වයසින් මුහුකුරා ගිය පෙනුමක් දෙන විලාසිතා වැරදි

විලාසිතා ලෝකය කියන්නේ දවසින් දවස අලුත් වෙන දෙයක්. ඒ කොහොම වුණත් ඔබට ගැළපෙන විලාසිතා තෝරා ගන්නට තරම් ඔබ නුවනැති වෙන්නට ඕනෙ. එසේ නොවුණහොත් එය ඔබටම ගැලපෙන පෙනුමක් වගේම වයසින් මුහුකුරා පෙනුමක් වුණත් ගෙන දෙන්නට පුළුවන්. ඔබේ වයසට වඩා වැඩි පෙනුමක් ගෙන දෙන විලාසිතා වැරදි කිහිපයක් ගැන තමයි මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ.

ඕනෑවට වඩා කළු පැහැය ඇඳීම 

ඔබ කළු පැහැයට බොහෝ කැමති කෙනෙක් වුණත් සම්පූර්ණ කළු වර්ණය ඇඳීම ඔබට වයසෙන් මුහුකුරා ගිය පෙනුමක් ලබා දෙනවා. ඔබට තනිකරම කළු වර්ණයෙන් යුතු ඇඳුමක් අඳින්නට අවශ්‍ය නම් ඒ පැහැය සමතුලිත කිරීම සඳහා ඔබට වර්ණවත් මේකප් එකක් , වෙනත් තද පැහැයක තොල් ආලේපනයක් , දීප්තිමත් අයි මේකප් එකක් හෝ රිදී ආභරණ භාවිතා කරන්න පුළුවන් . එහෙමත් නැත්නම් රිදී හෝ රත්තරන් පැහැති බෙල්ට් එකක් උනත් පලඳින්න හැකියාව තියෙනවා 

යල් පැන ගිය ඇස් කණ්නාඩි සහ අව් කණ්නාඩි 

හැම ආකාරයේ විලාසිතාවක්ම කාලයත් සමග යාවත්කාලීන වෙනවා. ඔබ භාවිතා කරන ඇස් කණ්ණාඩි වල විලාසිතා වුණත් එහෙමයි. කාලයෙන් කාලයට ඒවායේ ට්‍රෙන්ඩ් එකත් වෙනස් වන නිසා ඔබ පලඳින ඇස් කණ්නාඩි සහ අව් කණ්ණාඩි වෙනස් කරන්නත් අමතක කරන්න එපා. ඔබේ මුහුණට ගැලපෙන , ඔබේ සමේ පැහැයට ගැලපෙන , ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන කණ්නාඩි රාමු තෝරා ගන්නත් සැලකිලිමත් වෙන්න

වැරදි යට ඇඳුම් 

ඒ ඒ ඇඳුම් වලට ගැලපෙන යට ඇඳුම් විලාසිතා මේ වන විට ඕනෑ තරම් වෙළෙඳ පොළේ තිබෙනවා. ඔබ ශරීරයේ හැඩයට ඇඳුමක් අඳිනවා නම් ඔබට සාමාන්‍ය ආකාරයේ සැහැල්ලු යට ඇඳුම් අඳින්නට බැහැ. ඒවායේ දාර පිටතට පෙනීම ඔබට ගෙන දෙන්නේ අපහසුවක් වගේම ඔබේ ඇඳුමට ගෙන දෙන්නේත්  අවලස්සනක්. ඒ නිසා ඔබ අඳින ඇඳුමට ගැළපෙන ආකාරයේ යට ඇඳුම් සෑම විටම තෝරා ගන්න. 

එකම පාටින් ගැලපීම 

ඔබ රෝස පැහැ ඇඳුමක් අඳිනවා නම් ,ඔබේ ආභරණ , ඔබේ සෙරෙප්පු, ඔබේ අත් බෑගය සහ ඔබේ හිස් කෙස් පලදනා ඇතුළු සියල්ලම රෝස පැහැයෙන් තෝරා ගන්නට එපා. එය ඔබට ගෙන දෙන්නේ වයසට වඩා පෙනුමක්. 

විශාල ඇඳුම් 

ශරීරයට වඩා තරමක් විශාල ප්‍රමාණයේ ඇඳුම් අඳින එකත් විලාසිතාවක් වුණත් මෙය හැම විටම ඔබට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔබ සාමාන්‍ය ගමනක් යන විට එවැනි ඇඳුම් ඇන්දත් ඔබේ සෑම ගමනක් සඳහා ම එවැනි ඇඳුම් තෝරා ගන්නට එපා. ඔබේ ප්‍රමාණයේ ඇඳුම් ඔබේ ඇඟේ හැඩය ඉස්මතු කරලා ඔබට ලස්සන ගෙන දෙනවා වගේම ඔබට වඩා විශාල ඇඳුම් ඔබට ගෙන දෙන්නේ තරමක වයස්ගත පෙනුමක්

ලාභ සහ බාල ඇඳුම්

ඔබට තරමක් මිලෙන් අඩු හොඳ විලාසිතාවක  ඇඳුම් මිලදී ගන්න අවස්ථාව ලැබුණොත් ඔබ ඒ අවස්ථාව මඟ හරින්නේ නැහැ නේද ?නමුත් බොහොම අඩු මිලට මිලදී ගන්නට ලැබෙන ඇඳුම් වල ගුණාත්මකභාවයත් මිල වගේම බොහොම අඩු මට්ටමක පවතින්න පුළුවන්. එවැනි ඇඳුම් වල කල් පැවැත්ම අඩුයි වගේම ඒවායේනුත් ඔබට වයස්ගත පෙනුමක් ලබා දෙන්න පුළුවන්. 

අනුගමනය කරන විලාසිතා 

කාලයෙන් කාලයට කරළියට එන හැම විලාසිතාවක්ම ඔබට ගැලපෙන්නේ නැති බව ඔබ පිළිගන්නට ඕනේ. විශේෂයෙන්ම ඇඟේ හැඩය , සමේ පැහැය සහ උස යන කාරණා නිසා තව කෙනෙකුට ලස්සන විලාසිතාවක් ඔබට ලස්සන නොවෙන්න පුළුවන්. ඒ නිසා හැම විලාසිතාවක්ම අනුගමනය නොකර ඔබට ගැලපෙන විලාසිතා පමණක් අනුගමනය කරන්න ඔබ සැලකිලිමත් විය යුතුයි.

විලාසිතා වුණත් නිසි විදිහට නොකළොත් ඔබේ වයසට වඩා පෙනුමක් ගෙන දෙන්නට පුළුවන් බව දැන් ඔබට වැටහෙනවා ඇති. ඉතින් ඉහත අපි කියපු කාරණා ගැන ඔබ සැලකිලිමත් වනවා නම් ඔබට ගැළපෙන විලාසිතා තෝරා ගන්න එක එතරම් අපහසු වෙන එකක් නැහැ.

Related Articles

Don't Miss


Latest Articles