උසස් පෙළට පසු ඔබේ අනාගත වෘත්තීය ජීවිතය තෝරගන්නෙ මෙහෙමයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එහෙමත් නැත්නම් G.C.E. Advance Level Examination (GCE A/L) කියන්නෙ පාසල් ජීවිතයේ අපිට හමුවෙන අවසාන කඩඉම් විභාගය වගේම අපේ අනාගතය තීරණය කරන ඉතාම වැදගත් සංධිස්ථානයක් කියන දේ අපි කවුරුත් පිළිඟන්න කාරණාවක්නෙ.

පාස් ෆේල් සාමාර්ථ වලින් විශ්ව විද්‍යාල සහ විවිධ රැකියා සඳහා යොමුවීම අපිට දකින්න ලැබෙන බොහොම සුලභ කාරණාවක් වුනත් එතනින් එහාට ගිහිල්ල උසස් පෙළ විභාගයෙන් පස්සෙ ජීවිතේ ගොඩගඟා ගන්නෙ කොහොමද කියල හරි වැටහීමක් ඔබට ලබාදෙන්නයි අපි මේ ලිපියෙන් අද බලාපොරොත්තු වෙන්නෙ.

ඔබේ සාමාර්ථය කුමක් වුනත් මේ ලිපිය ඔබට ඉතාම වැදගත් වේවි කියල අපි විශ්වාස කරනවා. ඒ නිසා රැඳී ඉන්න අපිත් එක්ක. ඔබට යන්න පුළුවන් මාර්ග මොනවද කියල. 

ඔබ කරේ හරි දේද ?

ශිෂ්‍යයෙක් විදිහට පාසල් ජීවිතය තුළ ඔබ කැමති දේ ඉගෙන ගන්න සමහරවිට ඔබට අවස්ථාව ලැබෙන්න නැතුව ඇති. ගුරුවරු, දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන්ගේ පෙළඹවීම මත ඔබ ඉගෙන ගත යුතු විෂය ක්ෂේත්‍රය තෝරගන්න සිද්ධ වුණ අවස්ථා ඇති. 

සමහරවිට, ඔබේම තෝරාගැනීම් වුනත් ඔබේම ප්‍රශ්න කිරීම් වලට ලක්වුණ අවස්ථාත් ඇති. ඒ මොනව වුනත් ඔන්න ඒ සියල්ල අමතක කරල දාල හරිම දේ තෝරගන්න ඔබට දැන් අවස්ථාවක් ලැබිල තියෙනව. 

ඒ නිසා මුලින්ම ඔබ කැමති මොනවටද කියල තීරණය කරන්න. මොකද රැකියාව කියන්නෙ ඔබේ අකමැත්තෙක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නිසා මේ තෝරාගැනීම හරිම වැදගත්. 

ඉගෙන ගන්නවද? රැකියාවක් කරනවද?

රැකියාවකට යොමුවෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනව.

පළවෙනි ක්‍රමය තමයි උසස් පෙළ අවසන් කරල ආධුනිකයෙක් විදිහට රැකියාවක් කරන්න පටන් ගැනීම. ඊළඟට, ඔබ රැකියාව කරන්න කැමති ක්ෂේත්‍රයකින් උසස් අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය ලබලා ඒ සුදුසුකම් එක්ක රැකියාවකට අයදුම් කිරීම, එහෙමත් නැත්නම් ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ රැකියාවක් කරන අතරේම අධ්‍යාපනයත් ලැබීම. 

ඉතිං, මේ ක්‍රම වලින් ඔබ කැමති ඔබට පහසු ක්‍රමයක් ඔබ තෝරගන්න ඕන. 

ඉගෙන ගන්නෙ කොහෙද?

ඔබට උසස් අධ්‍යාපනය ලබන්න ඕනෙ නම්, ඔබේ උසස් පෙළ ප්‍රතිඵල මත රජයේ විශ්වවිද්‍යාලයකට, විවෘත විශ්වවිද්‍යාලයකට, රජයේ වෙනත් උසස් අධ්‍යාපන ආයතන වලට (HND, NDT,Teaching schools) වගේම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය හිමි පෞද්ගලික අධ්‍යාපන ආයතනය වලට අයදුම් කරන්න ඔබට පුළුවන්. 

නමුත්, විශේෂයෙන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතන වල වලංගුබව සහ පිළිගැනීම ගැන නම් ඔබ අනිවාර්‍යෙන් සොයා බලන්නම ඕන. 

https://www.ugc.ac.lk/index.php?option=com_content&view=article&id=101&Itemid=37&lang=en

වෘත්තීය අධ්‍යාපනය ලබන්න අවශ්‍ය නම්, NVQ සහතික ලබාදෙන රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වෙන,

වෘත්තීය පුහුණු ආයතනය https://course.vta.lk/

කාර්මික අධ්‍යාපන සහ පුහුණු කිරීමේ දෙපාර්තුමේන්තුව http://dtet.gov.lk/en/

තරුණ සේවා සභාව https://www.nysc.lk/

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය https://naita.gov.lk/

ලලිත් ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය https://lavtc.lk/

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය http://univotec.ac.lk/

ජාතික යොවුන් සේනාංකය https://youthcorps.lk/

කෘෂි විද්‍යාල https://doa.gov.lk/etc-agri-school-kundasale/

ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමණාකරණ ආයතනය https://www.slithm.edu.lk/

වගේ රජයේ ආයතන වගේම හොඳ ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යන පුද්ගලික ආයතනත් තෝරගන්න ඔබට පුළුවන්.  

ඒ වගේම ඔබ විදේශගත වෙන්න සූදානමින් ඉන්නව නම් ඒ සඳහා අවශ්‍ය භාෂා දැනුම වගේම වෘත්තීය දැනුමත් ලබා ගැනීම ඉතාම වැදගත්. 

මීට අමතරව ඔබ රජයේ රැකියා සඳහා අයදුම් කරනව නම් ගැසට් පත්‍ර වලට අනුව ඔබ සපුරාගෙන සිටිය යුතු සුදුසුකම් ගැන අවධානයෙන් සිටීමත් බැංකු විභාග වැනි විවිධ තරඟ විභාග සඳහා සූදානම් වීමත් අනිවාර්‍යයි. 

ප්‍රතිඵල මොකක් වුනත් ?

මේ අතර ඔබේ උසස් පෙළ විභාග ප්‍රතිඵලත් හරිම වැදගත්. නැවත වතාවක් උසස් පෙළ ලියන්න සූදානම් වෙනව නම් ඒ සඳහා ගැළපෙන හරි විෂය ක්ෂේත්‍රය තෝරගෙන සම්පූර්ණ කැපවීමෙන් උසස් පෙළ අවසන් කරන්න.

ඒ ප්‍රතිඵල කොහොම වුනත් ඔබේ ඉලක්කයට අනුව ඔබ ආරම්භ කළ ගමන නොසැලී ඉදිරියට යාම ඔබේ වගකීමක්. 

ඒ නිසා මේ ඔබට ලැබෙන අවසාන අවස්ථාව ලෙස සිතා තමන්ගෙ උපරිම කැපවීමෙන් අරමුණ ඉෂ්ඨ කරගන්න ඔබ මහන්සි වෙන්නම ඕන. 

ඉතිං මේ කරුණු ඔබේ අනාගත වෘත්තීය ජීවිතය ගොඩනගා ගන්න ඔබට උපකාරී වේ යැයි අපි විශ්වාස කරනවා.

හෙට දිනන්න අපෙන් සුබ පැතුම් !

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles