සතුටු මන්තර 04

ගිම්හාන් ගේ හත් දිනයේ දානය දී නිම වන තුරුත් සයුරංගනා සිටියේ බලා ගත් අත බලා ගෙන ය. ඇය කතා කළේ එසේ නො කොට නො හැකි වූ වෙලාවක දී වචනයක් දෙකක් විතර ය. කවුරුන් හෝ අහන දේකට පිළිතුරු දුන්නේ ඔව් නෑ බෑ කියන්නට හිස සැලීමෙනි. සිනහ වෙන්නට ඇයට අමතක ම වී තිබිණි. ඇඳ මත වැතිරී හෝ පුටුවක් මත වැටී ඇය හිටියේ මේ කුමක් සිදු වී දැයි සිතා ගත නො හැකි ව ය. කොයියම් මොහොතක හෝ සිනහ වී ගෙන ගිම්හාන් යළි පැමිණෙනු ඇතැයි මායාමය සිතිවිල්ලක් ඇගේ හිතේ විය. ‘රංගි’ කියා ඔහු කතා කරනවා වාගේ දැනී, ඇස් පියවීගෙන ආ කිහිප වතාවක ම ඇය තිගැස්සී අවදි වූවා ය. ඊට පස්සේ ශේෂ වන්නේ බරපතල හිත් වේදනාවකි. 

ඉදිරියේ දී සිදු වන්නට නියමිත කුමක් දැයි නිරවුල් කර ගන්නට ඇය උත්සාහ කළා ය. නමුත් සිතිවිලි පටලැවී අවුල් වී සියල්ල ඝණ අන්ධකාරයක් බවට පත් වේ. දෙපයින් සිට ගන්නට පවා හයියක් නොමැතිව සයුරංගනා වැටී ගෙන ම සිටී.

හත් දවසේ දානයෙන් පස්සේ ළඟ ම ඥාතීහු පවා ගෙවල් බලා යන්නට සූදානම් වූහ.

“අනේ අම්මෙ…අම්මල මෙහෙ ඉන්නකො”

යමුනා හැඳ පැළඳ ගත්දී සයුරංගනා කෙඳිරිලි හඬකින් කීවා ය. අම්මා විත් ලොකු දුව ළඟින් හිඳ ඇගේ හිස පිරිමැද්දා ය.

“එහෙම මෙහෙටම වෙලා ඉන්න බෑනෙ රංගා…මල්ලි කැම්පස් යනව. අයිය වැඩට යනව. පොඩි නංගි දැනට ඔය මොන්ටිසෝරියක උගන්නන්න ගියාට එයාගෙ රිසල්ස් ආවට පස්සෙ මොනා කරයිද දන්නෑ. තාත්තට වුණත් වැඩක් හම්බ වෙන්නෙ එහෙ හිටියොත්නෙ”

“මං තනි වුණා. දැං මට කවුරුත් නෑ”

“එහෙම කතා කරන්න එපා දරුවො. අපි පවුලක් පිටින් මෙහෙ ඇවිත් නතර වෙන්න පුළුවන්ද කියල හිතන්න. අපි එහෙම කරනවට ගිම්හාන් පුතාගෙ අම්ම කීයටවත් කැමති වෙන්නෑ”

ගිම්හාන් සිටියදීත් මොකක්දෝ නො පිරුණු ඉඩක් සිය ආත්මයේ වූ බව සයුරංගනා දනී. නමුත් එතකොට ඔහු හෝ සිටියේ ය. සැමියෙකු කියා කෙනෙක් ඇයට සිටියේ ය. ඔහු ඇයගේ ස්වාමි පුරුෂයා බව කවුරුත් දැන සිටියහ. එතකොට ඇයට අඩු තරමින් තනියක් දැනුණේ නැත. ඔහු ඇය රැක බලා ගත්තේ ය. භෞතික වශයෙන් කිසිදු අඩුවක් නො කළේ ය. නමුත් දැන් නමටවත් එවන් කෙනෙකු ඇත්තේ නැත. සයුරංගනා ලොකු සුසුමකින් හද දුක නිවා ගැනීමේ උත්සාහයක් ගත්තා ය.

“අපි පුළුවන් හැම වෙලේම ඇවිත් යන්න එනව. නංගිල මල්ලිල ඉස්කෝලෙ යන්න ඕනනෙ පුතේ. වෙච්ච දේ වුණා. ඔයත් දැන් හිත හදාගෙන ඔළුව කෙළින් කරගන්න. කාටවත් හැමදාම මෙහෙට වෙලා ඉන්න බැරි වෙයි. ඒත් ඔයා දරුව ගැන හිතල හරි දැන් මේකට මූණ දෙන්න බලන්න. අඩු ගානෙ තුන්මාසෙ දානෙ දෙනකල් හරි ඔයා මෙහෙ ඉන්න ඕනනෙ. නැත්තං තාත්තනං කියන්නෙ ඔයාවයි දරුවවයි ගෙදර එක්කං ගිහිං එයාට පුළුවන් හැටියට කන්න අඳින්න දෙනව කියලයි. අපි මේ මාස තුන ගත කරගමුකො පුතේ”

සයුරංගනා ගේ පපුව පැලෙන්නට ආවේ ය. ඇස් කෙවෙනි පුපුරා කඳුළු වැහි වහින්නට වූයේ ය. ඇය යටි තොල තදින් සපා ගෙන ඉවසා දරා ගත්තා ය. 

“අපි පුළු පුළුවන් වෙලාවට ඇවිත් යන්න එන්නං. හැමදාම දුවල යන්න එන්න පුළුවන් දුරක නෙවෙයිනෙ රංගනා අපි ඉන්නෙ.  දරුවව බලාගෙන කල්පනාවෙන් ඉන්න”

පුළුවන් කමක් තිබුණත්, ගිම්හාන් ගේ අම්මා ගේ නොසලකා හැරීම් නිසා අම්මලා මෙහි නතර නොවන බව සයුරංගනා දනී. ඔවුන් කාගේවත් අත පල්ලෙන් වැටුණා සේ නින්දා නො විඳිය යුතු ය. දැන් ඉතින් ඉස්සරහාට වෙන්න තියන දේවලට කෙසේ හෝ මුහුණ දෙන්නෙමැයි ඇය තදින් සිතා ගත්තා ය.

යමුනලා නික්ම ගිය පසු ගෙදර පාළුව තදින් ම දැනිණ. එසඳි ට ද අප්පච්චි නැති පාළුව  දැනෙන්නට ගෙන ඇත්තේ දැන් ය. ගෙදර පිරී උන් සෙනග අඩු වී ගිය කල ය. ඇය අම්මා ගේ තුරුලේ ගුලි වෙවී සිටියා ය. පුරුදු හුරතල් දඟකාරකම් අමතක වී ගියා සේ දැරිය අම්මා ගේ උකුලට වී ඇගේ පපුවේ මූණ තියාගෙන ගෙල බදාගෙන සිටියා ය.

“අපාචිව එක්කං එමුකො අම්ම”

ඉඳහිට කල්පනාවෙන් මිදී ඇය කෙඳිරුවා ය. එතකොට සයුරංගනා පුංචි සුරංගනාව ඉතා තදින් වැළඳ ගනී.

“අප්පච්චි ඉන්නව පුතේ. එයා හැමදාම ඔයත් එක්ක ඉන්නව. එයාට බෑ ඔයාව අත්අරින්න. එයා කොහොම එයාගෙ පණ අත්අරින්නද…”

අම්මා කියනා දේවල් දැන් දැන් එසඳි ට තේරෙන්නේ ම නැත. අප්පච්චි ගෙදර නැත. අම්මා වෙනදා වාගේ ට්‍රයිඩැක්ස් මිටියාවතේ ඇවිදිමින් සතුටෙන් සිනහ වෙවී ඉන්නේත් නැත. මොන්ටිසෝරි යන්නේත් නැත. වෙනදා වාගේ දවස් ගෙවෙනවා නම් එසඳි කැමති ය. 

“එසඳිව ආයෙ නර්සරි යවන්න. පොඩි උං එක්ක සෙල්ලං කර කර ඉන්නකොට කෙල්ලගෙ හිත හරියයි”

යශෝදර කීවේ ය. එසඳි ගැන වැඩි ම හැඟීම වූයේ ඔහු ට ය. මළානික වී හැඬුම්බර වන දැරිය වඩා ගෙන වැඩිපුර ඈ සැනසූයේත් ඔහු ය. එසඳි යශෝදර ගේ උරහිසේ හිස තියා ගෙන ඔහු ගේ ගෙල බදා ගෙන සිටී. එහෙම සිටිත්දී ඇයට ආරක්ශිත හැඟීමක් දැනේ. අප්පච්චි ළඟ සිටිනවා වාගේ දැනේ.

“අපි වෑන් අංකල්ට කතා කරල කියමු මගෙ මැණිකව නර්සරි එක්කං යන්න එන්න කියල”

සයුරංගනා එසඳි ගේ මුදු කෙහෙ රැල් අතින් සකසමින් කීවා ය.

