යශෝදර ට මහ පාන්දර ම අවදි විය. සැබවින් මුළු රාත්‍රිය පුරා ම ඔහු ගැඹුරු නින්දකට අවතීර්ණ වූයේ නැත. විටින් විට නින්ද කැඩිණ. ඇතැම් විට පුරුදු කාමරය නොවීම නිසා විය හැක. කොහොමටත් ඔවුන් නිදන්නට සූදානම් වූයේ ද මැදියම් රැය ඉක්ම ගිය පසු යි. ඒ වන තුරු කට්ටිය ම අල්ලාප සල්ලාපයේ යෙදී සිටියහ.
එසඳි ගේ ඉකිබිඳුම නවතා ගත නො හැකි තැන “අද ඉඳල යං අයියෙ…මේ කෙල්ල මෙහෙම අඬද්දි දාල යන්න බෑනෙ” යන යෝජනාව ගෙනාවේ පාරමී ය. එසඳි ව එහෙම කඳුළු සයුරක අතරමං කොට දමා යා නො හැකි කමක් යශෝදර ට ද දැනෙමින් තිබිණ. ගිම්හාන්, ඇගේ ජීව විද්‍යාත්මක පියා ගේ දේහයට පස් දමා වසත්දී හෝ හඬන්නට අවබෝධයක් නො තිබූ දැරිය, ඔහු සමු ගෙන යත්දී මේ විදිහට රැහැයියෙකු සේ වැළපේවියි යශෝදර බලාපොරොත්තු වූයේ ම නැත. නමුත් ගෙදර නොයා බැරි ය. එළඹෙන්නේ ඉරිදා වුණත් පාරමී ට උදේට වැඩ වැටී තිබේ. අනිත් අතට ඒ විදිහට සයුරංගනා ගේ මහ ගෙදර අහේතුකව රැයක් නතර වෙන එක අනිත් අය කෙසේ පිළිගනීවිදැයි අදහසක් ඔහු ට නො විණ.
“ඔයාට උදේට වැඩනෙ නංගි”
අතීරණාත්මක බවක් යශෝදර ගේ ස්වරයෙහි විය.
“අපි උදේම යං. මට රෙකෝඩින් පටන් ගන්නකොට කොහොමත් දහය විතර වෙනව”
“අනේ පුතේ ඔයා කරදර කරනවනෙ. යශෝදර අංකල්ලට මෙහෙ ඉන්න තරං පහසුකං ඇත්තෙත් නෑ”
සයුරංගනා යශෝදර අත උන් එසඳි ගේ අත්ල අල්වා ගෙන අසරණ බවකින් කෙඳිරුවා ය. සැබවින් රැයක් නවාතැන් ගන්නට මේ ගෙදර ඔවුන්ට පහසුකම් සලස්වන්නේ කෙසේ දැයි අදහසක් සයුරංගනා ට වූයේ ම නැත.
“අනේ මේ රංගි. සැප ගන්න ෆයිව් ස්ටා හොටේල් එකක නතර වෙනව නෙවේනෙ. ඔය කොහෙං හරි පැදුරක් දාං නිදියමු”
“කාමර දෙකක් තියනවනෙ. ඒ දෙක ලෑස්ති කරල දෙන්නං ඕගොල්ලොන්ට ඉන්න. අපිටනං ඔය කොහේ නිදියන්න බැරිද…”
සයුරංගනා ගේ සොයුරෙකු මැදිහත් වූයේ ය.
“ඔවු…අනේ එහෙනං ඉන්නකො…අපිට රෑ වෙනකල් කියෝ කියෝ ඉන්න පුළුවන්”
සියල්ල වෙනස් වූයේ එසේ ය. පාරමී මිදුල කෙළවරට යමින් මල්කාන්ති ට දුරකතන ඇමතුමක් ගත්තා ය. මේ තීරණය ගැන ඇගේ ඒ තරම් කැමැත්තක් වූයේ නැත. නමුත් පාරමී ගේ තරවටු වදන් ඉදිරියේ කරබා ගන්නට ඇයට සිදු විය.
“එසඳි මැණික. ඔන්න එහෙනං අපි අද රෑට විතරක් නතර වෙනව. හැබැයි අපි උදේට යද්දි ඔයා අඬන්නෑ කියල ප්‍රොමිස් වෙනවනං විතරයි”
“ප්‍රොමිස්”
දැරිය කඳුළු අතරින් ද තුනී වන ඉකිබිඳුම අතරින් ද සිනහ වී ගෙන පාරමීටත් යශෝදරටත් පොරොන්දු වූවා ය. ඒ අනුව සයුරංගනා ගේ නංගිලා තිදෙනා ගෙදර පිරිමි ළමයින්ගේ කාමරයත් ගෑනු ළමයින්ගේ කාමරයත් ඔවුන් ගේ උපරිමයෙන් අමුත්තන් වෙනුවෙන් සූදානම් කළහ.
සයුරංගනා අවදි වූයේ නිදනා අය අවදි නොවනා සේ ය. මල්කාන්ති ද එතකොට ම නැගිට මුළුතැන්ගෙට ආවා ය.
ගෑනු ළමයින් ගේ කාමරයේ වන යුගල යහන් දෙකෙන් එකක සයුරංගනා, එසඳි හා පාරමී ද අනෙකෙහි ගෑනු ළමයින් තිදෙනා ද හරස් අතට නිදා ගත්හ. මැදියමේ දී නින්දට ගිය පසු ද තවත් හෝරාවක් පමණ ගත වෙන තෙක් ඔවුන් ගේ කිචිබිචිය පැවතිණ. යශෝදර වෙනුවෙන් කාමරය වෙන් කොට දී පිරිමි ළමයි ආලින්දයට වූහ. සයුරංගනා ගිම්හාන් හා දීග යන විට මේ ගෙදර මේ තරමට හෝ සාදා තිබුණේ නැත. පවුලේ වැඩිමල් පිරිමි ළමයා ගේ ධෛර්යය මත මේ තත්වයට මේ කෑලි කිහිපය ගලින් බැඳ ඇතුළත කපරාදු කොට ගත්තේ ය. අබේසේකර බාසුන්නැහේ වඩු වැඩ ටික කළේ ය. ගල් බඳිත්දී හා කපරාදු කරත්දී මේසන් බාසුන්නැහේ ට අත් උදව් දුන්නේ පිරිමි ළමයින් ය. ඒ නිසා ශ්‍රමය වෙනුවෙන් වැය කළ යුතු වූ මුදල් පිරිමසාගත හැකි විය. වහළ සෙවිලි කිරීමට ඇස්බැස්ටෝස් තහඩු ටික ගිම්හාන් ගේ පරිත්‍යාගයකි. පවුලේ අය මේ තත්වයට හෝ හිස ඔසවා ගැනීම ගැන සයුරංගනා ට වන්නේ සැනසීමකි.
රාත්‍රියේ නිදන්නට පෙර කසු කුසු ගෑ පරිදි අබේසේකර බාසුන්නැහේ ගොස් කිරි ගෙදරින් එළකිරි බෝතල දෙකක් ගෙනාවේ ය. ඔවුන් පිටිකිරි සඳහා මුදල් වැය කරනා මිනිසුන් නොවේ. අතේ මුදල් ඇත්නම් කිරි බෝතලයක් උදේට ගෙන එති. නැතහොත් තේ කහට එකකින් උදයත් පිරිමසා ගනිති. එළකිරි වලට කෝපි එක්කොට යමුනා සුවඳ හමන කිරි මුට්ටියක් ඉතිරවූවා ය.
“අයියගෙ කිරි එක දෙන්න පාරි”
කියමින්, අවදි වී මුළුතැන්ගෙට පැමිණි පාරමී වෙතට සයුරංගනා කිරි කෝප්පයක් දිගු කළ ද පාරමී මිදුලට බැස්සා ය.
“මං වොශ්රූම් ගිහිං එන්නං. අයිය නිවිල බොන්නෑ ඔයා ඕක ගිහින් දෙන්න”
සයුරංගනා යශෝදර නිදනා කාමරය දොරකඩට ගියා ය. අයියලා මල්ලිලා ආලින්දයේ බිම ගොරව ගොරවා නිදති. තට්ටු කරන්නට මේ කාමර වල දොරවල් නැත. තිර රෙදි වලින් පමණක් ආවරණය වී තිබේ. සහෝදරයන් ගේ නින්දට බාධා නොවන සේ සයුරංගනා හෙමිහිට කතා කළා ය.
“යශෝදර…”
“එන්න සයූ”
කම්පන තරංගයක් හෘත් පේශි දිග පැතිර ගියේ ය. සයුරංගනා අත් දෙකෙන් ම මග් එක තද කොට අල්වා ගත්තා ය. ඇගේ දෑතින් ඔහු ට ඕනෑ තරම් තේ පිළිගැන්වී තිබේ. නමුත් මේ වෙලාවේ ඒ කිසිදු මොහොතක මතුපිටට නොආ හැඟුම් සමුදායක් ඉවුරු බිඳගෙන පිටතට එමින් තිබේ.
“ඊයෙ ගෙදර යන්න පුළුවන් වුණානං ඔයා අද දවල් වෙනකල්ම හොඳට නිදියනවනෙ”
ඇය කීවේ තැවුල් සරකිනි. නමුත් ඇගේ දෑස් දෑලෙහි නොකියනා කතාවක්, ඉවුරු බිඳගෙන මතුපිටට එන්නට දඟලනා හැඟීම් රළ පහරක් පොරබැදුවේ ය. යශෝදර එක මොහොතකට ඒ ගැහැනු ඇස් ගැඹුරේ කිමිදී ආවේ ය. වචන කතා නොකළාට කියන්නට දේවල් ගොඩක් ඔහු ගේ හිත ළඟත් පේළි ගැසී තිබිණ.
ඔවුන් යන්නට සූදානම් වන හඬට එසඳි ද අවදි වූවා ය.
“ඔයා ප්‍රොමිස් කරල තියෙන්නෙ ඒගොල්ලො යද්දි අඬන්නෑ කියල. පොරොන්දු කඩන්නෑනෙ අපි. අනිත් එක පුතේ පාරි නැන්දිට උදේම වැඩ තියනවලු. ඉතිං මගෙ මැණික ඒගොල්ලොන්ට බායි කියල යන්න දෙන්න ඕන හොඳේ. අපිව එක්කං යන්න සැටර්ඩේට යශෝදර අංකල් එයිනෙ”
සයුරංගනා කල් ඇතිව ම දියණිය සනසවා තැබුවා ය. ඒ අවවාද මත එසඳි නාඬා හිටියා ය. නමුත් ඇය සිටියේ යශෝදර ගේ අතට වී නිහඬව ම ඔහු ගේ ගෙල බදාගෙනයි. ගෙදර සියල්ලන්ගෙන් සමු ගෙන අන්තිම මොහොතේ මෝටර් රථයට නැගීමට සූදානම් ව යශෝදර එසඳිව සයුරංගනා අතට දුන්නේ ය. එසඳි හැඬුවේ නැත. නමුත් මුහුණේ වූයේ ශෝකී බවකි.
“පරිස්සමට ඉන්න ඕන හොඳේ”
උදේ යශෝදර හිඳි කාමරයට යත්දීත් රළ බිඳි හැඟීම සොරොව් බිඳ ගෙන නැගී එනවා සයුරංගනා ට දැනිණ. ඔහු එසේ කීවේ එසඳිට ද සයුරංගනා ට ද නැත්නම් දෙදෙනාට ම ද? යශෝදර මඳක් පහත් වී නැවත ද වරක් එසඳි ව සිප ගත්තේ ය. එතකොට ඔහු ගේ හිස වූයේ ඇගේ මුහුණෙහි ස්පර්ශ වෙන නො වෙන දුරකිනි. සයුරංගනා පපුව පිරෙන්නට හුස්ම ගත්තා ය. ඒ හුස්ම ඔහු සුවඳ ය. බැහැර නොකොට ඒ හුස්ම පපුවේ ම රඳවා තබා ගන්නට හැකි වී නම් ඇය එසේ කරනු ඇත්ද? යශෝදර රියට නැගෙන්නට පෙර එක වරක් සයුරංගනා ගේ මුහුණ දෙස බැලුවේ ය. ඇය දියණිය වඩාත් තදින් තුරුලු කොට ගත්තා ය.
එසඳි හැඬුවේ නැත. ඇය සයුරංගනා ගේ ගෙල වැළඳ ගෙන මුව බෙරි කර ගෙන සිටියා ය. ටික වෙලාවකට පස්සේ පුංචිලා එක්ක හුරතල් වන්නටත් සෙල්ලම් කරන්නටත් පටන් ගත්තා ය.
යශෝදර ට දැනුණේ සිය හදවතින් පදාසයක් නාය ගියා බඳුව ය. සුළි කුණාටුව හදවත තුළ දිගට ම හමා යන ලදී. මාතරින් අධිවේගී මාර්ගයට හැරවීමෙන් පස්සේ ඔහු රිය පැදවූයේ පවනක් බඳු වේගයෙනි. රිය තුළ ඔහු හිටියාට හිත එයින් සැතපුම් ගණනාවක් ඈතක අහසේ පාවෙමින් තිබුණා සේ ය. විටෙක ඔහු වේග සීමා ඉක්මවත්දී රිය අවදානම් සංඥා නිකුත් කළේ ය.
“මොකද ඕයි…ටිකක් ස්පීඩ් අඩු කරල යනවකො”
බලා ඉන්නට බැරි ම තැන පාරමී මුණිවත බින්දා ය. යශෝදර ගේ දෙතොල් අතරේ මෝඩ සිනහවක් ඇඳිණි.
“ඔයාට ඉක්මනට රෙකෝඩින් වලට යන්නෝනනෙ…”
“රෙකෝඩින් වලට මට දිගටම යන්නෝනෙ”
ඇය රැව්වා ය.
“හිතේ තියන මගුලක් කියල ඉවරයක් කර ගත්තනං ඉවරනෙ”
“මොනාද…”
“ගහ දන්න මිනිහට කොළ කඩාපාන්න ඕන්නෑ ඉතිං”
“දොඩවන්නැතුව ඉන්නව”
“බලමුකො මං කියන්නෙ බොරුද කියල දවසක. එසඳිටත් ඇත්තටම ඔයාව ඕනෙ අයියෙ”
“එසඳිට විතරක් ඕන වෙලා වැඩක් නෑනෙ”
යශෝදර එසේ හිතුවා මිස කියන්නට ගියේ නැත.
ගෙවල් පැත්ත පලාත ම මළසොහොන් පිටියක් වාගේ යශෝදර ට දැනෙමින් තිබිණ. එසඳි ගේ හා සයුරංගනා ගේ සිනා කතා හඬ නැතුව ට්‍රයිඩැක්ස් මිටියාවත පාළුවට ගියේ ය. සඳුදා වැඩ ඇරී එන විට ඔහු ට දැනුණේ දරාගන්නට බැරි බවකි. ඇඳුම් මාරු කරන්නේ හෝ නැතිව යහන මත හිඳ ඔහු සයුරංගනා ට දුරකතන ඇමතුමක් ගත්තේ ය.
“යශෝදර”
“කෝ එසඳි…”
“උදේ ඉඳලම ඔයාට කෝල් එකක් අරං දෙන්න කියල වදේ. ඔෆිස් ගිහිං ඇත්තෙ හවසට කතා කරමු කියල මං ශේප් කරං හිටියෙ”
සයුරංගනා එසඳි ගේ සවනෙහි දුරකතනය තැබුවා ය. ඇගේ ඇස් වල අයිස් නිල් පැහැති සුදු ඉංගිරියා දිලිසිණි. ලෝකයෙහි පැවතිය හැකි තරම් ආදරය දැරිය සිය වචන අතරේ හුරතලයක් ලෙස තැවරුවා ය.
“මට පාළුයි අපාචි ඔයා නැතුව”
“මටත් හරි පාළුයි මැණික් කැටේ”
ඒ ස්වරය සයුරංගනා ගේ හද තත් කම්පනය කරවී ය. ඒ ඉසියුම් රිදුම පෙර දා උදෑසන පටන් ඇගේ හදවතෙහි පැලපදියම් වී තිබේ. සුසුමකිනිදු එදුක නිවා දමන්නට ඇය උත්සාහ කළේ නැත. මිහිරි රිදුමක පරමානන්දය, හදවතින් ඈත් කොට දමන්නට බැරි බැඳීමක් ගැන කතාවක් නො කියා දැනෙන්නට හරී.
“ඉතිං ඔයාට තිබුණනෙ ගමේ ඉන්න”
“ඉතිං ඔයාට තිබුණනෙ අපාචි එක්ක එන්න”
සයුරංගනා තිගැස්සුණා ය. මුව මඳක් විවර කොට ඕ තෙත් සුළං රැල්ලකින් පෙනහළු පුරවා ගත්තා ය.
💜️ඔබ ඉතිරි කොට තබා යන ආදරේ බින්දුවක් වෙනුවෙන් සාගරයක් තරම් ස්තූතිය පිළිගන්න!