නම නොදන්නා කදු පන්ති 1

අම්මලාට ඕන වුණේ මගේ හිත හදන්න.මට ඕනි උනෙත් මගේ හිත හදාගන්න.එතකොට මම  විශ්ව විද්‍යාලයෙන් අයින් වෙච්ච අලුත වගේ. කේසර අපිට ඉගැන්නුවෙ ප්‍රායෝගික ජීවිතයේ සිද්දි සිනමාවට  වෙනස් කරගන්නේ කොහොමද කියන සංසිද්ධිය පියවරෙන් පියවර.

කේසරගේ දේශන වලට අපි සහභාගි වුණේ හරි ආසාවෙන්.ඒ  දේශන කවදාකවත් කිසිම කම්මැලි කමක් තිබුණේ නැහැ.

දැන් මෙහෙම හිතන්න.අපි හිතමු ඒ ගෑනු  ළමයගේ හිතේ සංතෝෂය පිරිලා.නිකං ම ඒ කෙල්ල හිනා වෙනවා පෙන්නලා ඒ කොටස ඉවර කරන එකද හොද.. නැත්තං..
පොඩි සිතාර් මියුසික් එකක් එක්ක ඒ ගෑනු ළමයගෙ කකුල් දෙක විතරක් වේගයෙන්  පඩිපෙලක් නැග ගෙන යන දර්ශනයක් ඉර එළිය අස්සෙන් පෙන්නන එක ද වැඩිය ලස්සන. බජට් ෆිල්ම් හදන්න යන්න එපා.එහෙම කරන්න ගියොත් තමයි පොල්ලෙන් ගැහුවා වගේ රූප රාමු එළියට එන්නේ.දවසක් අඟුරු  උනුහුමේ පැහෙන පොලොස් ඇබුලක් කරන්න නං අම්බානකට මහන්සි වෙන්නම වෙනවා …
කේසර එහෙම කිව්වා .

එක සැරයක් කේසර කරලා තිබිච්ච කෙටි චිත්‍රපටියකට හොඳම කැමරාකරණයට හම්බවෙන සම්මානය ඩකා සම්මාන උළෙලේදී හම්බවුණා.
ඒක අධ්‍යක්ෂණය කරල තිබුනෙත් කේසර ම තමයි.

මායිම් ගම්මානයක ගෑණු ළමයෙක්ට දරු ප්‍රසූතියට බොහොම පොඩි දින ගණනක් තියෙනකොට ඒ ගමට කොටි ගහනවා.ගෙදර අයත් එක්ක පැදුරු කඩමාලූ කොට්ට මෙට්ට උස්සගෙන පයින්ම මෝටර් වෙඩි උණ්ඩ පුපුරන කැලේ මැද්දෙන් මේ ගෑනු ළමයා සරණක් හොයාගෙන ඇවිදගෙන එනවා.කැලේ මැදදි ගෑනු ළමයට විලිරුදාව හැදෙනවා.බෝම්බ වලින් කුඩු පට්ටං වෙච්ච පල්ලියක ඉතුරු වෙච්ච කෑල්ලකට මේ ගෑණු ළමයාව අම්මා එක්කගෙන යනවා.මුලු චිත්‍රපටිය පුරාවටම කලර් පැලට් එක හැටියට කේසර අරගෙන තිබුණේ දුඹුරු පාටයි නිල්පාටයි විතරයි. කැඩිච්ච අල්තාරය යට අර ගැහැණු ළමයට දරුවාව හම්බවෙනවා.එතනදි පෙන්නන්නෙ ගෑණු ළමයාගේ අත විතරයි.ශක්තිය ගන්න ඒ ළමයගෙ අතට අහුවෙන්නෙ බාගෙට කැඩිලා වැටිල තියෙන කුරුසයක්.ටිකෙන් ටික ටිකෙන් ටික ගෑනු ලමයගෙ කෑ ගැහිල්ලයි හතියයි වැඩිවෙනකොට කුරුසිය අල්ලගෙන තියෙන තද ගතිය ටික ටික වැඩි වෙන හැටි ලස්සනට පෙන්නනවා.ගෑනු ළමයගේ මූණ බ්ලර් වෙලා පේන්නේ..
අන්තිමේදී පොඩි එකෙක් අඬන සද්දේ ඇහෙනකොට බ්ලර් වෙලා තිබුන ගෑනු ළමයගේ මූණ ක්ලියර් වෙනවා . කුරුසය නිකම්ම අතහැරෙනවා. චිත්‍රපටය අවසානයේ දී පෙන්නන්නෙ අම්මා තාත්තා මල්ලි ගෑනු ළමයා ගැලවෙන්න යන ගමනට කිරිකැටියා වත් තුරුළු කරගෙන යන විදිහයි. හැමතැනින්ම ගිනිකඳු දුම  කැඩිච්ච ගොඩනැගිලි මැද්දෙන් ඒගොල්ලො පේලියට ගමන් කරන විදියත් ඊට ටිකක් එහායින් හමුදා කඳවුරු තියෙන විදිහත්  ඩ්‍රෝන ශොට් එකකින් අරං තිබුණා . එතනින් කතාව ඉවර වෙනවා . මේ කථාවේ දෙබස් තිබුණේ හරිම අඩුවෙන්. හැඟීම් වලින් තමයි කතාව ගොඩනැගිලා තිබුණේ. එකේ ගෑණු ළමයගෙ චරිතයට හිටියේ වානි. මම කොයිතරම් කේසර ට කැමැත්තෙන් හිටියත් වානි එයාගෙ හිත හොරකං කරලා තිබුණා .

මට තිබුණෙ නිහඬව කට වහගෙන අයින් වෙලා යන ගෑනු ලමයගෙ චරිතයට පණ පොවන්න.

මාධ්‍ය ආයතන කීපයකටම අයදුම්පත්‍ර දාල තිබුන මට හිතේ වෙනසකටත් එක්ක කෝට්ටේ ලොකු අම්මලගෙ ගෙදර නවතින්න යන්න හිතුනා. ඒගොල්ලො හිටියේ තට්ටු නිවාසයක.ඒ තට්ටු  නිවාසයේ  ගෙවල් දහ අටක් තිබුණා. ලොකු අම්මලාගේ ගෙදර තිබුණේ උඩම තට්ටුවෙ.උඩ තට්ටුවේ ගෙවල් දෙකක් තිබුණා.අනිත් ගෙදර හිටියේ මුස්ලිම් අම්මා කෙනෙක්.එයා විතරයි ඒ ගෙදර හිටියේ.ලොකු අම්මගේ ගෙදර හිටියේ ලොකු අම්මා විතරයි.ඒ හින්දා එතන හරිම නිදහස්.
ඇත්තටම කේසරගේ ප්‍රශ්නයත් එක්ක මට ඕනි වුනා කවුරුවත් වැඩිය මට අවධානය දෙන්නෙ නැති තැනක ජීවත් වෙන්න.ලොකු අම්මගෙ ගෙදර හිටියෙත් එයා විතරයි. අපේ ගෙදර මට අඬන්න කියලවත් නිදහසක් තිබුණෙ නැහැ.අම්මා එහෙන් එබෙනවා.  තාත්තා මෙහෙන් එබෙනවා. දුකට හවුල් වෙන්න එනවා. මට ඒක තමයි දරාගන්න අමාරුම.

ඔය කිව්වට ඔයිට වඩා සම්බන්ධකමක්  තියෙන්න ඇති. නැත්තං ඉතිං ඔච්චර වැළපෙන්න ඕනයෑ.. සමයං..

තාත්තා දුශ්ටයාගෙ දෙබස් කිව්වා .

සම්බන්දයක්…. ඔව් .. නොතිබුණා කියන්නම බැහැ.තිබුණා කියලා කියන්නත් බැහැ. ඕවා ඇලපිල්ලක් ඉස්පිල්ලක් නෑර අම්මල තාත්තලාට තේරුම් කරලා දෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බැරුව ගියා. කේසර ගැන මගේ හිතේ අදහසක් තියෙනවා කියලා මම මුලින්ම කිව්වෙ අම්මා එක්ක. පොඩි කාලෙ ඉඳලම අම්මා  මට   යාලුවෙක් විදිහට උන්න හින්දා මට ඕනම දෙයක් අම්මා එක්ක කතා කරන්න පුළුවන්කම තිබුණා. අම්මා කිව්වේ කේසර කැමතිනම් තාත්තට කෙලින්ම ඇවිල්ලා  කතා කරන්න කියලා.එදා තමයි මම  මුලින්ම දැනගත්තේ කේසරගේ ශෙල් කියලා නම් කරපු කෙටි චිත්‍රපටියට ඩකා වලින් සම්මානයක් හම්බවෙලා කියලා.

එතකොට මගේ ඩිග්‍රි එක ඉවර වෙන්න  මාස දෙකයි තුනයි තිබුණේ. මම කේසර ට ඇමතුමක්   ගත්තේ  මගේ සතුට උතුරන කම දරාගන්න බැරි හින්දයි. ඒත් කේසරගේ දුරකථනයට සම්බන්ධ වෙන්න මට බැරුව ගියා. එදා හවස ආපහු ඒගොල්ලො ලංකාවට එන්න නියමිත වෙලා තිබුණා. තාරු එක්ක  මාත් එයාර්පෝට් එකට ගියේ කේසරගේ ජීවිතයේ මටත් ලොකු ඉඩක් ඇති කියලා හිතපු හින්දයි. මම අරගෙන ගියේ ලිලී මල් පොකුරක්.
ඒත් මාව පස්සට තල්ලු උනේ වානි එයාගෙ ලස්සන රෝස මල් පොකුර එක්ක කේසර ව  බදාගෙන ඉඹගන්න කොටයි.

හායි භානු  කියලා කේසර මාව තුරුල් කරගත්තට ඉක්මනින් මාව අත ඇරියා. මට ඕනෙ වුනා ඒ වෙලාවෙම එයාට කියන්න අපේ තාත්තලා කැමැති ඇවිල්ල හම්බවෙන්න කියලා කියන්න.

වානි එයාගෙ මාද්‍ය යාලුවො එක්ක කේසර ව වටකරගන්නකොට මාව නිකම්ම පිටිපස්සට  තල්ලු වෙලා ගියා. පහුවදා මට කැම්පස් එකේදී කේසර ව හම්බවුණා . හැබැයි ගොඩක් වෙලා කතා කරන්න හම්බ උනේ නැහැ. එයා අර ගත්ත සම්මානයට සුභපතන්න ගොඩක් අය එයත් එක්ක කතා කරන්න ආවා.
පුරුදු තැන පුරුදු වෙලාවටම…
කියලා විතරක් එයා ආපහු ඩිපාට්මන්ට් එක ඇතුලට ගියා.
රෙඩ් සන් ලැගූන් එකේ මුල්ලෙම තියන මේසේ කේසර එනකං මම පැය එකහමාරක් බලාගෙන හිටියා.

සොරි .. ෆිල්ම් එක ගැන press conference එකක්.. මට එන්න වෙන්නේ නැහැ..

කේසර  වට්සැප් මැසේජ් එකක් එවලා තිබුණා.අවුරුදු පහළොවේ දාසයේ පොඩි කෙල්ලෙක් වගේ පොලොවෙ හැපි හැපි අඬන්න මට උවමනා උනාට  මම දැන් ඉන්න වයසත් ජීවිතය ලබල තියෙන අත්දැකීමුත්  එක්ක  නිරායාසයෙන්ම මගේ හිතෙන් එන මානුෂීය හැඟීම් පාලනය කරගන්න පුලුවන් තැනක මම හිටියා.  එදා  මගේ කඳුළු ග්‍රන්ථි අයිස් වගේ වේලුනා.

බටර් බෝංචි වල පාටට උදුපියලිය පෙති තරම් චූටි කොළපාට නූල් වලින් මහපු සාරියක් ඇඳගෙන කේසර ළඟින්ම වාඩිවෙලා උන්නෙ වානි. මධ්‍ය සාකච්ඡාවට හැම මාධ්‍ය නාළිකාවකින් ම සම්බන්ධ වෙලා හිටියා.

ශෙල් සම්මානනීය කල කේසර සිංහයා..
කියලා රෑ ප්‍රවෘත්තිවල සිරස් තල වලට කිව්වා.කේසර කතා කරන වෙලාවෙදි වානි මුතු ඇටයක් වගේ හිනාවෙවී හිටියා.

ගෑනුන්ගෙ හොඳම ජීස්පොට් එක තමයි කන ..
කියලා දවසක් කේසර
නැපෝලියන් එකේ තුන්වෙනි තට්ටුවේ හතරැස් මුල්ලේ තියලා තිබුණ සෝපාවේ දිගාවෙලා මාවත් තුරුළුකරගෙන කියපු කතාව මතක් උනා. කේසර මගේ පර්ස් එකේ තිබිච්ච ප්ලැටිග්නම්  රතු පාටින් නාබිය වටේට ලස්සන මල් වැලක් ඇන්දා. කේසර කිව්වා මල් වල ලස්සන මතු වෙන්නෙ   කොළ පාටින්  චූටි උදුපියලිය කොළ  දැම්මහමයි කියලා.වාණිගෙ සාරියෙ තිබිච්ච චූටි උදුපියලිය කොළ දැකලා  මට එක පාරටම කේසර එදා කියපු එක විදුලියක් වගේ මතක් උනා.
එහෙනම් එකත් එකටම වාණිගෙ සාරිය තෝරන්න ඇත්තෙ කේසර තමයි. නැත්නම් ඉතින් මම නොදන්නවට කවදහරි දවසක වානිගේ නාභිය වටේ කේසර උදුපියලිය වැල් අඳින්න ඇති…
මට දැනුනේ මාව දාලා පිච්චිලා යනවා වගේ….

මඟ වැරදුන ගඟකි….
හේතු කිසිවක් නොමැති…
අහසෙ පාවෙන වළා කුල ටත්..
තියෙනවා කාරණා……

දහවලෙත්  තරු කඩා වැටෙනවා තමා….
කාට පෙනුණි ද කවුද දුටුවේ එයා..
කඳුලු බිඳුවක් රවුම් හැඩයක ඔතා..
දුක සතුට මැද අතරමග අලවලා

කේසර  වැල් අකුරෙන් ලියපු කවි කෑල්ලක් මගේ පොතක් පිටිපස්සෙ තිබුණා .

මම පණ බයේ හිටියේ උඹ මේ මගුල හින්දා විභාගෙ ඇන ගනී කියලා. තාරු කිව්වේ එදා මාව බලන්න කෝට්ටේ ලොකු අම්මලාගේ ගෙදර ආපු වෙලේ.එහා පැත්තෙ ගෙදර නස්රියා ආච්චි මාර රසකට කන්ජි හදනවා . එයාගෙ එක මුණුපුරෙක් ෆ්ලයි ඩුබායි වල ගුවන් නියමුවෙක්. අනිත් කෙනා එන්ගලන්තෙ ආයතනය කලු.
නස්රියා ආච්චි  වැඩිපුරම කතා කළේ අපේ ලොකු අම්ම එක්ක විතරයි. ඔය විස්තර අපිත් එක්ක කිව්වේ නස්‍රියා  ආච්චිගෙ රසම රස කංජි කෝප්ප වලට දාන ගමං ලොකු අම්මා.

අම්මෝ මේ කන්ජි කෝප්පවල තියෙන මිදිවල විසාල..

තාරු කිව්වේ ඇස් දෙකත් ලොකු කරගෙන.

ඔව් ඔව් උන්දැගේ සනුහරයම ඉන්නේ ඩුබායිවල.බඩු පොට්ටනි පිටින් එවන්නේ.ඉස්තරම්ම රට ඉදි ඉස්තරම්ම ග්‍රේප්ස් සුල්තානා තමයි .
ලොකු අම්මා කිව්වේ අපිට වහලෙ උඩට යන්න දොර අරින ගමන්.අපේ අම්මයි තාත්තයි වගේ කවදාවත් යාලුවෙක් ආවහම අපි කතා කරන තැනට වෙලා මූණ බලාගෙන හිටියේ නැහැ.ලොකු අම්ම හැමදාම තාරු මාව හම්බවෙන්න ආවම  ලෝභ නැතුව වහලයට යන දොර ඇරලා දුන්නා.
මං එතැනට යන්න හරි ආසයි. එතනට ගියාම මම පුදුම විදිහට හිත නිවෙනවා. ලොකු අම්මගෙ ගෙදරින් විතරයි වහලයට යන්න වෙනම දොරක් තිබුණේ .අනිත් හැම ගෙදරකම අය වහලෙට එනවනම් බිම ඉඳලම තියන පඩිපෙලේ ඉඳලා නැගගෙන එන්න ඕනේ. ඒ ගෙවල් 18 ඉන්න මිනිස්සුන්ට එච්චර වෙලාවක් ගත කරලා වහලේ උඩට නගින්න තරම් පිස්සුවක් තිබුණේ නැහැ. මටනම් මගේ ඔළුව නිදහස් කරගන්න තිබිච්ච හොඳම තැන වහලෙ උඩ විතරයි. ඒක උඩ පුංචියට රෙදි වැලක් ගැටගහලා රෙදි වැනුවෙ අපියි  නස්‍රියා ආච්චියි විතරයි.
වහල උඩට වේවැල් පුටු දෙකක් ගෙනිහිල්ලා කන්ජි කෝප්ප දෙක බොන ගමන් නමක් ගමක් දන්නෙ නැති හද්ද ඈතින් පේන කඳු පන්තිය දිහා අපි දෙන්නම බලාගෙන හිටියා.

උබ දන්නවාද වානි ගැන වැඩක්..

මම නෑ කියල වචනෙන් කිව්වේ නෑ ඔලුව වැනුවා විතරයි.

වානි මහා අම්මණ්ඩියක්. ඔය ගෑනි ගේ සම්පූර්ණ නම වානියා ඩිකන්ස්..  තාත්තා සුද්දෙක් ලු.
එන් ජී ඕ එකක  මොකක්ද වැඩ කට ආපු ගමන් තමයි ලංකාවේ නැවතිලා තියෙන්නේ ඒ දවස් වල.
බම්බලපිටියේ අත්තනායක රෝඩ් එකේ පරණ පහේ තට්ටු දෙකේ ගෙයක් කුලියට අරගෙන තමයි සුද්දා ඉඳලා තියෙන්නේ. උදේ හවස ගෙදර වැඩ කරන්න ඇවිල්ල තියෙන්නේ  තිරුවානි කියලා දෙමළ ගෑනු කෙනෙක්. කොහොමහරි සුද්දට හිත ගිහිල්ලා තියෙනවා තිරුවානි ගැන. වානි හම්බවෙලා ගෙනල්ලා තියෙන්නෙත් ඔය අත්තනායක රෝඩ් එකේ ගෙදරටම තමයි.  ඊට පස්සෙ සුද්දා  රට ගිහිල්ලා තියෙනවා. කොහොම හරි ඊට පස්සෙ ඔය අත්තනායක රෝඩ් එකේ ගෙදර සුද්දා සල්ලි වලට අරගෙන තිබිලා තියෙන්නේ. වානි ඩිකන්ස්ගේ නමට සින්නක්කර ගෙදර ලියලා තමයි සුද්දා රට ගිහිල්ලා තියෙන්නෙ. ඌ ආපහු ඇවිල්ල නැහැ. මේ ගොල්ලන්ව ආපහු ඒ රටට ගෙන්න ගන්න අදහසකුත් ඒ මනුස්සයට තිබිලා නැහැ.

ඊට පස්සේ ඒ ගොල්ලෝ ජීවත් වෙලා තියෙන්නෙ කොහොමද..

නමක් ගමක් නොදන්න කඳු පන්තිය දිහා බලාගෙන ඉවර වෙලා තිබිච්ච කන්ජි කෝප්පෙ බිමින් තියෙන ගමන් මම ඇහුවා.

තිරුවානි හොඳ ගෑනියෙක් නෙමෙයි. ඒ ගෑනි සල්ලිකාර මිනිස්සු පස්සෙ ගිහිල්ලා තමයි කොහොම හරි ඔය ළමයව ලොකු කරල තියෙන්නෙ.

උඹ කොහොමද ඔච්චර විස්තර දන්නෙ..

තාරු හිනාවෙවී කන්ජි බිව්වෙ ඔලුවත් හොල්ල හොල්ල…

උබ දන්නවනේ මම ලඟකදී ඉඳන් කාන්තා සඟරාවක වැඩ කරනවා කියලා. ඒකට ඕන වුණා මෑතක ඉඳලා ජනප්‍රිය වෙච්ච කවුරුහරි කාන්තා චරිතයක ගේ විස්තර ලියන්න. බොසා  මට කිව්වෙම වානි ගැන ලියමු කියලා . අන්තිමේදී ඇත්ත විස්තර හොයාගෙන ඇවිල්ලා කිව්වහම බොසා ටිකක් පස්ස ගැහුව ඒව ලියන්න. පස්සෙ අර ආනන්දනීගෙ විස්තර හොයලා ලිව්වා.

ඇයි වානි ගැන ලියන්න බැහැ කියලා කිව්වේ.. ඒ විස්තර නැගලා යනවනේ…

ඒක මහා කුණු ගොඩක් නේ.ඕව ලියන්න ගිහිල්ලා අන්තිමට නඩු දාගන්න තමයි වෙන්නේ.ඒ ගෙදර හැමතිස්සෙම මැති ඇමතිලා එකෙක් දෙන්නෙක් ඉන්නවා ම තමයි ලු.වාණිගෙ අම්මගෙ හොදම කස්ටර්මර්ස්ල  තමයි. මේ පටන් ගත්තු ගමන් සගරාව තහනම් කර ගන්න බොසාට බෑ කියලා කිව්වා.

කිසිම කෙනෙක් එක්ක මගේ හිතේ තරහක් නෑ තාරු. කේසර මගේ හිතේ අමතක කරන්න බැරි මතක ගොඩක් ඉතුරු කරපු බව ඇත්ත.ඒ උනාට එයාට මාව ගැලපෙන්නේ  නැති හින්දයි ඒ විදියට මාව අතහැරලා ගියේ. මම අඩලා හැපිලා කේසරගේ ඇඟේ එල්ලිලා හිටියයි කියලා මම හොයන ලෝකය මට එතනින් හම්බ වෙන්නේ නැහැ.එයා වානිට කැමතිනම්  මට හොරෙන් හරි ආපහු ගිහිල්ලා එයා  වානි එක්ක එකතු වෙයි .

More Stories

Don't Miss


Latest Articles