රසම රස සෝස් වර්ග ගෙදරදීම ලේසියෙන් හදාගමු

හවස තේ වෙලාවට පිළියෙළ කරගත්ත උණුසුම් කෙටි කෑමක ගාගෙන කන්න කටට රසට වගේම සැරට කෘතීම රසකාරක වර්ණක එකතු කරල නැති රසම රස සෝස් වර්ග කීපයක් ගෙදරදිම හදාගන්න තිබ්බොත් කවුද අකමැති නේද?

ඔන්න එහෙනම් අපිත් එක්ක එකතු වෙන්නකෝ.

අද අපි බලමු බොහොම ලේසියෙන් පහසුවෙන් පිළියෙල කරගන්න පුළුවන් සෝස් වර්ග කීපයක් හදාගන්නෙ කොහොමද කියල?

මේ අමුද්‍රව්‍ය මිළ ටිකක් අඩු කාලෙට අරන් සෝස් හදල තියාගන්නත් අපේ smart යුවතියන්ටම ගැළපෙන smart අදහසක් කියල අමුතුවෙන් මතක් කරන්න ඕන නෑනෙ.

Sweet Chilli Sauce ( ස්වීට් චිලි සෝස්)

අවශ්‍ය ද්‍රව්‍ය

වතුර කෝප්ප 01 ක් 

වේලාගත් මිරිස් කරල් 04 ක්

සීනි කෝප්ප ⅓ ක්

විනාකිරි කෝප්ප ⅓ ක්

කුඩාවට කපාගත් සුදුළූණු මේස හැඳි 01 ක්

ලුණු කුඩු තේ හැඳි ¼ ක්

බඩ ඉරිඟු පිටි / කෝන්ෆ්ලා මේස හැඳි 01 ක්

වතුර මේස හැඳි 02 ක්

සාදාගන්නා ආකාරය

මුලින්ම භාජනයක් ගෙන එයට වතුර කෝප්ප 01 ක් සහ වියළි මිරිස් කරල් 04 දමාගෙන විනාඩි 05 ක් 07 ක් අතර කාලයක් හොඳින් රත්වීමට තබන්න. 

ඉන්පසු වතුර නිමෙන තුරු තබා මිරිස් සහ වතුර මිශ්‍රණය බ්ලෙන්ඩරයේ කෝප්පයට දමා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් විනාඩියක් පමණ හොඳින් අඹරා ගන්න.

(සාමාන්‍ය ප්‍රමාණයේ මිරිස් කැබලි ලැබෙන සේ)

අඹරාගත් මෙම මිශ්‍රණය නැවත කලින් භාජනයට දමා ලිප පත්තු කර එයට සීනි, විනාකිරි, සුදුළූණු, ලූණු එක්කර විනාඩි 10 ක් පමණ හොඳින් කලවම් කරමින් පිසගන්න.

මේ අතර වෙනත් කුඩා භාජනයක් ගෙන එයට බඩ ඉරිඟු පිටි සහ වතුර මේස හැඳි 02 එකතු කර බඩ ඉරිඟු පිටි හොඳින් දියවනතුරු කලවම් කරගන්න.

සාදාගත් මෙම බඩ ඉරිඟු පිටි මිශ්‍රණය ලිපේ ඇති මිරිස් මිශ්‍රණයටම දමා හොඳින් හැඳිගාමින් විනාඩි 08 ක් 10 ක් පමණ මඳ ගින්නේ පිසගන්න.

දැන් අපි සෝස් පිළියෙල කර අවසන් ලිප නිවා හැඳිගාමින් විනාඩියක් පමණ සිට සෝස් මිශ්‍රණය නිමුණු පසු හොඳින් සෝදා වේලාගත් වීදුරු බෝතලකට අසුරා ශීතකරණයේ තබා මාස 03 ක් පමණ භාවිතා කරන්න ඔබට පුළුවන්. 

Green Chilli Sauce (ග්‍රීන් චිලි සෝස්)

අවශ්‍ය ද්‍රව්‍ය

අමු මිරිස් 200 g ක් (අමු මිරිස් 100 g ක් සහ නයි මිරිස් 100 g ක් භාවිතා කරන්නත් පුළුවන්)

විනාකිරි 175 ml

සූදුරු තේ හැඳි 02 ක්

5 cm ක ඉඟුරු කැබැල්ලක්

ලුණු කුඩු තේ හැඳි 1 ½ ක්

තෙල් මේස හැඳි 03 ක්

සාදාගන්නා ආකාරය

මුලින්ම ඉඟුරු සහ මිරිස් කුඩා කැබලි වලට කපාගන්න.

භාජනයක් ලිපතබා එයට තෙල් එකතු කර තෙල් රත්වන විට සූදුරු එකතු කරන්න.

ඉන්පසු එයට කපාගත් මිරිස්, ලුණු කුඩු සහ ඉඟුරු එක්කර විනාඩි 02 ක් කලවම් කරගන්න.

දැන් මේ මිශ්‍රණයට වතුර එකතු කර හොඳින් කලවම් කර පියන වසා විනාඩි 15 ක් පමණ පිසගන්න.

විනාඩි 15 කට පසු මිරිස් මෘදුවී තද කොළ පැහැය ඉවත්වී ඇති බව ඔබට දැකගන්න ලැබේවී.

දැන් ලිපෙන් ඉවතට ගෙන ටික වේලාවක් නිමෙන්නට තබා විනාකිරි ටිකෙන් ටික එකතු කරමින් බ්ලෙන්ඩරයක් අධාරයෙන් මිරිස් මිශ්‍රණය අඹරා ගන්න. 

සෝස් මිශ්‍රණය හොඳින් නිමුණු පසු හොඳින් සෝදා වේලාගත් වීදුරු බෝතලකට අසුරා ශීතකරණයේ තබා මාස 02 ක් 03 ක් පමණ භාවිතා කරන්න ඔබට පුළුවන්. 

Tomato ketchup (ටොමැටො කෙචප්)

අවශ්‍ය ද්‍රව්‍ය

කුඩාවට කපාගෙන ඇට ඉවත් කරගත් තක්කාලි 2.5 kg ක්

කුඩාවට කපාගත් ලොකු ලූණු ගෙඩි 2 ½ ක්

අඟල් 02 ක පමණ ඉඟුරු කැබැල්ලක්

සුදුළූණු බික් 10 ක්

වේලාගත් මිරිස් කරල් 08 ක්

කරාබුනැටි 04 ක්

ගම්මිරිස් කුඩු 05 g ක්

අබ මේස හැඳි ½ ක්

විනාකිරි කෝප්ප ½ ක් 

ලුණු කුඩු 13 g ක්

සීනි 150 g ක්

සාදාගන්නා ආකාරය

ඉහත ද්‍රව්‍ය සියල්ලම එකම භාජනයකට දමා හොඳින් කලවම් කර පියනකින් වසා සාමාන්‍ය ගින්දරේ විනාඩි 05 ක් 07 ක් පමණ පිසගන්න.

ලිපෙන් ඉවතට ගෙන මඳ වේලාවක් නිමෙන්නට තබා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් මෙම තක්කාලි මිශ්‍රණය හොඳින් අඹරාගන්න.

අඹරාගත් තක්කාලි මිශ්‍රණය පෙනේරයක් අධාරයෙන් හොඳින් හැඳිගාමින් පෙරාගන්න.

පෙරාගත් තක්කාලි මිශ්‍රණය නැවත භාජනයකට දමා ලිපතබා අඩු ගින්දරේ හැඳිගාමින් කලවම් කරගන්න.

බුබුළු නඟින තරමට මිශ්‍රණය රත්වූ පසු ලිපෙන් ඉවතර ගෙන හොඳින් නිමෙන්නට තබා හොඳින් සෝදා වේලාගත් වීදුරු භාජනයක අසුරා ශීතකරණයේ මාස 02 ක් 03 ක් පමණ තබා භාවිතයට ගන්න පුළුවන්.

එහෙනම් හොඳ ස්වභාවික රසට හරිම ලේසියෙන් මේ සෝස් වර්ග පිළියෙල කරල බලමුද?

Related Articles

Don't Miss


Latest Articles