විකුමන්තිට උසස් පෙළ හරියට සමත් වෙන්න් පුලුවන් වුනේ නෑ. පලවෙනි වතාවේ විකුමන්තිට ඇස් ලෙඩ හැදුණා. දෙවෙනි වතාවේ තමයි විකුමන්තිට කොරෝනා ආසාධනය වුනා. පෞද්ගලික රෝහලේ ඉඳන් පාඩම් කරලා, විභාගෙට පෙනී සිටියත් සාර්ථක වුනේ නැහැ. විෂයන් දෙකක්ම අසමත්. තුන්වෙනි වතාව කලේ අවුරුද්දක් අතෑරලා. තුන්වෙනි විෂයට කලින් දවසේ හවස විකුමන්තිගේ අම්මයි තාත්තායි ගමන් කරපු යතුරු පැදිය ටිපර් රථයක හැප්පුණා. තුන්දෙනාම එතැනම නැති වුණා.
අසිහියෙන් එහෙ මෙහෙ දිව්වා ඇරෙන්න උසස්පෙළක් ගැන විකුමන්තිට අදහසක් තිබුනේම නැහැ.
තට්ටු දෙකේ ගෙදරක්, හන්දියේ සිල්ලර බඩු කඩයක්, පොඩි කාර් එකක්, බැංකු පොත් වල සල්ලි කන්දරාවක් එක්ක විකුමන්ති තනි වුණා. නෑදෑයෝ කප්පරක් ඉන්නවා වුනත්, ජීවිතේ ඉස්සරහට යන්න උදව් කරන්න ඒ කිසිම කෙනෙක් නැති බවත් විකුමන්ති හරිම ඉක්මනට තේරුම් ගත්තා. හැමෝම උත්සාහ කලේ විකුමන්තිව යටපත් කරගෙන දේපල මුදල් වල හිමිකාරත්වය ගන්න.
අවශ්‍ය දෙයක් මිලදී ගන්නවත් තාත්තා ගේ කඩේට ගිහිල්ලා නැති විකුමන්ති තුන් මාසේ දානෙන් පස්සේ කඩේ විවෘත කරන්න තීරණය කලා. පලවෙනි ඇමතුම ගත්තේ කඩේ වැඩට හිටපු සිරිපාල මාමට. සිරිපාල මාමයි, එයාගේ හාමිනෙයි, පුතයි, දුවයි හතර දෙනාම පහුවෙනිදා පාන්දරම ගේ දොරකඩ.
“චූටි නෝනා මට යතුරු දෙන්න.. මං අපේ මාය්යත් එක්ක අස් පරස් කරන්නම්…”
“යමු..සිරිපාල මාමේ… මාත් එන්නම්…”
විකුමන්ති ඉස්සර වුණා. කඩේ ඇතුළේ තිබුණේ අපිළිවෙල අපිරිසිදු බව විතරමයි. තැන තැන බඩු ඔහේ දාලා තිබුණා. සමහර බඩු කොළඹින් ගෙනාව ගමන්මයි. තාත්තා කොච්චරක් නම් මහන්සී වෙන්න ඇද්ද ?
සිරිපාල මාමාගේ පුතත් උසස්පෙළ අවසන් කරලා සරසවි වරම් ලබලා හිටියේ. විකුමන්තිලට අවුරුද්දක් වැඩිමල්. ආර්ථික අපහසුකම් නිසාම අවුරුදු දෙකක්ම විභාගේ නොකර රත්නපුරේ ගිහින් මැණික් පතලක වැඩ කරලා. ඊට පස්සේ තමයි ආයේ සිරිපාල මාමාගේ කටේ බලේට විභාහේ කරලා තියෙන්නේ.
පස් දෙනා එක්ක හරි හරියට වැඩ කලා. විකුමන්තිට සෑහෙන්නම මහන්සී වුනත්, අනෙක් හතර දෙනාට වැඩ කරන්න දීලා නිකන් හිටියේ නම් නැහැ. දවල්ට කන්න උයාගෙන ආවේ සිරිපාල මාමාගේ හාමිනේ.
දවස් දෙකකට පස්සේ විකුමන්ති කඩේ ඇරියා. සිරිපාල මාමයි, එයාගේ පුතා වුන දුමින්දයි දෙන්නම කඩේ උදව්වට ආවා. කඩේ ඇරපු ආරංචිය එක්ක නෑදෑයෝ එක්කෙනා දෙන්නා දුරකතන ඇමතුම් දෙන්න ගන්න ගත්තා. හැමෝම උත්සාහ කලේ කැශියර් එකේ වාඩිවෙන්න. සිරිපාලලව විශ්වාස කරන්න එපා කියලා විකුමන්ති ගේ හිත වට්ටන්න.
ඒත් විකුමන්ති පොඩි වයසෙන් වුනත් හොඳ අවබෝධෙන් හිටියේ. මාසයක් විතර යනකල් විකුමන්ති කඩේ වැඩ ගැන ඇරුනම අනෙක් කිසිම දෙයක් හිතුවේ නෑ.
මාස පහක්ම ගෙවෙනකොට විකුමන්තිට ව්‍යාපාර ගැන යම් අවබෝධයක් තිබුණා.
ඒ අතරේදී සරසවි වරම් ලබලා තිබුණ සිරිපාල මාමාගේ පුතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පිටත් වුණා. යන්න කලින් දවසේ හවස විකුමන්ති දුමින්ද එක්ක නගරේ කඩේට ගියා. ඒ විකුමන්ති ගේ ගෙදර තිබුණ කාර් එකෙන්. තවම විකුමන්තිට ලයිශන් නැති නිසා කාර් එක පැදෙව්වේ දුමින්ද. ඒ ගිහින් ,සෑහෙන්නම තරමක ප්‍රයෝජන ගන්න පුලුවන් ජංගම දුරකතනයක් මිලයට ගත්තා.
ඒක දුමින්දගේ උකුල උඩින් තිව්වේ ගෙදර ට කිට්ටු කරලා.
“කැම්පස් ගිහින් ලස්සන කෙල්ලෙක් සෙට් වුනාම ඔය පොඩි ෆෝන් එකෙන් මල් කඩන්න බෑනේ.. ඕක තියාගන්න…”
විකුමන්ති දාහක් කතන්දර එක වාක්‍යකින් කිව්වා. දුමින්දට ප්‍රතික්ෂේප කරන්න පුලුවන් කමක් තිබුණේ නෑ. ඒ තත්පරේට පස්සේ දුමින්ද විකුමන්ති ගැන අයිතිවාසිකම් හදාගත්තා. තාත්තාට කිව්වා අම්මයි , නංගියි එක්ක විකුමන්ති ගැන වැඩිපුර හොයලා බලන්න කියලා. විකුමන්තිට තනියට කාන්තාවක් හොයලා නැවැත්තුවා. විකුමන්ති ඒ ආදරේ හරි බරට දරාගත්තා.
හැම මාසේම විකුමන්ති දුමින්දගේ විශ්ව විද්‍යාලයේ වියදම් වෙනුවෙන් ගානක් බැර කලා. ඒ වෙනකොට තමන්ගේ ජීවිතේ ඇතුලෙ විකුමන්තිට තියෙන ඉඩ තීරණය කරලා තිබුණ දුමින්ද ඒ මුදල දරාගත්තේ වගවීමෙන්.
කාලේ හරි වේගෙන් යන්න ගත්තා. පලවෙනි අවුරුද්ද ඉවර වෙනකොට දුමින්ද කාර්‍යබහුල වෙන දවස් ගාන වැඩි වුණා. ඉංග්‍රීසි භාෂාවෙන් දේශන අවබෝධය කරගන්න එක අපහසු නිසා ඒ වෙනුවෙන් වැඩි කාලයක් වැය කරන්න වුණා.
ඒත් ඒ අතරේ විකුමන්තිගේ ජීවිතේ වෙනුවෙන් සැලසුම් ඉවර වුනේ නැහැ.
“කැම්පස් යන්න නෙවෙයි . ඒත් සබ්ජෙක්ට් තුන ගොඩ දාගන්න… ඊළඟ අවුරුද්දේ එග්සෑම් කරන්න ලෑස්ති වෙන්න…”
විකුමන්තිට ඒ යෝජනාව ඉක්මවලා යන්න ඉඩක් ලැබුණේ නැහැ. පුලුවන් හැම වෙලවේම දුමින්ද විකුමන්තිට උදව් කලා. ඒ අතරේ විකුමන්ති ලයිශන් ගත්තා. සිරිපාල මාමලාව එක්කරගෙන දුමින්ද බලන්න පේරාදෙණියේ ත් ගියා.
අන්තිමේදී විකුමන්ති උසස් පෙළ සමත් වුණා. දුමින්ද විකුමන්තිට යෝජනා කලේ ව්‍යාපාර කළමණාකාරණය උපාධියක් පටන් ගන්න. සති අන්තේ දේශන වලට නුවර එන විදියට ඒ සැලැස්ම හදාගන්නත් පුලුවන් වුණා.
කඩේ සම්පූර්ණ වගකීම සිරිපාල මාමටයි, බිරිඳටයි පැවරුණා. විකුමන්තිගේ ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවන්න ගත්තා.
සරසවියේ හතරවෙනි අවුරුද්දක වෙනකොට දුමින්ද ගමේ පැල තවානක් ආරම්භ කලා. ඒ වෙනකොට වචන වලට පෙරලිලා හුවමාරු වෙලා නොතිබුණ ආදරේ කතන්දරේ ට අලුත් පාටක් වැටුණා.
“විකූම් ප්ලාන්ට් නර්සරි…”
විකුමන්තිට හිතාගන්න බැරිව ගියා. එදා හැමෝගෙම ඉස්සරහදී දුමින්දව වැලඳගත්තා. දෙන්නාගේ අප්‍රකාශිත ප්‍රේමය ගැන දැනගෙන හිටපු දුමින්දගේ යාලුවෝ නම් අත්පුඩි ගහන ගමන් දෙන්නට සුබ පැතුවේ.
ඒත් ප්‍රේමය වචන වලින් කියවුනේ නැහැ. දෙන්නටම ඒකේ හිඩැසක් පෙනුනේත් නැහැ.
දුමින්ද උපාධිය ගත්තා. පෞද්ගලික සමාගමේ ලැබුණ රැකියා අවස්තාව අතෑරලා පැල තවාන පුළුල් කරන සැලසුම් හැදුවා. පොලි ටනල් තුනකට විකුමන්ති ආයෝජනය කරා. ජීවිත හරි පහසුවෙන් උස් වීගෙන එන බව තේරුණා.
ඊළඟ අවුරුද්දේ විකුමන්ති උපාධි ලෝගුව දැම්මා. එදාම හවස දුමින්ද විකුමන්තිගේ ඇඟිල්ලට මුද්දක් දැම්මා.
“මේ මුද්ද නිසා ඔයාගේ ජීවිතේ හිර වෙන ඕනිම වෙලාවක ඔය මුද්ද ගලවල දාලා ඈතටම පියාඹන්න…”
දුමින්ද එහෙම කියනකොට විකුමන්ති දුමින්දව බඳාගෙන ඇඬුවා. ඉබාගාතේ යන්න තිබුණ ජීවිතේ පිළිවෙලක් වෙනකල් තටු විහිදවගෙන තමන්ව වගගෙන හිටියට පින් දුන්නා.
සිරිපාල මාමලා මේ හැමදේම අවබෝධ කරගෙන හිටියත් , තවම මේ දේවල් විශ්වාස කරගන්න අමාරුවෙන් වගේ දෙන්නා දිහාව බලාගෙන හිටියේ.
“ඔයා මගේ ජීවිතෙන් තුන් කාලකුත් අරික්කාලක්…. ඉතිරි ටික අනෙක් මුලු ලෝකෙටම ඉතුරු…”