ඔබේ නිදන කාමරය ලස්සන කරගන්න වටින tips ටිකක්

කාර්‍යබහුල දවසක් අවසානයේ සුව නින්දක් ලබාගන්න අපි හැමෝම කැමතිනෙ. ඒ වෙලාවට අපේ නිදන කාමරය දිව්‍ය ලෝකයක් වගේ හිතෙනව නම් ඒකෙ කිසිම වැරැද්දක් නෑ. 

හැබැයි නිදන කාමරයට ආව ගමන් තැන තැන තියෙන රෙදි ගොඩවල්, ඇරල දාපු රෙදි අල්මාරිය, දූවිලි පිරුණු ජනෙල් රෙදි වගේම තැන තැන තියෙන සෙරෙප්පු සපත්තු එහෙම දකින්න තියෙනව නම් මේ ඔබේ නිදන කාමරේ ද කුණු ගොඩක් ද කියල ප්‍රශ්නෙකුත් ඔබට ඇතිවෙන්න පුළුවන්.

අන්න ඒ නිසා අපේ පහසුව සහ මානසික නිදහස වෙනුවෙන් නිදන කාමරය පිළිවෙලට පිරිසිදුවට තබා ගැනීම හරිම වැදගත්.

නිදන කාමරේ ලස්සනට තියාගන්න පටන් ගන්නෙ කොහෙන්ද කියල හිත හිත ඉන්න ඔබට ඔන්න අද අපි මේ ලිපියෙන් ඔබේ නිදන කාමරය ලස්සන කරගන්න වටින tips ටිකක් එක්කයි.  

හොඳට බලන්න

මුලින්ම ඔබේ කාමරේ තියෙන බඩු හැමදේම ගැන ඔබ මුලින්ම අදහසක් ලබා ගන්නයි ඕන කරන්නෙ.

ඇඳේ තියෙන රෙදි කොට්ට, අල්මාරියෙ තියෙන ඇඳුම්, කණ්ණාඩි මේසෙ තියෙන ආභරණ, ක්‍රීම් වර්ග, සෙරෙප්පු, සපත්තු වගේම බිත්ති සැරසිලි තිර රෙදි මේ හැමදේම ගැන මුල ඉඳලම හොඳට බලල අවබෝධයක් ලබා ගැනීම හරිම වැදගත්.

අනවශ්‍ය දේ ඉවත් කරන්න

ඊළඟට ඔබ කාමරේ එක පැත්තකින් පටන් අරන් අනවශ්‍ය සියළුම දේ අයින් කරන්න පටන් ගන්න ඕන. 

අඳින්නෙ නැති ඇඳුම් පැළඳුම්, පළඳින්නෙ නැති සපත්තු, කැඩුණු ආභරණ, යල් පැන ගිය බිත්ති සැරසිලි වගේ අනවශ්‍ය සියළුම දේ ඉවත් කරන්න. 

හැබැයි මේ ඉවත් කරන දේවල් ඔබේ නිවසෙම වෙනත් තැනක ගොඩගසන්න නම් එපා. 

අඳින්න හොඳ තත්වයේ තියෙන ඇඳුම් අවශ්‍ය කෙනෙක්ට දෙන්න, අත් පිස්නා සහ පා පිස්නා ලෙස භාවිතා කරන්න, මල් පැළ, පළා වර්ග සිටුවන්න වගේ නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන් දේවල් වලින් ප්‍රයෝජන ගන්නත් අනෙක් ද්‍රව්‍ය නිසි පරිදි බැහැර කරන්නත් අනිවාර්‍යෙන්ම මතක තියා ගන්නම ඕන. 

අවශ්‍ය උපකරණ සොයාගන්න

දැන් අපි පිළිවෙලට කාමරේ සකසන්න අවශ්‍ය උපකරණ සොයා ගන්න ඕන.

ඇඳල අවසානයේ සේදීමට ඇති රෙදි ඉවත් කරන්න, යට ඇඳුම් අසුරන්න, කොණ්ඩ කටු, කොණ්ඩ බූල් දමන්න, ආභරණ දමන්න වෙනම වෙනම කුඩා පෙට්ටි, භාජන හෝ බඳුන් සහ ඇඳුම් එල්ලන කොකු වගේ උපකරණ එකතු කරගන්න ඕන.

දැන් අස් කරන්න

අල්මාරියෙ ඇඳුම් අස් කරගන්න ක්‍රම කීපයක්ම තියෙනව ඇඳුම් වල වර්ණය අනුව ඇඳුම් කොකු වල එල්ල ගන්න ඔබට පුළුවන්. යට ඇඳුම් කුඩා පෙට්ටි වලට ඇසුරුවාම පිළිවෙලයි වගේම හොඳ පෙනුමකුත් ලැබෙනව. සපත්තු සෙරෙප්පු පෙට්ටියට හෝ රාක්කයක අසුරා ගන්නත් පුළුවන්. 

ඊලඟට ඔබේ කණ්ණාඩි මේසෙ තියෙන රූපලාවන්‍ය උපකරණ, ආලේපන වර්ග, ආභරණ වෙන වෙනම අසුරා ගැනීමත් ඔබට පහසුවක් වගේම කාමරේට හොඳ පෙනුමකුත් අරන් එනවා. 

ඇඳ ඇතිරිල, කොට්ට, පොරවන රෙදි අසුරන්න ඇඳ යට තැබූ පෙට්ටි භාවිතා කිරීමත් හොඳ විසඳුමක්. 

මේ විදිහට හෙමිහිට කොටසින් කොටස ඇඳුම් සහ අනෙකුත් බඩු භාණ්ඩ පිළිවෙලට අසුරගන්න ඔබට පුළුවන්. 

තේමාවක් තෝරගන්න

දැන් අපි පිළිවෙලට අසුරගත්ත කාමරේ ලස්සන කරගන්නෙ කොහොමද බලමු. 

මේ සඳහා හොඳ දීප්තිමත් ළා වර්ණයක් සහිත තේමාවක් තෝර ගැනීම වටිනව. දීප්තිමත් ළා වර්ණවලට නිස්කලංක, සන්සුන් බවක් ගෙනල්ල දෙන්න පුළුවන්. 

ජනෙල් රෙදි, ඇඳ ඇතිරිලි, බිත්ති සැරසිලි මේ වගේ එකම වර්ණයෙන් තෝර ගන්න ඔබට පුළුවන්.

ඔබට බිත්ති වල වර්ණය වෙනස් කරන්න ඕනෙ නම් තීන්ත නොගා පහසුවෙන් ඔබටම අලවා සකසා ගන්න පුළුවන් wall paper මෝස්තර ඕනෑතරම් දැන් වෙළඳපොලෙන් පහසුවෙන්ම මිලදී ගන්න හැකියාව තියෙනවා. 

එක්වරම මේ බඩු භාණ්ඩ සියල්ලම අළුතෙන් මිලදී ගන්න ඔබට නොහැකි වෙන්න පුළුවන්. කමක් නෑ. ටික ටික අවශ්‍ය බඩු භාණ්ඩ අරන් කොටසින් කොටස වෙනස් කරන්න ඔබට පුළුවන්.

ඔබ කැමති නම් ස්වභාවික හෝ කෘ තීම කුඩා මල් හෝ කොළ පැළයක් කාමරේ අභ්‍යන්තරයේ තබා ගන්න පුළුවන්. නමුත් වතුර දැමීමේදී බිම අපවිත්‍ර වීම සහ විවිධ කෘමීන් සහ සතුන් සැඟවී සිටීමේ අවධානමක් තියෙන නිසා ඒ ගැනත් සැළකිලිමත් වෙන්නම ඕන.  

ගෘහ භාණ්ඩ ඇසිරීම

ගෘහ භාණ්ඩ ඇසිරීමේදී අතුගාන්න, දුහුවිලි පිසින්න සහ පිරිසිදු කරන්න ලඟා වෙන්න පුළුවන් විදිහට ගෘහ භාණ්ඩ ඇසිරීමට ඔබ සැළකිලිමත් විය යුතුයි.

නැත්නම් ඒ ස්ථාන වල කුණු දුහුවිලි එකතු වී අපිරිසිදු වීමේ ඉඩකඩ වැඩියි. 

ඒ නිසා ඒ ගැනත් සැළකිලිමත් වීම හරිම වටිනවා.

ඔබේ නිදන කාමරය පිරිසිදුව, පිළිවෙලට වගේම ලස්සනට තිබීම මනසට වගේම ශරීර සෞඛ්‍යටත් හොඳ දෙයක් නිසා ඇඳ ඇතිරිලි සෝදන්න, හිරු එළිය වැටීමට සැලසෙන ලෙස ජනෙල් පියන් හැර තබන්න වගේම කුණු දුහුවිලි ඉවත් කරමින් අතුගා තබා ගන්නත් අමතක කරන්න එපා.

මෙවැනි වැදගත් ලිපියකින් එහෙනම් අපි නැවතත් හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles