“චිරායු ගියාට පස්සෙ කතාකරේම නැද්ද?”
අමන්දා ඇසුවේ දවල් කෑම වෙලාවේය. තාරා උන්නෙ නිහඬවම කෑම පෙට්ටියට හැන්දෙන් අනිමින් කල්පනාවක ගිලීය. කෑම කන්නට ඇවිත් සැලකිය යුතු තරමේ වෙලාවක් ගත වී තිබුණද තාරාගේ කෑම පෙට්ටිය තවමත් එහෙමකට කියා අවසන් වී නොමැති බව එදෙස බැලූ අමන්දා දුටුවාය.
“මම කතා කරා. එයා රෑ වෙලා මම දාපු මැසේජ් එකට රිප්ලයි කරල තිබ්බ එච්චරයි”
“මාර මනුස්සයෙක් තමයි”
ඒ අමන්දා කියන්නට උන් දෙයක් නොවේ. එහෙත් ඉබේම කියවුණාය.
“චිරායු මාත් එක්ක ඉන්න අකමැති නම් මම එයාව ඩිවෝස් කරන්න උනත් කැමතියි. මට ඇත්තටම දැන් මේක එපාවෙල තියෙන්නෙ. එකම ගෙදර නොදන්න මිනිස්සු දෙන්නෙක් වගේ ඉන්න නම් කසාද බැන්ද එක තේරුමක් නෑනෙ. අම්මට දුකක් දැනෙයි කියල හිතල මම මෙහෙම ඉන්න එකම ලොකු බොරුවක් රැවටීමක් මම කරන”
“ඩිවෝස් එක ගන්නවත් ඔය මිනිහ කතාකරන්න ඕනනෙ”
අමන්දාගේ වදන් වලට කිසිවක් නොකී තාරා වේගයෙන් බත් හැඳි කීපයක් මුව රුවාගත්තාය. ඒ වදන්වලින් එලියට පිට කරන්නට බැරි ආවේගයකිනි.
“දැන් චිරායු කාරයා කොහොමත් වෑඩි කතාබහක් නැති එකේ මං නම් කියන්නෙ ඔයාවත් කවුන්සලින් යන්න තාරා. මොකද තනියම විසාල ගෙදරක ඕව කල්පනා කර කර ඉඳල අන්තිමේ උඹට පිස්සු හැදෙවි”
“දැනටම මට පිස්සු වගේ තමයි”
තාරා කිව්වේ අනුකම්පාව උපදවන සිනහවක් මුව මත රඳවාගෙනය. ඒ හඬන්නට බැරි නිසා කල සිනාවීමක් බව තේරුම්ගන්නට අමන්දාට අපහසු නැත.
කාර්‍යාලයේ වැඩ රාජකාරි අවසන් කල තාරා සුපුරුදු පරිදි නිවසට යන්නට නොසිතුවාය. කරන්නට දෙයක් නොමැති තැනම බම්බලපිටියේ ඇඳුම් කඩ සාප්පු වල ඇවිද්දාය. ලස්සන ලස්සන ඇඳුම් පැලඳුම් අත පත ගා බැලුවාය. එහෙත් කිසිවක් ගන්නට ප්‍රියබවක් සිත තුල තිබුනේ නැත. තම තරුන වියේදීම සිත මෙසේ ආසාවන්ගෙන් පිරිහීම, මිලින වී යාම කෙසේ භාරගත යුතු ද යන්න කියා අදහසක් තාරාට තිබුනේ නැත.
අමන්දා පැවසු පරිදි මනෝ උපදේශනයට යාම ගැන තමා සිතිය යුතු බවත්, සලකා බැලිය යුතු බවත් තාරා සිතුවාය. මෙසේ සියල්ලම සිත අස්සෙ ගුලිකරගෙන හිඳීමෙන් වෙන්නෙ තමා මානසිකව කඩා වැටෙන බව තේරුම්ගන්නට තාරාට අපහසුවක් නැත.
හුදකලා නිවසකට යාමට වඩා එලිමහනේ මදක් රැඳි සිටීම හොඳ බව හිත කියයි. වාහනය එදා ගිය අවන්හල වෙත ඇදුනේ නිරායාසයෙනි. හරියට සුපුරුදු ස්තානයකට යනවා මෙන් පුරුද්දෙනි. වයිබ්ස් කැෆේ නාම පුවරුව වටා දැල්වෙමින් පවතින කහ පැහැ බල්බයෙන් නිකුත් වෙන්නෙ මන්දාලෝකයක් වුවද ඒ මන්දාලෝකය තමාව ඒ වෙතටම කැඳවන බවක් දැනෙද්දි තාරා සෙමෙන් උඳුපියලිය ගොන්න මතින් පාද තබා අවන්හල වෙත පියමැන්නාය. සතිය ආරම්භයේ දවසක් නිසාද මන්දා එහෙමකට කියා සෙනගක් එහි උන්නේ නැත. අවන්හල තිබුනේ එදා දුටු පරිද්දෙන්ම තනිකමක ගිලී නමුදු ඒ හිත පෙලන තනිකමක් නොවේ හිත සනසන්නකි. නලවන්නකි.
ආයුර් ස්පා එකේ වැඩ කරන තරුණයා අදත් මෙහි ඒද කියා කුකුසක් සිත තුල නොතිබුනා යැයි කියන්නට නොහැක. එහෙත් තමාට වඩා ලාබාල පෙනුමැති, තමාට වඩා වෙනස් වෙනත් ස්තරයක හිඳින ඔහු වන් කෙනෙකු ගැන සිත මෙතරම්ම සිතන්නේ ඇයිද යන්න තාරාට දැනුනේ තමා තමා විසින්ම කරගන්නා අපහාසයක් ලෙසිනි. ඔහුව සිතෙන් ඉවත් කල යුතුය. තමා විවාහක කාන්තාවකි. චිරායු තමා ගැන නොසිතුවාට තවමත් තමාගේ ජීවිතය ඇතුලේ මුල් තැන හිමිවන්නේ ඔහුට පමණි.
තාරා ඇනවුම් කරේ ඔරේන්ජ් පන්ච් එකකි. දොඩම්, අන්නාසි සහ දෙහි යුශ මිශ්‍ර ඒ පානයෙන් ආ ඉමිහිරි රසයත් සිසිලසත් සිත නිවාලමින් උගුර දිගේ පහලට යද්දී තාරා අත් බෑගයේ වූ නවකතා පොතක් අතට ගත්තාය. කාර්‍යාලයේ විවේක වෙලාවක කියවන්නට සිතාගෙන අත් බෑගයට දමා ගත්තද එය කියවන්නට විවේකයක් තිබුනේම නැත. එහෙත් මේ සන්ද්‍යාව වෙන් වී ඇත්තේ ඒ වෙනුවෙන්ම බව තාරා සිතුවාය. සිතුණාය.
යලි උපන් රුවැත්තිය යනු වෙන කාලයක නම් තමා විසින් නොකියවන අන්දමේ තුරුණු හැඟුම් පිරුණු නව යෞවනියකට සුදුසු පොතැක් යැයි සිතුවද සරසවියේදි එහි පිටු කීපයක් අතරින් පතර කියවු පසු ඒ පොත නොගෙන ඉන්නට තමාට නොහැකි වූ බව තාරාට මතකය.
එහි තිබෙන්නේ තමාට කිසිදාක අත්පත් කරගන්නට නොහැකි වූ සුන්දර ආදර කතාවකි. සැබෑ ජීවිතයේ නොලැබෙන ආදරයක් ගැන පොතකින් හෝ කියවා රසවිඳින්නට වීම ගැන දුකක් සිතේ ඉතිරිව තිබෙන බව තාරා දැන උන්නාය.
පොත අස්සේම ගිලී ගිය කාලය කොපමනද කියා තාරාට මතක තිබුනේ නැත. රාත්‍රී ආහාරය සඳහා ඇනවුම් කල චීස් පැස්ටා පිඟාන මේසය මතට එද්දීත් තාරා විසින් ඔරේන්ජ් පන්ච් වීදුරුවකුත් අල කූරු දීසියකුත් නිසොල්මනේම අවසන් කර තිබුනි.
කෑම පිඟාන රැගෙන ආ වේටර්වරයාට ස්තුති කරන්නට හිස ඔසවද්දී තමා වටපිටාව අන්දකාරය විසින් වැලඳගෙන ඇති බවත් තමා එද්දිට වඩා සෙනගක් එහි පිරී හිඳින බවත් තාරා දුටුවාය. ඒ බොහෝ පුද්ගලයන් පැමින තිබුනේ තවත් කවුරුන් හෝ සමගය. අවන්හල පුරාවටම තනිවම උන්නේ තමා පමනක් බව සිතෙද්දි තාරාට දැනුනේ ලැජ්ජාවකි.
මිහිරි ගී නාදයක් අවන්හල පුරා පැතිරෙද්දි තාරා චීස් පැස්ටා පලමු කට මුව රුවා ගත්තාය. සෙමෙන් එය සපමින්ම ගී නාදය අනුව හිස හරවද්දී සුපුරුදු සිනාබර නෙතක පැටලුනාය. එහෙත් සිනාවක් නොමැතිව අහක බලා උන්නාය.
“හැරුණු මල් මොහොතකින්
අහක යයි බල බලා
ඔය කොපුල් මේ දෙතොල්
වල ගැටී ලංවෙලා
ආදරේ උපදිනා යොවුන් තිඹිරිගේ මේ තමා”
චීස් පැස්ටා පිඟාන සෙමෙන් සෙමෙන් අවසන් වනතුරුම තාරා ඒ ගී නාදයන් අසා උන්නාය. එහෙත් එක මොහොතකටවත් ඒ දෙසට දෙනෙත් හැරෙව්වේ නැත. ඒ ඇයිද කියා තාරාවත් දැන උන්නේ නැත.
එහෙත් වචනයෙන් කියන්නට නොහැකි අන්දමේ අපහසුතාවයකින් තමා පෙලෙන බව දැනෙද්දී තාරා ආහාර පාන සඳහා මුදල් ගෙවා හිඳගෙන උන් අසුනින් නැගිට්ටාය.
එහෙත් පියවර කිහිපයක්වත් ඉදිරියට තබන්නට හැකි වූවා නොවේ. අවන්හලේ සිමෙන්ති බිම ඔස්සේ ඇවිදවිත් උඳුපියලිය තණ බිස්සට බහින්නට තිබූ පඩි දෙක තුන බහිද්දිත් ඔහු සිනාමල් වැස්සක් සමග තමා අසල උන්නාය. ඔහුව මගහරින්නට හේතුවක් නොමැති බව දැනෙද්දි තාරාගේ දෙපා නිරායාසයෙන්ම නතර වූවාය. තම හික්මුණු, ආඩම්බර කාර බැල්ම දෙනෙත් මත ඇඳගෙන මද සිනහවකින් ඔහු දෙස බැලුවාය.
තමන්ගේ ඒ සිනහව මත ඇඳී තිබුනේ “තමුන් මොකෙද්ද? ස්පා එකක වැඩ කරන කොල්ලෙක්” යන අවඥාසහගත බැල්ම බව තාරා දැන උන්නාය.
එහෙත් ඔහු උන්නේ ඒ තේරුම් නොගත්තාක් මෙනි.නොඑසේනම් එය නොතකමිනි. සුපුරුදු සුන්දර, නිහතමානී සිනහව ඔහුගේ දෙතොලෙ සිට දෙනෙත් වෙත ඇඳුණු සිනහවේ අඩුවක් නැතුව තැවරි තිබුනාය.
“මැඩම් කොහොමද?”
ඔහු අසන්නේ සිනාසෙමිනි.
“ඔය ළමය මාත් එක්ක නිතරම කතා කරන්නෙ එන්නෙ ඇයි බලෙන් වගේ?” කියා අසන්නට තිබුනානම් හොඳ බවක් සිතුන නමුත් තාරා එ සිතුවිලි වදන් කරේ නැත.
“හොඳයි”
තමාගේ පිළිතුර එක වචනයකට සීමා වුවද ඔහු උන්නේ එතනින් කතා බහ නතර කරන බලාපොරොත්තුවක නොවේ.
“මැඩම් අද එයි කියල මම හිතුවෙ නෑ”
“ඇයි?” කියා තාරාට ඇසුනාය. මක්නිසාද යත් ඔහුගේ වදන්වල තම කුතුහලය අවුස්සන යමක් තිබූ බව සහතිකය.
“නෑ ඉතින් අද සතියෙ මුල දවසක්නෙ. මේ වගෙ දවස්වලට ගොඩක් එන්නෙ යන්ග් කපල්ස් තමයි. මැඩම් මේ ලඟද ඉන්නේ?”
“නෑ, තව ටිකක් එහාට යන්න ඕන”
“ඕකේ එහෙනම් ගෝ සේෆ් මැඩම්” ඔහු කියන්නේ සිනහව මදකටවත් මුවඟින් ඉවත්කරගන්නේ නැතුවය.
තාරා ආපසු හැරුණේය වාහනය වෙත යන්නට බලාය. එහෙත් තමා විසින් යමක් ඔහුගෙන් අහන්නට අමතක කල බව සිතෙද්දි මදකට ආයෙ හැරුණාය. ඔහු තවමත් පඩි පෙල මත සිටගෙන තාරා යන දෙස බලා උන්නාය.
“සොරි ඩෝන්ට් මයින්ඩ් මී ආස්කින් දිස්. දවස් කීපයක්ම හම්බු උනානෙ. ඔයාගෙ නම මොකද්ද?’
“මහිල්
මහිල් ගොඩකන්ද”