මුදල් ඉතුරු කරන ඔයාට වටින tips ටිකක්

0
1092

මේ දවස්වල අපි අතර නිතරම කතාවෙන මාතෘකාවක් තමයි අද වෙද්දී අපේ රටේ තියෙන අපි හැමෝටම පොදුවෙ දරාගන්න අපහසු ආර්ථික අස්ථාවරත්වය. 

“කොච්චර හම්බකරත් මදි”, “සල්ලි මේ තියෙනව මේ නෑ” මේ වගේ කතා නිතරම අපිට අහන්න ලැබෙන්නෙ ඒකයි.

ඇත්තටම මේ ටිකක් භයානක ප්‍රශ්නයක්. ඒ වගේම අපි බොහෝ දෙනෙක්ට මානසික පීඩාවන් ඇති කරන්න සමත් වුණු ගැටළුවක්. 

අන්න ඒ නිසයි ඔබ අමාරුවෙන් හම්බ කරන මුදල් ඉතුරු කරගන්න පුංචි පුංචි සරල ක්‍රම කීපයක් ගැන ඔබත් එක්ක බෙදාගන්න අපි තීරණය කරේ. 

එහෙනම් බලමුද ඒ මොනවද කියල ? 

ඔබේ වියදම් සටහන් කරන්න

ඔබ දිනපොතක් එහෙමත් නැත්නම් කොළයක් අරන් දිනපතා ඔබ කරන වියදම් එහි සටහන් කරන්න පටන් ගන්න.

රුපියල් 10 ක පුංචි වියදමක්වත් මඟ හරින්න එපා. ඔබ තේ බොන්න, බස් ටිකට් ගන්න කරන පුංචිම වියදමේ ඉඳල අන්තර්ජාලය හරහා කරන ගෙවීම් සහ ණය වාරිකය ගෙවා දැමීමේ විශාල වියදම දක්වාම සටහන් කරන්නයි ඕනෙ. 

ඒ වගේම ඔබට ණය හෝ ඉතුරුම් කාඩ්පත් (credit or debit card) තියෙනව නම් ඒවාගෙන් කළ ගෙවීම් පවා මේ සටහනට ඇතුළත් කරගන්න එක අනිවාර්යයි. 

ඉතුරුමක් කරන්න

හොඳයි දැන් ඔබට මාසිකව වැය වෙන මුදල පිළිබඳව ඔබට දළ අවබෝධයක් තියෙනවනෙ. 

ඊළඟට ඔබ කරන්න ඕනේ මේ මාසික වියදම් අතරින් හැම මාසෙකම අනිවාර්යයෙන් කළ යුතු වියදම් එකතු කරල මාසයක් සඳහා ඔබ අනිවාර්යයෙන් කළ යුතු වියදම ගැන අදහසක් ගන්න එකයි. 

උදාහරණයක් විදිහට ඔබ සැප්තැම්බර් මාසයේදී ඔබේ නිවසේ වහළයේ පිළිසකර කිරීමකට රුපියල් 25000 ක් වැය කරා නම් 

ඒ වියදම නැවත ඔබ ඔක්තෝම්බර් මාසයේත් කළ යුතු වෙන්නෙ නෑ. නමුත් ඔබ මාසිකව රුපියල් 2000 ත් 3000 ත් අතර මුදලක් විදුලි බිල විදිහට ගෙවනවනම් ඒ වියදම සෑම මාසයකදීම අනිවාර්යයෙන් දරන්නම වෙනව. 

මේ විදිහට මාසිකව ඔබේ වියදම ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඔබට පුළුවන්. 

වි‍යදම් අඩු කිරීමේ මාර්ග සොයන්න

ඔන්න මෙතනදී ඔබ ටිකක් කල්පනාකාරීව කටයුතු කරන්න ඕනෙ. සමහර සමහර වියදම් සටහන් කරද්දි ඔබට හිතේවි අපරාදෙ මේ දේවල් වලට වියදම් කරේ කියල. 

මේ සඳහා කරන්න පුළුවන් පුංචි පුංචි tips කීපයක් තියෙනව. 

අපි දන්නව අවුරුද්දෙ සමහර කාලවල් වල යම් යම් භාණ්ඩ වල මිළ අඩුවීම් සිද්ධ වෙනව. ඔබට යම් භාණ්ඩයක් මිලදී ගැනීමට හදිස්සියක් නැත්නම් ඒ කාලයක් එනතුරු ටිකක් බලන් ඉන්න ඔබට පුළුවන්. 

ඒ වගේම credit හෝ debit කාඩ්පත් වලින් ගෙවීම් සිදුකරද්දි සහන ලැබෙන වෙළඳසැල් සහ දවස් තියෙනව. ඒ දවසකට ඔබට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න යන්න ඔබට පුළුවන්. 

ඔබ තවදුරටත් ලබා නොගන්න සේවා හා පහසුකම් තියෙනව නම් ඒ ගෙවීම් ඉවත් කරන්න ඔබට පුළුවන්. 

ඔබ එළියෙන් කෑම ගන්නව නම් ඔබ වියදම් කරන්න බලාපොරොත්තු වෙන මුදලට ගැළපෙන අවන්හල් තෝරගන්න අමතක කරන්න එපා. ඒ වගේම යම් යම් වට්ටම් ලැබෙන දිනයන් ගැන අවදානයෙන් ඉන්නත් අමතක කරන්න එපා. 

නිතරම සමාජ ජාල ඔස්සෙ සැරිසරන ඔබට අවශ්‍යතාවයක් නොතිබුණු පින්තූර හෝ අදහස් දැකල යම් යම් දේවල් මිලදි ගන්න හිතුනොත් හිතුන ගමන් මිලදී නොගෙන දවස් දෙකක් තුනක් ඉන්න. 

ඒ දේ ඔබට අත්‍යාවශ්‍යයම ද කියල දින තුනක් විතර ගතවුනාට පස්සෙ ඔබට වැටහේවි. 

පවුලේ හැමදෙනාම එකතු වෙලා විදුලි බිල, වතුර බිල සහ අන්තර්ජාල බිල අඩුකරගන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගැන එකඟතාවයකට පැමිණීමත් හොඳ තීරණයක්. 

ඉලක්ක හදාගන්න

ඔබටම අනන්‍ය වුන ඉලක්කයක් හදා ගැනීම තමයි ඔබ ඊළඟට කරන්න ඕනෙ. 

උදාහරණයක් විදිහට ලබන අවුරුද්දෙ අලුතින් වාහනයක් මිලදි ගන්න ඉලක්කයක් ඔබට තියෙනව වෙන්න පුළුවන්. 

ඒ ඉලක්කය වෙනුවෙන් සුළුවෙන් හරි ඉතිරි කිරීම ආරම්භ කරන්න ඔබ පටන් ගන්න ඕනෙ. 

මේකෙදි ඔබේ ඉලක්ක කොටස් දෙකකට වෙන් කරගන්න ඔබට පුළුවන්.

ඒ කෙටි කාලීන සහ දිගු කාලීන කියල 

කෙටි කාලීන ඉලක්ක මාස තුනේ සිට මාස නවය දක්වා කාලෙකින් සම්පූර්ණ කරගන්න ඔබ උත්සහ කරන්න ඕන. 

උදාහරණයක් විදිහට පුංචි නිවාඩුවක් ගත කරන්න යන්න වගේ.

දිගු කාලීන ඉලක්ක අවුරුදු අවුරුදු හතරේ ඉඳන් ඉදිරියට උදාහරණයක් විදිහට ඔබේම නිවසක් සෑදීම, ඔබේ දරුවන්ට විදේශගත අධ්‍යාපනයක් ලබා දීම වගේ වෙන්න පුළුවන්. 

ඔබේ වැදගත්ම වියදම් මඟ හරින්න එපා

ඔබට දිගු කාලීන සහ කෙටි කාලීන ඉලක්ක තියෙන්න පුළුවන්. නමුත් ඒවා සඳහා ඉතුරුම් කිරීමේදී මාසිකව ඔබ අනිවාර්යයෙන් ගෙවිය යුතු සහ කළ යුතු වියදම් මඟ නොහැර ගැනීම ඉතාම වැදගත්. 

උදාහරණයක් විදිහට ඔබේ විදුලි බිල රුපියල් 3000 ක් නම් ඔබ නිවාඩුවක් සඳහා මාසිකව රුපියල් 5000 ක් ඉතුරු කරනවා නම් යම් අවස්ථාවක මේ මුදල ගෙවීමට හෝ ඉතුරු කිරීමට අපහසු වුනොත් ඔබ මුලින්ම ගෙවා දැමිය යුත්තේ ඔබේ මාසික විදුලි බිලයි. 

මොකද විදුලි බිල එක් රැස් වී ගෙවාගත නොහැකි වුනොත් ඔබට ඉන් අත් වෙන මානසික පීඩනය සහ පාඩුව වඩා වැඩි නිසයි. 

හරි තැනක ඉතුරු කරන්න

ඔබ ගණුදෙනු කරන ඔබේ බැංකුවේ නියෝජිතයෙක් මුණ ගැහිල ඔබට අවශ්‍ය විදිහට ඔබට ගැළපෙන ඉතිරි කිරීමේ ගිණුමක් එහෙමත් නැත්නම් ස්ථාවර තැම්පතු ක්‍රමයක් තෝරගන්න.

ජංගම ගිණුමට අමතරව කාඩ්පත් නැති ඉතිරි කිරීමේ ගිණුමක් වෙනම පවත්වා ගෙන යාමත් තවත් හොඳ උපක්‍රමයක්. මාසිකව ඔබට ලැබෙන වැටුපෙන් කොටසක් ඉබේම ඉතුරුම් ගිණුමට යැවීමට බැංකුවට අවසර දීමත් ඔබට කරන්න පුළුවන්.

එයින් නිතරම මුදල් ලබා නොගන්න නිසා හදිසි අසනීපයකදී කරදරයකදී ඒ මුදල් ඔබට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. 

ආයෝජන කරන්න

බොහෝ වෙලාවට ඉඩකඩම්, කොටස් වෙළඳපොල, ස්ථාවර තැම්පතු සහ රත්තරං වගේ විවිධ ආයෝජන ක්‍රම අපිට හඳුනගන්න ලැබෙනව.

ඒ පිළිබඳව හොඳ දැනුමක් තියෙන කෙනෙක්ගෙ අදහස් හා යෝජනා විමසල ඔබත් හොඳින් සිතාබලා අනාගතයට ප්‍රයෝජනවත් නීත්‍යානුකූල ආයෝජන ක්‍රමයක් තෝරගන්න ඔබට පුළුවන්. 

අලුත් ආදායම් මාර්ග සොයාගන්න

ඔබේ සැඟවුණු දක්ෂතා සහ නිකරුණේ අපතේ යන කාලය හොඳින් ප්‍රයෝජනයට ගන්න පුළුවන් කාලවකවානුවක් තමයි මේ. 

පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරන්න, ගෙදරට අවශ්‍ය එළවළු, පලතුරු සහ පළා වර්ග ටික වවාගන්න එහෙමත් නැත්නම් සුළුවෙන් ගෙදරට අඳින ඇඳුම් ටික මහගන්න තියෙන ඔබේ හැකියාවෙන් ප්‍රයෝජන ගැනීමත් හොඳ ඉතුරුවක්.

ඔන්න එහෙනම් මේ පියවරවල් ටික අපි අද ඉඳල අනුගමනය කරල බලමුද ? 

සුබ වේවා ! 

සටහන – දුලානි නවෝද්‍යා 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here