Phone එකෙන් photo ගන්න ඔයා දැනගන්නම ඕනෙ දේවල්

සන්නිවේදනය පහසු කරන අරමුණෙන් ලෝකෙට හඳුන්වල දුන්න වුනත් ජංගම දුරකථනය කියන්නෙ රේඩියෝව, දිනපොත, කැලැන්ඩරය,රූපවාහිනිය වගේම කැමරාව වගේ උපකරණ රාශියක් එක්ව පවතින උපාංගයක් විදිහට අද වෙද්දි වැඩිදියුණු කරල තියෙනව. 

මේ අතරිනුත් අපේ ජංගම දුරකථනයේ අපි වැඩිපුරම භාවිතා කරන යෙදවුම් වලින් ප්‍රධාන තැනක කැමරාව හිමිකරගෙන තියෙනව.

ලස්සනට ඡායාරූප ගන්න, ඒ ඡායාරූප සමාජ මාධ්‍ය වලින් අපේ හිතවතුන් එක්ක බෙදාගන්නත් අපි බොහෝ දෙනෙක් කැමතියිනෙ. 

හැබැයි, කොච්චර සුන්දර මොහොතක් වුනත් ඡායාරූප ගත කරාට පස්සෙ ඔබ ගන්න ඡායාරූපයේ විවිධ ගැටළු ඔබටත් ඇතිවෙනව ඇති.

අන්න ඒ ගැටළු මඟහරවා ගනිමින්, ඇසින් දකින ස්වභාවික සුන්දරත්වයට වඩාත් සමීපව පේන්න ඡායාරූප ගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ.

මේ දේවල් දැනගෙනම ඊළඟ ඡායාරූපය ගමුද එහෙනම් ?

ඔබේ කැමරාව ගැන දැනගන්න

ඔබේ දුරකථනයේ කැමරාවට කරන්න පුළුවන් දේවල් මොනවද? චලනය වන වස්තු වල ඡායාරූප ගන්නෙ කොහොමද ? වගේ දේවල් ගැන ඔබ දැනගන්නම ඕනෙ. ඒ නිසා කැමරාවේ settings වගේම අන්තර්ජාලය පිරික්සලා ඔබේ දුරකථනයේ කැමරාව ගැන විස්තර සොයා බලන්නත් අමතක කරන්න එපා. 

කැමරා කාචය පිරිසිදු කරන්න

ඡායාරූපයක් ගන්න කලින් ඔබ මුලින්ම ඔබේ කැමරා කාචය පිරිසිදු කර ගැනීම නම් කරන්න ඕනෙ. මේ සඳහා සිනිඳු රෙදි කැබැල්ලකින් භාවිතා කරන්න පුළුවන්. 

කැමරා කාචය මත ඇති දුහුවිලි සහ ඇඟිලි සලකුණු ඔබ ගන්න ඡායාරූපයේ ප්‍රමිතිය අඩු කරනව වගේම ඡායාරූපයේ විශේෂ ස්ථාන ගැන අවධානය යොමු කරන්නත් බාධා කරනව.

තුන්වන නීතිය (rule of third) පිළිපඳින්න 

ඔබට තියන්නෙ iOS ජංගම දුරකථනයක් නම් Setting > Camera > Grid (enable) යන මාර්ගය ඔස්සේත්, ඔබට තියන්නෙ Android දුරකථනයක් නම් Settings > Apps > Camera > Grid Lines > Rule of third overlay / Square overlay ලෙසත් තෝරගන්න ඔබට පුළුවන්. 

මෙහිදි සිදුවෙන්නෙ ඔබේ කැමරාවට හසුකරගන්න දර්ශනය කුඩා කොටු නවයකට බෙදී කැමරාවේ සටහන් වීමයි. ඔබ වැඩිපුරම අවධානය යොමුකරන කොටස ඒ කුඩා කොටු වල කොන් ආසන්නයට ගෙන ඒමෙන් වඩා පැහැදිලි ඡායාරූපයක් ගන්න ඔබට අවස්ථාව ලැබෙනව. 

ඔබට ඡායාරූපයට ගැනීමට අවශ්‍ය දර්ශනය පමණක් කොටු තුළට ඇතුළත් කරගෙන ඡායාරූපය ගන්න ඔබට පුළුවන්. 

කැමරාවට භාර නොදිය යුතු දේවල්

දුරින් ඇති වස්තු විශාල කරන්න Zoom කිරීමත්,  වර්ණ සහ විශේෂ ස්ථාන වලට වැඩිපුර අවධානයක් යොමුකරන focus කිරීමත් ඔබ සමහරවිට ඔබේ දුරකථනයටම භාරදෙනව ඇති. 

නමුත්, ඔබේ ඇස ඒ විදිහට අවතක්සේරු කරන්න එපා කියල අපි මතක් කරන්න කැමතියි. 

ඔබට අවශ්‍ය විදිහට ආලෝකය වෙනස් කරල (brightness), අවශ්‍ය ස්ථානයට අවශ්‍ය ස්ථානයට වැඩි අවධානයක් යොමු කරල (focus) ඡායාරූපය ගන්න පොඩි වෙහෙසක් දැරුවට වරදක් නෑ. මොකද ප්‍රතිඵලය විදිහට ලස්සන ඡායාරූපයක් ඔබට ලැබෙනවනෙ. 

Zoom කරපු ඡායාරූපයක් කියන්නෙ සාමාන්‍ය ඡායාරූපයක අනවශ්‍ය කොටස් කපා ඉවත් කරල (crop) ප්‍රමාණය වෙනස් කරපු (resize) ඡායාරූපයක් වගේම තමයි. එයින් ඔබේ ඡායාරූපයේ ප්‍රමිතිය අඩුවීම අනිවාර්‍යෙන් සිද්ධ වෙනව. ඒ නිසා zoom කරනවට ඔබට ඡායාරූපයට නඟන්න අවශ්‍ය කොටසට හැකි තරම් ලන්වෙලා ඡායාරූපය ගැනීම වඩා සාර්ථකයි. 

Portrait mode වඩා සාර්ථක වෙන්නෙත් හොඳ ආලෝකයක් තිබෙන ස්ථානවල කියල අපි ඔබට මතක් කරනවා. 

ඒ වගේම ඡායාරූප ගනිද්දි දුරකථනය නොසොලවා ඡායාරූප ගන්න වගේම දුරකථනය රඳවන උපකරණයක් (tripod) භාවිත කරල ඡායාරූප ගැනීමත් ඡායාරූපයේ ප්‍රමිතිය වැඩිකරන්න උදව් වෙනවා. 

ස්වභාවික ආලෝකයට මුල්තැන දෙන්න

හැකි සෑමවිටම ස්වභාවික ආලෝකය යොදාගනිමින් ඡායාරූප ගන්න උත්සහ කිරීම වඩාත් ලස්සන ඡායාරූපයක් ඔබට ලබාදෙන්න උදව් වෙනව. 

ඒ වගේම ස්වභාවික හිරු එළිය, ජනෙල් වලින් එන ආලෝකය වගේම ඉටිපන්දම් එළි වගේ ආලෝක ප්‍රභව භාවිතා කරන්නත් පුළුවන්. 

කැමරාවේ ෆ්ලෑෂරය (Flasher) බොහෝවිට ඡායාරූප සඳහා සුදුසු වෙන්නෙ නෑ වගේම බොහෝ කැමරා වල රාත්‍රී ඡායාරූප ස්වභාවික විදිහට ඡායාරූපයට නැගෙන්නෙත් නෑ. 

ඒ නිසා ආලෝකය නිසි ලෙස සකසා ගනිමින් අවශ්‍ය ස්ථානවලට වැඩි අවධානයක් යොමුකරමින් ඡායාරූප ගන්න අමතක කරන්න එපා. 

ඔබ යම් යම් වස්තු වල ඡායාරූප ගන්නව නම් සුදු පැහැති හෝ ළා පැහැති පසුබිමක ඒ වස්තුව තැබීමෙන් වැඩි අවධානයක් වස්තුවට යොමු කරගන්න උදව් වෙනවා. 

අවශ්‍ය නම් දුරකථන කැමරා සඳහාම නිපදවුනු ආලෝකකරණ උපාංග භාවිතා කරන්න ඔබට පුළුවන්.

ඡායාරූප කීපයක් ගන්න

එක්වරම ඉහළ ප්‍රමිතියකින් යුතු ඡායාරූපයක් ගන්න පුළුවන් නම් ඔබ හරිම දක්ෂයි වගේම වාසනාවන්තයි. 

නමුත් එහෙම බැරිනම් ඒ ගැන වදවෙන්න එපා. එක එක විදිහට ඉරියව්ව වෙනස් කරමින් ආලේකය වැටෙන ස්ථානය වෙනස් කරමින් ඡායාරූප කීපයක් ගන්න.

ඡායාරූපය මුද්‍රණය වෙන්න කලින්ම ඡායාරූපය බලන්න අවස්ථාවක් දුරකථනයකින් ඡායාරූප ගැනීමේදී අපිට ලැබෙනව.

ඉතිං ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් හොඳම ඡායාරූපය හොඳම විදිහට අරගන්න අමතක කරන්න එපා.

ඒ වගේම google photos, i clouds වගේ යෙදවුම් හරහා ඡායාරූප වැඩි ප්‍රමාණයක් ගබඩා කරල තබාගන්න ඉඩ සළස්වන නිසා දුරකථනයේ ඉඩ පිළිබඳ ගැටළුවක් ඇතිවෙන්නෙත් නෑ. 

නැවත බලන්න

ඡායාරූපය ගන්න කලින් ඔබ වැඩිපුර අවධානය යොමුකර ස්ථාන වලට ඇඟිල්ලෙන් තට්ටු කරමින් ඒ ස්ථානය වෙනස් නොවෙන විදිහට ස්ථාවරව තියනවදැයි නැවත බලන්න.

මේ විදිහට ගන්න ඡායාරූප Canva, Google photos සහ Photo lab වගේ යෙදවුම් ආධාරයෙන් තවත් ලස්සන කරගන්න වගේම instagram කැමරාව භාවිතා කරල ඡායාරූප අරගෙනත් බලන්න කියල අපි ඔබට යෝජනා කරන්න කැමතියි. 

එහෙමනම්, ලස්සන ඡායාරූපයක් අරගන්න මේ උපදෙස් ඔබට උදව් වෙයි කියල අපි විශ්වාස කරනව.

නැවත හමුවෙමු !

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles