පොංගල් බතක් හදමුද?

පොංගල් බත් කාලා තියෙනවද? 

එහෙමනම් ඒ රස ඔබට අමතක වෙන්න විදිහක් නැහැ. 

හකුරු පැණිත් මිශ්‍ර වුණ උකු පොල්කිරෙන් බෙරිවෙන්න තැම්බුණු බත් එක්කම කජුත් එක්ක හරි හරියට හැපෙන මුද්දප්පලං වල රස මතක් වෙද්දි ආයෙමත් පොංගල් බත් කන්න හිතෙන එක පුදුමයක් නෙමෙයිනෙ.

ඇයි ගිතෙල් සුවඳ?

සිංහල අවුරුද්දට අලුත් සහල් වලින් අපේ කෑම මේසයේ පිළියෙළ වෙන කිරිබත් වගේම තමයි පොංගල් මාසෙට ඒ කියන්නෙ දමිළ ජාතිකයන්ගෙ අවුරුදු මාසයේදී තෛපොංගල් දවසට පිළියෙල වෙන පොංගල් බතත් හරිම විශේෂයි.

පොංගල් කියන වචනෙ තේරුම “ඉතිරීම” වගේ අර්තයක් ගන්නව.

අපි කියන්නෙ කිරි උතුරන්ඩ ඕන කියල අන්න ඒ වගේ. 

අස්වැන්න, සශ්‍රීකත්වය,භාග්‍ය,ධන ධාන්‍ය වගේ සියළුම යහපත් සිතුවිලි කිරි ඉතිරෙනව වගේ සාර්ථකත්වයට පත්වේවා කියන අපේක්ෂාව සහ බලාපොරොත්තුව තමයි ඔවුන්ගෙ හිත් වල මේ පොංගල් මාසයේදී තියන්නෙ.

ඉතිං තමන්ට හොඳ අස්වැන්නක් ලබාගන්න උදව් වුන හිරුට ප්‍රණාම දැක්වීම අරමුණු කරගත් මේ වාසනාවන්ත මාසයේදී පසුගිය අස්වැන්නෙ මුල්ම කොටසිනුයි මේ පොංගල් බත පිළියෙල වෙන්නෙ. 

පොංගල් බත් හදන ප්‍රධාන ක්‍රම හතරක් තියෙනවා. 

ඒ තමයි,

ගම්මිරිස්, කහ, ඉඟුරු වගේ කුළුබඩු එකතු කර සාදන වෙන් පොංගල් බත,

හකුරු, කජු, මුද්දප්පලං එකතු කරල හදන සක්කාරයි පොංගල් බත,

කුකුල් මස් සහ කුළුබඩු එකතු කරල හදන සක්කාරයි පොංගල් බත සහ 

එළවළු එකතු කරල හදන සන්‍යාසී පොංගල් බත කියන බත් වර්ග හතර.

ඉතිං, ඔන්න අපි අද ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ පොංගල් බත් වල ජනප්‍රියම සහ සාම්ප්‍රදායිකම ආකාරය විදිහට සලකන සක්කාරයි පොංගල් බත හදන්නෙ කොහොමද කියලයි.

දකුණු ඉන්දියාවේ සාම්ප්‍රදායික ක්‍රමයට අනුව නම් මේ සඳහා යොදාගන්න ප්‍රධාන අමුද්‍රව්‍ය වලින් එකක් තමයි කහ මුං ඇට.

ඒත් අපේ රටේ මේ කහ මුං ඇට සොයාගන්න ටිකක් අපහසු නිසා මේ සඳහා අපි සුලභව භාවිතා කරන කොළ පැහැති මුං ඇට යොදාගන්න ඔබට පුළුවන්. 

සාම්ප්‍රදායික පොංගල් බත 

අවශ්‍ය ද්‍රව්‍ය

  • සෝදාගත් මුං ඇට කෝප්ප ½ ක් 
  • සෝදාගත් සහල් කෝප්ප 01 ක් 
  • ගිතෙල්
  • වතුර
  • කිරි කෝප්ප 01 ක් 
  • හකුරු කෝප්ප 02 ක් 
  • කරදමුංගු ඇටයක් දෙකක්
  • වතුර කෝප්ප 04 ක්
  • කුඩාවට කපාගත් කජු මේස හැඳි 02 ක් 
  • වියළි මිඳි 10 ක් 12 ක් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම භාජනයක් ලිපතබා එයට ගිතෙල් මේස හැන්ඳක් එක්කර ගන්න.

ඉන්පසු එයට සහල් සහ මුං ඇට දමා හොඳින් කලවම් කර වතුර කෝප්ප 02 ක් සහ කිරි කෝප්ප 01 ක් එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් භාජනය වසා සහල් සහ මුං ඇට බෙරිවෙන තුරු හොඳින් තැම්බී වතුර හිඳෙන තුරු පිසගන්න.

ඒ අතරතුර වෙනම භාජනයක් ලිපතබා එයට හකුරු කෝප්ප 02 ක් සහ වතුර කෝප්ප 04 ක් එකතු කරගන්න.

හකුරු හොඳින් දියවී තරමක් උකු මිශ්‍රණයක් සෑදෙන තුරු හැඳිගාමින් කලවම් කරගන්න.

දැන් අපි පැණි මිශ්‍රණය සාදාගෙන අවසන්.

නැවත තවත් භාජනයක් ලිපතබා එයට ගිතෙල් මේස හැඳි 02 ක් එකතු කර තෙල් රත්වන විට එයට කජු සහ වියළි මිදි එක්කට කජු රන්වන පැහැවන තුරු මඳක් බැඳගන්න. 

දැන් පිසගත් බත් සහ මුං ඇට මිශ්‍රණයට හකුරු පැණි, කරදමුංගු, බැදගත් කජු වියළි මිදි සහ ගිතෙල් මේස හැන්ඳක් එක්කර හොඳින් කලවම් කරගන්න. 

උණුසුම්වම පිළිගන්වන්න. 

පිළිගන්වන විට ගිතෙල් ස්වල්පයක් උඩින් වත්කර පිළිගැන්වීමේන් සාම්ප්‍රදායික පොංගල් බතක රස සහ සුවඳ තවත් වැඩිපුර රස විඳින්න ඔබට පුළුවන්. 

එහෙමනම්, හදල බලමුද රසම රස පැණි බේරෙන පොංගල් බතක්.

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles