ප්‍රභාත් ඉන්නේ වෙනදාට වඩා සතුටෙන් බව තේරුණද කැළුමිණිට ඒ දෙස බලා සතුටු වෙන්නට හැකියාවක් තිබුනේ නැත. මක්නිසාද යත් ඔහු සතුටෙන් සිටින්නේ තමා නිසාවෙන් නොවන බවට සිත කියන නිසාවෙනි. වෙනදාට වඩා දුරකතනයට නැඹුරු වී හිඳිනුද, වෙනදා මෙන් නොරිස්සුමෙන් නොව කිසිත් සිදු නොවූවාක් මෙන්, තමාව නොපෙනුනාක් මෙන් තමාව මගහැර යද්දී වුව ප්‍රභාත් ගේ සිත වෙනතක පැටලී ඇතිද යන සැකයෙන් මිදෙන්නට හැකියාවක් කැළුමිණීට තිබුනේ නැත.
එහෙත් එසේ වන්නට හැකිද? ප්‍රභාත්ට තමා අමතක කර වෙන අතක බැඳෙන්නට හැකියාවක් ඇතිද?
“නෑ නෑ ඒක වෙන්න බෑ. ප්‍රභාත් හදන්නෙ මාව ඉරිසියාකාරයෙක් කරන්න. එයා නැතුව මට ඉන්න බෑ කියල කියන්න. එයා හදන්නෙ මාව ප්‍රයෝගෙන් එයා ලඟට ගෙන්න ගන්න”
කැළුමිණී එසේ කියාගත්තේ සිතටය.
රාත්‍රී ආහාරය විශේෂයෙන් සැකසුනේ ඒ හැඟීම මත එල්ලීය. බේකන් දමා සැකසූ පැස්ටා එකද, පෙපර් චිකන් එකද, අතුරුපස සඳහා බ්‍රව්නීස් ද සැකසූ කැළුමිණී ප්‍රභාත් එන වේලාව ලංවී හොඳින් ඇඟ පත සෝදා, ස්පා සිලෝන් වෙතින් ගත් සුවඳ විලවුන් බිඳක්ද ඉස ගත්තේ “මං ඔයාගෙ හිත තේරුම් ගත්තා” යැයි වක්‍රාකාරයෙන් කියනු පිණිසය.
වෙනදා මෙන් දැන් ප්‍රභාත් වේලාසන නිවස බලා නොආවද ගෙවුණ සතිකය මෙන් බීමත්ව නිවසට ඒම පසුගිය සතිය පුරාම දකින්නට වූයේ නැත. ඒ ඔහු සිත හදාගත් බව කියන සලකුණක් නොවේද?
කැළුමිණී උන්නේ සූදානමිනි.ප්‍රභාත්ව පිලිගන්නට සූදානමිනි. එහෙත් ප්‍රභාත් උන්නේ කැළුමිණී මේ කිසිත් සූදානමක හිඳින බවට අංශු මාත්‍රයක හෝ දැනීමක් නොමැතිවය.
“අපි මෙහෙම කතා කරන එකත් වරදක් කියල ඔයටා හිතෙන්නෙ නැද්ද?”
කාර්‍යාලයේ වැඩ රාජකාරි අස්සේ අමීශා එසේ පණිවිඩයක් එවා තිබුනි. කැළුමිණී සමග නීත්‍යානුකූලව බැඳී හිඳිද්දී අමීශාට තම සිතැඟි හෙලි කිරීම පවා තමා විසින් කල වරදක් බව ප්‍රභාත් නොදන්නවා නොවේ. එහෙත් තව දුරටත් එය කැළුමිණීගෙන් සඟවා තබාගන්නට ප්‍රභාත්ට අදහසක් තිබුනේ නැත.
“ඇයි එහෙම කියන්නේ?”
“ඔයා කැළුමිණීව ඩිවෝස් කරන්න හදන්නේ එයා ඔයාව හම්බෙන්නත් කලින් වෙච්ච දෙයක් ඔයාට නොකිව්වා කියලනේ. ඉතින් එහෙම බැලුවොත් අපිත් දැන් ඒකම නේද කරන්නේ? මම ඔයාට කිව්වනේ මම බොරු කියන මනුස්සයෙක් නෙවෙයි ප්‍රභාත්. ඒ වගේම බොරු කරන මිනිස්සුන්වත් මට ඇත්තටම පේන්න බෑ ඒ නිසා අපි අනිත් හැමදෙයක් ගැනම කතා කරන්න කලින් කැළුමිනී එක්ක ඔයා මේ හැමදෙයක් ගැනම ඩිස්කස් කරන්න. එයාට බොරුවක් කරන්න එපා. එයාව රවට්ටන්නත් එපා. මොකද එහෙම දෙයක් කරොත් මම ඇත්තටම ඔයා එක්ක එක වචනයක්වත් කතා කරන්නෙ නෑ. මොකද ඔයාට එයාව රවටන්න පුලුවන් වගේම මාව රවට්ටන්ත් පුලුවන් නෙ එහෙම උනොත්”
අමීශාට ආදරය සිතෙන්නේ මේ නිසාවෙනි. ඇය කිසිම හේතුවක් මත කිසිවෙකුට බොරුවක් කරන, බොරුව්ක කියන අයෙකු නොවේ. තමා මුලු ජීවිත කාලයක් පුරාවටම පැතුවේත් එවන් අයෙකු නොවේද?
