සතුටු මන්තර 33

ඇසතු රුකක්, සඳුන් තුරක්, දේවදාර වෘක්ෂයක් සේ සයුරංගනා ට හදවත මැද්දේ යශෝදර ගේ සෙවන දැනිණ. සිව් දෙසට පෙනෙනා මහ සෑයක කොතක් සේ ඇයට නිති ඔහු පෙනිණ. අඳුරේ පිපී යොදුන් ගණන් සුවඳ පැතිරෙන ගැටරුක්අත්තන මල් පුසුඹක් මෙන් යන එන හැම තැනෙක ඈ පසුපස ඔහු ගැන හැඟීමක් පාව ආවේ ය.

දහසක් වැඩ අතරේත් යශෝදර ගේ මතක මන්දිරේ ඉහළ ම මහළේ කවුළුවකින් ඔවුන් දෙදෙනා එබී බැලූහ. සයුරංගනා හා එසඳි! එතකොට ඔහු මුවගට මඳහසක් නැගේ. එක විනාඩියක විවේකයක් ගෙන ඔහු සයුරංගනා ට ඇමතුමක් ගෙන “එසඳි ආවද” කියා අසයි. ඒ ඇතැම් වෙලාවක ඇය පෙර පාසල් ගොස් පැමිණ තිබේ. ඇතැම් විට ඇය එන්නට තව බෝ වෙලා තිබේ.

 “තාම නර්සරි ඇරලත් නෑනෙ”

එතකොට සයුරංගනා මඳ සිනහ සරකින් කියයි. යශෝදර ඒ වරද නිවැරදි කරන්නට යන්නේ නැත. රූපවාහිනී නාලිකාවට යත්දී උදේට ඇය ඔහුත් එක්ක එහි යයි. ඉන් පිටත් වීමට පෙර “යශෝදර මං ගෙදර යන්න හදන්නෙ. ත්‍රීවීලර් එකක් දැම්ම” කියා අනිවාර්යයෙන් කෙටි පණිවිඩයක් තබයි.

“පරිස්සමෙන් යන්න. ගෙදර ගිහිං රිං එකක් දෙන්න” කියා ඔහු ඉක්මන් පණිවිඩයක් තබයි. සමහර දවසක ගෙදර ආවාට පස්සේ කඩිනමින් වැඩ කරන්නට ගන්නා නිසා සයුරංගනා ට ඒ පණිවිඩය තබන්නට අතපසු වේ. වෙලාව පහු වෙත්දී යශෝදර අනිවාර්යයෙන් කතා කරන්නේ ය.

“අනේ ආපු ගමං උයන්න ගත්ත යශෝදර. මං කෝල් එකක් දෙන්න හිටියෙ හාල් ටික හෝදල රයිස් කුකර් එකට දාල”

සයුරංගනා නිදහසට කාරණයක් කියන්නී ය.

“ඔක්කෝම වැඩ ඉවර වෙලා වෙලාවක් තිබුනොත් අන්තිමට කරන්නකො ඒක. මං මේ බලං ඉන්නව තාම ගෙදර ගිහින් නැද්ද මග මොකක් හරි ප්‍රශ්නයක්ද කියල”

ඔහු කේන්තිය හංගා ගන්නට උත්සාහ කරන්නේ නැත.

“අනේ එහෙම නෙවෙයි ඉතිං…”

එවන් දවසක ඔහු අහන්නටත් පෙර ඇය “එසඳි ආවා” කියා පණිවිඩයක් තබයි. එසේ නැත්නම් ඔහු ට කතා කරන්නට කියා එසඳි ට කියයි. එසඳි අම්මා ගේ දුරකතනයෙන් යශෝදර ගේ නම හොයා ගෙන කතා කරන්නට දන්නී ය. අකුරු ගලපා නමක් ලියා ගන්නට තවමත් ඇය නො දන්නා නමුත් යශෝදර ගේ නමේ අකුරු වල හැඩය හොඳින් හඳුනයි. සයුරංගනා උයන ගමන් එසඳි ගේත් යශෝදර ගේත් හුරතල් කතා බස් කැබලි විත් ඇගේ සවනෙහි පතිත වේ. යශෝදර ගෙදර එන්නට පමා වෙන වෙලාවක වුණත් සයුරංගනා නො දැන ම ඇතැම් විට එසඳි යශෝදර අමතා “ඔයා දැන් කොහෙද අනේ” කියා අසයි. “එසඳි මැණික ඔයා එනකං බලන් ඉන්නවනෙ” කියා වඩාත් හුරතලයෙන් කියයි. 

හැන්දෑවට දැන් ට්‍රයිඩැක්ස් මිටියාවත පෙර කවදාටත් වැඩියෙන් ලස්සනයි කියා සයුරංගනා ට සිතේ. යශෝදර ගේ මෝටර් බයිසිකලයේ හඬ ඈතදී ම, එසඳිටත් කලින් ඇය හැඳිනගනී. නමුත් එසඳි වාගේ යශෝදර වෙනුවෙන් පෙත්මගට නො දුවා ඕ සන්සුන් ව බලා හිඳී. යශෝදර එසඳිව බයිසිකලයේ ඉස්සරහා තියා ගෙන පෙත් මග උඩහාට ගොස් ගේට්ටුව ඉදිරියේ නතර වෙයි. කලින් ම හීටර ජෝගුවට වතුර ද දමා සයුරංගනා තේ හදන්නට සූදානම් කොට ගෙන හිඳී. ඇගේ තේ එක බී මිස දැන් යශෝදර ගෙදර යන්නේ නැත. ඔහු ආවාට පස්සේ ගෙදර හැන්දෑවේ තේ එක පිළියෙල කිරීම සයුරංගනා ට නො දැනී ම පුරුද්දක් වූයේ ය.

“අපේ ඉලන්දාරියට දැන් ඉස්සර වගේ අම්මගෙ තේ එක ඕන වෙන්නෑනෙ හවසට”

දවසක් මේ ගැන මල්කාන්ති ආඩපාලි කීවා ය. යශෝදර ට කියා ගන්නට නිදහසට කාරණයක් සිහි වූයේ නැත.

“අම්මගෙ තේ එක කියල එකක් මොකද්ද…තේනං තේ. කවුරු හැදුවත්…මොකෝ මෙයා කසාද බැඳල ගිය කාලෙකත් අම්මගෙ තේ එක බීල යන්න එන්නයැ…”

පාරමී මැද්දෙන් පැන අයියාව බේරා නො ගන්නට යශෝදර අන්තයට ම අසරණ වන්නට තිබිණ.

“අනේ අම්ම ඔය විදිහට හිතන කරන අම්මල ගැන දැන් කෙල්ලො කියන කතා අම්මල දන්නෑ. පුතාල කියන්නෙ අම්මලගෙ බූදලයක් නෙවෙයි කියල හිතාගෙනයි අනේ ඒගොල්ලොංව හදන්න ඕනෙ. මන්නං දවසක එහෙමයි කරන්නෙ. මගෙ පුතයි කියල මං වෙනුවෙන් උඹේ ජීවිතේම දීපං කියල කියන්නෑ. අත්තටු හයිය වෙනකල් බලාගත්තට පස්සෙ උන්ට නිදහසේ ඉගිලෙන්න අරින්න ඕනෙ. රිදිල තුවාල වෙලා ආදරේ හොයාගෙන ආවොත් අත්තටු යටට ගත්තට කමක් නෑ. හැබැයි සනීප වෙලා ආයෙ යනකල්. මමාස් බෝයිස්ල නිසා පැත්තක නිදහසේ ලස්සන ජීවිත ගත කරපු කෙල්ලංගෙ  දිව්‍යලෝක වගේ ජීවිත අපායවල් වෙලා තියන හැටි එළියෙදි අපි අනන්තවත් දකිනව. ඔයා එහෙම කරල පව් පුරෝගන්න එපා මිසිස් මල්කාන්ති”

සැහැල්ලුවට ගෙන කීවාට පාරමී එහෙම කියන්නේ ඇත්තට ම ය. අයියා එසඳිට සේම සයුරංගනා ට ද බැඳෙමින් හිඳිනා බව ඇය දනී. ඔවුන් අතරේ භෞතික වශයෙන් දැනට පරතරයක් පැවතී ද මේ මානසික බන්ධනය උස් මහත් වී වැඩෙන්නේ දිනෙක කවර බාධකයක් වුව බිඳ දමා උනුන් වෙත සමීප වීමේ ශක්තියකින් යුතුව බව ඇය දනී. ඒ සඳහා මල්කාන්ති සූදානම් කොට තැබීමට හැකි හැම විට ම පාරමී උත්සුක වන්නී ය.

එදා මාතර ගොස් එත්දී අහඹු ලෙස සිදු වූ සිදුවීම යශෝදර ගේ සේ ම සයුරංගනා ගේ ද හදවත් වල ගැඹුරු තැනක සුරක්ෂිතව නිදන්ගත ය. එයින් පස්සේ ඔවුන්ට ඔවුන් ගැන වෙනදා නොවූ අයිතිවාසිකමක් දැනුණා වී ද උනුන් හැසිරුණේ එහෙම සිදුවීමක් කිසිදා සිදු නොවූ ගානට ය. නැත්නම් එහෙම දෙයක් මතක ම නැති ගානට ය. 

“හිතාමතා එයාවත් මංවත් කිසිම වැරැද්දක් කළේ නෑ ගිම්හාන්…”

ඒ ආසන්න දිනෙක සුසාන භූමිය වෙත ගොස් ගිම්හාන් ගේ සුසානය ළඟ බයිසිකලය නවතා ගෙන යශෝදර බෝ වෙලාවක් ගත කළේ ය. 

“උඹට වරදක් කරන අදහසක් මට වගේම සයූටත් නෑ. ඒත්…උඹට චූටිහරි හිත් රිදීමක් වුණානං සමාවෙයං”

එදා මාතර ගිහින් පැමිණි රාත්‍රියේ ඒ සිදුවීම සිහි කොට සයුරංගනා හොඳට ම හැඬුවා ය. එසඳි ඉක්මනින් ම නින්දට වැටුණෙන් ඇයට නිදහසේ හඬන්නට අවකාශ තිබිණි. තමන් හඬන්නේ කුමක් ගැනද කියා පවා නො සිතා කඳුළු වලට රිසි සේ හැසිරෙන්නට හැරීමෙන් පස්සේ ඇයට යම් සැනසිල්ලක් දැනිණ. 

පෙර පාසල නිම වෙන වෙලාවට මෝටර් රථයෙන් විත් ඇයව ගෙදර ගෙන එන්නයි එසඳි යශෝදර ට කන්කෙඳිරි ගාමින් සිටියා ය.

“වෙන බබාලගෙ අපාචිලනං කා එකෙං ඇවිත් බබාලව එක්කං යනව. මං හැමදාම වෑන් අංකල් එක්ක එන්න ඕනෙ. යාළුවො මට හූ හූ කියනව. ඔයාගෙ තාත්ති එන්නෑනෙ ඔයාව එක්කං යන්න කියල”

පුංචි හිතෙහි කොනක හෝ රිදුමක් ඇති වී ඇති බව යශෝදර හැඳින්නේ ය.

“මං ඉක්මනටම එහෙම කරන්නං පැටියො. අම්මිවත් චැනල් එකෙන් අරගෙන…ඔයාගෙ නර්සරි එක ළඟට එන්නං”

“ප්‍රොමිස්…”

එසඳි ගේ ඇස් වල බලාපොරොත්තුවක් දිළිසිණි.

“ප්‍රොමිස්”

“එහෙනං එදාට මට චොක්ලට් ඩ්‍රිංක් එකක් බොන්නත් පුළුවන්. වෑන් අංකල්ට කොච්චර කිව්වත් චොක්ලට් ඩ්‍රිංක් එකක් ගන්න චොකෝ ශොප් එක ළඟ නවත්තන්නෑනෙ අනේ”

වරු නිවාඩුවක් ලබා ගත හැකි වූ ගමන් යශෝදර එසඳිට වූ ඒ පොරොන්දුව ඉටු කරන්නට වග බලා ගත්තේ ය. එදා ඇය මෝටර් රථය වෙත ආවේ සිය මිතුරු මිතුරියන් දෙස බලා ආඩම්බරයෙන් සිනහ වෙමිනි. සයුරංගනා ඇයව රිය වෙත ගෙන ඒමෙන් පස්සේ දැරිය යශෝදර ගේ අතින් ඇද ඔහු ඉන් බස්වා ගත්තේ ය. ඔහු ගේ අතින් ඇද ගෙන ම ඔංචිල්ලා පදිනා මිතුරන් අතරට ගොස් “මගෙ අපාචිත් එනව මාව එක්කං යන්න. මේ..” කියා ඔවුන්ට ඔහු පෙන්වූවා ය. යශෝදර ඈ වඩා ගත්තේ දෝරෙ ගලනා ආදරයකිනි. එසඳි ගේ ඇස් වලට තෙතමනයක් උනා තිබිණ.

“ඉතිං අපාචි ආවනෙ…ඇයි ඔයා අඬන්නෙ…”

“ඒගොල්ලො මට හිනාවෙනව. මට අපාචි කෙනෙක් නෑලු. මං කියන්නෙ බොරුලු. මගෙ අපාචි මැරුණලු”

දැරිය ගේ හඬ බිඳිණි. මුව බෙරි වී කඳුළක් රූරා ගියේ ය. එසඳි තුරුලු කොට ගෙන හඬන්නට පුළුවන් කමක් යශෝදර ට දැනිණ.

“යාළුවො එහෙම කියන්නෙ බොරුවට ඔයාව තරහ ගස්සන්නනෙ”

ඔහු අසීරුවෙන් එසේ කියාගත්තේ ය. ඒ දුක අමතක කරවනු වස් යශෝදර එසඳි ඕනේ කියන හැම තැනට ම ඇය කැටිව ගියේ ය. උයන්නට ප්‍රමාද වන බැවින් සයුරංගනා කෑම ගත්තා ය. යශෝදර සමගින් එසඳි කැටිව ම එන බව ජයරත්න ට ඇමතුමක් දී කීවා ය. 

කඩමණ්ඩියේ ගරාජය ළඟ මංජුල කොල්ලන් සමග කතාවට වැටීගෙන සිටියේ ය. මෝටර් රථය එතැන පසු කරත්දී ඔවුන්ව දුටු ඔහු වහ වහා යතුරු පැදියට නැගී රිය හඹා ආවේ ය. එය යන මග ඉදිරියෙහි බයිසිකලය හරස් කොට නැවතී ය. 

“මූ මොකාටද එන්න හදන්නෙ…”

යශෝදර නලාව හැඬවී ය. නමුත් මංජුල බයිසිකලයෙන් බැස රිය වෙතට ආවේ ය. සයුරංගනා ගේ හද ගැස්ම ක්ෂණිකව උත්සන්න වී තිබිණි. යශෝදර පැති වීදුරුව පහත් කළේ ය.

“ළමාතැනී. ඔහොම හොඳ ඇති නේ…”

මංජුල කෙළින් ම කතා කළේ සයුරංගනාටයි.

“අපි යං යශෝදර”

ඇය මිමිණුවා ය.

“මොකද්ද දැං මංජුල කියන්නෙ…”

කේන්තිය දෝරෙ ගලමින් තිබී ද යශෝදර කතා කළේ තමන් පාලනය කර ගෙන ය.

“මේ මේ උඹ එන්න එපා මේ කතා වලට මැදිහත් වෙන්න හොඳේ. අනුංගෙ ගෑනු කාර් එකේ දාගෙන ගිහිං හුරතල් කරන එකා…උඹ හිටපං උඹේ පාඩුවෙ. මං කතා කරන්නෙ මේ ළමාතැනීට”

මංජුල ඉතාමත් අවිනීත ස්වරයකින් තර්ජනය කරමින් යශෝදර දෙසට දබරැඟිල්ල පෑවේ ය. ඇසිල්ලකින් යශෝදර රිය දොර හරිමින් බිමට බැස්සේ ය.

“අනේ යශෝදර”

සයුරංගනාට එහෙම කියවිණ. ඒ හඬ තානයෙහි පසුතැවීමක් විය. භීතියක් විය. සන්තාපයක් විය. ඒ සියල්ල යශෝදර වෙනුවෙනි. ඔහු මේ පැටලෙන්නට හදන්නේ හොඳ මිනිසෙකු සමග නොවේ. ඔහු මේ කරගහන්නට හදන්නේ අනුංගේ පවකට ය.

“ඇයි ඇයි උඹ චණ්ඩියෙක්ද”

කියමින් මංජුල යශෝදර ගේ කමිස කොලරයෙන් අල්වා ගත්තේ ය.

“අනේ අපාචී…මංජුල මාම නෝටි…අපාචිට ගහන්න එපා”

කියා එසඳි කෑ ගසා හැඬුවා ය. සයුරංගනා කෙතෙක් බිය වී ද යත් එසඳි තුරුලු කොට ගත් ඇගේ සියොළග දහදියෙන් තෙත් වෙමින් තිබිණ. ඇය එසඳි රියෙහි තබා ඉන් බැස යශෝදර වෙතට සමීප වූවා ය. සිය කමිස කොලරය අල්වා ගත් මංජුල ගේ අත ඇද දමා යශෝදර ඔහු ඉදිරියේ අකුණක් සේ නැගී සිටියේ ය.

“මංජුල මේ…මං චණ්ඩියෙක් නෙවෙයි වුණාට බයගුල්ලෙකුත් නෙවෙයි හරිද…කොයි වෙලාවක හරි තමුසෙව හම්බවෙනකල් තමයි මං බලං හිටියෙ”

“ඇයි ඇයි මොනාටද..”

“අනේ අපි යං යශෝදර”

සයුරංගනා යශෝදර ගේ අත් බාහුවෙන් අල්වා ගත්තා ය. නමුත් ඔහු හිටියේ ඇගේ මෘදු ස්පර්ශයකින් නවතාලිය හැකි තැනක නොවේ.

“සයුරංගනා දිහා ජරා විදිහට බලන්න එපා උඹ උගුල්ලනව මං උඹගෙ ඇස් දෙකම කියල කියන්න”

“ඇයි එයා උඹගෙ ගෑනිද…”

යශෝදර ගේ අතක් මංජුල වෙත පතිත වූයේ හෙණ පහරක් සේ ය. එසඳි කෑ ගැසුවා ය. සයුරංගනා ට ද කෑ ගැසිණ. විවිධ හේතු මත හන්දියට පැමිණ සිටි මිනිසුන් මේ රණ්ඩුව සියැසින් දැක ගන්නට වට වෙමින් සිටි අතර මංජුල යශෝදර වෙත පහර දෙන්නට පෙර ඔවුන් දෙදෙනාව දෙපසට ඈත් කරන්නට ඔවුහු වග බලා ගත්හ. ඒත් මංජුල හැදුවේ ම යළි යශෝදර වෙතට පනින්නට යි. 

“හරි හරි යශෝදර උඹ පලයං. අර පොඩි එකාත් බය වෙලා අඬනව”

කියා කවුදෝ කියනු ඇසිණ. යශෝදර වහා හැරී එසඳි දෙස බැලුවේ ය. ඇය කඳුළු වගුරමින් සිටියා ය. ඒ කඳුළු නො දකින්නට මංජුලට පාඩමක් උගන්වා මිස ඔහු රියට නො නගිනු ඇත.

💚කතාව ගැන ඔබේ අදහස් තබා යන්න.

💚මගේ තවත් නවකතා දෙකක් කියවන්නට Shinie’s Writings  යූ ටියුබ් නාලිකාව පැත්තට ඇවිත් යන්න එන්න!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles