තායි ක්‍රමයට fried rice හදමු

විවිධ රටවලට ආවේණික විවිධ රස වලින් යුතු කෑම වර්ග අත්හදා බලන්න රස විඳින්න කැමති අපේ smart ladies ල වෙනුවෙන්ම ඔන්න තවත් හරිම රසවත් කෑමක් අරන් තමයි අද අපි ඔබත් එක්ක එකතු වෙන්නෙ.

අද අපි ඔබට කියල දෙන්නෙ හරියටම තායි ෆ්‍රයිස් රයිස් එකක් හදාගන්නෙ කොහොමද කියලයි.

තායිලන්තය කියන්නෙ අපි වගේම ආසියාතික රටක්නෙ.

ආසියාතික රටවල් වලට අනන්‍ය ටිකක් සැර කෑම තායිලන්තයෙත් දකින්න ලැබෙනව. ඊට අමතරව තායි වැසියන් ඔවුන්ගේ බොහෝ කෑම වර්ග සාදද්දී විවිධ වර්ගවල සෝස් එකතු කිරීමත් බොහොම සුලභයි.

ඉතිං තායි ෆ්‍රයිඩ් රයිස් සාදද්දිත් මේ විදිහට සෝස් වර්ග එකතු කරනව.

මේ අමුද්‍රව්‍ය මේ විදිහටම යොදා ගැනීමෙන් තායි ෆ්‍රයිඩ් රයිස් වලට ආවේණික රස සහ සුවඳ ලබාගන්න ඔබට පුළුවන් කියලත් අපි මතක් කරන්න කැමතියි. 

එහෙනම් මුලින්ම බලමු අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල. 

තායි ෆ්‍රයිඩ් රයිස් (thai fried rice)

අවශ්‍ය ද්‍රව්‍ය (හතර දෙනෙක් සඳහා) 

  • මස් 250 g ක්
  • වතුර මේස හැඳි 01 ක්
  • තෙල්
  • ඔයිස්ටර් සෝස් තේ හැඳි 01 ක්
  • බඩ ඉරිඟු පිටි / cornstarch තේ හැඳි ½ ක්
  • පිසගත් බාස්මති බත් කෝප්ප 05 ක්
  • ඉඳුණු කොච්චි කරල් 03 ක් හෝ 05 ක්
  • කොටු හැඩයට කපන ලද ලොකු ලූණු කෝප්ප ½ ක්
  • කොටු හැඩයට කපන ලද රතු බෙල් පෙපර් කෝප්ප ¼ ක් 
  • දිගට කපන ලද චයිනීස් බ්‍රොකලි කොළ හෝ නිවිති කොළ කෝප්ප 01 ක්
  • කුඩාවට කපන ලද සුදුලූණු බික් 03 ක්
  • බැසිල් කොළ කෝප්ප ⅓ ක්
  • කුඩාවට කපාගත් ලූණු ගස් 02 ක් 03 ක්
  • උණු වතුර මේස හැඳි 01 ක්
  • දුඹුරු සීනි තේ හැඳි 01 ක් 
  • ෆිෂ් සෝස් මේස හැඳි 02 ක්
  • සෝයා සෝස් මේස හැඳි 01 ක්
  • ගම්මිරිස් කැබලි ¼ ක්
  • ලුණු කුඩු 
  • බිත්තර 02 ක් හෝ 03 ක්
  • දෙහි හෝ ලෙමන් පෙති කීපයක්
  • පිපිඤ්ඤා හෝ ගර්කින් පෙති කීපයක්

සාදාගන්නා ආකාරය

භාජනයක් ගෙන එයට මස්, වතුර, කෝන් පිටි, තෙල් මේස හැඳි 01 ක් සහ ඔයිස්ටර් සෝස් එක්කර හොඳින් කලවම් කර රැයක් ශීතකරණයේ තබන්න.

ෆ්‍රයිස් රයිස් සෑදීමට සූදානම් වන වෙලාවට මස් මිශ්‍රණය ශීතකරණයෙන් ඉවතට ගන්න.

වෙනම භාජනයක් ගෙන එයට උණුවතුර, සීනි, ෆිෂ් සෝස්, සෝයා සෝස් සහ ගම්මිරිස් එක්කර සීනි දියවනතුරු හොඳින් කලවම් කර ගන්න. 

භාජනයක් ගෙන එයට බිත්තර දෙක දමා සුදු මදය සහ කහ මදය හොඳින් මිශ්‍ර කරගන්න. 

භාජනයක් ලිප තබා එයට තෙල් මේස හැඳි 1 ½ ක් දමා තෙල් රත්වන විට බිත්තර දෙක තෙලට දමා ගන්න.

හැන්ඳකින් හැඳි ගාමින් බිත්තර කැබලි සිටින සේ පිසගන්න. (ස්ක්‍රැම්බල් එග් ආකාරයට)

දැන් ඒ බිත්තර ටික වෙනම භාජනයකට ඉවත් කරගන්න.

ලිපේ ඇති භාජනයට නැවත තෙල් මේස හැඳි 01 ක් පමණ දමා කුඩාවට කපා ගත් මස් කැබලි ටික එයට එක්කර ගන්න.

රන්වන් පැහැයට හැරෙන තුරු බැඳ මස් කැබලි ටිකත් ලිපෙන් ඉවත් කරගන්න.

දැන් නැවත භාජනයට තෙල් මේස හැඳි 01 ක් පමණ දමා තෙල් රත්වන විට කුඩාවට කපාගත් ලූණු, බෙල් පෙපර් සහ කොච්චි එක්කර ගන්න.

හොඳින් කලවම් කර විනාඩියක් පමණ තබා සුදුලූණු සහ පිසගත් බත් එක්කර හොඳින් කලවම් කරගන්න. 

විනාඩියක් පමණ තබා සූදානම් කරගත් සෝස් මිශ්‍රණය සහ චයිනීස් බ්‍රොකලි හෝ නිවිති කොළ එක්කර කලවම් කරන්න. විනාඩියක් පමණ තබා බැදගත් මස් සහ බිත්තර එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් රස අනුව අවශ්‍ය නම් ලුණු කුඩු එක්කර විනාඩියක් දෙකක් තබා ලිපෙන් ඉවත් කරගන්න.

බැසිල් කොළ සහ ලූණු කොළ එක්කර හොඳින් කලවම් කරගන්න. බැසිල් කොළ මැලෙවෙන තුරු තබා ලිපෙන් ඉවත් කරගන්න. 

පිපිඤ්ඤා පෙති කීපයක් සහ දෙහි හෝ ලෙමන් පෙත්තක් සමඟ පිළිගන්වන්න.

කෑමට ගන්නා විට දෙහි හෝ ලෙමන් යුෂ එක්කර නියම තායි බතක රස විඳින්න ඔබට පුළුවන්.

එහෙනම්, ඊළඟට එන විශේෂ දවසට රසම රස තායි බතක් මේ විදිහට හදල බලමුද ?

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles