සයුරංගනා යශෝදර සමගින් ගමේ ගිය එක ගැන තිලකා ට වූයේ ඊර්ෂ්‍යාවකි. යශෝදර සමග තනිව ගියේ වී නම් ඇය බලා සිටියේ ගෙදර පැමිණි පසු දෙස් තියන්නට ය. නමුත් ඒ ගමනට පාරමී ද එක් වූ බව දැන ගත් විට එසේ කිරීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේ ය. ඒ වෙනුවට, නැන්දම්මා වශයෙන් ගමේ යන්නට ඇයට කතා නොකර පිට මිනිසුන් ගෙන ගිය එක ගැන දරා ගන්නට ඇයට බැරි ඊර්ෂ්‍යාවකින් ඇය ආතුර වූවා ය.
“දවස් දෙක තුනක් ඉඳල එන්න යං කියල මට කතා කළානං හෙණ ගහනවද…ලැජ්ජ ඇති මං එක්ක යන්න”
ඇය ශක්‍යා සමගින් ගතු කියවූවා ය. ශක්‍යා ට දැන් දැන් සයුරංගනා සමග වන්නේ වෙනම ම ඊර්ෂ්‍යාවකි. කාලයක් තිස්සේ ම නෑනා බිම්මලක් සේ කාටවත් නොපෙනී සිටියා ය. ඇය උඩවැඩියා මලක් වගේ කාගේත් ඇස් වලට පෙනෙන්නට ගත්තේ ගිම්හාන් ගේ මිය යාමෙන් පස්සේ ය. කණවැන්දුමියක ලෙස වැරහැලි වී යනු වෙනුවට ඇය ඇහැට කනට වඩාත් පෙනෙන්නට ගති. ජනප්‍රිය මාධ්‍ය වලට ඈ යොමු කරනා ලද්දේ පාරමී විසිනැයි ශක්‍යාට ඇය සමග ද නො රිස්සුමක් තිබිණ.
“ඕවට ගිහිං බලමුකො පස්ස බිම ඇනගෙන එනකොට. අර මැරිල ගිය එකාට ලැජ්ජ කරන්න හදනව”
මුල දී ශක්‍යා සයුරංගනා ගැන කීවේ එහෙම ය. මංජුල ගේ ඇස් දෙක ද ඇය වටා කැරකෙන බව දැනෙත්දී ඇයට තව තවත් ඉවසා ගත නො හැකි විය. දවසක ඇය මංජුල ගේ ඇඟේ එල්ලී සිය පවුල කඩා බිඳ දමනු ඇතැයි ද්වේශයකින් ද ශක්‍යා පෙළෙමින් සිටියා ය. නමුත් ඒ සියල් සිතිවිලි, සයුරංගනා මංජුලට රෝලර් පින් එකෙන් පහර දී මන්නයකින් කොටන්නට සූදානම්ව ගෙන් එළියට දැම්මායි ආරංචි වීමෙන් පසු උපන් ගෙයි ම මිය යන ලදී.
දැන් නෑනා නිසා ශක්‍යා ට දැනෙන්නේ ආත්මීය පරාජිත බවකි. සයුරංගනා දීප්තිමත් ගැහැනියකි. ඇගේ ඇස් මත තෘප්තිමත් බවක් දැකිය හැක. ඇය දෝරෙ ගලනා උද්‍යෝගයකින් යුක්ත ය. බිම් මලක්ව සිටි ඇය දෙස දැන් හැම කෙනෙකු ම බලන්නේ අලුත් වටිනාකමක් අරෝපණය කරමිනි. ඒ වටිනාකම ඕරාවක් සේ සයුරංගනා ගේ බාහිර ස්වරූපයෙන් පවා විද්‍යමාන වේ.
මංජුල තුළ සයුරංගනා ගැන ලිංගික හැඟීමක් ඇති වූවාය කියා දැන ගැනීම, ශක්‍යා තුළ හීනමානයක් ඇති කරවන්නට සමත් විය. දැන් ඇයට දැනෙන්නේ ඇගේ ශරීරයෙහි වූ පණ කෙන්ද මිරිකා හැරියා මෙනි. ජීවිතය ගැන කිසිදු ප්‍රබෝධයක් නැත. බලාපොරොත්තුවක් නැත. මංජුල සමගින් ඇගේ යුග දිවියෙහි සතුට ක්ෂය වෙමින් යන්නට ගත්තේ දෙවන දරුවා කුසයට එන්නටත් පෙරයි. දවල් දවසේ ම සන්නිවේදන මධ්‍යස්ථානයේ වැඩත් එක්ක ඔට්ටු වී ශක්‍යා රෑට ඇඳට වැටෙන්නේ බාගෙට මැරුණා සේ ය. එතැන් පටන් මැරුණා වාගේ ම නින්ද යයි. මංජුල සිය කායික අවශ්‍යතාවයක් වෙනුවෙන් ලං වීම වුව ඇයට නො රිස්සුමක් මිස තෘප්තියක් දනවන්නේ නැත.
” මළකඳක් වගේනෙ අප්ප”
මුල දී මේ ගැන මංජුල විහිළුක් කළේ ය. තවත් ටිකක් කල් යන විට ඔහු ද ඇයට ලං වූයේ පූර්ණ නොවන්නා වූ කාම සේවනයක් වෙනුවෙන් පමණකි. බොහෝ විට එය විනාඩි දෙක තුනක ගනුදෙනුවකි. ඒ උදාසීන බව ඇති කොට තිබෙන්නා වූ ප්‍රතිඵල දෙස බලත්දී දැන් ශක්‍යා තිගැස්සේ. නමුත් සියල්ල නිවැරදි කළ නො හැකි තරම් වැරදී ගොස් තිබේ. ඇය සමග යහන්ගත වීත් මංජුල සිතන්නට ඇත්තේ සයුරංගනා ගැන යයි සිතෙත්දී දරා ගත නො හැකි හීනමානයක් ඇයට වද දෙයි. නමුත් අම්මා කියනවා සේ දරු දෙදෙනෙකු කර පින්නාගෙන තනිව ජීවිත කන්දක් නගින්නට තරම් ශාරීරික හෝ මානසික හයියක් ඇයට ඇත්තේ නැත. එහෙයින් මංජුල ට එරෙහිව නැගී සිටිනා තැන ම ඇය කඩා වැටේ. ඇගේ ඒ දුර්වල නිලය ඔහු වඩා හොඳින් හඳුනයි!
සයුරංගනා ගැන ඇති වූ ලිංගික ආශාව බිරිඳ අස නො පිළිගන්නා මංජුල ඔහු ව ප්‍රතික්ෂේප කළ ගැහැනියට අවමන් කරයි.
“අනේ අපි දන්නෑ කියල හිතන්නෙ තමුසෙගෙ නෑනා ගැන. අර යශෝදරය ඒකිව කාර් එකේ දාගෙන වටේම රවුං ගහනව. කොහේ කොහේ ගෙනිහිං සල්ලං කරල ගෙනත් දානවද කියල කවුද දන්නෙ…බොරුවට නිකං පත්තිනි ශෝ දාගෙන එනව”
“තමුන්ලටත් ඉතිං ගෙදරට වෙලා ළමයි බලාගෙන වැදගත් විදිහට ඉන්න ගෑනු මදි වුණානෙ. හොඳ වැඩේ”
ආත්ම අසරණකම හංගා ගනු වස් ශක්‍යා කියන්නේ එහෙම ය. නමුත් ඇය සයුරංගනා හමුවේ මුළුමනින් පරාජිත බව ඈ දනී. ඇය පරාජය කළේ සයුරංගනා නොවේ. සිය සැමියා වන මංජුල ය. කටුවකින් හූරන සෙයින් ඇගේ පපුව රිදෙන්නේ එබැවිනි.
සයුරංගනා ගමේ ආවේ ටික කලකිනි. සතියක් ම එහි ඉන්නට සැලසුම් කොට ආවේ ද ආයේ එසඳි ගේ පෙර පාසල් නිවාඩුවට මිස පැමිණිය නො හැකි වන බැවිනි. ගිම්හාන් එක්ක පැමිණි ගමන් වලදී එක රැයකට වඩා ගෙදර සිටිත නො හැකි විය. ඔහු ට රැකියාවට යාමට ඇති බැවිනි. ඊටත් වඩා ගිම්හාන් අපේක්ෂා කරන විදිහේ නිදහස් පරිසරයක් ගමේ ගෙදර නැත. ඉඩ කඩ අඩු ය. ගෙදර සාමාජිකයන් වැඩි ය. එවැනි ගමන් විත් ආපසු කොළඹ යන විට දී සයුරංගනා ගියේ හිත යට කඳුළු පුරවා ගෙන ය. තව බෝ දිනක් ගෙදර ඉන්නට තිබුණා නම් කියා ඒ හැම වතාවක ම ඇයට සිතී තිබේ. නමුත් මේ වතාවේ ඒ උද්‍යෝගය පැවතියේ පළමු දිනයෙහි පමණි. ඇය හා එසඳි එහි නතර කොට පාරමී හා යශෝදර නික්ම ගිය වෙලාවේ පටන් මොකක්දෝ පාළුවක් දැනෙමින් තිබේ. කොළඹ ගෙදර වාගේ නොව මේ ගෙදර තමුන්ගේමයි කියා දැනෙන්නේ නැතිද කියා සයුරංගනා ඇගෙන් ම ඇසුවා ය. සඳුදා හැන්දෑවේ යශෝදර එසඳි කෝ කියමින් කතා කරත්දී කල්පයක් බලා උන් යමක් සිදු වූවා වන් සන්තෘප්තිමක් බවක් ඇගේ හදවතට දැනිණ. එසඳි සමගින් යශෝදර කරනා කතා බහ ඉතා හොඳින් ඇයට ශ්‍රවණය විය. ඇය දැරිය තියාගෙන සිටියේ කාමරයේ ඇඳ මත ය. ටික වෙලාවක් එසඳි සමගින් කතා කිරීමෙන් පස්සේ සයුරංගනා දුරකතනය ඉල්ලා ගත්තා ය.
“අප්පච්චි රෑට ගෙදර යනව නේද යශෝදර…”
ඒ බව ජයරත්න ට ම කතා කොට තහවුරු කොට ගෙන තිබී ද ඇය යශෝදර ගෙන් ද ඇසුවා ය.
“යනව. දවල්ටනං අපේ අම්ම කෑම කන්නත් දීල තිබුණ”
“අප්පච්චිට කියන්න මගෙ මල්පැළ ටිකට වතුර දාන්න කියල හොඳේ”
“හ්ම්”
“කුරුල්ලන්ටයි ලේනුන්ටයි කන්න බත් ටිකක් දාන්න කියල ඕගොල්ලොන්ගෙ අම්මට මතක් කරනවද…මං කියලත් ආවෙ”
“හ්ම්”
“අප්පච්චිට මතක් කරල ස්විච් ඕෆ් කරන්න කියන්න. අයන් එක එහෙම ගහල යනව අමතක වෙලා”
“හ්ම්”
“ඔයාට සෙනසුරාදට එන්න පුළුවන් වෙයි නේද අපිව එක්කං යන්න..”
“එන්නං”
යශෝදර ට දිගු සුසුමක් හෙළිණ. සෙනසුරාදා කියන්නේ බෝ දුරින් ඇති දවසකි. තවමත් සඳුදා ගෙවී යමින් පවතිනවා පමණි.
එසඳි අඟහරුවාදා වන විට මළානික වන්නට වූවා ය. ඇය පුංචිලා සමගින් සෙල්ලම් කිරීම ප්‍රතික්ෂේප කොට අම්මාට වඩා ගන්නට කියා කරදර කළා ය. කොළඹදී හිතා ගෙන ආවා වාගේ, ළමා වියෙහි මතක අතර සරමින් ගමේ ඇවිදින උනන්දුවක් සයුරංගනා ට ද නො විණ. ඇය පන්සලටත් පාසලටත් ගියා පමණකි.
“මේ ළමය එක්ක බෑ අප්ප. මොන වදයක්ද දෙන්නෙ…”
එසඳි කරදර කරත්දී කවදාවත් නැතිව ඕ සැර වූවා ය. එසඳි කාගේවත් අතට ගියේ ද නැත. බිමට බැස්සේ ද නැත. ඇය කරගසා ගෙන හිඳ සයුරංගනා වෙහෙස වූවා ය. අඟහරුවාදා හවස් වන විට එසඳි ගේ ඇඟ රත් වී ගෙන ආවේ ය. ඇය ගෙදර යන්න ඕනේ කියමින් නිතර නිතර කරදර කළා ය.
“මේ ළමයට සාංකාව වගේ”
යමුනා කීවා ය. හන්දියේ වෛද්‍යවරයෙකුට පෙන්වා සයුරංගනා එසඳි ට බෙහෙත් ගෙන ආවා ය. එසඳි බලා සිටියේ හැන්දෑ වන තුරු ය. ඒ යශෝදර ට කතා කරන්නටයි. ඒ වෙලාව වන තුරු නො සන්සිඳිය හැකි නො ඉවසිල්ලක් තමන් තුළ ද වන බව සයුරංගනා ට අවබෝධ වෙමින් තිබිණ.
“බෙහෙත් වලට උණ බහීද…”
එසඳි අසනීපයෙන් බව දැනගත් යශෝදර කළබල වූයේ ය.
“දැන්නං චුට්ටක් අඩුයි. ඒත් ඇඟට පණ නෑ වගේ තමයි ඉන්නෙ. නැගිටල සෙල්ලමක් කරන්න එන්න කිව්වත් එන්නෑ”
“වීඩියෝ එක ඔන් කරල පෙන්නන්නකො”
සයුරංගනා වීඩියෝව ක්‍රියාත්මක කොට එසඳි වෙත දුරකතනය පෑවා ය. යශෝදර දුටු ඇගේ කිරිකැටි මුව කිරි සිනහවකින් පිරිණ.
“මගෙ මැණික ඌවා වෙලාද පැටියො…”
“අපාචි ඕනෙ මට”
“සෙනසුරාදට අපාචි එනවනෙ පුතාව එක්කං එන්න. බේයි බීල සනීප වෙලා ඉන්න එතකොට හොඳේ”
සෙනසුරාදා ට කොයි තරම් දුරදැයි සයුරංගනා ට සිතිණ. නො සන්සුන් වූ යමක් ඇගේ හිතේ එහෙ මෙහෙ වෙමින් තිබිණ. තවත් ගමේ ගෙදර ඉන්න ම බෑ කියා ඇගේ හිත කෑගසන්නට වූයේ ය. බදාදාට අරුණ වැටීත් ඇය ඒ නො ඉවසිල්ල ඉවසුවා ය. බෙහෙත් වලට උණ අඩු වූවාට එසඳි සිටියේ හෝන්දු මාන්දු බවක යි. සයුරංගනා ට දරා ගන්න ම බැරි වුණේ දියණිය ඒ ඉන්නා ආකාරයයි. ඇගේ හුරතල් හුරුබුහුටි දඟකම් හොරු අරගෙන ගිහින් තිබිණ.
“මට ගෙදර යන්න හිතෙනව අප්ප”
සයුරංගනා යමුනා ට කීවා ය.
“සෙනසුරාදාට තව දවස් තියනවනෙ”
“එසඳිට මෙහෙ හුරු නෑ අම්මෙ”
සයුරංගනා දස අතේ හිතුවා ය. යශෝදර ගේ දිවා ආහාර විවේකය තෙක් ඉවසා ගත් ඕ ඒ වෙලාවේ ඔහු ට දුරකතන ඇමතුමක් ගත්තා ය.
“මං මේ ගන්න හැදුව විතරයි. කොහොමද දැං එසඳිට…”
“උණනං බැස්ස යශෝදර. ඒත් අනේ මන්ද…බත් කටක් කවාගන්නත් බෑ”
“දෙන්නකො එයාට”
යශෝදර එසඳි ගේ හිත හදන්නට බොහෝ දේවල් කීවේ ය. සෙනසුරාදා ට ගෙදර යන ගමන් අලුත් බෝනික්කෙකු අරගෙන දෙන්නට ද පොරොන්දු වූයේ ය. අම්මා ට කරදර නොකර බත් කන බවට ඇය පොරොන්දු වූවා ය.
“යශෝදර…”
ඔහු එසඳි එක්ක කතා කිරීමෙන් පස්සේ නැවත ද සයුරංගනා දුරකතනය ගත්තා ය.
“කියන්න සයූ”
“අපිව එක්කං යනවද…”
ඇය ඒ අසීරු ම ප්‍රශ්නය යන්තම් පිට කර ගත්තා ය. ඔවුන් අතරේ ඇති වූයේ බරපතල විදාරණයක් සිදු වීමෙන් පසු ඇති වන්නා වූ අවිනිශ්චිත නිශ්චලත්වයයි. සයුරංගනා හුස්ම ගත්තේ ඉතා ම හෙමිහිට ය. ඉබේ හුස්ම නො වැටුණා නම් යශෝදර එහෙමවත් හුස්මක් නො ගනු ඇත. හෝරා ගණනක් වාගේ දිගු තත්පර වීමකින් පසු යශෝදර උගුර පාදා ගත්තේ ය.
“කවද්ද..”
“අදහරි”
“අද…”
“ඔයාට පුළුවන්නං…”
“මං එන්නං”
සංවාදය හමාර විය. සම්බන්ධතාවය බිඳවැටිණ. ජංගමය ඇඳ මතට වැටෙන්නට හැර සයුරංගනා උඩුකුරුව වැතිරුණා ය. ඇගේ තොල් කොනක් ගැස්සී ගියේ ය. මන්දර බරක් පපුව මතට විත් නතර විය.