ශ්‍රී ලංකාවේ අපේ කෑම වර්ග

ශ්‍රී ලංකාව කියන්නෙ ලෝකයක් පුදුම කරන ආහාර සංස්කෘතියක් තියෙන රටක්නෙ. 

තේ වලින් සහ ක්‍රිකට් වලින් ලෝක ප්‍රසිද්ධ වුන ඉන්දියානු සාගරයේ තියෙන මේ දිවයිනට අද වෙද්දි සංචාරක ආකර්ෂණය අරන් දෙන්න කොත්තු, ආප්ප සහ බිත්තර ආප්ප වගේ ආහාර වලට පුළුවන් වෙලා තියෙනව කියල යූ ටියුබ්, ෆේස්බුක් සහ ඉන්ටග්‍රෑම් වගේ සමාජ මාධ්‍ය වල සැරිසරද්දි අපිට පේන්න තියෙනව.

ඒ කෑම වර්ග අතරම දෙස් විදෙස් ආකර්ෂණය හිමිකර ගන්න අපිට ආවේණික කුළුබඩු භාවිතා කරල රස ගන්වන ව්‍යාංජන වලට වගේම රසකැවිලි වලටත් එක විදිහටම හැකියාව ලැබෙනව.

ඉතිං අපි අද කතා කරන්නෙ අපේ ආහාර සංස්කෘ තියේ තියෙන අපිටම ආවේණික වුන කෑම වර්ග කීපයක් ගැනයි. අපි බලමු ඒ ආහාර වර්ග පිළියෙල කරගන්නෙ කොහොමද කියල.

ශ්‍රී ලංකාවට ආවේණික ව්‍යාංජනයක් වන කැරැන්කොකු, රස කැවිලි වර්ගයක් වන වැලිතලප සහ කෙටි  ආහාරයක් වන පුස්නාම්බු හදන විදිහ ඔබත් එක්ක බෙදාගන්නයි අපේ අද සූදානම.

කැරැන්කොකු ව්‍යාංජනය

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැරැන්කොකු මිටියක්
  • කොස් ඇට
  • හාල්මැස්සන් 
  • අමුමිරිස්
  • සුදුළූනු
  • ලූනු
  • රම්පෙ
  • කරපිංචා
  • සියඹලා
  • මිරිස් කුඩු
  • කහ කුඩු
  • ලුණු කුඩු
  • උකු පොල් කිරි 
  • දිය කිරි

සාදාගන්නා ආකාරය

මුලින්ම ඔබ කැරැන්කොකු දඬු හොඳින් සෝදා පිරිසිදු කරගත යුතුයි.

දණ්ඩේ අග රවුම් වී ඇති කොටසේ කුඩා කෘමීන් වැනි සතුන් සිටිය හැකි නිසා ඒ කොටස හොඳින් පරීක්ෂා කර බලන්න. 

හොඳින් සෝදාගත් කැරැන්කොකු මීලඟට සාමාන්‍ය දිග කොටස් වලට කඩා ගන්න අවශ්‍යයි.

දණ්ඩ නමන විට එක්වරම දෙකට කැඩෙයි නම් ඒ කොටස ලපටි වන අතරම කැඩෙන්නෙ නැත්නම් ඒ කොටස මෝරා ඇති කොටස ලෙස හඳුනාගන්න අපිට පුළුවන්. 

අපි ව්‍යාංජනය සකසන්න තෝරගන්න ඕන ලපටි කොටස නිසා ලපටි කොටස සාමාන්‍යයෙන් ඇඟිලි පුරුකක වගේ ප්‍රමාණයකට කඩා ගන්න. 

දැන් උයන භාජනයක් අරන් කඩාගත් කැරැන්කොකු කැබලි දමා එයට ඔබේ රස අනුව කොස් ඇට, හාල්මැස්සන්, අමුමිරිස්, සුදුළූණු, සියඹලා,, ළූනු, කරපිංචා, රම්පෙ, කහ කුඩු, මිරිස් කුඩු සහ කැරැන්කොකු යන්තමින් වැසෙන සේ දියකිරි එක්කර හොඳින් මිශ්‍රකර භාජනය වසා මඳ ගින්නෙ පිසගන්න. 

ඒ අතරතුර භාජනයේ පියන ඇර කලවම් කරගන්නත් අමතක කරන්න එපා. 

විනාඩි 15 කට පමණ පසු ඔබ එක්කර කොස් ඇට තැම්බී අති දැයි බලා කොස් ඇට තැම්බී අවසන් වූ පසු ව්‍යාංජනයට මිටිකිරි ටික එක්කර ගන්න. 

දැන් හොද්ද හොඳින් උතුරන තුරු හැඳිගාමින් කලවම් කරගන්න. 

ඔබේ රස අනුව ලුණු එක්කර හොඳි ගතිය යන්තමට තිබෙන සේ තබා ලිපෙන් ඉවත්කර ගන්න. 

වැලිතලප

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැකුළු සහල් පිටි 500 g ක්
  • සීනි 450 g ක්
  • ගාගත් පොල් 180 g ක්
  • උකු පොල්කිරි කෝප්ප 01 ක්
  • කුඩුකරගත් කුරුඳු පොතු කැබැල්ලක්
  • ලුණු කුඩු තේ හැඳි 02 ක් 

සාදාගන්නා ආකාරය

තරමක් විශාල භාජනයක් ගෙන එයට පිටි සහ ගාගත් පොල් ස්වල්පය බැගින් එක්කරමින් කුඩා පබළු හැඩැති බෝල ලැබෙන තුරු අතින් මිශ්‍රකර ගන්න.

මිශ්‍රණය වේලිලා වගේ දැනෙනව නම් වතුර ඉතාම ස්වල්පයක් අතින් ඉස ගන්න පුළුවන්.

ඊළඟට සාදාගත් පිටි මිශ්‍රණය ස්ටීමරයට දමා ගන්න. මිශ්‍රණය තද නොකර සාමාන්‍ය පරිදි ස්ටීමරයට දමා ගන්න ඔබ සැළකිලිමත් වෙන්න ඕන.

පිටි මිශ්‍රණය දමාගත් පසු හැන්දක මිටක් භාවිතයෙන් පිටි මිශ්‍රණයේ තැන් කීපයකින් සිදුරු සාදාගන්න.

දැන් මේ මිශ්‍රණය විනාඩි 35 ක් 45 ක් පමණ ස්ටීම් කරගන්න.

ස්ටීම් කරගත් පිටි මිශ්‍රණය තැටියක් මතට දමා නැවත මිශ්‍රණය ස්ටීම් කිරීමට පෙර තිබූ ආකාරයටම බෝල ලැබෙන සේ වෙන්කර ගන්න.

දැන් වෙනම භාජනයක් ලිප තබා සීනි මිටක් පමණ එම භාජනයට දමා සීනි දියවී පැණි සෑදෙන තුරු රත්කර ගන්න. පැණි බුබුළු දමමින් රත්වූ පසු එයට වතුර කෝප්පයක් එක්කර කලවම් කරගන්න.

දැන් ඉතිරි සීනි සහ තවත් වතුර කෝප්පයක් එක්කර සීනි හොඳින් දියවෙන තුරු හැඳිගාමින් දියකර ගන්න.

සීනි හොඳින් දියවූ පසු ලුණු, කුරුඳු කුඩු සහ පොල්කිරි එක්කර හොඳින් කලවම් කරගන්න.

පැණි මිශ්‍රණය බුබුළු දමමින් නටන විට එයට පිටි මිශ්‍රණය දමා හොඳින් කලවම් කරගන්න.

පිටි සහ පැණි එකට මිශ්‍රවී තලපයක් වැනි මිශ්‍රණයක් සෑදුනු පසු ලිපෙන් ඉවත්කර කෙසෙල් කොළයකඛෝ නොඇලෙන මතුපිටක් මතට මිශ්‍රණය දමාගන්න.

හැන්දක් සහ තවත් කෙසෙල් කොළ කැබැල්ලක් භාවිතා කර මිශ්‍රණය අඟල් භාගයක පමණ උසක තලපයක් සාදාගන්න.

මඳක් නිමෙන්නට තබා ඔබට අවශ්‍ය ප්‍රමාණයට සහ හැඩයට කැට කපාගන්න දැන් ඔබට පුළුවන්.

සාම්ප්‍රදායික ක්‍රමයට පුස්නාම්බු 

අවශ්‍ය ද්‍රව්‍ය

  • සුදු කැකුළු හාල් පිටි 500
  • ඊස්ට් තේ හැඳි ½ ක්
  • පොල් වතුර
  • සීනි 200 ක්
  • වතුර කෝප්ප ½ ක්
  • පොල් බෑයක ගාගත් පොල්
  • ලුණු කුඩු
  • සූදුරු
  • තලාගත් එනසාල් කරල් 03 ක්

සාදාගන්නා ආකාරය

මුලින්ම භාජනයක් ගෙන එයට කැකුළු සහල් පිටි සහ ඊස්ට් දමා හොඳින් මිශ්‍රකර ගන්න. දැන් එයට පොල් වතුර ටික ටික දමමින් භාජනයේ නොඇලෙන මිශ්‍රණයක් සාදාගන්න.

මේ මිශ්‍රණය සුළං නොවැදෙන සේ හොඳින් ආවරණය කර (සීල් කර) පැය දහයක් දොළහක් අතර කාලයක් පිපෙන්න තබන්න.

පැය දහයක් හෝ දොලහකට පසු වෙනම භාජනයක් ලිපතබා එයට සීනී මේස හැඳි 02 ක් පමණ දමා සීනි දියකර ගන්න.

සීනි හොඳින් දියවී පැනි ලැබුනු පසු එයට වතුර කෝප්ප භාගයක් සහ ඉතිරි සීනි ටිකද එක්කර ගන්න.

සීනි මිශ්‍රණයට ගාගත් පොල්, ලුණු, එනසාල්සහ සූදුරු ස්වල්පය බැගින්ද එක්කර සීනි දියවන තුරු හොඳින් කලවම් කරගන්න.

දැන් පිපෙන්නට තැබූ පිටි මිශ්‍රණයට පැණි එක්කර හොඳින් කලවම් කර පසෙකින් තබන්න.

තවත් ගැඹුරු මැටි මුට්ටියක් හෝ වෙනත් උයන භාජනයක් ගෙන එහි කට ආවරණය වන සේ පිරිසිදු රෙදි කැබැල්ලක් ගැටගසා ගන්න.

දැන් රෙදි කැබැල්ල තුළින් භාජනය තුලට උණුවතුර දමා ගෙන රෙදි කැබැල්ල වැසෙන සේ කෙසෙල් කොළ හෝ කැන්ද කොළ අතුරා ගන්න. 

අතුරාගත් කෙසෙල් කොළ් හෝ කැන්ද කොළ මතට සාදගත් පිටි මිශ්‍රණය වක්කර පියනකින් වසා සාමාන්‍ය ගින්නේ ලිපතබා ගන්න.

පැය භාගයක් පමණ තම්බා ගන්න.

ලිපෙන් ඉවත්කර මඳ රස්නෙන්ම ආහාරයට ගන්න.

Related Articles

Don't Miss


Latest Articles