ප්‍රභාත් උන්නේ තිගැස්සීමකිනි. දරුවෙක් යනු විශාල බන්ධනයක් බව කියා දුන්නේ බුදු හාමුදුරුවන් ය. එහෙත් සිද්දාර්ත කුමාරයාට තම දරුවා උපන් දිනම ඔහුවත් තම බිරිඳවත් හැරදා මානසික සුවය උදෙසා මහබිනික්ම කරන්නට හැකියාව තිබුණි නම් තමාට මේ බන්ධනය තුල ගිලී සිටීමට හේතුවක් නෑ නොවේද?
අමීෂාගේ උදව්ව, උණුහුම අවැසිම මොහොතකතනිවම නවාතැනේ ගෙවන්න විම ප්‍රභාත්ට දැනුනේ ගින්දරක පණපිටින් දැවීමක් ලෙසය. මේ මොහොතේ තමාගේ තනියට, හිතේ හයියට තමාට හිතවත් කිසිවෙකු ළඟ සිටියානම් මොනතරම් අපූරුද යන්න ප්‍රභාත්ට සිතුනේය.
දුරකතනය අතට ගත්තේත්, අමීෂාගේ අංකය ඇමතුනේත් ඒ සිතුවිල්ල පෙරදැරි කරගෙනය.
එහෙත් නාද වී නිහඬ වනවා හැරෙන්නට එපසින් ඇමතුම හා සම්බන්ධ වීමක් නොපෙනෙන කල ප්‍රභාත්ට සිතුනේ කෑගසා අඬන්නට හැකි නම් හොඳ බවය. පිරිමියෙක් ලෙස හඬා වැටීම මහත් ලැජ්ජාවක් ලෙස සිතුවද සිත ඇස්සේ කැලතෙන මහමේරුව සේ විසල් වේදනාවෙන් බිඳක් හෝ දිය කර හරින්නට කඳුලුවලට හැකියාවක් තිබේනම් මොනතරම් අපූරුද යන්න ප්‍රභාත්ට නොසිතුනා නොවේ.
එහෙත් ඒ හැඬීම පසෙක තමා දුරකතන අතට ගෙන අමීෂාව නැවත නැවත ඇමතුවේය. ඒ කොයි මොහොතක හෝ කිනම් ඇමතුමකට හෝ ඇය සම්බන්ධ වේයැයි සිතාය.
කැළුමිණී උන්නේ වේදනාවක නොවේ යැයි කියන්නට බැරිය. එහෙත් ප්‍රශ්නයකට තමා බලාපොරොත්තු නොවුණ පිලිතුර නොලැබුනද කිනම් හෝ පිලිතුරක් ලැබීම කැළුමිණී භාරගත්තේ හොඳක්, සහනයක් විලසටය. හිත බලාපොරොත්තු නොවූ පිලිතුරක් ලැබුනද ප්‍රශ්නයකට පිලිතුරක් ලැබීම සතුටකි. ඒ පිලිතුර දුකට හේතුවක් වුවද ඒ ඔස්සේ ඉදිරියට ජීවිතය ගෙන යා යුත්තේ කුමන පාරේද යන්න ගැන සිතුවිල්ලක් සකසා ගත හැක.
හැඬිම නිසාවෙන්දෝ ගත පුරාම දහඩිය විසිරී ඇත. දෙණියායේ සීතල පරිසරය නිසාවෙන් දහඩිය ඉක්මනින් වේලී ගියද ගත ඇලෙනවාක් මෙන් අපුල හැඟීමක් දැනෙද්දී කැළුමිනී ඇඟ සෝදාගන්නට ගියේ සිතේ ඇති බරත්, ගතේ ඇති ඇලෙන සුලු අපුල බවත් සෝදා හරින්නට සිතාගෙනය.
අරවින්ද සූරියබණ්ඩාර දෙණියායේ, එන්සල්වත්තේ පබෝධාගේ කුඩා නිවසට ගොඩ වුණේ ඒ මොහොතේමය. පබෝධා උන්නේ කුස්සියට වී ලූණු සම්බලය හදමිනි. අරවින්දගේ කට හඬ ඔස්සේ නිවසේ ඉදිරිපසට ගිය පබෝධාගේ හිතට නැගුණ පලවෙනි පැනය නම් දානය තිබුන දවසේ රෑට කෑම අනවශ්‍ය යැයි කියූ සූරියබණ්ඩාර මහතා හදිසියේ මෙසේ තම නිවසට ආවේ ඇයිද කියාය.
අරවින්ද පබෝධාගේ ඇස්වල වූ ඒ පැනය අඳුරාගත්තාක් මෙන් කතාව ඇරඹුවේය.
“නෑ පබෝධා මිස් මම ආවේ කෑම ගෙනියන්න නෙවෙයි. අම්මා කිව්වා මේ ඉතිරිවෙච්ච කෑම බෙදල දෙන්න කියල. මම මේ ව්‍යංජන ටිකක් අරගෙන ආව. උදේ ඉඳලම එහෙ වැඩේට මහන්සිත් වෙච්ච එකේ”
තමා ඒ වදන් මුවින් පිටකලේ කෙසේද යන්න ගැන අරවින්දටත් පුදුමය. හිත අස්සේ තිබෙන දුකත් ඔලුව අස්සේ තිබෙන කැළඹීමත් දන්නේ තමා පමණකි. ඒ වේදනාවත්, කැළඹුමත් දරාගෙන තමා මේ සා නිස්කලංක ස්වභාවයක් පෙන්නුම්කරන්නේ කෙසේද යන්න කියන එක ගැන අරවින්දට පවා සිතාගන්නට අපහසුය.
“අනේ පිං මහත්තයො. අපි මහ ලොකුවට දෙයක් හැදුවෙත් නෑ රෑට. මං ඒත් කල්පනා කරා මහත්තය මොකෝ මේ ආවේ කියල අපි එහෙමකට කියල දෙයක් රෑට හැදුවෙත් නැති එකේ”
“ඒකට කමක් නෑ. මං කොහොමත් කිව්වනෙ රෑට කෑම එපාය කියල. දවල් උයපුව ඉතුරු වෙච්ච එකේ බත් එකක් හදාගත්තම ඇති ඉතුරුව රත් කරගෙන”
“දවාලේ අස්පස් කරන රාජකාරි අහවර වෙනකම්ම ඉන්න බැරිවෙච්ච එක අර හිතටත් මොකද්ද වගේ. වෙනද අපි හැන්දෑව වෙනකම් ඉඳලනෙ යන්නේ. අද මේ හදිසියෙ වෙච්ච දේ හන්දා තමයි මහත්තයො…” පබෝධා කතාව නතර කලේ විසල් සුසුමක් හෙලමිනි. ඒ සුසුම සැනසුමට වඩා වේදනාවට, පැනයකට බර සුසුමක් බව අරවින්ද අඳුනා ගත්තේ ඉවකින් මෙනි.
“මං ඇහුවට තරහ වෙන්න එපා මිස්. මට යම් දෙයක් තේරිච්ච හන්දා මං මේ අහන්නේ. මොකක් හරි ප්‍රශ්නයක්ද?”
අරවින්ද එසේ අසමින් අසල වූ පුටුවක අසුන් ගත්තේ දිග කතාවකට අර අදිමිනි. මේ කතාව කියනවාද නැද්ද කියා සිත දෙපසට ඇදෙද්දී එක් අතකින් කවුරුන්ට හෝ මේ බවක් කියා විසඳුමක් හෝ සැනසිල්ලක් සොයා ගන්නට තිබුනා නම් අපූරුය කියා පබෝධාට නොසිතුනා නොවේ. තනිවෙච්ච ගැහැණුන් දෙදෙනෙකුට පිරිමියෙකු උදව්වක් උපකාරයක් නොමැතිව ජීවත් විය හැකි වුවත් සූරියබණ්ඩාර මහතා වැනි යම් බලයක්, ලොකු තැන්වල දැන හැඳුනුම්කම් තිබෙන අයෙකු සමග ගැටලුවක් බෙදා හදා ගැනීම ඒ ගැටලුවට අපට නොපෙනෙන විසඳුමක් සොයාගන්නට හේතුවක් විය හැක.
“අනේ මන්දා මහත්තයො”
පබෝධා එකල මෙකල වෙමින් ඉද්දී අරවින්ද උන්නේ පුදුමාකාර කැළඹීමකිනි. නොඉවසිල්ලකිනි.තමා සිතුවාටත් වඩා දෙයක්, තමා දුටුවාටත් වඩා දෙයක් මෙහි තිබෙන බව නොතේරෙනවා නොවේ.
“මිස් බයවෙලා ඉන්නෙ මට ඔය කතාව කියල මොකක් හරි ප්‍රශ්නයක් හරි එහෙම නැත්තම් වෙන කෙනෙක් මේක දැන ගනීවි කියල හිතල නම් එහෙම බයවෙන්න උවමනාවක් නෑ.
මං එහෙම ඇහුවෙ හිතවත්කම හන්ද මිසක වෙන කරදරයක් කරන්න එන්වෙයි. මොකක් හරි උදව්වක් කරන්න විදියක් මට තියෙනවද බලන්න”
අරවින්ද ඒ වදන් කියාගත්තේ අපහසුවෙනි.
“අනේ නෑ මහත්තයො. මම මහත්තය ගැන නොදන්නවා නෙවෙයිනෙ. මට තියෙන බව අපෙ දරුව ගැන මිනිස්සු මොනව හිතාවිද කියල මේ සිද්දි ගැන දැනගත්තයින් පස්සෙ. අපි නොකිව්වට දරුවෙක් හම්බෙන්න ඉන්නවය කියන එක ඉතින් හංගගෙන ඉන්න පුලුවන් කාරනාවක් නෙවෙයිනේ.
අනික දැන් මේ ගමක නෙ. කොළඹ වගේ උනානම් ඒවයි බර පැන යන්තම් හරි අඩුවෙන්න තිබුණට මොකෝ ගමක ඉතින් ඔය වගේ කතන්දර වලට ලැබෙන තැන ගැන මං ආයෙ මහත්තයට අමුතුවෙන් කියන්න උවමනාවක් නෑනෙ”
“එයාගෙ මහත්තය ඉන්නෙ කොළඹ ද?”
“ඔව්, බැඳල ජෝඩුවම උන්නෙ කොළඹ. ඒ උනාට…”
පබෝධා විසින් කතාව නොකියා මදකට නතර කල නිවස ඇතුලත බැලුවේ ඇඟ සෝදා ගන්නට ගිය කැළුමිනී එනවාද කියා පිරික්සන්නට මෙනි.
කැළුමිණී තමන් විසින් මේ බව සූරියබණ්ඩාර මහතාට කීම කොහොමට භාරගනීවිද කියා සිතා ගන්නට පබෝධාට හැකියාවක් නැත. අනෙක් අතට කැළුමිණීට සූරියබණ්ඩාර මහතා හමු වී තිබෙන්නෙත් වාර තුන හතරක් වැනි සුලු කාලයකදීය. තමා සූරියබණ්ඩාර මහතාව කොපමන විශ්වාස කරද කැළුමිනී ඒ බව එලෙසින්ම භාර නොගන්නා බව පබෝධා සිතුවාය.
“අනේ මන්ද මහත්තය. මොකක් හරි කරපු කරුමෙකට වෙන්නැති මේ දරුවට මෙහෙම උනේ. කොහොමහරි ඒ බැඳල උන්නු පුතා කැමති නැහැලු දරුවා ලැබෙන්න හිටියත් ආයෙ එකතු වෙන්න. අම්මා තාත්තා නැති දරුවා. මගෙ හිතේ තියෙන ගින්දර ඉතින් මට කියන්න තේරෙන්නෙ නෑ”
ඒ කෙටියෙන් කියූ දිගු කතාව අවසානයේ කැළුමිණීට උරුමකරුවෙකු නොවීම ගැන තමා සතුටු විය යුතුද නැතිද යන්න ගැන අරවින්දට සිතා ගන්නටවත් පුලුවන් කමක් තිබුනේ නැත. එක් අතකින් සතුටු විය හැකි කාරණාවක් වුවද දික්කසාද වීමෙන් අනතුරුව තනිවම දරුවකු හදා වඩා ගැනීම ගැහැණියකට කෙතරම් අපහසුවක්ද යන්න අරවින්ද සමාජ දැනුමෙන් දැන උන්නේය.
“දැන් එතකොට එයා ඉන්නේ ඩිවෝස් වෙන්නද? ඊටපස්සෙ දරුව බලාගෙන මෙහෙට වෙලා ඉන්නඩ එයා හිත ඉන්නේ?”
අරවින්ද එසේ ඇසුවේත් කැළුමිණී නිවස අභ්‍යන්තරයේ සිට ඉස්තෝප්පුවට ආවේත් එකටම වාගේය. එහෙත් වෙනදාක අහම්බෙන් දකින්නට ලැබෙන මදහසින් පිරුණු තොල් වලින් කියවුනේ තමා ඇසූ දෙය ඇයට නොඇසුන වගය.
එය සිතට සැනසුමකි.
“මේ මහත්තය ඇවිල්ල තියෙන්නෙ දානේ ඉතුරු වෙච්ච කෑම පංගුවකුත් අරගෙන” කියමින් පබෝධා සිනා සී කැළුමිණීගේ මුහුන දෙස බලමින් නිවස ඇතුලට ගියේ සීතල පලවා හරිනු පිණිස තේකකින් අරවින්දට සංග්‍රහ කරන්නට සිතාගෙනය.
තෙත කෙස් කළඹේ ගැට අතෙන් ලිහමින් කැළුමිණී සඳ දෙසම බලා උන්නේ අලුත් වූ හැඟුම් පොදි බැඳගෙනය. ජීවිතය තමාව අරුම පුදුම චාරිකාවක ගෙන යන්නට සිතා ගෙන ඉන්නට හිඳින බව පැයක් පමණ වේලා ගෙන නාන අතරතුර ඇය සිතුවාය. එහෙත් ඒ ගමන් කුමක් වුවද තමා නොසැලී, නොබියව ඒ ගමන යන බවට ඇය ඉටා ගත්තාය.
සීතල වතුරෙන් දොවා ගත් පිරිසිඳු ගතින් යුතුව කැළුමිණී ආවේ නැවුම් හදකිනි. ඒ නැවුම් බව මුව මදහසක්ව පිපී තිබුණි.
අරවින්ද උන්නේ ඒ මදහස මත අනාගත බලාපොරොත්තු රැසක මල් පොහොට්ටු වලට පිපෙන්නට ඉඩ හරිමිනි.