තමන් ගේ බඳ වටා වෙළුණ දෑත් වල අයිතිකාරයා මංජුල බව සයුරංගනා දුටුවේ කෑගසන්නට දැරූ උත්සාහයත් සමග පිටුපස හැරී හිස ඔසවා බැලීමේ දී ය. ඇයට කේන්තියක් සේ ම අප්පිරියාවක් ද දැනිණි. ඕ මංජුල ගේ ග්‍රහණය සිය දෑතින් ඉවත් කිරීමේ උත්සාහයක් දැරුවා ය. නමුත් ඒ අත් බාහු දඬු අඬු සේ ය.
“අත අරිනව මාව”
සයුරංගනා දත්මිටි කමින් සිය උත්සාහයෙහි යෙදුණා ය. මංජුල ගේ මුහුණෙහි ජාගර සිනහවක් ඇඳිණි.
“නිකං බොරුවට මහන්සි වෙන්න එපා සුදූ..දැන් මෙතන්ට කවුරුවත් එන්නෑ. බය වෙන්නැතුව ඉන්න”
මංජුල හිතන්නට ඇත්තේ ඇය ඒ විදිහට මෙල්ල කරගන්නට ය. ඇගේ දැඟලීම හා පොරබැදීම, කවුරුන් හෝ මේ සිදුවීම දකිනවාට බියෙන් ඇති වූ එකක් කියා ය. නො එසේව පිරිමියෙකු ගේ ඇල්ම බැල්ම නැතිව ලොව හුදෙකලා වූ ගැහැනියක ඕනෑ ම පිරිමියෙකුට ඕනෑ ම මොහොතක සිය හැඟුම් වලට අවනත කර ගන්නට බැරි කමක් නැත කියා ය.
“පිස්සුද මනුස්සයො…මොකද්ද මේ කරන්න හදන්නෙ…අත්අරිනව මාව..නැත්තං මං කෑගහනවා…”
“මෙතන ඉඳං කෑගැහුවට කාට ඇහෙනවද මැණිකෙ…අප්පච්චිත් එහෙ ගියානෙ. බය වෙන්න එපා. කවුරුවත් දැනගන්නෑ. ගිම්හාන් නැති වුණාට මං ඔයාට තනි වෙන්න දෙන්නෑ. ඔයා පුදුම ලස්සන ගෑනියෙක්නෙ. මට ඔයා ගැන බලාගන්න පුළුවන් රංගි”
“තමුසෙට මං මේ හොඳ හිතින් කියන්නෙ…අත්අරිනව මාව…”
“කේන්ති අරං ආදරේ කරන්නෙ කොහොමද පැටියො…ම්…”
සයුරංගනා අමාරුවෙන් පහත් වී ඔහු ගේ අත හැපුවේ බැරි ම තැන ය. ඒ හැපීම කොයි තරම් තදින් සිදු වූයේ ද යත් අත මුදා ගන්නට මංජුල දැරූ තැත ව්‍යාර්ථ වූයේ ග්‍රහණය ලිහිල් වෙමිනි. ඒ අවසරයෙන් ඉවතට පැන ගත් සයුරංගනා අතට හසු වූ, පිටි ගුලි තුනී කිරීමට ඇය පාවිච්චි කරනා රෝලර් පින් එකෙන් මංජුලගේ අතකට පහර දීගෙන ගියා ය. ඔහු එය වළකන්නට තැත් දැරී ද ඒ වෙලාවේ සයුරංගනා ගේ ඇඟට වැහී තිබි කෝපාග්නියේ ශක්තිය පාලනය කරන්නට ඔහු සමත් වූයේ නැත. පහර කිහිපයක් ඔහු ගේ කොන්දට ද වැදිණ. පහර දෙමින් ම ඇය මන්නා පිහය අතට ගත්තා ය. එය හොඳින් මුවහත ඇති, ගිම්හාන් කම්මලකින් සාදවා ගෙන ආ අලුත් මන්නා පිහියකි.
“බැහැපං දොට්ට. නැත්තං මං උඹට කොටන්නෙ මේකෙන්”
රෝලර් පින් එක පසෙක දමා ඇය දෑතින් ම මන්නා පිහිය අල්වා ඔහු වෙතට මානා ගත්තා ය.
“එහෙනං උඹ එහෙමයි නේ…”
“එහෙම තමයි…තව වචනයක්වත් කතා නොකර බැහැපං දොට්ට”
මංජුල අඩියට දෙකට ආලින්දර හරහා ගොස් මිදුලට පැන්නේ ය.
“එක හීනෙං එළි වෙන්නෑ රංගනා. මේ ගැන වචනයක් හරි අපේ ගෙදරට කියල තිබුණොත්…බලපං මං උඹට කරන දේ”
සයුරංගනා හිටියේ වෙව්ලමිනි. මන්නයක් අතට ගත්තාට එයින් ඔහුට කොටා ගන්නට තරම් හයියක් වේද කියාවත් ඇයට සිතා ගත නො හැකි ය. තිබෙන්නේ චිත්ත ශක්තිය පමණකි.
ත්‍රිරෝද රියක් විත් ගේට්ටුව ළඟ නතර විය. මංජුල අතිශය කලබල වූයේ ය. ඔහු ගෙට ඇතුළු වෙත්දී හඬ නැගෙන නිසා ගේට්ටුව ද අගුලු නොලා ආවේ ය. ජයරත්න ඒ ගේට්ටු පියන තල්ලු කර ගෙන ඇතුළට එන විට මංජුල ඒ කලබලයෙන් ද, සයුරංගනා මන්නා පිහිය දෑතින් අල්වා ගෙන වෙව්ලමින් ද සිටියහ.
ජයරත්න ගිය පයින් ආපසු ආවේ, කමිසයක් මදින්නට පේනුගත කළ විදුලි ස්ත්‍රික්කය විසන්ධි නො කළ බව හදිසියේ සිහි වූ නිසා ය. ඒ බව කියන්නට ඔහු සයුරංගනා ගේ ජංගම දුරකතනයට ඇමතුම් කිහිපයක් ගත්තේ ය. නමුත් රූපවාහිනී නාලිකාවේ සිට පැමිණි ගමන් එය තිබුණේ අත් බෑගය ඇතුළේ ය. ගෙදර තිබූ කලබලය නිසා එහි හඬ ඇසුණේ නැත. පෙර දා රාත්‍රියේ අකුණු ගසත්දී ජයරත්න ගෘහස්ථ ස්ථාවර දුරකතනයේ වයරය ගලවා දැමුවේ ය. නමුත් උදේ එය නැවත සවි කරන්නට ඔහු ට අමතක විය. සයුරංගනා දුරකතනයට පිළිතුරු නොදෙන නිසාත්, විදුලි ස්ත්‍රික්කය රත් වෙමින් තිබී යම් හෙයකින් එසඳි පැමිණි පසු ඇය එය අල්ලන්නට හැකි යයි අදිසි බියක් දැනුණ නිසාත් ජයරත්න ගිය පයින් ආපසු හැරී, මග යමින් තිබි ත්‍රිරෝද රියක නැගී පැමිණියේ ය.
“එක හීනෙං එළි වෙන්නෑ රංගනා. මේ ගැන වචනයක් හරි අපේ ගෙදරට කියල තිබුණොත්…බලපං මං උඹට කරන දේ” යනුවෙන් මංජුල කී කතාව ජයරත්න ට ඉතා හොඳින් ඇසිණ. අත් දෙකෙන් ම මන්නා පිහිය අමෝරා ගෙන වෙව්වලමින් සිටිනා සයුරංගනා, නොකියන කතා බොහොමයක් කෑ ගසා කියයි. සිදුව තිබෙන දේ ජයරත්න ට වහ වහා හිතා ගත හැකි විය. ඔහු අඩියට දෙකට සයුරංගනා වෙත පැමිණියේ මංජුල දෙසට දැඩි බැල්මක් හෙළමිනි.
“මොකද්ද දුවේ මෙතන සිද්ද වුණේ…මොකද්ද සිද්ද වෙන්නෙ…”
“මේ මිනිහ…මේ ජරා මිනිහ…මං කුස්සියෙ ඉන්නකොට සද්ද නැතුව ඇවිත් මට කරදර කරන්න හැදුව අප්පච්චි”
හිතට උපරිම දිරිය ගෙන ඇය එය කියා දැමුවා ය.
“පට්ටපල් බොරු මේකිගෙ”
මංජුල අපාගත වන බොරුවක් කීවේ ය.
“මනුස්සකමට පොඩ්ඩක් මේ පැත්ත බලල යන්න ආවහම…මේකි අලි වංශෙන්”
“ඇත්තමයි අප්පච්චි…මේ මිනිහ මට කරදර කරන්න හැදුව”
ජයරත්න අකුණක් සේ බෑණා වෙතට පැන්නේ ය. ඔහු ගේ බෙල්ලෙන් ම අල්වා ගත්තේ ය.
“ප…රය. මට ඇහුණ මිනිහො ඉස්සල්ල උඹ කියපු දේ. ලැජ්ජ නැද්ද යකෝ තනියම ඉන්න සහෝදරියක් වගේ ගෑනියෙක්ට මෙහෙම කරන්නෙ…”
මංජුල ගේට්ටුවෙන් පිටතට පැන ගෙන යතුරුපැදියෙහි නැග ගත්තේ ය.
“උඹ ආයෙ මේ හතර මායිමේ පස් පාගනව නෙවෙයි මංජුල. එහෙම වුණොත් මේ කෙල්ල නෙවෙයි මමයි උඹගෙ අඬු කඩන්නෙ”
මංජුල යතුරු පැදිය පණ නංවා ගෙන නික්ම ගියේ ය. ඒ කෑගැසිලි වල හඬට කෙටි නින්දක සිටි මල්කාන්ති අවදි වී පිටතට ආවා ය. උදේට රැකියා වලට යන අයට බත් ගෙනියන්නට උයනා නිසා මල්කාන්ති ට දිවා ආහාර පිසීමක් නැත. එහෙයින් කම්මැළි කමටත් එක්ක මේ වෙලාවට ඇය ඇඳට වී සිටින්නී ය. ඇතැම් විට ටිකක් නින්ද යයි.
“ඇයි ඇයි මොකද වුණේ රංගනා…”
සයුරංගනාට හැඬිණි. එය පුදුම වේදනාවක් ඇගේ අභ්‍යන්තරයෙහි දැනවී ය. තමුන්ගේ මිනිසුන් ද මේ විදිහට අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට හදත්දී කාගෙන් ය කියා පිහිටක් පතන්න ද? කාව ය කියා විශ්වාස කරන්න ද? ඇය නොකීවත් මල්කාන්ති ට බොහෝ දේ සිතා ගත හැකි වන්නට ඇත. ඕ තොමෝ සයුරංගනා වැළඳ ඈ සැනසුවා ය. එසඳි රැගත් පාසල් වෑන් රිය පැමිණියෙන් සයුරංගනා කඳුළු පිස දා ගත්තා ය. නමුත් ගෙතුළ වන වායු අංශු පවා කැළඹී තිබුණ සෙයකි. මල්කාන්ති සයුරංගනා වෙනුවෙන් ඉහුම් පිහුම් කොට දුන්නා ය. තවමත් සයුරංගනා හිටියේ ඇඟ පත අප්‍රාණික ව ගොසිනි.
ජයරත්න තිලකාට දුරකතන ඇමතුමක් දී ඇයව වහා ගෙදරට කැඳවූයේ ය.
“අර බල්…ල…මංජුලය ආයෙ මේ පැත්තෙ ආවොත්..මං උගෙ අඬු කඩල යවන්නෙ තිලකා. දෙයියො බැලුව වගේ හැම දේම සිද්ද වුණේ…මේ කෙල්ල මන්නෙත් අරං ඌව ගෙයින් එළියට එළෝල තියෙද්දි ඌ කෙල්ලට තර්ජනේ කරනව ගෙදරට කියල තිබුණොත් බලාගෙනයි කියල. මං මෙතනට ආපු නිසා ඇත්ත ඇති හැටියෙන් දැක්ක. නැත්තං ඕකා කීයටවත් පිළිගන්නෑ එහෙම දෙයක් කළා කියල. ඔයා ගිහිං දුවට කියන්න මිනිහව හදා ගන්න කියල. නැත්තං ඌ මේ අනුංගෙ ගෙවල් අස්සෙ රිංගන්න ඇවිත් අඬු කඩාගෙන ඉඳී කියන්න”
තිලකා හිටියේ මූණ නරක් කරගෙන ය. සයුරංගනා ඔවුන්ට කළේ අවමානයක් සේ ඇයට දැනේ. මල්කාන්ති ලා ගේ ගෙදරටත් මෙය දැන ගන්නට සැලැස්වීම ඇයට ලොකු ම මදිපුංචිකම වී තිබිණ.
“කොයි පිරිමියත් ඔහොම තමයි. සිල් අරං නෑනෙ. තමුංගෙ එවුන්ගෙන් පොඩී දෙයක් වුණත් ඒක ලොකුවට රටට ප්‍රසිද්ද කරල අපි බලමුකො පිට එවුං කරට එනකොට මොන දෙයියන්ට කියන්නද කියල”
ඇය එහිත් වරද සයුරංගනා මතට ම පැටවීමේ ද්වේශී හැසිරීමක් විදහා පෑවා ය.
“අපේ කොල්ලොනං ඔහොම බලු විදිහට හැදිල නෑ. තනි වෙච්ච කෙල්ලෙක්ට ඔළුව උස්සගන්න සහෝදරකමට උදව් කරනව මිසක්…”
මල්කාන්ති ඇඟට පතට නො දැනී කියා දැමුවා ය. හැන්දෑවේ එසඳි ට කතා කොට යන්නට යශෝදර ගෙදරට ගොඩ වී ද සයුරංගනා මේ සිදුවීම ගැන ඔහු ට කියන්නට ගියේ නැත. නමුත් ඇගේ ඇස් වල නුහුරු වූ යමක් වන බව යශෝදර හැඳින්නේ ය.
“මොකක් හරි වුණාද…අවුලක්ද…”
ඔහු ප්‍රශ්න කළේ ය. සයුරංගනා කළේ හිස දෙපසට සලනා එකයි. නමුත් නො කියන යමක් ඇය ළඟ ඇති බව යශෝදර ට දැනිණ. ඔහු ඒ සිදුවීම ගැන දැන ගත්තේ ගෙදර ගිය පසු අම්මා ගෙනි.
“ඇයි රංගනා කිව්වෙ නැද්ද…”
කියා මල්කාන්ති විමසුවේ තරමක පුදුමයකිනි.
යශෝදර දිය නෑවේ ද නොසන්සුන් බවිනි. ඔහු ගේ හිස මත බරක් පැටවුණා සේ ය. ඊටත් වඩා කේන්තිය ඉවසා ගන්නට බැරි ය. වෙනත් අහල පහල මිනිසෙකු අතින් මෙවැන්නක් වී නම් යශෝදර ඔහු ගේ බොටුවෙන් අල්වා යමක් කියා දෙනු ඇත. ඔහු ට වන වැඩිම කේන්තිය මංජුල ශක්‍යා ගේ සැමියා වීමයි. එතකොට එය තනිකර ම පවුල් ප්‍රශ්නයක් නිසා පිටස්තරයන් වශයෙන් ඔවුන්ට ඒවාට අත පෙවිය නො හැකි ය.
“ඇයි අපිට කතා කරන්න බැරි…ගිම්හාන් අයිය අපිට සහෝදරයෙක් වගේ. ගෙදරටම ගිහිං අරූගෙ කන අතගාල එමු”
තේමිය ද නොසන්සුන් ව හිටියේ ය.
“අපරාදෙ. මට එන්න බැරි වුණානෙ ඔය වෙලාවෙ. අරූගෙ ඔළු කට්ටෙන් පැණි බේරෙන්න එහෙනං මං දෙන්නෙ. ඌට නෙවෙයි ගෑනිටයි නැන්දම්මටයි උණ ගන්න දෙයක් කරන්න ඕනෙ. අවලමා. මං හිතුව ඕකා රංගිට සෙවල හල හල ඉන්නකොට. පාරකදි හරි හම්බ වුණොත් සෙරෙප්පු පාරක් බැරිනං මූණට කෙල පාරක් හරි ගහනව මං ඕකාට”
පාරමී පරල වී සිටියා ය.
💜️කතාව ගැන හිතෙන දේවල් වචන කිහිපයකින් ලියා තියා යන්න. ඒ නැතත් හදවත් සලකුණක ආදරය දවටා යන්න.
💜️මගේ අලුත් ම නවකතාව ‘කුසුම් නිම්නය’ , මගේ Shinie’s Writings යූ ටියුබ් නාලිකාව ඔස්සේ කියවන්නත් එකතු වෙන්න.
💜️ඊයේ දවස පුරා ඔබ තබා තිබූ උපන් දින සුබ පැතුම් වලට හදවතින් ම ස්තූතිවන්ත වෙමි. කොයි තරම් මා ඔබේ හදවතට ලං වී දැයි කියා දුන්නා ට ස්තූතියි. ආදරෙයි. ඒ හැම පැතුමකට ම වෙන් වෙන්ව පිළිතුරු ලියන්නට නො වෙහෙසී මම ඒ කාලය ඔබ වෙනුවෙන් කතාව ලියන්නට ගත කළෙමි. මගේ ආදර ස්තූතිය පොදුවේ මෙලෙස පිළිගන්න.