බොලිවුඩයේ දොරටු විවර කරගත් ශ්‍රී ලාංකීය තරු

බොලිවුඩයේ දොරටු විවර කරගත් ශ්‍රී ලාංකීය තරු

බොලිවුඩ් සිනමාව කියන්නෙ වයස් බේදයක් නැතුව අපි කවුරුත් ආදරය කරන සිනමා ලෝකයක්නෙ.

අති සාර්ථක ආදායම් වාර්තා ගොඩනගන දැවැන්ත චිත්‍රපට, ප්‍රේක්ෂක මතකයේ දශක ගණනක් රැව් පිළිරැව් දෙන ගීත, ප්‍රේක්ෂකයන් වසඟ කරගත් සිනමා නළු නිළියන් වගේම සටන් ජවනිකා ඇතුළත්ව නිර්මාණය වුන බොලිවුඩ් සිනමාවට පිවිසෙන එක චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝදෙනෙක්ගෙ සිහිනයක් බව රහසක් නෙමෙයි. 

හැබැයි, ඉන්දියාවට බොහොම ලඟින්ම ඉන්න අසල්වැසි රටක් වුණ අපේ රටෙන් බොලිවුඩ් සිනමාවට පිවිසෙන්න වරම් ලබාගෙන තියෙන්නෙ නම් බොහොම සුළු පිරිසක්.

අපි අද බලමු ඒ කවුද කියල. 

ජැකලින් ෆර්නෑන්ඩස්

මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධව අත්අඩංගුවට ගැනුනු සිය පෙම්වතා වුණ සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ සම්බන්ධය නිසා මේ දිනවල විවිධ ප්‍රවෘත්ති වල නම කියවෙන ජැකලින් ෆර්ඩිනෑන්ඩස් කියන්නෙ ශ්‍රී ලාංකාවෙන් බොලිවුඩ් සිනමාවේ රංගන වරම් ලැබූ වැඩිම ආකර්ෂණයක් සහ ජනප්‍රියත්වයක් හිමිකරගත් චරිතය කියල හඳුන්වන්න පුළුවන්.

1985 බහරේන් නුවර උපත ලැබූ ජැකලින් ෆර්නෑන්ඩස් 2008 වසරේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශ්ව රූජිණ තරගයට සම්බන්ධ වුණා.

ඒ ඔස්සේ හින්දි සිනමාවට එක්වීමට වරම් ලද ඇය එදා මෙදා තුරු හින්දි සිනමාවේ සුන්දරම නිළිය ලෙසද සමහරුන් පවසනවා. 

ජැකලීන්, අමිතාබ් බච්චන් සහ රිතිෂ් දේශ්මුක් රංගනයෙන් දායක වූ ඇලඩින් චිත්‍රපටයේ ගීත අතිශය ජනප්‍රිය වුණා ඔබට මතක ඇති. 

සිය ප්‍රථම චිත්‍රපටය වන ඇලඩින් හි රඟපෑම වෙනුවෙන් IIFA සම්මානයක් හිමිකර ගැනීමේ භාග්‍ය ලැබූ ඇය මේ වන විට චිත්‍රපට තිහකට වඩා වැඩි ප්‍රමාණයකට රංගන දායකත්වය ලබා දී තිබෙනවා. 

සරල කාරියවසම්

1996 ගාල්ල ප්‍රදේශයේ ඉපිද එහි හැදී වඩුනු සරලා කාරියවසම් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකීය ළමා රංගන ශිල්පිනිය ලෙස හඳුන්වන්න පුළුවන්. 

ඒ ඇය රංගන දායකත්වය ලබාදුන් water චිත්‍රපටයේ ළමා මනාලියක්ව පසුව ළමා වැන්දඹුවක් බවට පත්වූ chuiya චරිතය වෙනුවෙනුයි. 

ඒ වනවිට ඉංග්‍රීසි හෝ හින්දි භාෂාව පිළිබඳ නොදැන සිටි නමුත් ඇය කිසිදු ආගන්තුක බවකින් තොරව එම චරිතයට පණ පෙවූ බවත් ඇගේ දිගු කළු කෙස් කලඹ කපා දැමීමට කැමති වීමෙන් දරුවෙක්ව සිටි කාලයේදී පවා රංගනය වෙනුවෙන් ඇය දැක්වූ කැපකිරීම ප්‍රශංසනීය බවයි චිත්‍රපට විචාරකයන් පෙන්වා දෙන්නෙ. 

මේ වනවිට එරංග කාරියවසම් සමඟ විවාහ වී සිටින ඇය එක්දරු මවක් වන අතර රූපවාහිනි නිවේදිකාවක් ලෙසද කටයුතු කරා.

සරලා කාරියවසම් ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක්ද වනවා. 

රශිප්‍රභා සන්දීපනී

හින්දි සිනමාවට එක්වීමට මෑතකදීම වරම් ලැබූ ශ්‍රී ලාංකීය රංගන ශිල්පිනිය ලෙස රශිප්‍රභා සංදීපනී හඳුන්වන්න පුළුවන්.

ගිය වසරේ ඇය හින්දි සිනමාවට එක්වූ නමුත් නිර්මාණය එළිදක්වන තුරු ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටීමට කටයුතු කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. 

කෙසේ නමුත් ඉදිරියේදී බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන දුෂ්‍යන්ත් ප්‍රතාප් සින්ගේ “Ajay vardhan” චිත්‍රපටයේ රංගන ශිල්පිනයක ලෙස ඇය රංගනයට එක්වූ Jab Bulna Hi tha ප්‍රචාරණ ගීතය මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. 

1994 දෙසැම්බර් 27 වනදින මොරටුව ප්‍රදේශයේ ඉපිද හැදී වැඩුනු ඇය මේ වනවිට 29 වන වියේ පසුවනවා. 

පළිඟු පියාපත්, බිතු සිතුවම්, ඉඩෝර වැස්ස සහ race වැනි චිත්‍රපට සඳහා රංගන දායකත්වය ලබාදුන් ඇය ෂාරුක් ඛාන් සමඟ රඟපෑමට සිහින දකින බව ඇය ප්‍රකාශ කර තිබුණා. 

මදුහන්සි හසින්තරා

කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ  ආදී විද්‍යාර්ථයෙක් වන මදුහන්සි හසින්තරා ශ්‍රී ලාංකීය රංගන ශිල්පිනියක් ලෙස නම් ඔබේ මතකයේ නැතුව ඇති.  

නමුත් කලින් කලට සමාජ මාධ්‍ය වල ඇය පළකර විවිධ ඡායාරූප නිසා අවධානයට සහ බොහෝ අවස්ථාවල බොහෝදෙනාගේ සිනහවට ලක්වූ ඇය ඒ සියල්ලම ඉදිරියේ නිශ්ශබ්දව සිටිමින් තමන්ට අපහාස කළ බොහෝදෙනෙක්ට තම හැකියාවෙන්ම උත්තර දෙන්න සමත් වුණා. 

ශාරුක් ඛාන් රංගන දායකත්වය ලබාදුන් ජවාන් චිත්‍රපටයේ රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස රංගන දායකත්වය ලබාදුන් ඇය ඉන්පසු ඉන්දියානු ටෙලි නාට්‍යවලට සහ විවිධ ප්‍රචාරණ දැන්වීම් වලට පෙනී සිටීමේ අවස්ථාවත් හිමිකර ගත්තා. 

සෙමින් තමන්ගේ පාඩුවේ තමන්ගෙ ගමනක නිරත වී සිටින ඇය සමාජ මාධ්‍ය ඔස්සේ මිනිසුන්ව විවේචනය කරන අසුන්දර මිනිසුන් හමුවේ පසුනොබැසිය යුතු බව අපිට පෙන්වා දෙන හරිම සුන්දර යුවතියක් බව නම් කිව යුතුමයි. 

යොහානි ඩි සිල්වා

යූ ටියුබ් හරහා අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගත් යොහානි ජනප්‍රිය ගායිකාවක්, ගීත රචනා ශිල්පිනියක්, රැප් ගායිකාවක් සහ පටිගත කිරීමේ ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා. 

1993 ජූලි මස 30 වන දින උපත ලැබූ ඇය විශාකා විද්‍යාලයෙන් සහ සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු හැදෑරූවා. 

මැණිකේ මගේ හිතේ ගීතය ඇයගේ ආරයකට ගායනා කිරීමෙන් අතිවිශාල ආකර්ෂණයක් සහ ප්‍රේක්ෂක ආදරයක් හිමිකර ගැනීමට ඇය සමත් වූ අතර මේ වන විට එම ගීතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 245 ඉක්මවා තිබෙනවා. 

ඒ ඔස්සේ ඉන්දියාවේ චිත්‍රපට ක්ෂේත්‍රයට එක්වීමට භාග්‍ය හිමිකරගත් ඇය උදිත් නාරායන් සහ ශ්‍රියා ගෝසාල් වැනි ඉන්දියානු අතිදැවැන්ත ගායන තරු සමඟ එක්ව ගැයීමේ භාග්‍යද හිමිකර ගත්තා. 

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අපහාස සහ විවේචන එල්ල වුනත් ඇය ඇත්තටම ශ්‍රී ලාංකීය නාමය,සිංහල හඬ සහ පද ඉන්දියාව පුරා උමතුවක් බවට පත්කරන්න සමත් වුණ තරුණියක්. 

බොලිවුඩ් සිනමාවට පිවිසීමේ තම ආරම්භය ලෙස ඉන්ද්‍ර කුමාර් අධ්‍යක්ෂණය කර Thank God චිත්‍රපටයට ගීත ගායනා කිරීමේ වරම්ද ඇය හිමිකර ගත්තා. 

මේ තරු සමහර අවස්ථාවල ඔබේ විවේචන සහ සිනහවට ලක්වුනත් ඔවුන්ගේ අරමුණු කරා ගමන් කරන ගමන නවත්වා නැහැ.

ඉතිං මේ වගේ බොලිවුඩ් දොරටු විවර කරගත් තවත් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ ඔබ දන්නවද?

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles