. එහෙයින් සැනෙකින් සියල්ල ක්‍රියාත්මක විය. සුපුන් ගේ දෑතට මාංචු දැමිණ. ඔහු ගේ යතුරු පැදිය පොලිස් නිලධාරියෙකු විසින් පණ ගන්වා ගන්නා ලදී.
“උඹල වගේ කාඩ්බෝඩ් වීරයන්ට කරන්න ඕන දේ අපි දන්නව. යංකො අවුරුද්දකට හමාරකට ඇතුළට නේ…ඒත් මදිනං තව දික් කරල දෙන්නං. මේක සෑහෙන්න දරුනු වෙන්නෙ තමුන්ට විරුද්දව නඩු දාන්නෙ පොලිස්සිය නිසා. ඒ ගෑනු ළමයින්ට අතවර කරන්න ගියා කියන බරපතල වැරැද්දකට නිසා. එහෙනං බරපතල වැඩ ඇතුව හිර ගෙදර ටිකක් සැප ගමුකො නේ…”
සුපුන් බිම බලා ගෙන ම සිටියේ ය. කොහුවල නගරයේ මහ සෙනග ඔහු ගේ මූණ දැක ගන්නට පොරකෑහ.
“තෑන්ක් යූ වෙරි මච් ඉන්දික. මං නංගිව ගෙදර බස්සල උඹව මීට් වෙන්න එන්නං මචං. මේ වෙලාවෙ කළේ ලොකු උදව්වක් මචං”
සදාතන මිතුරා ගේ අත අල්වා ගෙන සුබ පැතුවේ ය.
“හරි හරි හදිස්සියක් නෑ…අපි හෙමීට සෙට් වෙමුකො”
පංකජී ව රියෙහි නංවා ගෙන සදාතන ගෙදර කැටිව ආවේ ඒ කිසිත් දුරකතන ඇමතුමක් දී හෝ සියපත් ට කියන්නේ නැතිව ය.
ඒ හැන්දෑව කලබලකාරී විය. පොලීසියෙන් ආරංචිය ලද සුපුන් ගේ මව සියපත් ගේ ගෙදරට විත් මිදුල මැද සිට ම කෑ ගැසුවා ය.
“උඹල හරි නල්ලමලේ කුමාරිකාවො. ඈ යකෝ ඒ කොල්ල එක්ක යාළු වෙලා හිටියෙ මොකටද උඹ ඔච්චර පත්තිනි අම්මනං…අන්තිමට මගෙ එකාව පොලිස්සියට අල්ලල දුන්න. තොපිට හොඳක් වෙන්නෙ නෑ මේ කරපු අපරාදෙට. ලොකු ලොකු කාර් කාරයො එන්න ගත්තට පස්සෙ මුන්ට ගමේ එවුං මදිපුංචි වුණා”
“ඔය තරං කැත විදිහට කතා කරන්න එපා මල්ලිකා අක්කෙ”
ශාන්ත ඉතා සමාදානයෙන් කතා කළේ ය.
“මං එදා ගෙදරටම ගිහිං සුපුනට අවවාද දීල ආව කෙල්ලන්ට පාඩුවෙ ඉන්න දෙන්න කියල. ඇහුවනං මේ කරදර පැටලෙන්නෙ නෑනෙ”
“මං කොහොම හරි මගෙ එකා බේර ගන්නව. මං ඌට හිරේ යන්න දෙන්නෑ. ඌ ගෙදර ගෙනාවහම අපි මේක බේර ගමු එහෙනං”
කියමින් ඇය ඝෝෂා කොට නික්ම ගියා ය. එදා කෑම කඩය විවෘත නොකරන්නට තීරණය විය. ඊට වඩා සැමරුමක් ගෙදර වූයේ ය. වියානා ද සනාතන ද පංකජී ද සිනහ වෙමින් හා විහිළු තහළු කරමින් කාර්ය බහුල ව සිටියහ. මදිරා ජගත් සමගින් පිටතට ගිය අතර සියපත් පමණක් ගෙදර වූවා ය. සදාතන ඇය ගෙදර කැටිව යන බව දැනුම් දී තිබුණෙන් බස් එකේ හෝ ඇයට යා නො හැකි ය. ඇඳිරි වැටී ගෙන එත්දී ඇය තරමක් කලබල වී සිටියා ය. සදාතන ආවේ එතකොට ය.
“මං කෝල් එකක් අරං බලල යන්නයි හැදුවෙ”
ඇය ඇස් වල කැළඹුමක් තියා ගෙන කීවා ය.
“මං දුකෙන් ඉන්නෙ. අද මගෙ බර්ත් ඩේ එක කියල මතක් වුණේ හවස් වෙලා”
“අනේ…විශ් යූ අ හැපී බර්ත් ඩේ”
සදාතන ගේ සුබ පැතුමේ ව්‍යාජයක් විය. සියපත් ට දැනුණේ වියළි බවකි.
“ඔයානං දන්නෑනෙ. ඒත් අපේ අම්මටවත් කවදාවත් නැතුව අද මගෙ උපන් දිනේ කියල අමතක වුණා. වෙනදටනං උදේම කිරිබතක් හරි උයනව. මං දන්නව ඉතිං…හැමෝගෙම හිත් වල කරදරනෙ මේ නංගිගෙ ප්‍රශ්නෙ නිසා. ඒ අස්සෙ උපන් දිනනං මොනාද තමයි. ඒත් ඉතිං මට දුකයි. නංගිටවත් මතක් වුන්නෑ. උදේ ඉස්කෝලෙ යද්දි හැරිල ඇවිත් මාව බදාගෙන ආදරෙයි අක්කෙ කියල ගියා. මට ඒ වෙලාවෙ එයාව ගෙදර නතර කර ගන්න තිබුණ කියලත් හිතුණා. අද දවසම හරි අමුතුයි…මොකද්ද මූසල කමක් වගේ දෙයක් මට දැනෙනව. ඔයත් ගෙදර හිටියෙ නෑ උදේ ඉඳන්ම”
සියපත් හද දුක කියවූවා ය. ඒ ස්වර දුකෙන් සුසුර කොට තිබිණ. ඇය හිටියේ හඬන්නට ඔන්න මෙන්න වාගේ තත්වයක ය.
“ඔයා කලබල වෙන්නැත්තං දෙයක් කියන්නං”
සියපත් ඇතුළාන්තයෙන් ම තිගැස්සී ගියා ය. මහත් නපුරක් සිදු වෙන බවට දවස පුරා ම ඇයට දැනුණා වූ සිතිවිල්ල මේ මොහොතේ ඇය තදින් බියපත් කරවන ලදී.
“ඇත්තටම දැන් බය වෙන්න කිසිම දෙයක් නෑ. නංගි හොඳ බුද්ධිමත් ළමයෙක් විදිහට ඒ හැම දේම හැන්ඩ්ල් කරල තියනව. එයා ගැන ආඩම්බර වෙන්න ඕන අපි”
“අනේ මොකද්ද වෙලා තියෙන්නෙ…මගෙ නංගිට කරදරයක්ද…කියන්නකො අයියෙ…”
“නංගි ලොකු කරදරයක් ඉවර කළා. සුපුන් එක්ක යාළුයි කියල නංගි ලොකු ඇක්ට් එකක් කරල තියෙන්නෙ සියපත්”
ඒ කතාව ඇයට විශ්වාස කර ගත නො හැකි තරම් විය. ගේ ළඟ රිය නැවතුණ වහා ඕ ඉන් පිටතට පැන්නා ය.
“නං…ගි…”
සියපත් ද නො දැන ඇයට එසේ කෑ ගැසී තිබිණ. පංකජී අක්කා වෙත දිවැවිත් ඇය වැළඳ ගත්තා ය. උනුන් ඉතා තදින් වැළඳ ගෙන කඳුළක් දෙකක් සැලූහ. වැරදී හෝ නංගී එක්ක තරහා වී සිටි හෝරාවන් ගැන සියපත් දුක් වූවා ය.
“තනියෙං හැම දේම හිතේ තියං ඉන්නැතුව මට කියන්න තිබුණනෙ”
“එහෙනං අර සුපුනට බණින්න ගිහින්…මෙතන මොනව වෙලා තියෙයිද දන්නෑ”
ඔවුන් දෙදෙනා උනුන්ගෙන් මිදුණේ සිනහ වෙමිනි. ගේ ඉදිරිපිට ප්ලාස්ටික් පුටු වල ඉඳ ගෙන උන් පිරිස සියපත් ගේ නෙතු ගැටුණේ ඉනික්බිති ය. වියානා, සනාතන, මදිරා, මනුල…මනුල ගිටාරයක තත් හැඬවූයේ ය. පිරිස තාලයට ‘හැපි බර්ත් ඩේ ටූ යූ…’ ගැයූහ. සියපත් ගේ ඇස් අලුත් කඳුළකින් පිරී ගෙන ආවේ ය. ඇය වියානා තේරූ කේක් එක කැපුවේ ඇස් වලින් කඳුළු වැගිරෙත්දී ය. කිසි දා ක උපන් දිනයකට ඔවුන් කේක් කපා එය සමරා නැත. සුජීවා ගෙදර ඕනෑ ම කෙනෙකු ගේ උපන් දිනය මතකයේ තියා ගෙන සිට උදයෙන් ම නැගිට කිරිබතක් පිසුවා පමණි. අද පළමු වතාවට සියපත් වෙනුවෙන් එසේ කරන්නට අමතක වීම ගැන කියවමින් දවල් සිට ම කිහිප වරක් ඕ කඳුළු පිස ගත්තා ය.
“හරි හරි ඒ ගැන ඔච්චර කම්පා වෙන්න ඕන නෑ. අපි කවුරුත් ඉන්නෙ ගිනි මැලයක් උඩ වෙච්චි…ලොකු ළමය ඕකට ආඩපාලි කියන්නෙ නෑ. අපි රෑට හොඳට උයල කන්න දෙමු”
ශාන්ත ඇය අස්වැසුවේ එසේ ය. දවල් සිට ම එහෙම බලාපොරොත්තුවක සිටියත් හැන්දෑ වන විට ඒවා වෙනස් විය. එකක් පංකජී ගේ ජීවිතයත් අනාගතයත් අනූ නවයෙන් බේරීම ගැන කම්පනය ය. අනික වියානා හා සනාතන ඇවිත් සැරසිලි කරමින් සියපත් වෙනුවෙන් කුඩා උපන් දින සැමරුමක් සූදානම් කිරීම ය.
“අම්ම හැමදාම උයල මහන්සි වෙන එකනෙ. අද අපි ඕඩර් කරල කෑම එළියෙන් ගෙන්නමු”
වියානා, සුජීවා ගේ කෑම පිසින බලාපොරොත්තුවට ද නැවතීමේ තිත තැබුවා ය. දැන් සියල්ල සිදු වී තිබේ. මේ තරම් උසස් පවුලකට සම්බන්ධ දරුවන් සියපත් සමග මෙසේ බැඳී සිටීම ගැන සුජීවා සමග කියත්දී ශාන්ත ගේ උගුර හිර වී වචන බිඳී ගියේ ය. ඔවුන් ඇය තමන්ගේ ම කෙනෙකු ලෙස පිළි ගෙන තිබෙනු දකිත්දී ඔහු ට වාවා ගත නො හැකි වෙයි. ඔහු ගේ දුප්පත් ගෙදර මුලින් ම දැනුණා වූ කිරි සුවඳ ඈ ය. ඔහු ට මුලින් ම පිය පදවි දුන්නේ ඈ ය. කුමාරියක ගේ පෙනුමෙන් යුතුව ඇය උස් මහත් වෙත්දී ශාන්ත සතුටට හැඬූ දවස් ඕනෑ තරම් තිබේ.
සතුටු සිනහවන්ගෙන් ද මිතුරු කතාවන්ගෙන් ද ඒ අබලන් නිවස පිරී ගොස් තිබිණ. සුමුදු ව පොලීසියට කොටු කොට දී ඔවුන් බාල් නටනවායි මල්ලිකා නැවත ද විත් ශාප කොට ගියා ය.
“අපිට මිනිස්සු වෙනස් කරන්න බෑනෙ. අනික අපි වරදක් කරලත් නෑනෙ. සියපත් ඕව ගැන හිතන්නෙපා”
මදිරා සියපත් ව අස්වැසුවා ය. මදිරා ගෙන් ද වියානා ගෙන් ද සනාතන ගෙන් ද ඇයට තෑගි බෝග ලැබිණ. සදාතන ගේ තිලිණය ඇය අත පත් වූයේ ඒ කාටත් රහසේ ය. මිදුලේ ලෑලි බංකුව ළඟ දී ඒ රන් දම්වැල ඔහු ඇයට දුන්නේ ය. ඒ තරම් දිග නැති එය, කිසි දා රන් මාලයක් නො පැළඳූ ඇගේ ගෙලට කදිම නිමාවක් ගෙනාවේ ය. සියපත් අතකින් ඒ ළැමට තද කර ගෙන අඩ අඳුරට පෙනෙනා ඔහු ගේ මුහුණ දෙස බැලුවා ය.
“මේ හැම දේටම වඩා වටින තෑග්ගක් අද ඔයා මට දීල තියෙනව. ඒ මගෙ නංගිව. ඒ ගැන හැමදාටම මං ඔයාට ණයයි”
“ඒකට කියන හරි වචනෙ ණය කියන එක නෙවෙයි නේද..”
සදාතන හිටියේ බංකුව මත හිඳ ගෙන ය. සියපත් එතැන හිටගෙන ය. ඔහු නළල රැලි නංවා ගෙන ප්‍රශ්නාර්ථයෙන් ඇදෙස බලා සිටියේ ය. කොහේදෝ යන ගමන් සුළඟක් මල් සුවඳක් අතැර ගියේ ය.
“එහෙනං…”
සියපත් උගුර යටින් අසා ගත්තා ය.
“ආදරේ කියන එක”
“කෑම කන්න එනවද…කට්ටිය බලං ඉන්නෙ ඔයා එනකල්”
ඇය වඩාත් හිස බිමට හරවා ගෙන කීවා ය. සදාතන බංකුව මතින් නැගිට ගත්තේ ය. ඒ මොහොතේ ඇයට ඔහු දැනුණේ වීරයෙකු සේ ය. ඉතා තදින් ඔහු වැළඳ ගෙන ඒ පපුතුර හිස හොවා ගෙන හිඳිනා ලෝභී සිතිවිල්ලක් විදුලියක් සේ සිරුර පුරා දිව ගියේ ය.
“මෙහෙමම කියන්නද අම්මටයි තාත්තටයි…මං ඔයාව දවසක අරං යනව කියල”
ඔහු ඉතා හෙමිහිට විමසී ය. සියපත් තව තවත් සිය සීතල සිතිවිලි ග්ලැසියරයේ ගිලී යන්නට වූවා ය.