වචනයකින්වත්, බැල්මකින්වත් කිසිවෙකුට බොරුවක් නොකරන අයෙකුය. ඉතින් එවන් අයෙකු මෙවන් අභාග්‍ය සම්පන්න කාලයක හමු වී තිබියදී අත හැර ගන්නට හැකියාවක් නැත. අවශ්‍යතාවයක්ද නැත.
එහෙත් කැළුමිණීට මේ ගැන පවසන්නේ කෙසේද යන ගැටලුව ප්‍රභාත්ට නොතිබුනා නොවේ. එය පැවසීම තමා විසින් තමාට මෙන්ම කැළුමිණීට කරගන්නා සෙතක් යහපතක් වුවද එය කරන්නට සිත නම්මා ගැනීම අපහසුය. එවන් දෙයක් කැළුමිණී කෙසේ භාරගනීවිද යන්න ගැටලුවකි. ඇය හඬා විද, රණ්ඩු වේවිද එවන් මොහොතක තමා විසින් කිව යුත්තේ හෝ කල යුත්තේ කුමක්ද යන ගැටලුව සිත ඇතුලේ නොතිබුනා නොවේ.
එහෙත් මේ තවත් පමා කරන්නට හැකි කාරණා නොවේ.
“අපි එයාගෙන් මේ දේ හංගනව කියන්නෙ අපිත් එයා කරපු වරදම දැන දැනම කරනව කියන එක නේද?” යනුවෙන් අමීශා පැවසූ දේ ඇත්තක් කරන්නට ප්‍රභාත්ට කිසිසේත් උවමනාවක් නැත. තමා මේ ජීවිත කාලය පුරාවටම කිසිවෙකුට හිතා මතාම රවටා හෝ බොරුවක් කර නොමැති බව ප්‍රභාත්ට සියයට සියයක් පැහැදිලිය.
දහවල පුරාම ප්‍රභාත් සිතුවේ ඒ ගැනය. කැළුමිණිට මේ ගැන පවසන්නේ කෙසේද යන ආකාරය ගැනය. හවසට අමීශා සමග එලියට ගොසින් තේකක් බොන්නට සිතුවේ ඉක්මනින් නිවසට නොගොස් කැලුමිණීට මේ බව පැවසීමට සිත නම්මා ගන්නට තව මද වේලාවක් ගන්නටය.
එහෙත් අමීශා පැවසුවේ වෙනකකි.
“නැ ප්‍රභාත් අපි එහෙම යන එක වරදක්. හදිසියේ හරි කැළුමිණීට ඕක පිටින් ආරංචි උනොත් ඔයා සහ මම හැමෝටම වඩා බොරුකාරයෙක් වෙනවා. ඒකට ඉඩ තියන්න එපා. සම්බන්ධයක් ඉවර වෙන්න ඕන වගේම පටන් ගන්නත් ඕන හොඳින්. වෙන කෙනෙක්ව රවට්ටන්නේ නැතුව. ඔයාම නේද මට ඒක කිව්වේ. ඒ නිසා ඔයා අද ගෙදර යන්න. කැළුමිණී එක්ක කතා කරන්න. එයාට මේ වෙච්ච දේවල් එක්ස්ප්ලේන් කරල දෙන්න. එයා හඬාවිද රණ්ඩු වේවිද කියන්න මම දන්නෙ නෑ. ඒත් ඔයා එයා වෙනුවෙන් එතන ඉන්න. මොකද මොන දේ උනත් මොන තරම් හිත රිදෙන දෙයක් ඔයාගෙ අතින් එයාට වෙලා තිබුනත් තාමත් එයා ඔයාගෙ වයිෆ්.
ඔයාම කිව්වනෙ එයාගෙ අර නැන්ද කෙනෙක් ඇරෙන්න එයාට වෙන කෙනෙක් නෑ කියල. ඒ නිසා ඔයත් එයාව අසරණ කරන්න එපා. ඔයාට එයා එක්ක ඉන්න බැරි නිසා ඩිවෝස් වෙන එක වරදක් නැතිවෙන්න පුලුවන්. ඒත් අපි දෙන්න එකතුවෙලා එයාව රවට්ටන එක වරදක් වගේම ලොකු පවක්.
ඒ නිසා ඔයා අද ගෙදර යන්න. එයා එක්ක කතා කරන්න. ඒ හැමදේම හොඳින් ඉවර උනාම අපිට එලියට යන්න පුලුවන්. ඒ කාලය කොච්චර ලොකු උනත් පොඩි උනත් මම ඔයාව අමතක කරන්නෙවත් ඔයා මාව අමතක කරන්නෙවත් නෑ කියන විශ්වාසෙ මට තියෙනවා”
මේ ජීවිතයේ අසීරු නිමේෂයන් බව ප්‍රභාත් නොදන්නවා නොවේ.තමා මේ තීරණය ගන්නේ තමා වෙනුවෙන් බව නොදන්නවා නොවේ. එහෙත් සිත පෙලන යම් කාරණාවක් සිත අස්සේ සැඟවී නොතිබුනා නොවේ.
“මම දෙයක් අහන්නද?”
ඒ පැනය අමීශාගෙන් අසන්නට සිතුනේ පසුගිය දිනවල ඇය හා කල කතාබස් වලින් ඇය කෙතරම් බුද්ධිමත් ලෙස ප්‍රශ්නයක් දෙස බලනවාදැයි තේරුන නිසාවෙනි.
“මොකද්දා?”
“මම කරන්නෙ වරදක්ද?”
“කාටද?”
“කැළුමිණීට. මට බයයි මිනිස්සු මාව වැරදිකාරයෙක් කරාවි කියල. අම්ම තාත්තා නැති කෙනෙක්ව ඩිවෝස් කරා කියල”
“මම ඒකතමයි ඔයාට මුලින්ම කිව්වෙ, ඔයා ඔයාගෙ හිතට එකඟවයි මේ තීරණය ගන්න ඕන කියල. අපි මොන දේ කරත් මිනිස්සු දේවල් කියනවනෙ ප්‍රභාත්. ඔයා ඒ නිසා ඔයා ගැන හිතන්න. ඔයා ඔය තීරණේ ගන්න එක මම එදා කිව්ව වගේම ඔයාට වගේම කැළුමිණීටත් හොඳ තීරණයක් වෙන්න පුලුවන්. මොකද හිතේ දේවල් තද කරගෙන වෙන දෙයක් ලෝකෙට පෙන්නන්න එකට ජිවත් වෙන එක ඔයාට වගේම එයාටත් වේදනාවක් වෙන්න පුලුවන් හන්දා”
තීරණයක් ගැනීම සිත සැනසුම් කරවන්නක් යැයි සිතා උන්නද කාර්‍යාලයේ සිට නිවස බලා වාහනය පදවද්දී සිත තිබුනේ වචනයෙන් විස්තර කරන්නට අපහසු හැඟීමකි. ඒ වූ කලි බයක්ද, විචිකිච්චාවක්ද කියා කියන්නට නොතේරෙන හැඟීමකි. එහෙත් සැබෑවටම තමාට එහි බියවන්නට හේතුවක් නොමැති බව ප්‍රභාත් දැන නොඋන්නා නොවේ. එහෙත් ඒ පැකිලීමෙන් මිදෙන්නට ප්‍රභාත්ට හැකියාවක් තිබුනේ නැත.
කැළුමිණී උන්නේ කෑම මේසය සකසමිනි. ඒ මත තමා ඉතාම ආසා කරන කෑම බීම තිබෙනු ද කැළුමිණීද සුන්දර සිනහවකින් මුව සරසාගෙන ඒ අසල රැඳී සිටිනුද ප්‍රභාත්ට මතකය.
“මම මේක දැන් කියනවද?” කියන පැනය ඒ දසුන නිසාවෙන් සිත මතට එබිකම් කරද තවදුරටත් මේ කිසිවක් කැළුමිණීගෙන් සඟවන්නට හෝ තවදුරටත් කිසිවක් පමා කරන්නට කටයුතු නොකල යුතු බව ප්‍රභාත් දැන උන්නේය.
“අද කලින්”
කැළුමිණී ඒ සිනහවෙන්ම තමා ඉදිරියට එද්දී මේ එයට හොඳම වේලාව බව ප්‍රභාත් තේරුම් ගත්තේය.
ජීවිතයේ සමහර නිමේෂයක් අපට කිසිසේත්ම පමා කරගන්නට හැකියාවක් නොමැත. මක්නිසාද යත් එවන් නිමේෂයන් පමා කිරීමෙන් අපිට කිසිත් යහපතක් අත් නොවන නිසාවෙන් මෙන්ම අපි මේ මොහොත පමාකරද තවත් වෙනකම් මොහොත එයට මුහුණ දෙන්නට අපට සිදුවන නිසාවෙනි.
අනෙක් අතට ඉරිතැලී පලුදුවුන කිසිවක් අපට ඒ ලෙසින්ම යලිත් පිරියම් කරගත නොකැකි බව දැන දැනම ඒ වෙනුවෙන් කාලය වෙන් කිරීම අපරාදයකි.
ඉතින් බිඳෙන්නට නියමිත කාරණා බිඳිය යුතුම නොවේද?