“උදේට යන්නෙ වෑන් එකේ නෙවේනෙ. අපාචි එක්කනෙ”

දැරිය අම්මා ගේ මූණ සිය සිඟිති දෑතින් අල්වා ගෙන හුරතල් ස්වරයෙන් කීවා ය. මේ ටිකට අම්මා ට ඒකත් අමතක වී යයි සිතී ඇගේ මුවට සිනහවක් ආවේ ය.

“දැං ඉතිං අපිට අපාචි නෑනෙ වස්තුව”

ඒ වචන සයුරංගනා ගේ උගුරේ අතර මගක හිර වී නතර වූයේ ය. ඇය ඇස් දෙක තදින් වසා ගත්තා ය.

ගිම්හාන් ජීවිතය හැර ගොස් සත් දිනක් ගත වන විට ඔහු ගේ ඇඳුම් අල්මාරිය හිස් වී තිබිණ. තිලකා පුතාගේ ඇඳුම් ආයිත්තම් සියල්ල දූවරුන් දෙදෙනා ට තෝර තෝරා දුන්නා ය. ඒ බෑණලා ගේ පාවිච්චිය පිණිස ය. ඔහු ගේ සපත්තු කුට්ටම් සියල්ලට වෙච්ච දෙයක් නොවිණ. ගිම්හාන් ගේ අත් ඔරලෝසු දෙක පවා අල්මාරියේ නොවිණ. එදා රෝහලට ගොස් ගෙදර පැමිණි රාත්‍රියේ, ආලින්දයේ ටීපෝව මත තිබී ගිම්හාන් ගේ මුදල් පසුම්බිය සයුරංගනා අතට දුන්නේ යශෝදර ය.

“මේක අරං තියන්න. බෑන්ක් ඒටීඑම් කාඩ්ස් එහෙමත් ඇත්තෙ ඕකෙ”

ඒ වෙලාවේ ඇය එය ඇගේ අල්මාරියට දැමූ නිසා සුරක්ෂිත ව තිබිණ. එසේ නො විණි නම් එය ද තිලකා ගේ අතට හසු වන්නේ ය. දානේ වැඩ කටයුතු වලින් පස්සේ මෝටර් රථයෙහි යතුර ද යශෝදර සයුරංගනා අතට ම ගෙනත් දී ගියේ ය.

“කී එක මතක ඇති තැනක තියාගෙන්න. හැමදාම හවසට මං ඇවිත් ස්ටාට් කරල යන්නං. නැත්තං බැට්‍රි එක සවුත්තු වෙලා යයි”

උගුරේ රිදුම් දෙන තුවාලයකින් යුතුව ඇය හිස සැළුවා ය. දැන් දැන් තිලකා හැසිරෙන්නේ ගෙදර පරමාධිපත්‍යය ඇය අතට පත්ව ඇතිවා සේ ය. පසුගිය සතිය පුරා ම සයුරංගනා ඔහේ සිටියා ය. හැම දේ ම තීරණය කළේ ඔවුන් ය. ඇගේ අදහසක් හෝ විමසන්නට ඔවුන් ට උවමනා නොවිණ. ඇය ඉන්නා බවක් හෝ ඔවුන් ගණං ගත්තේ නැත. ඇය කෑවාද බීවාද කියා හෝ සොයා බැලුවේ ජයරත්න පමණකි. නැන්දම්මා ද නෑනලා ද හැසිරුණේ ගිම්හාන් ගේ මරණය ට සයුරංගනා වගකිව යුතුයි වාගේ ය.

නෑනලා ද නික්ම ගියාට පස්සේ ගෙදර ඉතිරි වූයේ සයුරංගනා හා එසඳි ට අමතරව ජයරත්න හා තිලකා පමණකි. මල්කාන්ති ද පාරමී ද වරින් වර පැමිණ සයුරංගනා ගැන සොයා බලා කතා කොට ගියහ. නැත්නම් ඔවුන් ගේ ගෙදොරකඩ සිට හෝ පාරමී කෑ ගසා සයුරංගනා ට කතා කළා ය. බත් පිඟාන ගෙදරින් ම බෙදා ගෙන විත් පාරමී ඇයට කැව්වා ය. ඉස්සරහා ගෙදර මේ සොයා බැලීම් හා ළෙංගතුකම් දරා ගන්නට තිලකා ට හැකි වූයේ නැත.

“මොන ආලවට්ටං දැම්මත් මටනං ඕකුං ශුවර්ම නෑ. නැත්තං මේ හොඳට හිටපු කොල්ල එහෙං කාල බීල ආපු ගමං මැරෙනවද…”

ඇය සිය ඊර්ෂ්‍යාව පාලනය කර ගන්නට දැන සිටියේ ද නැත. ජයරත්න ගේ තරවටු නොවන්නට ඕ රාමනායක පවුලේ අයගේ මූණට ම වචන වලින් දමා ගසන්නට දෙවරක් නො සිතනු ඇත.

ගිම්හාන් ගේ වියෝවෙන් දස වන දිනයේ එසඳි ව පෙර පාසල් යවන්නට සයුරංගනා තීරණය කළා ය. රාත්‍රියේ පාසල් සේවා වෑන් රිය අමතා මෙතැන් පටන් දියණිය උදේට ද එහි ගෙන යන ලෙස දන්වා සිටියා ය. එදා උදෙන් අවදි වී මුළුතැන්ගෙට විත් ඇය එසඳි වෙනුවෙන් නූඩ්ල්ස් පිළියෙල කළා ය.

“ආ…මේ මොකද මේ අද උදේම කුස්සිය බාර අරං…”

තිලකා අවදි වී මුළුතැන්ගෙට ආවේ එයින් නැඟුණු ශබ්ධ නිසා ය. සයුරංගනා වියළි මඳහසක් පෑවා ය.

“එසඳිව නර්සරි යවනව අද ඉඳං”

“අනේ මේ මරණයක් වෙච්ච උණුහුමේ ඒ ළමයව දැංම යවන්න ඕනෙද…හරියට මේ උසස් පෙළ කරනව වගේනෙ පුංචි එකාව යවන්න හදන්නෙ”

තිලකා ගත් කටට ම ආඩපාලි කියන්නට වූවා ය.

“දැං ඉතිං දරුවව ගෙදර තියං හිටිය කියලත් මොකටද අම්මෙ. ගිම්හාන් නැතුව එයාට සාංකාවත් හැදෙයි. නර්සරි ගියාම යාළුවො එක්ක වැටිල සෙල්ලං කර කර හරි ඉඳියිනෙ”

“අප්පොච්චි මැරිච්ච ගමං ළමයි සෙල්ලමට යවන්න තමයි ඕනෙ”

ගස්සමින් පුප්පමින් තිලකා කාමරයට ගොස් ජයරත්න ට කේලම කීවා ය.

“ඒක හොඳයි. මාත් දුවට කියන්න හිටියෙ පොඩි එකීව මොන්ටිසෝරි යවන්න කියල. දැං ඉතිං අපි කවුරු කවුරුත් සාමාන්‍ය ජීවිතේට පුරුදු වෙන්න ඕනෙ තිලකා. කොල්ල නැති වෙච්ච එක ගැන අපි කාටත් දුකයි තමයි. ඒත් ඉතිං මැරෙනකල් අපි කවුරුත් ජීවත් වෙන්න ඕනනෙ. අත් දෙක බැඳගෙන ගුලි වෙලා ඉඳං මරණය එනකල් බලං ඉන්න පුළුවන් කමක් නෑනෙ”

සයුරංගනා තිලකා ගේ ගැස්සිලි පිප්පිලි ගැන අංශු මාත්‍රික අවධානයක් නොදුන්නා ය. ඉවසිලිවන්තව හා සන්සුන් ව එසඳි ගේ කෑම පෙට්ටිය සකසා බෝතලයට උතුරවා නිවා ගත් වතුර දැමුවා ය. එසඳිව අවදි කොට කිරි එක දී, සෝදා පෙර පාසල් නිල ඇඳුම ඇන්දවූවා ය. මීට පෙර නම් ඇය එසඳි ව සූදානම් කරවූයේ ගිම්හාන් ගේ කෑම සකසා අවසන ය. උදේට ඔවුන් දෙදෙනා පිටත් වන තුරු ඇයට යුද්ධයක් කරන්නට සිදු වේ. උදේට ඇය දෙන්නා ට ම කෑම කැව්වා ය. පිඟන් දෙක මාරු කරමින් දෙදෙනා වෙත ම දුවමින් කැව්වා ය. ඒ අතරේ එසඳි ට කතන්දර කියන්නට ද සිදු වේ. උගුර ලේ රහ වන තුරු බොරු බොරු කතන්දර ගොතමින්, බත් කටවල් කිහිපයක් කවා ගනු වස් ඇය වෙහෙසුණා ය.

අද ඒ වෙහෙස නැත. එසඳි ද කරදර නොකොට නූඩ්ල්ස් ටිකක් කෑවා ය. නමුත් මහත් පාළුවක් සයුරංගනා ට දැනේ. පොඩි ළමයෙකු වාගේ ගිම්හාන් ද උදේට ඇයට ලොකු වදයක් දුන්නේ ය. අල්මාරියේ නවා පිළිවෙලට තබා ඇති ඇඳුමක් හෝ සොයා ගන්නට ඔහු ට බැරි ය. ඇය සියල්ල අතට දිය යුතු වේ. පස්සෙන් ගිහින් ඔහු ගේ ගලවා ඉවත දමන ඇඳුම් පවා එකතු කර ගත යුතු වේ. ඒ දින වල ඒවා කරදර සේ දැනුණාට මේ පාළුව ඒ කරදර තරම් පපුවට බර නැත. ඒ බව වඩා හොඳින් දැනෙන්නේ දැන් ය.

පාසල් සේවා වෑන් රිය එන තුරු ගේට්ටුව ළඟ සිටියදී යශෝදර රැකියාවට යනු වස් පාරට ආවේ ය. ගිම්හාන් සිටියදී ඔවුන් දෙදෙනා ම ගියේ ඔහු ගේ මෝටර් රථයේ ය. අද යශෝදර සිය යතුරු පැදියෙහි කාර්යාලයට යයි. 

“එසඳි පැටිය ඉස්කෝලෙ යනවද මැණික”

යතුරු පැදිය ඔවුන් ළඟ නවතා කකුල් දෙක දෙපසට විහිදා බිමට බර කොට යශෝදර දෑතින් ඔසවා එසඳි ව බයිසිකලය මතට ගත්තේ ය.

“අපාචි එනකං මං බයික් එකේ යන්නංකො අම්ම. ඔයා මාව එක්කං යනෝ නේද…”

එසඳි පිටුපස හැරී යශෝදර දෙස බලා ඇගේ සිඟිති අතකින් ඔහු ගේ රැවුල් කොට වැවි කම්මුලක් අල්වා ගත්තා ය. ඔහු ඇගේ ඒ අත අල්වා සිප ගත්තේ ය.

“මගෙ මැණික මාත් එක්ක යනවද එහෙනං…”

“හ්ම්”

“අනේ ඔයා වද වෙන්න එපා යශෝදර. අනිත් එක කොහොමත් එසඳිව මෙහෙම පුරුදු කරන්න ඕනෙ. අපි දෙන්නම දැන් මේ ජීවිතේට පුරුදු වෙන්න ඕනනෙ”

සයුරංගනා බිඳුණු හඬකින් මිමිණුවා ය. යශෝදර ඇයට එරෙහි ව යමක් කියන්නට ගියේ නැත.

“චූටි මැණික එහෙනං ස්කූල් වෑන් එකේ යන්නකො හොඳේ. මං ඔෆිස් යන්නැති දවසට බබාව අපාචිගෙ කා එකේ නර්සරි එක්කං යන්නං”

පාසල් සේවා රිය නලා හඬවා ගෙන ගුරු පාර දිග ඇදී ආවේ එතකොට ම ය. එසඳි ගේ හිස සිප ගත් යශෝදර ඇයව දෑතින් ඔසවා සයුරංගනා ට දුන්නේ ය. 

“අම්මයි නංගියි ගෙදර ඉන්නව. ඕනකමක් වුණොත් මට කෝල් එකක් දෙන්න”

කියමින් යශෝදර නික්ම ගියේ ය. සයුරංගනා හිස් දෑසින් හිස දෙපසට සැළුවා ය. කාත් කවුරුත් නැතිව, තමන්ගේ ය කිව හැකි කිසි කෙනෙකු නැතිව ලෝකයෙහි තනි වූ බවට හැඟීමක් ඒ වෙලාවේ ඇයට දැනිණ.

💜️ඇතැම් කතා කඳුළු වලින් ම ඇරඹෙන්නට පුළුවන. සතුටු මන්තර එහෙම කතාවකි. ඔබ දිගට ම කතාව කියවන්නේ නම් සයුරංගනා වෙනුවෙන් ඔබේ ආදරය ඉතිරි කොට යන්න. ඇඟිලි සලකුණක් හෝ හදවත් සලකුණක් ලෙස, ඔබ ඇවිත් සයුරංගනා ගේ දුක බෙදා ගත්  බවට ඉඟියක් තියා යන්න!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles