කටට සැරට රාමෙන් නූඩ්ලස් ගෙදරම හදමුද?

ඔන්න ඉතිං අද අපි කතා කරන්න යන්නෙ චීනය සහ ජපානය පසුබිම් කරගෙන නිර්මාණය වුන අද වෙද්දි මුළු ලෝකය පුරාම හරිම ඉක්මණින් පැතිරිලා යන බොහොම රසවත් වගේම ජනප්‍රිය ආහාරයක් වෙලා තියෙන රාමෙන් නූඩ්ලස් ගැනයි. 

රාමෙන් නූඩ්ලස් කියන්නෙ සහල් පිටි, ලුණු, වතුර සහ කන්සුයි (kansui) කියන ඇල්කලින් වර්ගයේ ජලය එකතු කරල හදන නූඩ්ලස් වර්ගයක්. සාමාන්‍ය නූඩ්ලස් වලින් රාමෙන් නූඩ්ලස් වෙනස් වෙන්නෙත් රාමෙන් නූඩ්ලස් වලට එක්කරන මේ කන්සුයි වතුර නිසයි.

රාමෙන් නූඩ්ලස් පිළිගැන්වෙන්නෙ මිරිස්, මස් හෝ එළවළු තම්බාගත් වතුර එකතු කරලයි. 

ඉතිං, මේ සාම්ප්‍රදායික ක්‍රමය කොහොම වුනත් අද වෙද්දි විවිධ වෙනස්කම් වලට ලක්කරල විවිධ රස වලින් සහ ඉක්මණින් ආහාරයට ගන්න පුළුවන් විදිහට රාමෙන් නූඩ්ලස් වෙළඳපොලේ දකින්න ලැබෙනව.

සහල් පිටි වලට අමතරව බොහෝවිට තිරිඟු පිටි වලින් නිෂ්පාදනය කරල තියෙන නූඩ්ලස්, විවිධ රසකාරක සහ වර්ණක අඩංගු ඒ රාමෙන් නූඩ්ලස් දිගින් දිගටම ආහාරයට ගැනීම අපේ ශරීරයට හිතකරද කියන ගැටළුව මතුවෙනවනේ. 

අන්න ඒ නිසයි නිවසේ එදිනෙදා ආහාරයට ගන්න අමුද්‍රව්‍ය පාවිච්චි කරල රසට, සැරට රාමෙන් නූඩ්ලස් හදන්නෙ කොහොමද කියල අපි අද ඔබට කියල දෙන්න හිතුවෙ. එහෙනම් මුලින්ම බලමුද අපිට සූදානම් කරගන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය

ඕනෑම වර්ගයක නූඩ්ලස් පැකට් 01 ක්

කුකුල් මස් (පපුව කොටස නම් වඩා හොඳයි) 150 – 200 g ක්

ලූණු ගස් දෙකක් 

සුදුළූණු 30 g ක් 

බටර්, මාගරින් 10 g ක්

තෙල්

බිත්තර 01 ක්

ගම්මිරිස් කුඩු 

මිරිස් කුඩු

ලුණු කුඩු 

වතුර 500 ml ක් 

සාදාගන්නා ආකාරය

මුලින්ම ලූණු ගහේ කොළ සහ සුදු පැහැති කොටස් වෙන වෙනම කුඩා කැබලි වලට කපාගන්න. 

සුදුළූණු සිහින්ව පෙති කපාගන්න.

කුකුල් මස් කැබලි වෙන් නොවෙන සේ පිහියක් භාවිත කර දිගට තීරු අඳින්න. නැත්නම් ගෑරුප්පුවකින් සිදුරු කරන්න. 

ලුණු සහ ගම්මිරිස් කුකුල් මස් කැබලි වලට ඉස හොඳින් අතගා ටික වේලාවක් තබන්න.

බිත්තරය තම්බා ගන්න. 

දැන් භාජනයක් ලිපතබා එයට තෙල් සහ බටර් එක්කර ගන්න.

තෙල් රත්වන විට එයට සූදානම් කරගත් කුකුල් මස් කැබලි දමා දෙපැත්ත පෙරළමින් හොඳින් බැඳගන්න. 

ඒ අතරම ලූණු කොල වල සුදු පැහැ කොටස සහ සුදුළූනුත් එක්කර බැදෙන්නට හරින්න.

කුකුල් මස් වල වටේ රන්වන් පාටට බැඳීගෙන එන විට එයට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු සහ ලුනු කුඩු ඔබේ රස අනුව එකතු කර ගන්න.

මේ කුළු බඩු හොඳින් කලවම් කරගෙන එයට වතුර 500 ml ක් සහඑක්කර හොඳින් මිශ්‍රකරන්න.

වතුර නටන විට මේ භාජනයටම නූඩ්ලස් එක්කර තැම්බීමට තබන්න.

නූඩ්ලස් එක්කර විනාඩි 04 කට 05 කට පසු අපේ රාමේන් නූඩ්ලස් සෑදී අවසන්.

දැන් තරමක් ගැඹුරු භාජනයක් ගෙන එයට නූඩ්ලස් සහ සුප් මිශ්‍රණය එක්කර එහි ඇති කුකුල් මස් කැබලි සුප් මිශ්‍රණය උඩින් තබා තම්බාගත් බිත්තරයත් දෙකට පලා උඩින් තබා ගන්න. 

ලූණු කොළ වල කොළ පැහැති කොටසත් උඩින් තබා සරසා පිළිගන්වන්න පුළුවන්.

ලූණු කොළ වෙනුවට උණු වතුරේ තම්බාගත් බොක් චෝයි කොළ එකතු කරගන්න ඔබට පුළුවන්.

ඒ වගේම කුකුල් මස් වෙනුවට ඔබ කැමති වෙනත් මස් වර්ගයක් යොදාගන්නත් පුළුවන්. 

එහෙනම් කෘතීම රසකාරක වර්ණක නැතුව පොඩ්ඩන්ට වුනත් කන්න පුළුවන් විදිහට රසම රස රාමෙන් නූඩ්ලස් ඊළඟ පාර ගෙදරදිම හදාගමුද?

Related Articles

Don't Miss


Latest Articles