ගෑස් ලිපේ උයන ඔයා ගෑස් පිරිමහගෙන පාවිච්චි කරන්නෙ මෙහෙමයි…

පුළුවන් හැම විදිහටම අනවශ්‍ය වියදම් අඩු කරගෙන අරපිරිමැස්මෙන් ගෙදර ආර්ථිකේ ගෙනියන්න හැම වෙලේම හිතන අපේ ආදරණීය කාන්තාවන් වෙනුවෙන් තවත් ඉතාම වැදගත් ලිපියක් අරගෙනයි ඔන්න අදත් අපි එකතුවෙන්නෙ. 

ගෑස් උඳුන් වලින් උයන පිහින ඔබට ඉක්මණින් ගෑස් ඉවරවෙන ගැටළුව ඇතිනෙ.

ගෑස් පිරිමහගෙන වැඩි කාලයක් ගෑස් සිලින්ඩරයක් පාවිච්චි කරන්නෙ කොහොමද කියල ඔබත් එක්ක කතා කරන්නයි අපි අද සූදානම් වෙන්නෙ.

එහෙමනම් අපි බලමුද ඒ කොහොමද කියල?

Pressure Cooking එහෙමත් නැත්නම් පීඩන උඳුනෙන් ආහාර පීසීම

Pressure Cooker භාවිතයෙන් ආහාර පිසීම ගෑස් ඉතිරි කරගැනීමේ ඉතාම සාර්ථක ක්‍රමයක් බව පර්‍යේෂකයන් පෙන්වා දෙනවා. 

ඒ වගේම ඒ සඳහා ගතවෙන කාලයේත් කැපීපෙනෙන අඩුවක් දකින්න ලැබෙනවා. 

ඒ අනුව pressure cooker භාවිතයෙන් ආහාර පිසීමේදී බත් පිසීම සඳහා වැයවන ගෑස් ප්‍රතිශතය 20% කින්, ධාන්‍ය සඳහා වැයවන ගෑස් ප්‍රතිශතය 46% කින්, එළවළු පිසීම සඳහා වැයවන ගෑස් ප්‍රතිශතය 50% කින් සහ මස් පිසීම සඳහා වැයවන ගෑස් ප්‍රතිශතය 41.5% කින් අඩුවන බවත් සඳහන් වෙනවා. 

අඩු දැල්ලෙන් ආහාර පිසීම

වැඩි ගිනි දැල්ලෙන් ආහාර පිසීමේදී ගෑස් තාපය ආකාරයෙන් හානිවීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ වගේම ආහාර පිසින බඳුනෙන් ඉවතට විහිදෙන ගිනි දැල්ලත් තාපය වශයෙන් අවට පරිසරයේ වාතයෙන් අවශෝෂණය වී හානිවීමත් සිදුවෙනවා. 

ඒ නිසා ආහාර පිසීමේදී ආහාර රත්වන තුරු වැඩි දැල්ලෙන් ආහාර පිස ඉතිරිය අඩු දැල්ලෙන් පිසීමෙන් වැයවන ගෑස් ප්‍රතිශතය 25% ක් දක්වා අඩුකරන්න ඔබට හැකියාව තියෙනවා.  

පෙඟවීම

ආහාර පිසීමට පෙර පොඟවා තබා ගැනීමත් ඉතාම හොඳ උපක්‍රමයක්. 

ප්‍රධාන වශයෙන් සහල් සහ පරිප්පු වැනි ධාන්‍ය වර්ග සඳහා මේ ක්‍රමය පාවිච්චි කරන්න ඔබට පුළුවන්. 

ආහාර පොඟවා තිබීමෙන් අවශ්‍ය ජල ප්‍රමාණය අවශෝෂණය කරගෙන ඇති නිසා පිසීමේදී වාෂ්ප වීමට අවශ්‍ය ජල ප්‍රමාණය අඩුවීම නිසා පිසීමට ගතවන කාලය අඩුකරගන්න ඔබට පුළුවන්. ඒ වගේම පිසීමේ ක්‍රියාවලියෙන් කොටසක් අවසන් නිසා වැඩි දැල්ලක් අවශ්‍ය නොවී අඩු දැල්ලෙන්ම ආහාර පිසගන්නත් ඔබට හැකියාව ලැබෙනවා. 

ආහාර පිසීමට පළල් භාජන තෝරාගන්න

ගෑස් ලිපේ ආහාර පිසීමේදී පළල් භාජන තෝරා ගැනීමෙන් ගිනි දැල්ල හරහා අපතේ යන ගෑස් ඉන්ධන ප්‍රමාණය ආරක්ෂා කරගන්න ඔබට පුළුවන්.

ගිනි දැල්ල භාජනයේ පළල් පතුලේ වදින නිසා රස්නය භාජනයට අවශෝෂණය වී ගිනි දැල්ල අපතේ යාම වැළකෙනවා. 

ඒ වගේම ඉක්මණින් සහ ඒකාකාරීව ආහාර පිසගන්නත් පළල් භාජන භාවිතයෙන් ඔබට හැකියාව ලැබෙනවා. 

අවශ්‍ය ජල මට්ටම පමණක් යොදන්න

බිත්තර, අල, සෝයා, නූඩ්ලස් වගේ ජලය භාවිතයෙන් තම්බා ගැනීමට අවශ්‍ය ආහාර තැම්බීමේදී වගේම ව්‍යාංජන පිසීමේදීත් අනවශ්‍ය ලෙස ජලය යෙදීමෙන් වැළකීමට ඔබ සැළකිලිමත් විය යුතුමයි.

ජලය රත්වීමට සහ වාෂ්ප වීමට ගතවන කාලය අඩුකර ගැනීමෙන් ආහාර පිසීමට ගතවෙන කාලය කැපීපෙනෙන ලෙස අඩුකර ගන්න ඔබට පුළුවන්. 

කුඩා දාහක සහිත උඳුන්

කුඩා දාහක එහෙමත් නැත්නම් burners සහිත ගෑස් උඳුන් වලින් විශාල දාහක සහිත ගෑස් උඳුන් වලට වඩා 6% – 10% ක් අතර ප්‍රතිශතයකින් ගෑස් ඉන්ධන ඉතිරියක් සිදුවෙන බව පර්‍යේෂකයන් පෙන්වා දෙනවා. 

විශාල දාහක සහ කුඩා දාහක වල දැල්ල එකම උසකින් යුතු නිසා ඔබට අවාසියක් සිද්ධ වෙන්නෙ නෑ. ඒ වගේම අපි කලින් සඳහන් කළ පරිදි දැල්ල මඟින් ඉවතට යන ගෑස් ප්‍රමාණයත් ආරක්ෂා කරගන්න ඔබට පුළුවන්.

ආහාර පිසින භාජනය පියනකින් වසන්න

ආහාර පිසීමේදී භාජනය පියනකින් වැසීමෙන් උෂ්ණත්වය බඳුන තුලම රඳවා ගන්න හැකියාව ලැබෙනවා. 

එමඟින් ආහාර පිසීමට ගත වෙන කාලය අඩුවෙන නිසා අවශ්‍ය ගෑස් ඉන්ධන ප්‍රමාණයත් අඩුකර ගන්න ඔබට පුළුවන්.  

දාහක (burners) පිරිසිදු කරන්න

පිරිසිදු නොකර සහ අවහිර වී ඇති බාධක ගිනි දැල්වීමට බාධකයක් ලෙස ක්‍රියා කරනවා. ඒ නිසා ගිනි දැල්වීමටත් රත්වීමටත් වැඩි වේලාවක් ගත වීම දකින්න පුළුවන්. මේ හේතුවෙන් අපතේ යන සහ අවශ්‍ය වෙන ගෑස් ඉන්ධන ප්‍රමාණය ඉතා ඉහළයි.

ඒ නිසා නිතරම දාහක පිරිසිදුව තබා ගැනීමත් ඉතාම වැදගත්.

ඒ වගේම කහ දැල්ල ඇතිවීමෙන් අවහිර වූ දාහක හඳුනාගන්න පුළුවන් නිසා ඒ පිළිබඳව සැළකිල්ලෙන් සිටීමත් ඉතාම වැදගත්. 

භාජන පිරිසිදුව තබාගන්න

හානිවූ, පැල්ලම් බැඳුණු සහ කැඩුනු උයන භාජන මතුපිට තාප හුවමාරුව අකාර්‍යක්ෂම කරමින් වැඩි තාපය ප්‍රමාණයක් උරා ගැනීම සිදුකරනවා.

ඒ නිසා උයන භාජන ඒ ඒ භාජන වලට ආවේණික පරිදි භාජන වලට හානි නොවන පරිදි හොඳින් පිරිසිදු කර ආහාර පිසීමට ගැනීම ඉතාම වැදගත්. 

ඉතිං මේ සරල පියවර අනුගමනය කිරීම මඟින් ඔබේ ගෑස් සිලින්ඩරය වැඩි කාලයක් භාවිතයට ගන්න ඔබට පුළුවන්.

මෙවැනිම වැදගත් ලිපියකින් නැවත ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. 

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles