සයුරංගනා නිසසල ව යහනේ උඩුකුරුව වැතිර සිටියා ය. ඇගේ ඇස් කෙවෙනි අගින් කඳුළු ගංගා දෙකක් උල්පත් ලබයි. ඒ කඳුළු ගංගා පහළට රූටා ගොස් සවන් පෙති පිටුපසින් සැඟවී ගනී.
කාමරයේ මන්දාලෝකී කහ පැහැති එළියෙන් ඇයට එසඳි ගේ මුහුණ පැහැදිලි ලෙස පෙනේ. ඒ මුහුණ කෙතරම් නම් අවිහිංසක ද? ඇය ගැන දරා ගත නො හැකි සංවේගයක් තුරුණු අම්මා ගේ මව්වත් හදවත පුපුරා දමන්නට හදයි. සයුරංගනා ඇස් දෙක තද කොට පියා ගත්තා ය. උණු කඳුළු පොකුරක් මිරිකී ගියේ ය.
පිටතින් රෑහි හඬ ඇසේ. රෑහියා කියන්නේ කෙබඳු සත්වයෙකු දැයි ඇය සජීවී ලෙස දැක නැත. ඌ හඬ නගන්නේ කුඩා සිරුරේ පිටුපස කොටසේ අංගයක් චලනය කිරීමෙන් යයි ඇය කවදා හෝ අසා තිබේ. ට්‍රයිඩැක්ස් මිටියාවතෙහි උන් සැඟවී සිටිනවා විය හැක. පුංචි කණාමැදිරියෙකු කාමරයේ බිත්ති වල හැපෙමින් ඒ මේ අත පියාඹනු පෙනේ. ඌ කොයි වෙලාවේ කාමරයට එන්නට ඇත්දැයි ඇය දන්නේ නැත. ගොදුරකට කුරුමානම් අල්ලන හූනෙකු ගේ උකුසු ඇසට හසුවී කොයියම් මොහොතක හෝ කණාමැදිරියා හූනෙකුට ගොදුරු වනු ඇත. නමුත් පිටතට පියාඹා යන ලෙස කණාමැදිරියා වෙනුවෙන් ජනේල පියනක් විවර කරන්නට තරම් පණක් එක්කාසු කර ගන්නට ඇයට හැකි වූයේ නැත.
මේ කඳුළු ඇයිදැයි සයුරංගනා හේතු විමසන්නට නො ගියා ය. කඳුළු වලට ගලන්නට ඕනේ නම් ඕ ඊට ඉඩදී සිටියා පමණකි. හඳ ඉල්ලා හැඬුවාට එය කිසි දා ලද නො හැකි බව ඇය දනී. මොනවා ඉල්ලා හැඬුවත් ඒවා අත්පත් කර ගන්නට තරම් වාසනා මහිමයක් තමන් සතු නොවන බව සයුරංගනා වටහා ගත්තේ තමන් කවුරුන්ද කියා හෝ වටහා නො ගත් ළමා වියේදී ය. හිතේ බර අඩු කර ගනු වස් මේ ලුණු කඳුළු දී තිබෙන්නේ දෙවියන් විය හැක. නමුත් සමහර දේවල් ඉල්ලා හඬන්නට හෝ අයිතියක් නැත. යශෝදර කියන්නේ එවන් අකැප වස්තුවකි.
නමුත් මේ දැනෙන්නේ ආදරය බව දැන් ඇය විශ්වාස කරයි. මෙහෙම හැඟීමකින් මීට පෙර හදවත හිස් ව පැවතියේ ය. ආදරය හැර ඇය ට අන් සියල්ල හිමි වී තිබිණ. ආදරයට අයිති ඉඩ හැමදාමත් හිස්තැනක් සේ දැනී නො දැනී තිබුණේ ය. ඒ හිස් තැන් පිරී ගියේ මේ සා විසල් සන්තාපයක් විසින් විස්ථාපනය කරමින් ය කියා කෙසේ අදහා ගන්න ද?
හද ගස්වමින් දුරකතනය හැඬවිණ. සයුරංගනා ඉක්මන් කොට එය අතට ගත්තේ එසඳි අවදි වේ යයි බියෙනි. යශෝදර ගේ නම තවත් වතාවකට හදවත තිගස්සන ලදී.
“යශෝදර”
ඇය උගුර යටින් කතා කර ගත්තා ය.
“නිදිද..”
යශෝදර දෙඩුවේ ද මද මුදු පිරිමි හඬකිනි.
“න්නෑ..”
“කෙල්ල..”
“එයා දොයි”
සයුරංගනා නාසය මඳක් උඩට ඇද්දා ය.
“අඬනවද ඔයා…”
“නෑ යශෝදර”
ඔහු ට නො පෙනී ද ඇය අහිංසක සිනහවක් නගා ගත්තා ය.
“මං කිව්වනෙ ඕන්නැති දේවල් හිතන්නෙපා කියල”
“මං මුකුත් හිතුවෙ නෑ”
යශෝදර ගේ හිතේ සයුරංගනා ගේ කඳුළු බර දෑස් මැවී පෙනිණ. ඇය සිය පපුතුර හොවා තදින් තුරුලු කොට ගන්නට තරම් ස්නේහයකින් හද තත් සුසර වෙමින් තිබිණ.
“මට ඔයාව දැනෙනව සයූ…මං ඔයාව විඳිනව. මං ඔයාට ඇත්තටම ආදරේ කරනව. මං දන්නෑ ඔයා ඒක කොයි තරං පිළිගන්නවද කියල”
“මං වගේ කෙනෙක් ළඟ…නතර වෙන්න හදන්නෙපා”
ඇය ඒ කියා ගත්තේ අසීරුවෙනි. අතර මගකදී උගුරේ වචන හිර නොවෙන සේ ප්‍රවේසමෙනි.
“මං අඩියක් ඉස්සරහට තිබ්බනං ඒ ආයෙ පස්සට ගන්න නෙවෙයි. ඒක හුඟක් හිතල ගත්ත තීරණයක් සයූ. ටිකක් අමාරු වෙයි. අම්මල කියන අය හිතන විදිහ එක්ක…ඔයා දන්නවනෙ ඒක…ඒත් මොන හේතුවක් නිසාවත් ආපහු හැරෙන්න මට ඕන නෑ”
“මට අනුකම්පා කරන්න හදන්නෙපා”
“ඔයා ඕක කියයි කියල තමයි මං මෙච්චර දවසක් ඉවසං බලං හිටියෙ. ඇයි මං ඔයාට අනුකම්පා කරන්නෙ…ඔයා ශෝක් කෙලි පැටියෙක්ගෙ අම්ම කෙනෙක්. ඔයා හරි දක්ෂ ගෑනු ළමයෙක්. ඔයාටයි දරුවටයි ජීවත් වෙන්න විදිහක් නැති නිසා ඔයාව ලං කරගන්නව නෙවෙයි මේ. ඔයාට ජීවත් වෙන්න පිරිමියෙක්ගෙ හයියක් නැතුවට පුළුවන් කියල ඔයා මුළු ලෝකෙටම ඔප්පු කරල පෙන්නල ඉවරයි. මෙතන එහෙම අනුකම්පාවක් නෑ සයූ. මට ඔයාගෙ තටු කපල කූඩු කරන්න ඕනත් නෑ සයූ. මං ආසයි ඔයා ඔයාගෙ අහසෙ ඉගිලිල හතරමායිං බලාගන්නවට. අහස වුණත් අපිට දුරට පේන තරං සුන්දර නෑ කියල තේරුං ගන්නවට. හුළංකපොලු කුණාටු මහ වැහි වලිං බේරිල පරිස්සමට ඉගිලෙන හැටි ඔයා දැන ඉගෙන ගන්නවට. ඒ හැම තැනකම අපේ පැටියත් වඩාගෙන ඔයාගෙ පැත්තකින් ඉන්න මට පුළුවන් කියල මං දන්නව. නූල මගෙ අතට දීල ඔයා කැමති තරං දුරක් ඉගිලිලා එනකල් පරිස්සමට අල්ලං ඉන්න මට හයිය තියනව කියල මං විශ්වාස කරනව. ඒක නිසා ඔයාට බය වෙන්න දෙයක් නෑ. මාව ඕන කරන හැම වෙලේම යශෝදර කියල කතා කරන පමාවට මං ඔයා ළඟ ඉඳී. ආදරේ කියන්නෙ ඒකට කියල මට දැනෙනව. ඇත්තටම ඔයා නිසා දැනෙන හැම දේම ආදරේ කියල හිතන්න මං කැමතියි. සයූ..ඒකට අනුකම්පාව කියන බාල වචනෙ පාවිච්චි කරන්න එපා”
“අනේ යශෝදර”
වාවා ගන්නට බැරි හැඟුම් සමුදායක් සිත් ඉවුරු බිඳ ගෙන පිටතට පැන්නේ ය. සයුරංගනා ඉකි බිඳ බිඳ හැඬුවා ය. සැබවින් හඬන්නට ඇයට ඕන වී තිබුණා නොවේ. හඬන්නේ කිමදැයි ඇය දැන සිටියාත් නොවේ. නමුත් නාඬා සිටින්නට ඇය අපොහොසත් වූවා ය. කවදාවත් කවුරුන්වත් ඇයට මේ විදිහට කතා කොට නැත. පපුව හාරාගෙන කිඳා බසින හැඟීමක් දනවමින් කතා කොට නැත. ප්‍රේමයේ තත් සුසර කරවන භාෂාවකින් ආමන්ත්‍රණය කොට නැත. ඉතින් ඇය නාඬා ඉන්නේ ඇයි? මේ හැඟුමන් තුරුලු කොට ගෙන හැඬිය යුතු ම ය!
“මේ අහන්න. අපි මේකට මූණ දෙමු. කොච්චර අමාරු වුණත් ඔය දෙන්නගෙ අත් දෙකෙන් අල්ලං ඉන්නව මං. ඔයාට විශ්වාස නැද්ද මාව..”
“මො…නාද කියන්නෙ…ගිම්හාන්ගෙන් පස්සෙ කෙනෙක් ළඟදි මට විශ්වාසෙ කියන දේ දැනුණනං…ඒ ඔයා ළඟදි විතරයි”
“ආදරෙත් එහෙම දැනෙයි”
කෑ ගසා හඬන්නට සයුරංගනා ට උවමනා විය. යශෝදර ගේ පපුවෙහි එල්ලී ගෙන විලාප තබන්නට තරම් ඇය හැඟීම් වලින් ආතුර වී සිටියා ය.
“මට දැනෙනව යශෝදර. වෙන කවදාවත් කවුරු ළඟදිවත් නොදැනුණ දෙයක් ඔයා ළඟදි දැනෙනව. ඒත්…ඒත් මං හරි අසරණයි යශෝදර”
එතෙක් හදවත් රහස් ගුහාවෙහි සඟවා ගෙන රැකි යමක් වේ නම් ඇය ඒ එළියට දැම්මා ය. ඇයට මහත් නිදහසක් දැනිණ. සැනසිල්ලක් දැනිණ. සුවයක් දැනිණ. එසේ ම අලුත් බරක් ද හිත මත පැටවිණ.
යශෝදර ගේ දෙතොල් පෙති විවර වී මඳ සිනහවක් මැවුණේ ය. එතෙක් යහනෙහි වැතිර උන් හෙතෙම, නැගිට එහි හිඳගත්තේ ය.
“ඒකට කමක් නෑ. හැම දේම බලාගන්න මං ඉන්නවනෙ. දැන් මුකුත් හිතන්නැතුව හොඳට නිදාගන්න. ම්..”
“හ්ම්”
“ආදරෙයි ගොඩක්”
කම්මුල් පුපුරු ගසනා හැටි සයුරංගනා ට දැනිණ. කන් වලින් දුම් පිට වෙනවා කියන දේ ඕ හැබැහින් අත්වින්දා ය. එසඳි ට ලං වූ ඇය දැරිය තුරුලු කොට ගෙන ඇස් පියවා ගත්තා ය. ඇගේ දෙතොල් මත්තෙහි මඳහස මද පවනක් සේ පා වෙමින් තිබිණ.
උදා වූයේ සති අන්තය වීම සැනසීමක් දැනවී ය. උදේ ම යශෝදර එසඳි සමගින් ට්‍රයිඩැක්ස් මිටියාවතෙහි ක්‍රිකට් ගැසුවේ ය. ටික වෙලාවකදී ඊට පාරමී හා තේමිය ද එක් වී සිටියහ. සයුරංගනා කිරිබත් ඉව්වා ය. උදේ ම කිරිබත් ඕනේ යයි කීවේ එසඳියි. සුබ නැකැත් නැතිවත් කිරිබත් ඉදෙනා බව සුවඳ කිය කියා ගියේ ය. ජයරත්න කෙසෙල් කොළයක් කපා සේදුවේ ය. කිරිබත එහි දමා මතුපිට පොල් කිරි තවරමින් කෙසෙල් කොළ කැබැල්ලකින් තුනී කරනා විට එන සුවඳ පිංවත් ය. කිරිබත නිවෙනා තුරු සයුරංගනා කට්ට සම්බලයක් කෙටුවා ය. දෙහි රස මුසු ඒ කට්ට සම්බලයට ගිම්හාන් බෝ රිසි වග සිහි වී සයුරංගනා ගේ පපුවේ කොනක ඇති වූයේ රිදුමකි. සුසුමකින් ඕ ඒ රිදුම තවා ගත්තා ය.
“කිරිබත් කමු”
ට්‍රයිඩැක්ස් මිටියාවත වෙත ගොස් සයුරංගනා එසේ කීවේ පාරමී ට ය. යශෝදර ගේ ඇස් කාන්දම් වාගේ ඈ මත එල්ලීගෙන තිබිණ.
“ඊයෙ කේක්..අද කිරිබත්…අනේ මන්දා…”
පාරමී සිනහව හිර කරගෙන දෙඋරහිස් හැකිළුවා ය. තේමිය ඇයට අනුබල දුන්නේ ය.
“ඒ කියන්නෙ සුබ දවස් ඉස්සරහට එයි”
“දැනටමත් ඇවිත් කියලයි සමහර ඇස් අපිට නොකියා කියන්නෙනං…”
පාරමී අඩැසින් බැලුවේ අයියාගේ මූණ දෙසයි. යශෝදර ඇගේ කරට අතක් දමා ගනිමින් අඩ සිනහවක් රැඳි අඩ බැල්මක් සයුරංගනා වෙතට හෙළුවේ ය. ඇයට ඒ බැල්ම දරා ගත නො හැකි සේ දැනිණ.
කිරිබත් මේසය බලා සිටියේ සතුට මතුර මතුරා ය. ජයරත්න දැනටමත් එහි වාඩි වී ගෙන සිටියේ ය. සයුරංගනා විද්‍යුත් කේතලයට වතුර දැමුවා ය. තරුණ තරුණියෝ අත් සෝදා ගන්නට මුළුතැන්ගෙහි පේළියක් වී සිටියහ. එක එක්කෙනා අත් සෝදාගෙන කෑම මේසයට යත්දී අන්තිමට ඉතිරි වූයේ යශෝදරයි. සයුරංගනා අත් දෙකෙහි දෙවැලමිට පැන්ට්‍රි මේසයට බර කොට ගෙන ඔහු දෙස බැලුවා ය.
“ඔයත් එන්න කන්න”
“මං තේ හදන්නං”
“කාල ඉමු”
යශෝදර ඇගේ බඳ පිටුපස අතක් තබා ඇය ඉදිරියට කරමින් වතුර කේතලයේ පේනුව ක්‍රියා විරහිත කළේ ය. සයුරංගනා ඇස් වලින් විතරක් කතා කළා ය.
“අර අපි කතා කරගත්ත ගමන යන්න බැරි වුණා නේ තාම…”
තේමිය පරණ කතාවක් අලුත් කළේ ය.
“ඒක තමයි. පේදුරු තුඩුවට ගිහිං දෙවුන්දර තුඩුව හරහා හයිවේ එකේ ගෙදර එන්න හිටිය ගමන”
“යං ඉතිං කොහෙහරි”
යශෝදර කිරිබත් කැබැල්ලක් පිඟාන මතින් තබනා ගමන් හෙමිහිට මිමිණී ය.
“ඊළඟ වීක්එන්ඩ් එකට දාගෙන අර වැඩෙත් ගොඩදාගමුද එහෙනං…”
පාරමී ඇසක් ඉඟි කළා ය. සයුරංගනා ගේ හද ගැස්ම වැඩි වී ගෙන ආවේ ය. යශෝදර ඇගේ පිඟානටත් කිරිබත් කැබැල්ලක් බෙදුවේ ය. සය දෙනෙකුට හිඳගත හැකි මේසයෙහි එක් අන්තයක ජයරත්න හිඳ සිටියි. තේමිය හා පාරමී අනිත් පැත්තේ ය. එසඳි හා යශෝදර ඔවුන්ට සම්මුඛවයි. ඉතිරි වී තිබි අසුනේ, යශෝදර හා පාරමී අතරින් සයුරංගනා හෙමිහිට හිඳගත්තා ය.
“ගිම්හාන් වෙනුවෙන් අටපිරිකරක් පූජකරන්න ඕන මට…”
සයුරංගනා අසීරුවෙන් කොඳුරා ගත්තා ය..මොහොතකට කෑම මේසය නිශ්ශබ්ද කලාපයක් බවට පත් විය.
“සයූට ඒක කරන්නත් එක්ක කොහෙට හරි යන්න දාගමු එහෙනං”
“අනුරාදපුරේ යං එහෙනං. නේ අංකල්…”
“ඔය ළමයි කැමති විදිහක් කරන්න. දුව…ගිම්හාන් ගියා. ඒක අපි කාටවත් නතර කරන්න පුළුවන් ගමනක් නෙවෙයි. එයාව මතක් වෙනව තමයි. එයා වෙනුවෙන් පිනක් දහමක් කරන්න ඕන තමයි. ඒත් දුවට විනෝදෙං ඉන්න පුළුවන් මොහොතක් ගිම්හාන් නැතිවෙච්ච එක මතක් කරං නැති කරගන්න හදන්නෙපා. ඔයා තරුණ ළමයෙක්නෙ”
සයුරංගනා ගේ පපුව පිච්චෙමින් තිබිණ. ඇයට ඉතා තදින් ගිම්හාන් සිහි වෙමින් තිබිණ. ඇය කඳුළක් එක්ක සටනක් කරන්නට වූවා ය.